139 වැනි ලෝක කම්කරු දිනයට තවත් ඇත්තේ දින 3කි. එළඹෙන මැයි 1 වැනිදා ලෝකයේ සියලු රටවල ප්‍රධාන නගර කෝටි සංඛ්‍යාත කම්කරුවන්ගේ කාහල නාදයෙන් ගිගුම් දෙනු ඇත; අධිරාජ්‍යවාදයට, ධනවාදයට හා පන්තීන්ගේ සූරාකෑමට එරෙහිව ලෝකයේ කම්කරුවන් හඬ නඟනු ඇත; කම්කරුවන්ගේ රුධිරයෙන් රක්ත වර්ණ වූ රතු ධජය උත්තරාර්ධ ගෝලයේ සිට දක්ෂිණාර්ධ ගෝලය දක්වා සියලු රටවල ගුවනේ ලෙළදෙනු ඇත.
“සකල දේශවාසී කම්කරුවනි, එක් වව්!” යනුවෙන් 1848 වසරේදී කාල් මාක්ස් සහ ෆෙඩ්රික් එංගල්ස් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ලෝක කම්කරු පන්තියට ආයාචනා කළහ. එදා මෙදා තුර ඒ ඓතිහාසික සටන් පාඨය තේමා කර ගත් කම්කරු සංවිධාන ලක්ෂ ගණනක් බිහි වී තිබේ. එහෙත් කම්කරු පන්තිය එක් ධජයක් යටතට ගෙනෙන්නට සියවස් එකහමාරකට ආසන්න කාලයක් ගතවීත් නොහැකි වී ඇත.
ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරය බිහි වූයේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය තුළ ය. ආරම්භයේ සිටම කම්කරු පන්ති ව්‍යාපාරය වසරක් වසරක් පාසා කැබලිවලට කැඩී ගියා මිස, එක් වූයේ නැත. ඒ.ඊ. ගුණසිංහගෙන් පසු, ලංකා සමසමාජ පක්ෂය මෙන්ම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දේශපාලන වශයෙන් බිඳෙන විට ඒ අනුව වෘත්තිය සමිති ව්‍යාපාරයද බෙදී වෙන් විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ලෝක කම්කරු දිනයේ“සකල දේශවාසී කම්කරුවනි, එක්වව්!” සටන් පාඨය මුල් කර ගත් වමේ මැයි රැලි විසි තිස් ගණනක් කොළඹ නගරයේ පැවැත්වීම ය.
ඒ අනුව, රතු පාට මැයි රැලි වෙනුවට, වෛවර්ණ මැයි රැලි බිහි විය. නිල් පාට, කොළ පාට මැයි රැලි ඒ අතර විශේෂ වූයේ ය.
“සීනි නැතුව තේ බොන්නම්
හාල් නැතුව බත් කන්නම්
මැතිනි අපට කියනව නම්
පිදුරු වුණත් අපි කන්නම්…”
“අපි යන්නේ – කොයි පාරේ
ඩඩ්ලි හාමු – ගිය පාරේ…”
එකල මැයි පෙළපාළිවල ඇසුණු සටන් පාඨ අතර වූයේය. එපමණක් නොව, මැයි දිනයදා කම්කරු පන්තිය පොලු මුගුරුවලින් ගහ මරාගත්තේ ය. අධික ලෙස බීමත් වූ කම්කරුවන් පෙළපාළි යෑම සුලබ දර්ශනයක් විය.
කම්කරු පන්තියේ සමගිය බිඳවැටීම කම්කරු පන්ති අයිතීන් අහිමි වීමට ප්‍රධාන හේතුව විය. හතළිස් ලක්ෂයක සංවිධානය වූ කම්කරු පන්තියක් සිටි රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ව්‍යාපාරය මේ වනවිට දාහත් ලක්ෂය දක්වා පහත බැස ඇත. පැරණි වම මහත් අභිමානයෙන් කතා කළ පැය අටේ වැඩ දිනය ආගිය අතක් නැත. බොහෝ කම්කරුවෝ පසුගිය ආණ්ඩුවලින් ඇති කළ මෑන් පවර් සේවාවන්හි දහඩියකඳුළු වගුරුවති. ඔවුන්ට අවම වෘත්තීය අයිතිවාසිකම්වත් නොලැබේ. ලෝකය ම පිළිගත් මැයි දින නිවාඩුව ද ඔවුන්ට අහිමි ය.
ලාංකේය කම්කරු පන්ති ව්‍යාපාරය කැබලි කැබලිවලට වෙන් කර හුදෙකලා කිරීමට එරෙහි වෙමින්, ‘වෘත්තියට සමිතියක් – කම්කරු පන්තියට මූලස්ථානයක්’ සටන් පාඨය 1970 දී මෙරට ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. ඒ වනවිට අවස්ථාවාදී මඩ ගොහොරුවක ගිලී තිබුණු වෘත්තීය සමිති දේශපාලනයෙන් කම්කරු පන්තිය විතැන් කොට, සැබෑ කම්කරු පන්ති දේශපාලනයක් වෙනුවෙන් ලාංකේය කම්කරු පන්තිය ප්‍රථම වරට පෙළගස්වන ලද්දේ ජවිපෙ සමාජවාදී කම්කරු සංගමය විසිනි.
ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය මෙවර අන්තර්ජාතික කම්කරු දිනය සමරන්නේ රටේ බහුතර ජනතාවගේ අභිමතයෙන් සියලු ජාතීන් සමගි කොට පිහිටුවා ගත් නව රජයක සෙවණ යටතේ ය. මෙවර කම්කරු දිනයේ ශ්‍රී ලාංකේය කම්කරු පන්තියේ ප්‍රාර්ථනාව විය යුත්තේ රට තුළ ගොඩනැඟුණු සමගිය කම්කරු පන්ති ව්‍යාපාරය තුළට එන්නත් කිරීම ය. එමඟින්, දකුණු ආසියාවේ ශක්තිමත්ම කම්කරු පන්ති ව්‍යාපාරය බිහි කරගැනීම ය.
අපෙන් උදුරා ගත්, අපට අහිමි වූ වෘත්තීය අයිතීන් දිනා ගැනීමට එය මහත් උත්ප්‍රේරකයක් වනු නිසැක ය.