ආයුර්වේදයට අනුව ‘හිස’ ශරීරයේ උතුම්ම අංගයයි. එය ‘උත්තමාංගය’ ලෙස නම් කර ඇත්තේද එබැවිනි. අපට බුද්ධිය අවබෝධය ගෙන දෙන පංචේන්ද්‍රියන්ගෙන් හතරක්ම පිහිටා ඇත්තේ හිසෙහිය. තවද, ඒ ඉන්ද්‍රියන්ට අයත් මූලස්ථානය පිහිටා ඇත්තේද හිස තුළය. දෑත්, දෙපා, මුඛය, ගුදය, ලිංග යන කර්ම ඉන්ද්‍රියන්ගේ මූලස්ථාන පිහිටා ඇත්තේද හිස තුළය.
එමෙන්ම සමස්ත ශරීරයේ මෙහෙයුම කරන ස්නායු පද්ධයේ මූලස්ථානයද අපගේ මතක ගබඩාවද වන මොළයද හිස් කබල තුළ පිහිටා ඇත. හිස මිනිස් සිරුරේ උත්තමාංගය ලෙස සලකා ඇත්තේ එබැවිනි. මේ තත්ත්වය නිසා කවර හේතුවක් මත හෝ අපට හිසෙහි ඇති වන වේදනාව නොහොත් හිසරදයකින් පෙළෙන විට එය හිසට සම්බන්ධ පෙර කියූ අවයවන්හි අසහනකාරි පීඩාකාරි තත්ත්වයක් ඇති වීම ස්වාභාවිකය. හිසරදය ගත සිත දෙකම පීඩාවට පත් කරන බව කියන්නේ එබැවිනි.
හිසරදය, හිසට සම්බන්ධ සියලු අවයවලට බලපෑමක් ඇති කරන සෞඛ්‍ය ගැටලුවකි. ඇතැමකුට එය සුලබ රෝගි තත්ත්වයක් වන අතර, ඇතැමකුට එය කලාතුරකින් ඇති වන පීඩාකාරි තත්ත්වයකි.
හිසරදයෙන් ඇති වන වේදනාව අනුව සුළු හිසරද තත්ත්වයේ සිට දරාගත නොහැකි වේදනාව දක්වා පරාසය තෙක් දිවෙයි. තදබල හිසරද තත්ත්වයන්හිදී වේදනාව, ඔක්කාරය, වමනය ක්ලාන්තය ආහාර අරුචිය ඇති විය හැකිය. මෙසේ හිසරදයේ ස්වභාවයේ වෙනස්කම් ඇති වන්නේ හිසරදය ඇති වීමට මූලික වූ හේතුන්ගේ ස්වභාවය අනුවය.
ඇත්ත වශයෙන්ම හිසරදය යනු ශරීර අභ්‍යන්තරයෙන්ම ඇති වන කිසියම් අස්වාභාවික තත්ත්වයක් හෝ රෝග තත්ත්වයක ලක්ෂණය මිස රෝගයක් නොවේ. එබැවින් ප්‍රතිකාර කිරීමේදී රෝගය හඳුනාගෙන රෝගය ඉවත් කිරීමට ඉවහල් වන ප්‍රතිකාර යෙදීමෙන් සුවය අත් කරගත හැකිය.
හිසරදයට හේතු විවිධාකාරය. ඉන් ඇතැම් ඒවා නොසලකා හළ හැකි සරල හේතුය. උදාහරණ වශයෙන්: කුසගින්න බොහෝ වේලාවක් දරාගෙන සිටීම, මල මූත්‍රවේග බොහෝ වේලාවක් දරාගෙන සිටීම, මලබද්ධය, කාන්තාවන්ගේ ඔසප් සමය, තද අවුව, තද පින්නේ ගැවසීම, දෙනෙත් වෙහෙසට පත් කරන කාර්යයන්හි එක දිගට යෙදී සිටීම, සිසිල් කළ පාන වර්ග භාවිතය, අයිස් ක්‍රීම්, රටකජු වැනි කෑම වර්ග ගැනීම වැනි හේතු දැක්විය හැකිය.
මෙවැනි හේතු නිසා ඇති වන හිසරදය කෙටි වේලාවකට සීමා වන තත්ත්වයකි. අදාළ හේතුව ඉවත් කිරීමෙන් හොඳ විවේකයක් ගැනීම, හොඳ නින්දක් ගැනීම වැනි ක්‍රමවලින් මේ හිසරදය නැති වී යයි.
එදිනෙදා ඇති වන හිසරද තත්ත්ව අතුරින් ඉරුවාරදය සුලභය. ඉරුවාරදය නොහොත් ‘මිග්‍රේන්’ (Migraine) රෝගි තත්ත්වය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශීර්ෂ රෝග කාණ්ඩය යටතේ ‘සූර්යාවර්ත’ යන නමින් හැඳින්වෙන රෝගි තත්ත්වය හා සමාන වන අතර, ඉර උදාවත් සමඟ ඇරඹෙන හිසෙහි වේදනාව ඉර මුදුන් වීමේදී උත්සන්න වී, සවස් කාලයේදී තරමක් දුරට සමනය වී යයි.
ඇතැම් රෝගීන්ට හිසේ අර්ධයක පමණ අධික වේදනාවක් ඇති වේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් හිසෙහි අර්ධයක අධික වේදනාවක් හට ගැනෙන ‘අර්ධාවබේධ’ නම් රෝගී අවස්ථාව සමඟ ද මිග්‍රේන් රෝගි තත්ත්වයෙහි සමානත්වයක් ඇති බව පිළිගැනෙයි.
ඉරුවාරදයෙහි පූර්ව රෝග ලක්ෂණ ලෙස බලන බලන තැන්හි අඳුරු ලප ඇති ලෙස පෙනීම, පෙනීමේ විෂමතා ඇති වීම, බොඳ වී පෙනීම, ඔක්කාරය හෝ වමනය, ශරීරයේ පණ නැති ස්වභාවය, සිහිමඳ බව, අසාමාන්‍ය ලෙස දහඩිය දැමීම, ශරීරයේ ඇතැම් තැන් හිරිවැටීම දැක්විය හැකිය.
ඉරුවාරදය නොහොත් මිග්‍රේන් රෝගි තත්ත්වය නිසා ඇති වන හිසරදයෙහි ඇස් වටා වේදනාවක් හටගැනීම, හිස තුළ දෙදරීමක් ඇති අයුරින් (නළියන හෝ ගැහෙන ලෙසට) වේදනාව දැනීම, ඇතැම් විට කුමන හේතුවකින් හෝ සමනය නොවන පැය ගණන්, දින ගණන් පුරා නොකඩවා පවතින හිසරදය, හිසෙහි එක් පසෙක හෝ දෙපසට හෝ මාරුවෙන් මාරුවට ඇති වන වේදනාව, ඇතැම් විට ගෙල හා උරහිස දක්වා පැතිර යන වේදනාව, ගමනකින් පසුව, මානසික පීඩනයකින් පසුව හේතුවක් ඇතිව හෝ නැතිව ඇති වන දැඩි හිසරදය පැවතිය හැකිය. ඇතැම් විට හිසේ කැක්කුම පහව ගිය පසුද අධික නිදිමත ගතියක් ඇති වීම මේ රෝගයේ තවත් ලක්ෂණයකි. මෙම රෝග ලක්ෂණ රෝගියාගේ ශරීර ස්වභාවය, ප්‍රකෘතිය, ඇවතුම් පැවතුම් අනුව වෙනස් වෙයි.
මෙයට අමතරව සැලකිය යුතු අවධානයක් ලක් විය යුතු බරපතළ රෝග තත්ත්ව නිසාද හිසරදය ඇති වේ. උදාහරණ වශයෙන්: මස්තිෂ්ක කලා ප්‍රදාහය (මෙනින්ජයිටිස්), මොළයේ පිළිකා තත්ත්ව, මස්තිෂ්ක ආඝාතය, අධික රුධිර පීඩනය, හිසට සිදු වන බරපතළ අනතුරු ආදිය දැක්විය හැකිය. මේ තත්ත්වයන්ට අමතරව, දන්ත රෝග, අක්ෂි රෝග, ග්‍රීවා කෂේරුකා ආශ්‍රිත රෝග ආදි තත්ත්ව හේතුවෙන්ද හිසරද ඇති විය හැකිය.
මේ තත්ත්වයන්ට අමතරව එතරම් බරපතළ නොවන රෝග තත්ත්ව වන සෙම්ප්‍රතිශ්‍යාව, පීනස, නළල සහ මුහුණ ආශ්‍රිත කෝඨරවල සෙම පිරී තද වීම හෙවත් ‘කෝඨර ප්‍රදාහය’ ආදි තත්ත්වයන්ගෙන්ද හිසරදය ලක්ෂණයක් ලෙස ඇති වේ.
සීතල සුළඟ සහ වැසි සහිත තත්ත්ව නිසා බොහෝ සෙයින් ඇති විය හැකි හිසරද තත්ත්වයක් වන්නේ නළල සහ මුහුණ ආශ්‍රිත කෝඨරවල සෙම රැස් වීම හේතුවෙන් ඇති වන හිසරදයය.
මෙහිදී බොහෝ විට වේදනාව ඇති වන්නේ නළල සහ මුහුණ ආශ්‍රිති ප්‍රදේශවලය.
හිස සහ මුහුණේ බර බව, නිදිබර බව, මුහුණ සහ ඇස් වටා ඉදිමුණු ස්වභාවයක් ඇති වීම, උගුරේ සෙම බැඳීම, කන්වල සෙම තද වීම, කන් ඇසීම අඩු වීම, නාසය සිර වීම, නාසයෙන් හුස්ම ගැනීම අපහසු වීම වැනි ලක්ෂණද ඇති වේ.
සෙම තද ඇති වූ කෝඨරවල ආසාදනයක් ඇති වුව හොත් තද උණ ගතිය ද ඇති විය හැකිය.
මේ රෝග තත්ත්වවලදී ඝන වී ඇති සෙම දිය කර හැරීමට ඉවහල් වන ශරීර අභ්‍යන්තරයට යොදන ප්‍රතිකාර සහ බාහිරට යොදන ප්‍රතිකාරද යෙදිය යුතු වේ.
පළපුරුදු වෛද්‍යවරයකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්නා තෙක් සරල අත්බෙහෙත් වශයෙන් පහත සඳහන් ප්‍රතිකාර නිවෙසේදීම කරගත හැකිය.
අභ්‍යන්තර ප්‍රතිකාර
• ඉඟුරු කොත්තමල්ලි දෙවර්ගය තැම්බූ වතුර දෙවරක් හෝ තුන් වරක් පානය කිරීම.
• බෙලි මුල් තිප්පිලි මුල් සහ වියළි ඉඟුරු සමව ගෙන තම්බාගත් වතුර දවසට දෙවරක් හෝ තුන් වරක් පානය කිරීම.
• ආහාර සමඟ රතුලූනු ගෙඩි කීපයක් අමුවෙන් විකා කෑම.
• විටින් විට උණුසුම් ජලය පානය කිරීම.
බාහිර ප්‍රතිකාර
• දුම් වාෂ්ප ඇල්ලීම:
මෙහිදී උණුසුම් ජල වාෂ්ප ඇල්ලීම කළ හැකිය.
ඊට අමතරව දෙහිකොළ, කොත්තමල්ලි දෙවර්ගය තම්බාගත් ජලයෙන් හුමාලය ඇල්ලීම සුදුසුය.
එමෙන්ම, බෙලිකොළ තැම්බූ වතුරෙන්ද හුමාලය ඇල්ලීම කළ හැකිය. එසේ හුමාලය ඇල්ලීමෙන් පසු ඒ ජලයෙන්ම මුහුණ, නළල, බෙල්ල අවට සේදීම ඉතා ගුණදායක වේ. වරකට විනාඩි 10ක් 15ක් බැගින් දිනකට දෙවරක් හුමාල ඇල්ලීම වඩාත් ප්‍රතිඵල දායක වේ.
• තෛලමය ප්‍රතිකාර:
එමෙන්ම සර්වවිෂාදි, විෂාදි හෝ නිර්ගුණ්ඩ්‍යාදි තෛලයකින් මඳක් ගෙන, රත් කර උණුසුම්ව ගෙන නළල, කම්මුල්, ගෙල අවට ගල්වා විනාඩි පහක් දහයක් පමණ හොඳන් පිරිමැද තැවිලි පොට්ටනියකින් ඒ ප්‍රදේශ තැවීම වඩාත් ගුණදායක වේ.
• තැවිලි පොට්ටනිය:
සියඹලා කොළ, හින් උඳුපියලිය, රතුලූනු ටිකටික ගෙන කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තැවීම ගුණදායක වේ.
මෙම ප්‍රතිකාරය දිනයේ ඕනෑම වෙලාවක යෙදිය හැකි වුවත් උදය කාලයේ යොදන්නේ නම් වඩාත් ප්‍රතිඵල දායක වේ.
මේ අත් බෙහෙත් භාවිතයෙන් සුවයක් නොලැබේ නම් අනිවාර්යයෙන් සුසුදුකම් ලත් වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ගැනීම නිර්දේශ කෙරේ.
වැළකිය යුතු දෑ
කෝඨර ප්‍රදාහයෙන් පෙළෙන අවස්ථාවල සීත සුළං වැදීම, පින්නේ ගැවසීම, නිදිවැරීම, තද හිරු එළියේ ගැවසීම, දුම සහ දූවිලි නැඟෙන ස්ථානවල රැඳී සිටීම නුසුදුසුය.
එමෙන්ම ජලය සහ ශීත කළ කෑම සහ බීම, මුදවපු කිරි, මෑකරල්, නිවිති වැනි ශීත ගුණයෙන් යුතු ආහාර ගැනීමද සුදුසු නැත.
උපදෙස් – පාරම්පරික ආයුර්වේද
වෛද්‍ය රේණුකා පදුමාරාච්චි