සුන්න්දර ඇඩෙලිනා, බ්‍රෙනීටෝ පටු වීදිය දිගේ ගමන් කරමින් සිටියාය. ඇයගේ එකම අරමුණ නම් ග්‍රෙන්ච් චතුරස්‍රය අසල වෙසෙන ගේල් නම් පුද්ගලයකු හමු වීමයි. අවට පයිනස් ගසින් හා ඕක් වියනෙන් වට මාවත සරල සිත්ගන්නාසුලු එකක් වේ. අතරින් පතර තමන් ඉදිරියට හමු වන ගැහැනුන් සහ මිනිසුන් වරින් වර ඈ සමඟ සිනාසුනත් සිත අභ්‍යන්තරයෙන් නැඟී එන පීඩාවක් නිසා ඇඩෙලිනාට ඔවුන් සමඟ අවංකවම සිනා සීමට නුපුළුවන් විය. තමා මේ යන ගමන වඩාත් නිවැරදි එකක්ද නැද්ද යන්න පිළිබඳ කුකුසක් ඈ සිත තුළ ඒ මේ අතට තෙරපෙන්න විය. මේ වන විටත් මෙක්සිකෝ අහසෙහි කෙළවරකට වන්නට පායා එන සියුම් හිරු කිරණ මෙතෙක් පැවති සිසිලස මඳකට අඩු කිරීමට සමත් වුවත්, ඇඩෙලිනා තව තවත් සිය ශීත කබාය තුළ දෑත් සිර කරගත්තාය. ඉදිරියෙන් පාපැදියක නැඟ ආ තරුණයකු ඇඩෙලිනා දෙස බලාගෙන විත්, මාවත අයිනේ ඇළට නොවැටී බේරුණේ අනූනවයෙනි.
“මේ… පොඩ්ඩක් ඉන්නවද? මම ඇඩෙලිනා ලිලියානා. මම මේ පාරක් හොයනවා. උදවු කරන්න පුළුවන්ද?”
ඇඩෙලිනා රවුම් වහලක් සහිත නිවෙසක් අසල සිටි කාන්තාවකගෙන් විමසුවාය. ඇඩෙලිනා දෙස පරීක්ෂාවෙන් බැලූ කාන්තාව:
“ඔව් කියන්න. මම මාරියා… මොකද්ද මගෙන් දැනගන්න ඕනෑ?”
“24A/ 6, ග්‍රේන්ච් ඇවනියුව්. ගේල් නිකලස් මහත්මයා.”
ඇඩෙලිනා අත් බෑගය තුළින් ගත් කාඩ් පතක් මාරියා වෙත දිගු කරන ගමන් කීවාය.
“ඔය කියන නම නම් මම දන්නෙ නැහැ. ඒත් ඔය නොම්මරය තියෙන්නෙ ග්‍රෙන්ච් වීදියෙ කෙළවරේ. දිගටම ඔය ඇළ අයිනෙන් ගියාම වම් පැත්තෙ හමු වන පළවෙනි පාර. එතැන දී ඔය නොම්මරේ ගහපු ගේ හොයාගන්න ලේසියි.”
මාරියාට ස්තුති කළ ඇඩෙලිනා පඳුරුවලින් හෙබි කොස්කකෝක් ඇළ මාර්ගය දිගේ ඉදිරියට ගමන් කළාය.
මීට වසර පහකට පෙර තමා ගේල් සමඟ විවාහ වූ අයුරුත්, ඉන් වසරක් ගෙවීයෑමටත් මත්තෙන් ඔහුගෙන් වෙන් වූ අයුරුත් ඇඩෙලිනා කල්පනා කළාය. මුලදී ඉතා සුළු දේට රණ්ඩු වූ ඔවුන් ඉන් පසුව සෑම දිනකම කුමක් හෝ කරුණක් අරබයා දරුණු ලෙස කෝලාහල කරගත් අයුරු ඇයට මැවී පෙනිණි. ගත වූ වසර පහ ඉතා දීර්ඝ කාලයක් සේ ගෙවී ගියත්, ඒ කාලය තුළදී තමාගේ ජීවිතයට ඇතුළු වූ තවත් බලාපොරොත්තුවක්ම තමා මෙසේ මේ ගමනට පොලඹවා ඇති අයුරු ඕ සිහිපත් කළාය.
“මට ඔයාගෙ පෑන පොඩ්ඩක් දෙන්න පුළුවන්ද?” නාඳුනන තරුණයකු ඇඩෙලිනාගෙන් ඉල්ලීමක් කළේ ඈ ගේල් නිකලස්ගෙන් වෙන් වී වසරකට පසු රැකියාවක් පිණිස ‘ජේඩ් බුක්’ නම් පරණ පොත් සාප්පුවේ සේවයට ආ තෙවැනි දිනයේය. කිසියම් සටහන් ගොන්නක් පෙරළමින් සිටි ඔහු ඇඩෙලිනාගෙන් මෙසේ පෑනක් ඉල්ලා සිටියේ මාර්තුවක අවසන් සතියේ වැසි දිනකය.
වහා සිය කලිසම් සාක්කුවට අත යැවූ ඕ නිල් පෑනක් ගෙන ඔහු අත තැබීය.
“ස්තුතියි. මම එඩියුරෝ ඩීගෝ. කවුරුත් මට කතා කරන්නෙ ඩීගෝ කියල.”
ඔහු ඇයට තමා හඳුන්වා දුන්නේ එසේය.
එතැන් පටන් ඩීගෝ නිතර නිතර ඒ පොත් සාප්පුවට පැමිණියේය. ඇතැම් දිනෙක පරණ පොතක් මිල දී ගැනීමටත්, තවත් දිනක වෙනත් කෙනකු හට පොතක් යැවීම පිණිසත් පැමිණි මේ ගමන කිසිම හේතුවක් නැතිව පැමිණෙන තැනට වැටුණේ ඔහුගේ සිතෙහි ඇඩෙලිනා කෙරෙහි අමුතු හැඟීමක් හටගත් දින සිටය.
එය මැයි මාසයක එක් ශනිදා සැඳෑවක් විය. ඇඩෙලිනා පොත් සාප්පුවේ සිය රාජකාරිය නිමා කර බියුලවා වීදිය දිගේ ගමන් කරමින් සිටියාය. හදිසියේම ඈ පසුපසින් කිසියම් කෙනකු පැමිණෙන බව හැඟුණු බැවින් ඕ ආපසු හැරී බැලුවාය. ඩීගෝ සිනා මුසු මුහුණින් ඈ අසලට ළං විය.
“ඩීගෝ! ඔයා කොහේද මේ?”
“මමත් මේ ළඟට යන ගමන්. ඔයා කැමති නම් අපි දෙන්නට මෙහෙම කතා කර කර යන්න පුළුවන්.”
“ඔව්. ඇත්ත වශයෙන්ම.” ඇඩෙලිනා පිළිතුරු දුන්නාය.
එදා සවස බෙහෙවින් සුන්දර වූ සන්ධ්‍යාවක් විය. මෙක්සිකෝ අහසෙහි තරු එක දෙක පායා එද්දී ඇඩෙලිනා සහ ඩීගෝ අවන්හලක උණුසුම් කෝපි පානය කරමින් පසු වූහ. අහසේ බොහෝ තරු පායා රාත්‍රිය තරුණ වෙද්දී ඔවුහු ජෑස් සංගීතයට අනුව ආලිංගන නර්තනයක යෙදී සිටියහ. අහසේ තරු එකින් එක බැස යන සීතල හිමිදිරියේ ඔවුන් සැබවින්ම සිටියේ තමාගේ සයනයේද නැත්නම් අනෙකාගේ සයනයේද යන්න ඔවුන්ටම අපැහැදිලි විය. ඕ සෙමෙන් සිය දිගු ඇඟිලි තුඩුවලින් ඔහුගේ වම්අතේ පහළට වන්නට තිබුණු ඇපල් ගෙඩියක් තරම් වන උපන් ලපය සියුම්ව පිරිමැද්දාය. ඒ විවේකි ඉරිදා සවස් යාමය එළෙඹෙද්දී ඔවුහු පෙම්වතුන් බවට පත් වී සිටියහ.
කොස්කකෝක් ඇළ අයිනෙන් වැටී ඇති මාර්ගයේ ගමන් ගත් ඇඩෙලිනා එතැනින් ග්‍රේන්ච් මාවතට අවතීර්ණ වූවාය. ඒ මාවතේ එක් එක් නිවෙස්වලට අදාළ අංක ඉතා පැහැදිලි ලෙස සෑම නිවෙසකම ප්‍රදර්ශනය කොට තිබිණි. නිවාස දෙක තුනක් පසු කරත්ම වම් පසින් වු නිවෙසක සවි කර ඇති ‘24 A/6’ අංකය ඇයට සොයාගත හැකි විය. නිවෙසෙහි දොරටුව වෙත ළං වූ ඇය සෙමෙන් එයට තට්ටු කළාය.
කලින් දින බොහෝ රෑ වන තුරු මිතුරන් සමඟ කතාබහ කරමින් සිටි තරුණ ගේල් නිකලස් පිටතින් ඇසුණු ශබ්දයෙන් වහා නින්දෙන් අවදි විය. එසේම කිසිවකු තම දොරට තට්ටු කරන බවක් ඔහුට සැණින් අවබෝධ විය. සීරුවෙන් නැඟිට කමීසයක් ඇඟ ලාගත් ගේල් ඉදිරි දොර විවෘත කළේය.
විස්මයකි! එය කිසිසේත්ම ගේල් කිසිදා අපේක්ෂා නොකළ හමු වීමක් විය. මීට වසර පහකට පමණ ඉහත තමා හැර ගිය තම බිරිය දැන් ඔහු ඉදිරියේ සිටගෙන සිටියි.
“ඇඩෙලිනා, ඔයා?”
ඔහුට කීමට ලැබුණේ එපමණකි. ඇඩෙලිනා අනාරාධිතවම නිවෙසට ඇතුළු වී සුවපහසු සෝපානයේ හිඳගත්තාය.
“ගේල්… මම ආවෙ ගොඩක් වැදගත් වැඩකට. මේකට ඔයාගෙ උදවු අවශ්‍යමයි.”
“උදවුවක්…? මගෙන්….?”
“ඔව් ඔයාගෙන්. ඒක අපි දෙන්නගෙම ජීවිතවලට ගොඩක් වැදගත් දෙයක්…”
ඇය පවසන්න හදන කරුණ ගේල්ට නොවැටහිණි. ඔහු තමා හැරගිය බිරිය වසර පහකට පසු හදිසියේම පැමිණ තමාගෙන් ඉල්ලා සිටින උදවුව කුමක්දැයි ගේල් කල්පනා කරන්නට විය. ඇඩෙලිනා අසුනෙහි හරිබරිගැසී ඉතා උස් ශරීරයකින් හෙබි ගේල් දෙස බැලුවේ හිස අංශක අනූවක් පමණ ඉහළට ඔසවාගෙනය.
“ගේල්… අපි කෙළින්ම කාරණේට බහිමු. ඔයා දන්නවනෙ අපි දෙන්න අවුරුදු ගාණකට කලින් වෙන් වුණත් තාම දික්කසාද වෙලා නෑ. ඒ නිසා අපි දෙන්නගෙන් කාටවත් ආයෙ විවාහ වෙන්නත් බෑ. මට දැන් වෙන සම්බන්ධයක් තියෙනවා. එයාගෙ නම ඩීගෝ. අපි විවාහ වෙන්න ඉන්නෙ. ඒත් ඊට කලින් මට ඔයාගෙන් නීත්‍යනුකූලව වෙන් වෙන්න ඕනෑ…”
ඇඩෙලිනා සිය ගමන් බෑගයෙන් කළු පැහැ ෆයිල් කවරයක් එළියට ගන්නා අයුරු ගේල් දුටුවේය. ඉන්පසු ඕ එය විවෘත කොට පත්‍රිකා දෙකක් අතට ගත්තාය.
“මේ තියෙන්නෙ අපේ දික්කසාද ලියකියවිලි. මගේ නීතිඥයා මේ සේරම හදල තියෙන්නෙ. දැන් තියෙන්නෙ මේකට ඔයාගෙ අත්සන යොදන්න විතරයි. කරුණා කරලා…”
ඇඩෙලිනා පත්‍රිකා කිහිපය ගේල් වෙත දිගු කළේ අකාරුණික අයුරිනි. සැබවින්ම මේ අවස්ථාවේ ගේල්ට ඇයගේ යෝජනාවට විරුද්ධ වීමට කිසිම හේතුවක් නොවීය. අවුරුදු පහක් තිස්සෙ ඇඩෙලිනාගෙන් වෙන් වී හුදෙකලා ජීවිතයකට හුරු වී සිටි ගේල් නිකලස්ට මේ සිදුවීම අමුතු වේදනාකාරි කරුණක් නොවීය.
“කෝ දෙන්න. මම අත්සන් කරන්නම්. පෑනක් තියේද?”
ඇඩෙලිනා තම අත්බෑගය අවුස්සා පෑනක් සෙවූමුත් පෑනක් එහි නොවිණි. වටපිට බැලූ ඕ ගේල්ගෙන් ඒ පිළිබඳ විමසීය.
“ඔයා ළඟ නැද්ද පෑනක්..?”
“ඉන්න බලන්න…”
කාමර දෙකක කුඩා නිවෙසක් වූ ගේල්ගේ ගෙදර සෑම අස්සක් මුල්ලක් නෑරම පීරා සෙවූමුත් එහි පෑනක් නොවීය. කිසිත් කරකියාගත නොහැකි වූ ඔවුහු අවසන තීරණයකට එළඹුණහ.
“හරි. අපි පෑනක් ගනිමු. නැත්නම් කාගෙන් හරි ඉල්ලා ගනිමු. ඒක පොඩි වැඩක්.”
ගේල් සහ ඇඩෙලිනා නිවෙසින් එළියට විත්, ග්‍රේන්ච් මාවතින් නැවතත් කොස්කකෝක් ඇළ අයින දිගේ වූ මාර්ගයට පිවිසුණහ. කාගෙන් හෝ පෑනක් ඉල්ලාගැනීම හෝ අතරමඟ ඇති වෙළෙඳසලකින් පෑනක් මිල දී ගැනීම ඔවුන්ගේ අරමුණ විය. අතරමඟදී මුණගැසුණ හත් අට දෙනකුගෙන් විමසූ මුත් ඒ කිසිවකු ළඟ පෑනක් නොවීය.
“හරි වැඩේ නේ! දැන් මොකද කරන්නෙ? බලමු මේ ළඟ කඩවල් දෙක-තුනකුත් තියෙනවා…”
කුසගින්නත්, ගමන් මහන්සියත් යන දෙකම මුහුණින් පිළිබිඹු වන ඇඩෙලිනා දෙස බලා ගෝල් පැවසුවේ ඇය අස්වසාලන අටියෙනි. කෙසේ වෙතත් ඇඩෙලිනා තවමත් ඔහුගේ නීත්‍යනුකූල බිරියයි. ඒ නිසා අවසන් දින කිහිපයේ හෝ ඇයට යම් සහනයක් දිය යුතු යැයි ගේල් සිතුවේය.
“ආ… අර තියෙන්නෙ කඩයක්. ඉන්න මම පෑනක් අරන් එන්නම්.”
එසේ කී ඇඩෙලිනා සැණින් මාර්ගය පාර පැන්නාය. එකණෙහිම අධික වේගයෙන් ආ යතුරුපැදියක ඇය ගැටෙන අයුරුත්, ඉන්පසු යතුරුපැදිකරුවාත් ඇඩෙලිනාත් එක පොදියට පෙරළී ඇළ අයිනට විසි වන අයුරුත් සිහිනයක් සේ ගේල්ට දක්නට ලැබිණි. සියල්ල සිදු වීමට ගත වූයේ තප්පර පහකටත් අඩු කාලයකි.
දින දෙකකට පසු සිහිය ලැබෙන විට ඇඩෙලිනා සිටියේ මෙඩිලෑන්ඩ් රෝහලෙහි පස්වැනි වාට්ටුවේ සය වැනි ඇඳ මතය. වම් පාදයෙහි ස්ථාන හතරකින් අස්ථි බිඳී ඇති බවත්, ඇගේ හිස මාර්ගයෙහි ගැටීම නිසා වූ කම්පනයෙන් දින දෙකක් සිහිසුන්ව සිටි බවත් හෙදියක විසින් ඇයට දන්වා සිටින ලද්දේ සිහිය ලබා පැයකට කිහිපයකට පසුවය.
“ඇඩෙලිනා මහත්මිය, ඔයාට තවම කතා කරන්න හොඳ නෑ. සති කිහිපයක් ඔයාට හොස්පිටල් එකේ ඉන්න වෙයි. ඔයාගේ එමර්ජන්සි ඉන්ෆෝම් කාඩ් එකේ තිබුණ විදියට අපි එඩියුරෝ ඩීගෝ කියන අංකයට දැනුම් දීමක් කළා. එහෙත් මේ වන තුරු ඔහු ආවෙ නෑ…”
හෙදියගේ වචන ඇඩෙලිනාට පැහැදිලිව ඇසුණ මුත් එයට පිළිවදන් දෙන්න තරම් සන්සුන් බවක් ඇයට නොතිබිණි. හිසෙන් නැඟී එන වේදනාව පරයා කකුලෙන් දැනෙන වේදනාව වැඩි විය. ඊටත් වඩා දින දෙකකට පෙර තමාට වූ මේ විපත පිළිබඳ දැන දැනත් ඩීගෝ තමා බැලීමට නොපැමිණීම ගැන සිතට දැනෙන වේදනාව තවත් වැඩි විය.
“කමක් නෑ… එයාට වැඩ ඇති…”
තම පෙම්වතා වූ ඩීගෝට තමා මුහුණ පෑ අනතුර ගැන කියා ඇඩෙලිනා පණිවිඩයක් තැබීය. ඇතැම් විට තමාගේ වම් පාදය යළිත් යථා තත්ත්වයට පත් කරගැනීම අවිනිශ්චිත බවද ඕ එහි සඳහන් කළාය. ඊට පිළිතුරු වශයෙන් ඩීගෝ ‘ටේක් කෙයා’ යන වචන දෙක පමණක් ලියා තිබිණි.
පසුදින උදයේ ගේල් පැමිණ ඇඩෙලිනාගේ යහන අසල පුටුවක හිඳගත්තාය. හිසට සිදු වූ අනතුර හේතුවෙන් ඈ සමඟ කතා කර වෙහෙසට පත් නොකරන ලෙස රෝහල් වෛද්‍යවරයා ගේල්ට පවසා තිබිණි. ඇයගේ තත්ත්වය කෙමෙන් යහපත් අතට හැරෙන බව දත් ගේල් සෙමෙන් ඇයගේ අත අල්ලා නැවතත් සවස පැමිණෙන බව පවසා නික්ම ගියේය. මෙසේ තවත් දින දෙකක් ගෙවී ගියද ඩීගෝ තම පෙම්වතිය වූ ඇඩෙලිනා බැලීමට රෝහලට පැමිණියේ නැත. එහෙත් ගේල් සෑම දිනකම දවසට දෙවරක්වත් විත් ඇඩෙලිනාගේ සුවදුක් විමසීමට උනන්දු විය. පස්වැනි දිනය වන විට ඇඩෙලිනා සාමාන්‍ය පරිදි කථා කිරීමට රෝහල්හාර වෛද්‍යවරු අවසර දුන්හ. එහෙත් පාදයෙහි ඇති අස්ථී ආබාධය සුව වීමට මෙතැන් සිට තවත් මාස තුන හතරක් ගත වන බවත්, ඇයට සතියකින් පසු රෝහලෙන් බැහැර වී නිවෙසේ සිට ප්‍රතිකාර සඳහා යොමු විය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් කියා තිබිණි. ඒ අවසරයෙන් ඇඩෙලිනා, ඩීගෝගේ දුරකතනයට ඇමතුමක් ගත්‍තේ ඔහු තමා බැලීමට නොපැමිණීම ගැන ඔහුට දොස් තැබීමටය. එහෙත් ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිත කොට තිබිණි. දෙතුන් වරක් උත්සාහ කළ ඇය අවසානයෙහි ඩීගෝ නවාතැන් ගෙන සිටි නිවෙසේ පාලිකාව ඇමතුවාය. අනෙක් පසින් වයසක නිවෙස් හිමිකාරියගේ කටහඩ ඇසිණි.
“හායි! මම ඇඩෙලිනා ලිලියානා. මට කරුණා කරලා ඔබේ නිවෙසේ කුලියට සිටින ඩීගෝ මහතාට කතා කරන්න පුළුවන්ද? මම එයාගෙ ෆෝන් එකට ගත්තා. ඒත් ඒක වැඩ නෑ…”
“කාට කිවුවා? ඩීගෝට…?”
“ඔව්. එඩියුරෝ ඩීගෝ මහත්තයා.”
“හපෝ මතක් කරන්න එපා! ඒ මිනිහ දැන් දවස් දෙකකට විතර කලින් කාටත් හොරෙන් මෙහෙන් ගිහිල්ලා. මට මාස දෙකක සල්ලි දුන්නෙත් නෑ. මම එයා වැඩ කරන තැනටත් ගියා. එහෙනුත් අස් වෙලා තමයි මිනිහ අතුරුදන් වෙලා තියෙන්නෙ…”
නිවෙස් හිමි කාන්තාව එපමණක් පවසා ඇමතුම විසන්ධි කළාය. ඇඩෙලිනා කිසිවක් සිතාගත නොහැකිව රෝහල් සිවිලිම දෙස බලාගත්තාය. සිදුව ඇති දෙය සහ ඩීගෝගේ නියම ස්වරූපය ඇයට තේරුම් යමින් තිබිණි. ඇඳට ඉහළින් සවි කර ඇති පංකාවෙහි පෙති තව සුළු මොහොතකින් ඉන් මිදී අවට අවකාශයට පාවී යන්න සැරසෙන්නාක් මෙන් ඇයට පෙනේ. අධික වෙහෙසටත්, කම්පනයකටත්, කෝපයටත් පත් ඇඩෙලිනා දෑස පියාගන්න සැරසෙන විටම අසලින් ඇසුණු අඩි ශබ්දයකින් නැවත දෑස් විවර කළාය. රෝහල් සයනය අසල සිනා මුසු මුහුණකින් යුත් ගේල් කරුණාවන්ත ලෙස තමා දෙස බලා සිටින බව ඇයට පෙනිණි. ඇඩෙලිනා සමඟ දැන් කතාබහ කළ හැකි බව හෙදියන් ගේල්ට දන්වා තිබේ. දෑස් හළ ඇඩෙලිනා ගේල් දෙසට හැරී යමක් පවසන්න උත්සාහ කරද්දීම සිය දෙතොල් මත ඇඟිල්ලක් තැබූ ගේල් ඇය නිහඬ කළේය.
“ඉන්න. ඔයාට තවම හොඳ නෑ… ඒත් මේකනේ ඔයා ඉල්ලන්න හැදුවෙ..?”
පවසා සාක්කුවෙන් පෑනක් රැගෙන එය ඇඩෙලිනා දෙසට දිගු කළේය.
“දැන් හරි. කෝ අර ලියකියවිලි ටික..?”
තවදුරටත් තමාට පෑනක් අවශ්‍ය නොවන බව කෑගසා කියන්න ඕනෑ වුණත් ගුප්ත අදෘශ්‍යමාන කිසිවකු හෝ තමාගේ උගුර සිර කරගෙන ඒ වචන යළිත් සිරුර තුළට අදිමින් සිටින අයුරක් ඇඩෙලිනාට දැනෙන්න විය. ඕ දෑස් පියාගත්තාය.
***
ඉන් මාස කිහිපයකට පසු කොස්කකෝක් ඇළ අයිනෙන් වැටුණ මාර්ගයෙහි ගමන් ගන්නා බන්ධනාගාර රථයකි. එහි උන් එක් අතක ඇපල් ගෙඩියක් තරමේ උපන් ලපයක් ඇති රැඳවියකුට දක්නට ලැබුණේ රෝද පුටුවක හිඳගත් රූමත් කාන්තාවක සහ එය තල්ලු කරගෙන යන උස, තැන්පත්, ප්‍රසන්න පුද්ගලයකුගේ දසුනකි. රැඳවියාට දිගු සුසුමක් හෙළිණි.
lජගත් ප්‍රසන්න කුරුගම