Home » මෙක්සිකෝ ජනපතිනියගෙන් ට්‍රම්ප්ට අභියෝගයක්

මෙක්සිකෝ ජනපතිනියගෙන් ට්‍රම්ප්ට අභියෝගයක්

by Mahesh Lakehouse
April 19, 2025 12:31 am 0 comment
පී.ආර්. දුෂාන්ති සිල්වා
මෙක්සිකානු ජන­ප­තිනි ක්ලව්ඩියා ෂින­ගම්

මෙක්සිකානු රාජ්‍යයේ ජනපතිනි ක්ලව්ඩියා ෂිනගම් පසුගිය අප්‍රේල් 8 දා ප්‍රකාශ කර ඇත්තේ, ගොඩබිමින්, ගුවනින් හෝ මුහුදින් යන මේ කුමන ආකාරයකින් වුවද එක්සත් ජනපද ට්‍රම්ප් පරිපාලනයෙන් එක්සත් ජනපද මෙක්සිකානු දකුණු දේශසීමාවේ ජාවාරම් ස්ථානගත වූ ප්‍රදේශ අලළා දියත් කිරීමට සූදානම්ව ඇති ඩ්‍රෝන ප්‍රහාරයන්ට එරෙහිව මෙක්සිකෝවේ ස්වෛරීත්වය මත පදනම්ව ක්‍රියා කිරීමට කිසිදු අයුරකින් පසුබට නොවන බවයි යනුවෙන් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබුණි.

හමුදා මැදිහත් වීමක් මේ අරබයා එක්සත් ජනපදය විසින් සිදු කිරීමට නියමිත නම් මෙක්සිකෝව එයට කිසිදු ආකාරයකින් එකඟත්වයක් පළ නොකරන බව ජනපති ෂිනගම් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

එක්සත් ජනපද – මෙක්සිකෝ සබඳතා

එක්සත් ජනපද – මෙක්සිකෝ වත්මන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමීපව පවතින නමුදු ට්‍රම්ප්ගේ මෙක්සිකෝව සම්බන්ධව ඇතැම් ක්‍රියාමාර්ග පිළිබඳ මෙක්සිකෝ රජයේ කිසිදු පැහැදීමක් නැති තරම්ය. අප මේ ‍දෙරට අතර අතීත රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ විමසීමේදී පෙනී යන්නේ, මෙක්සිකෝව හා එක්සත් ජනපදය අතර ඉතා සංකීර්ණ ඉතිහාසගත කථාන්දරයක් පැවති බවයි. භූගෝලීය තත්ත්වයන්ට අනුව 1860 ගණන්වලදී වොෂින්ටනයේ බලපෑමෙන් යුතුව ප්‍රංසය විසින් ආක්‍රමණයෙන් මෙක්සිකෝ භූමි ප්‍රදේශයට අයත් වූ වපසරියෙන් 50%ක් අත්පත් කර ගෙන ඇත. එයට අනුව ටෙක්සාස්, ඇරිසෝනා, කැලිෆෝනියා හා නිව් මෙක්සිකෝ එවකට පැවත ඇත්තේ මෙක්සිකෝවට අයත්වයි. 1910දී සිදු වූ මෙක්සිකානු විප්ලවයත් සමඟ බොහෝ පිරිසක් සරණාගතයන් ලෙස උතුරු ප්‍රදේශයට පලා යෑමට පටන් ගෙන ඇත.

තවත් පිරිසක් ආර්ථික අවශ්‍යතා, රැකියා, උසස් ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමේ අරමුණින් එක්සත් ජනපදයට, මෙක්සිකානු – අමෙරිකානු දේශසීමා හරහා පලා යෑමට නිරතුරුවම උත්සහ දරා ඇත. 19 වැනි ශත වර්ෂයේ අග භාගයේ පටන් මෙක්සිකානු ජනපති Porfirio Diaz (1876-1911) ධුර කාලයේදී මෙක්සිකෝව හා එක්සත් ජනපදය අතර ඉතා කිට්ටු රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික සබඳතා පැවත ඇති බව විස්තර වේ. මේ අවධියේදී, එක්සත් ජනපද ව්‍යාපාරිකයන් ස්වකීය කෘෂිකාර්මික හා පතල් කැණීමේ අභිලාෂයන් මෙක්සිකානු භූමියේ ඉතා හොඳින් වගා කළ බව වාර්තා වේ.

ඇත්ත වශයෙන්ම ඉතා ප්‍රබලව පැවති 1910-1920 මෙක්සිකන් විප්ලවයටද එක්සත් ජනපදයෙන් ඍජු බලපෑමක් එල්ල වී තිබී ඇත. වර්තමානයේ එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය හමුදාමය මැදිහත්වීම් සමඟ ඉතා දරදඬුව ක්‍රියාත්මක කරන මහා පිටුවහල් කිරීමේ ක්‍රියාපටිපාටිය තුළ එක්සත් ජනපදයට ප්‍රබලව බලපාන සංක්‍රමණික ගැටලුව එල්ල වී ඇත්තේ මෙක්සිකෝවෙන් බව දිගින් දිගටම පවසන නමුත් ජනපතිනි ක්ලව්ඩියා ෂිනගම් දිගින් දිගටම ඉතාම තදබල ස්ථාවරත්වයකින් යුතුව ප්‍රකාශ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු අපරාධ සම්බන්ධව හෝ පිටුවහල් කිරීම අබියස ප්‍රබල හමුදා මැදිහත් වීම් අවශ්‍ය නොවන බවත්, සාකච්ඡා මාර්ගයෙන් රාජ්‍යතාන්ත්‍රිකව මෙයට පිළියම් සෙවිය හැකි බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් පිරිස්, ත්‍රස්තවාදීන් ද?

මෙක්සිකෝවේ, දකුණු දේශසීමාවේ සිදු වෙමින් පවතින බව ප්‍රකාශ වන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ ස්ථාන හා පිරිස් ඉලක්ක කොට ගෙන, ජනපති ට්‍රම්ප් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් කර ඇති අතරම එම පිරිස් ජනපති ට්‍රම්ප් හඳුන්වා දී ඇත්තේ, ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ලතින් අමෙරිකානු රටක් ලෙස මේ තත්ත්වය මෙක්සිකෝවට පමණක් උරුම තත්වයක් නොවන අතර, මෙය ලතින් අමෙරිකානු කලාපයම ආවරණය කරගත් සැලකිය යුතු සංවිධිත අපරාධ කණ්ඩායමක් ලෙස ගෝලීය විචාරකයින් නම් කර ඇත්තේ අද ඊයෙක පටන් නොවේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්

කොලොම්බියාව හා මෙක්සිකෝව, මත්ද්‍රව්‍ය වෙළෙඳාම ගෝලීය වශයෙන් එය බෙදාහැරීම සම්බන්ධව දශක ගණනාවක පටන්ම ප්‍රසිද්ධියක් උසුලනු ලැබේ. සිනොලා Cartel, නව පරම්පරාවේ Cartel (CJNG) ගල්ෆ් Cartel, ආදිය මේ අතර බොහෝ කතාබහට ලක් වූ කණ්ඩායම් වේ.

මේ මත්ද්‍රව්‍ය ජාවාරම්, ඇත්ත වශයෙන්ම ලතින් අමෙරිකානු කලාපයේ නොනවතින අපරාධ හා ප්‍රචණ්ඩත්වයට ඉතා ඉහළ දායකත්වයක් දෙන අතරම, ඒ හා ඍජු සබඳතාවක්ද දක්වයි. එහෙත් මෙක්සිකානු ජනපති ෂිනගම් ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ මේ තත්ත්ව පාලනයට හමුදාමය මැදිහත් වීම, එක්සත් ජනපදයට අවශ්‍ය පරිදි යෙදවීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත්, රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ඔස්සේ මේ පිළිබඳ කටයුතු කිරීම කලාපීය ආරක්ෂාව හා සාමය වඩ වඩා සුරක්ෂිත වීමක් බව සුදුසුම උපායමාර්ගික සැලසුම බවත්ය.

ජනපතිනි ෂිනගම්ගේ අපරාධ සම්බන්ධ උපායමාර්ගය

ඇත්ත වශයෙන්ම ජනපතිනි ෂිනගම් මෑත කාලීනව, එක්සත් ජනපද – මෙක්සිකෝ දේශ සීමාවේ ඉතා ප්‍රබල අයුරින් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කටයුතු කරන උපායමාර්ගික ආරක්ෂක ප්‍රතිපත්තිය හා ක්‍රියාමාර්ග දෙරටේම පැසසුමට ලක් වූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබිණි. ඇය කොතරම් සාර්ථකද යත්: විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ජනපති ෂිනගම් මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයන් දුසිම් ගණනකටත් එපිට ගිය පිරිසක් සමඟ ක්‍රියා කර එම මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාර බොහෝමයක්ම විනාශ කර තිබීම ඇයගේ නිර්භීත වූත්, සුවිශේෂ වූත් රාජ්‍ය පාලන ක්‍රමවේදය අන් කවරක්ද? දරදඬු මර්දනකාරි බලය යෙදවීමේ පිළිවෙතක් ඇයට නැත.

ගෝලීය රාජ්‍යතාන්ත්‍රික පිරිස්, යුද විශේෂඥයන් ඇයගේ මේ හැකියාව අර්ථ ගන්වා ඇත්තේ, එය ජනපතිනි ෂිනගම්ගේ අපරාධ හා ගැටෙන උපායමාර්ගික ක්‍රමවේදයක් ලෙසයි. 2025 මාර්තු වන විට ෂිනගම් පාලනය අතරතුර ටොන් 134.7ක මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් රජය විසින් අල්ලාගෙන ඇති අතර, ඒ ප්‍රාන්ත 17ක් මඟිනි. මේ අතරට ෆෙන්ටෝයාල් පෙතිද අඩංගු වී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division