ගාසා යුද්ධයෙන් පලස්තීන දරුවන් මුහුණ දෙන ඛේදවාචකය මනාව පිළිබිඹු කරන ඉතා සංවේදී ඡායාරූපයක් World Press Photo සංවිධානය විසින් ‘වසරේ මාධ්‍ය ඡායාරූපය 2025‘ ලෙස නම් කරනු ලැබීය. එම ඡායාරූපය ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරයකින් දෑත් අහිමිවූ 9 හැවිරිදි මහ්මුද් අජූර්ගේය.
මේ කුඩා දරුවාට දෑත් අහිමිවූයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිදී පලා යමින් සිටියදීය. ආපසු හැරී සිය පවුලේ සාමාජිකයන් දිරි ගන්වමින් සිටි දරුවා ප්‍රහාරයට මැදි වූ බව එම ඡායාරූපය නම් කිරීමෙන් පසු වර්ල්ඩ් ප්‍රෙස් සංවිධානය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

සමාර් අබු ඉලූෆ්
අමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් සඟරාව වෙනුවෙන් එම ඡායාරූපය ගනු ලැබුවේ පලස්තීන ඡායාරූප ශිල්පි සමාර් අබු ඉලූෆ් ය. ඊට දින කිහිපයකට පසු හදිසි ප්‍රතිකාර සඳහා ගාසා තීරයෙන් නික්ම යෑමට අවසර ලද ඉතා සුළු පලස්තීනුවන් පිරිසක් සහ සිය පවුලේ සාමාජිකයන් සමඟ මහ්මූද් අජූර් කටාර් රාජ්‍යයට සේන්දු වූ අතර, ඡායාරූප ශිල්පියා සිය කැමරා කාචයට ඔහු හසුකරගනු ලැබුවේ එහිදීය.
සිය දෑත් ඉවත් කර ඇති බව මුලින්ම දරුවා දැනගත් මොහොතේ මවගෙන් විමසා ඇත්තේ ‘මම දැන් කොහොමද ඔබව වැලඳගන්නේ..?‘ කියාය. වසරේ මාධ්‍ය ඡායාරූපය තෝරා ගැනීම සඳහා එම ඡායාරූපය ඉදිරිපත් කිරීමේදී ඡායාරූප ශිල්පි සමාර් අබු ඉලූෆ් එම ඡායාරූපයට යොදාගත් ශීර්ෂ පාඨය ද එය විය. මේ වසරේ හොඳම මාධ්‍ය ඡායාරූපය තෝරා ගැනීමේදී ජූරි සභාව යුද්ධය, සංක්‍රමණය සහ දේශගුණික විපර්යාස තේමාවන් ඔස්සේ සිය නිරීක්ෂණය සිදු කර ඇති අතර, දරා ගැනීමේ හැකියාව, සිය පවුල සහ ප්‍රජාව පිළිබිඹු කිරීම ද අවධානයට ලක්වූ බව ජූරියේ විනිසුරුවරියක ලෙස කටයුතු කළ ලුසී කොන්ටිසෙලෝ ප්‍රකාශ කර තිබේ.
ආලෝකය සහ අඳුර මෙන්ම සුන්දරත්වය සහ වේදනාව එකට කැටි කළ මහමූද් අජූර්ගේ ඡායාරූපය ජූරියේ ඒකමතික තීරණය වූ බව ද ඇය ප්‍රකාශ කර තිබේ. ජයග්‍රාහී ඡායාරූපය තෝරාගනු ලැබුවේ රටවල් 140කට වැඩි ප්‍රමාණයකින් ඡායාරූප ශිල්පීන් 3,778 දෙනකු විසින් ඉදිරිපත් කරනු ලැබූ ඡායාරූප 60,000කට ආසන්න සංඛ්‍යාවකින් බවද World Press Photo සංවිධානය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.
ෆවුස් මොහොමඩ්