Home » ගෝලීය දකුණේ රටවලට ආදර්ශයක් සපයන චීනයේ නව සංවර්ධන සංකල්පය

ගෝලීය දකුණේ රටවලට ආදර්ශයක් සපයන චීනයේ නව සංවර්ධන සංකල්පය

by Mahesh Lakehouse
April 19, 2025 12:31 am 0 comment
විජය දිසානායක

තුරු අර්ධ ගෝලයේ බලවත් කාර්මික රටවල ආර්ථික ආකෘති අනුකරණය කිරීම බොහෝ කලක් මුළුල්ලේ ගෝලීය දකුණේ රටවල සංවර්ධන උපාය මාර්ගය බවට පත්ව තිබිණි. කෙසේ නමුත්, එම ආකෘති සෑම විටම තිරසර හෝ සාධාරණ වූවක් නොවේ. 21 වැනි සියවසේ ලෝකය දේශගුණික විපර්යාසයේ සිට ආර්ථික විෂමතාව දක්වා විවිධ අභියෝග සමඟ පොරබදන විට, ගෝලීය දකුණේ රටවල සංවර්ධනය පිළිබඳ ආඛ්‍යානය පරිවර්තනයකට භාජනය වෙමින් පවතී. බටහිර බලවත් කාර්මික රටවලින් අන්ධානුකරණයෙන් ණයට ගත් සංවර්ධනය පිළිබඳ සාම්ප්‍රදායික ආකෘතීන් වර්තමානයට කොතෙක් දුරට ගැළපෙන්නේද, සමාජයේ සියලු කොටස් ඒ තුළට අන්තර්ග්‍රහණය කරගත හැකිද, නූතන අවශ්‍යතාවන්ට අනුගත වීමට ඒ ආකෘතීන්ට තිබෙන හැකියාව කෙතෙක්ද යනාදී කාරණා සමාජය තුළ දැඩි ලෙස ලෙස විවාදයට ලක් වෙමින් පවතී.

ක්‍රමයෙන් විකාශනයට පත් වන මේ සන්දර්භය තුළ, සිය නව සංවර්ධන සංකල්පය තුළ ගැබ්ව ඇති චීනයට සුවිශේෂ වූ සංවර්ධන දර්ශනය, තම ස්වෛරීත්වය, තිරසර බව සහ සමාජ සහයෝගිතාව තව දුරටත් පරදුවට නොතබමින් නව්‍යකරණය කරා පිවිසීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට අගනා ඉඩ ප්‍රස්තාවක් විවර කරයි.

ඓතිහාසිකව, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා නවීකරණයන්ගෙන් බොහෝ විට අදහස් කර ඇත්තේ කාර්මික දියුණුව සහ අනුකරණ ආදේශන උපාය මාර්ග යොදාගනිමින් – එනම්, ආනයන ආදේශනය සහ විදේශ ඍජු ආයෝජන හරහා – කෘෂිකාර්මික ආර්ථිකයන් කාර්මික උත්පාදනයන් කරා යොමු කරමින් බටහිර ගමන් පථය අනුකරණය කිරීමයි. සමහර අවස්ථාවල ඵලදායී වුවද, මේ මාර්ගය සැම විටම සාධාරණ හෝ තිරසර වර්ධනයකට එමඟින් මඟ පෑදී හෝ නැත.

ඒ අතරම, ඉකුත් වසර 60ක කාලය තුළ, ගෝලීය දකුණේ රටවල් දිගු දුරක් පැමිණ තිබේ. වසර 2023 වන විට, ගෝලීය දකුණේ රටවල් ලොව සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් 42%කටත්, කාර්මික අපනයනයෙන් 44%කටත්, විදේශ ඍජු ආයෝජනවලින් 65%කටත් දායකත්වය දැක්වීය. විවිධ බාධක මධ්‍යයේ අත් කරගත් මේ ජයග්‍රහණ ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලය ආරම්භයේදීම දැඩි අවිනිශ්චිත භාවයකට මුහුණ පා ඇති අවදියක සංවර්ධන ගමනේදී ගෝලීය දකුණේ රටවල් විසින් මෙතෙක් අනුගත ආකෘතීන් යළි විභාගයට ගැනීමේ කඩිනම් අවශ්‍යතාවක් උද්ගතව පවතී. එහිලා යට කී චීනයේ නව සංවර්ධන සංකල්පය සියුම්ව නිරීක්ෂණයට ලක් කිරීම බෙහෙවින් ප්‍රයෝජනවත් වනු නිසැක ය.

2025 අප්‍රේල් මස 9 වන දින වන විට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 75කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඉහළ තීරුබදු පැනවීමට ගෙන ඇති තීරණයට අදාළ දින 90ක විරාමයක් ප්‍රකාශයට පත් කළ අතර, මූලික බදු අනුපාතය 10% දක්වා අඩු කළ අතර, මේ වන විට 125% ක තියුණු ලෙස වැඩි වූ තීරු බද්දකට මුහුණ පා සිටින චීනය හැර, ජූලි 4 දින කල් ඉකුත් වීමට නියමිත මේ විරාමය මඟින්, බොහෝ ජාතීන්ට තාවකාලික සහනයක් හිමි වී තිබේ. මේ විරාමය, වොෂින්ටනය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සහ ගෝලීය වෙළෙඳපොළ යළි ස්ථාවර කිරීමට ඉඩ සලසන නමුත්, ට්‍රම්ප්ගේ මේ තීරණයේ දිගුකාලීන ඇඟවුම් සහ ප්‍රතිඵල පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවක් පවතී.

සංවර්ධනය වෙමින් පවතින රටක් වන චීනය, බොහෝ කලකට පෙර ඒ සඳහා වෙනස් මාවතක් සකසා ඇත. පසුගිය දශක හතර තුළ, එය බොහෝ දුරට කෘෂිකාර්මික සමාජයක සිට ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය දක්වා සංක්‍රමණය වී ඇත්තේ හුදෙක් බටහිර උපායමාර්ග අනුකරණය කිරීමෙන් නොව, එහි සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික යථාර්ථයන් තුළ මුල් බැසගත් දේශීය සංවර්ධන ආකෘතියක් සකස් කරගැනීමෙනි. මේ පරිවර්තනයේ කේන්ද්‍රීය වන්නේ නවෝත්පාදනය, සම්බන්ධීකරණය, හරිත සංවර්ධනය, විවෘතභාවය සහ බෙදාගැනීම යන කුලුනු පහක් මත පදනම් වූ එහි නව සංවර්ධන සංකල්පයයි.

චීනය නූතන ලෝක ආර්ථිකයේ වැඩබිම නැත හොත් කර්මාන්ත ශාලාව ලෙස ප්‍රකටය. නවෝත්පාදනය කෙරෙහි අවධාරණය වත්මන් චීන සංවර්ධන චින්තනයේ මූලික අඩිතාලමකි. එය ලෝක කර්මාන්ත ශාලාව බවට පත් වීමේ සිට අධි තාක්‍ෂණික නිෂ්පාදන, කෘත්‍රිම බුද්ධිය, අභ්‍යවකාශ ගවේෂණය සහ හරිත තාක්ෂණය පිළිබඳ මධ්‍යස්ථානයක් බවට පත් වීම දක්වා වූ දැවැන්ත පරිවර්තනයක් පිළිබිඹු කරයි. මේ පිටුපස ඇති දර්ශනය පැහැදිලිය: සැබෑ නවීකරණය සාක්ෂාත් කරගත යුත්තේ හුදෙක් සෙසු රටවල් අනුකරණය කිරීමෙන් නොව, ආවේණික හැකියා ප්‍රවර්ධනය කිරීමෙන්ය යන්නයි.

නවෝත්පාදනය යන්න එක්සත් ජනපදයේ සිලිකන් නිම්නය යන්නට සමාන පදයක් විය යුතු නැත. ඒ වෙනුවට, එය දේශීය අවශ්‍යතා සහ දැනුම පද්ධතිවල මුල් බැස ඇති සන්දර්භීය සංවර්ධනයක් විය හැකිය. නිදසුනක් වශයෙන්: ශ්‍රී ලංකාවට, කුඩා වතු හිමියන්ගේ ගොවිතැනට ගැළපෙන චීන කෘෂිකාර්මික තාක්‍ෂණය හෝ චීන නගරවල දියුණුවට පත් ලාභදායි නාගරික ප්‍රවාහන විසඳුම් යනාදි, තමන්ගේම සන්දර්භයට අනුවර්තනය කළ හැකි නවෝත්පාදනයන් යොදාගත හැකිය.

චීන ජනාධිපති ෂී ජිං පින්ගේ තීරයක් මාවතක් වැඩපිළිවෙළ (Belt and Road Initiative) මීට කදිම උදාහරණයකි. ඒ තුළ ඇති සම්බන්ධීකරණ සංවර්ධනය අප වැනි රටවලට මනා ආදර්ශයක් සපයයි. නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ අතර සහ සමෘද්ධිමත් වෙරළබඩ ප්‍රදේශ සහ පසුගාමී අභ්‍යන්තර පළාත් අතර විෂමතා පියවීමට චීනය එමඟින් උත්සාහ දරයි. සංවර්ධනය පිළිබඳ මේ සමස්ත දැක්ම ආර්ථික වාසි හුදෙක් නාගරික වාසස්ථාන කිහිපයකට පමණක් සංකේන්ද්‍රණය නොකොට, ප්‍රත්‍යන්ත ප්‍රදේශවලටද වඩාත් සාධාරණ ලෙස ව්‍යාප්ත කෙරෙන බව එමඟින් සහතික කරයි.

වසර ගණනාවක් තිස්සේ ඇතැම් බටහිර දේශපාලනඥයන් චීනය අධික ලෙස අපනයන මත පමණක් යැපෙන ඒකමාන ආර්ථිකයක් ලෙස පින්තාරු කර ඇති අතර, තවත් සමහරු චීනය ලෝකයේ වඩාත්ම අසමතුලිත ආර්ථිකය ලෙස නම් කිරීමට පවා පෙලඹී ඇත. එවැනි චෝදනා යනු යථාර්ථයෙන් බැහැර, පැරණි හණමිටි අදහස් බව චීනය ඔප්පු කොට හමාරය.

ලෝක බැංකුව ඊට අදාළව ප්‍රතික්ෂේප කළ නොහැකි තර්කයක් දත්ත අනුසාරයෙන් ගොඩනඟයි: දළ දේශීය නිෂ්පාදිතයට අනුපාතයක් ලෙස 2006දී 64%ක්ව පැවති චීනයේ වෙළෙඳාම 2023දී 37% දක්වා පහත වැටිණි. 2023දී ජර්මනියේ එය 83%ක් ලෙස සහ කොරියානු ජනරජයේ 88%ක් දක්වා ඉතා ඉහළ අගයක් ගෙන තිබිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division