දිළින්දන් සහ අමතක කළවුන් වෙනුවෙන් තම ජීවිත කාලය පුරාම සටන් කළ මහජනයාගේ පාප් වහන්සේ’ නමින් ලෝකයේම ආදර ගෞරවයට පාත්‍ර වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල කටයුතු සිදු වන්නේද උන් වහන්සේගේ ජීවන විලාසය තරම්ම අපූරු චාම් සහ සරල බවකිනි. ඒ, සියවසකට අධික කාලයක් පැවති පාප් වහන්සේ කෙනකුගේ අවමඟුල් සම්ප්‍රදාය වෙනස් කරමින්, සරල සහ නිහතමානිත්වයේ ආදර්ශය ලොවට කියා පාමිනි.
පාප්වරයකුගේ අවමංගල කටයුතු වඩාත් විචිත්‍රවත්ව සිදු කිරීම සම්ප්‍රදාය වුවද, සිය අවසන් කටයුතු ඉතා සරලව සිදු කරන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වසර 2022දී සකස් කළ ආධ්‍යාත්මික අවසන් කැමැත්ත මඟින් ප්‍රකාශ කර ඇති බව වතිකානය නිවේදනය කළේය. ඒ අනුව මෙතෙක් සිටි සෑම පාප්වරයකුගේම දේහය තැන්පත් කිරීමට භාවිත කළ සයිප්‍රස්, ඊයම් සහ ඕක්වලින් සෑදු මිනී පෙට්ටියක් වෙනුවට ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය තැන්පත් කෙරුණේ සින්ක්වලින් ආවරණය කළ සරල ලී පෙට්ටියකය. පාප් වහන්සේගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා සාන්ත පීතර බැසිලිකාවේ උස් වේදිකාවක් මත තැබීමේ සම්ප්‍රදායද උන් වහන්සේ බැහැර කර තිබේ. එපමණක් නොව, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සිරුර මිහිදන් වන්නේ මෙතෙක් පාප් වහන්සේලාගේ දේහයන් මිහිදන් කළ සාන්ත පීතර බැසිලිකාවේ නොව වතිකානයට අයත් රෝමයේ සාන්ත මරියා මැජෝරේ බැසිලිකාවේදීය. මේ බැසිලිකාව පිහිටා ඇත්තේ ඉතාලියේ රෝම අගනුවර ටර්මෙනි ප්‍රධාන දුම්රියපොළ අසලය.
ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සාන්ත මරියා මජෝරේ බැසිලිකාවට විශේෂ ආදර භක්තියක් දැක්වූ බවත් එහි තැන්පත් කර ඇති ‘රෝමයේ ආරක්ෂිකාව වන අපගේ ස්වාමිදුව’ පින්තූරය ඉදිරිපිට පෞද්ගලික යාච්ඤාවේ නිරත වූ බවත් පැවසේ. රෝමයෙන් පිටත ගමනක් යන්නට පෙර හා පසුවත් රෝහල්ගත වීමකට පෙර හා පසුවත් එසේ යාච්ඤා කිරීමට පුරුදු වී සිටි උන්වහන්සේ පාප් ධුරයෙන් විශ්‍රාම ගත හොත් ඒ දෙව්මැඳුරට ගොස් සැදැහැවතුන්ට පාපෝච්චාරණ සක්‍රමේන්තුව ලබා දෙමින් අවසන් කාලය එහි ගත කරන බව ප්‍රකාශ කොට තිබූ බවද වාර්තා වේ. බරපතළ නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් සති පහකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා පැමිණ සුවය ලබමින් සිටි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත් 12 වැනිදාද සාන්ත මරියා මජෝරේ බැසිලිකාවට ගොස් දේව මාතා වහන්සේගේ පින්තූරය ඉදිරිපිට හිඳගෙන යාච්ඤා කළ බවද වතිකානය වාර්තා කළේය. 2022 ජූනි 29 වැනිදා උන් වහන්සේ සිය ආධ්‍යාත්මික අන්තිම කැමැති පත්‍රය සකසා ඇත්තේ මැජෝරේ දෙව්මැඳුරේ යාච්ඤා කරමින් වීමද විශේෂත්වයකි. දේවමාතාවන්ට ඉමහත් ආදර ගෞරවයක් දැක්වූ උන් වහන්සේ මේ පෞරාණික සිද්ධස්ථානය තුළ සිය මිහි මත ගමන අවසන් වේවා යැයි ප්‍රාර්ථනා කරමින් මෙසේද ඉල්ලා ඇත:
“මගේ සොහොන් ගැබ මීට අමුණා ඇති සිතියම අනුව රෝම ජනතාවගේ ආරක්ෂාව වන දේවමාතාවන්ගේ පල්ලිය අසල සූදානම් කරන්නැයි ඉල්ලමි. ඒ ගැබ පොළොවේ ඉතා සරලව, කිසිදු අලංකරණයකින් තොරව සෑදිය යුතුය. එහි තිබිය යුත්තේ එකම ශිලා ලේඛනයක් පමණි. එනම්: ‘ෆ්‍රැන්සිස්කුස්’ යන්න පමණි. මිහිදන් කිරීම සඳහා වැය වන මුදල පරිත්‍යාගශීලියකු විසින් කෙළින්ම සාන්තා මරිය මැජෝරේ සසුන් පිය බැසිලිකාවට යවනු ලැබීමට මා කටයුතු සලස්වා තිබේ. මේ පිළිබඳ අවශ්‍ය උපදෙස් මේ වන විටත් මවිසින් ලයිබේරියාන බැසිලිකාවේ විශේෂ කොමසාරිස් රෝලන්දාස් මැක්රිකාස් කාදිනල් හිමිපාණන්ට දී තිබේ.”
අන්‍යයන් පිළිබඳ අත්‍යාධික ප්‍රේමයෙන් පිරුණා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වකීය කැමැත්තෙන්ම වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ භූමියෙන් යට පිහිටි පාප් වහන්සේලාගේ සොහොන් ගැබක මිහිදන් නොවන ප්‍රථමයා වීම උන් වහන්සේගේ ශුද්ධවත් ජීවිතය පිළිබඳ නිහඬ සාක්ෂියකි. බුවනොස් අයර්ස්හි කාදිනල් අගරදගුරු හිමිට හිමි අගරදගුරු මැඳුරෙන් නික්ම සරල නිවාස සංකීර්ණයේ නිවෙසක ජීවත් වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය ගමනාගමනය සඳහා භාවිත කළේ බස් රිය සහ දුම්රියයි. පාප් වහන්සේ ලෙස වතිකානයේ ජීවත් වුවද උන් වහන්සේ සිය සරල දිවිපැවැත්මෙන් බැහැර නොවූ සේක. පසු කලෙක උන් වහන්සේගේ වාහනය වූයේ ඉතාලියේම නිෂ්පාදිත කුඩා ෆියට් රථයකි.
ලොව පුරා සියලු කතෝලිකයන්ගේ ආධ්‍යාත්මික නායකයා වූ 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ආඝාත තත්ත්වය නිසා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඉකුත් අප්‍රේල් 21 වැනිදා වතිකාන වේලාවෙන් පෙරවරු 7.35ට පමණ ස්වර්ගස්ථ වූ බව ඉන් පැය කිහිපයකට පසු වතිකානය විසින් නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ වතිකාන ජනතාව දැඩි ශෝකයෙන් ඇලළී ගිය බව ඒ අවස්ථාවේ එහි සිටි ජාතික කතෝලික ජනසන්නිවේදන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ගරු ලාල් පුෂ්පදේව පියතුමා පැවසීය.
“ඒ නිවේදනයත් සමඟ සාන්ත පීතර බැසිලිකාවේ ඝණ්ටාරය දිගටම නාද කරනු ලැබුවා. එතැන් සිට එම පරිශ්‍රය දහස් සංඛ්‍යාත බැතිමතුන්, සංචාරකයන් ඇතුළු විශාල
ජනතාවකගෙන් පිරී යන්න පටන් ගත්තා. පෙර දින පාස්කු මෙහෙය වෙනුවෙන් පැමිණියාටත් වඩා විශාල ජනතාවක් ඒ ස්ථානයට රැස් වෙමින් සිටියා. පාස්කු මංගල්‍යය වෙනුවෙන් බැසිලිකාවේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට අයර්ලන්තයෙන් ගෙන්වූ ස්වාභාවික මල්වලින් ඉතා අලංකාර ලෙස සැරසීම සම්ප්‍රදායයි. එසේ මලින් සැරසුණු බැසිලිකා පරිශ්‍රය තවදුරටත් මල්වලින් සැරසෙන්න පටන් ගත්තේ ස්වර්ගස්ථ වූ පාප් වහන්සේට හරසර පුද කරමින්. 2025 ජුබිලි වසර ප්‍රකාශයට පත් කරමින් මීට වසර 4කට පෙර පාප් වහන්සේ විසින් විවෘත කළ දොරටුවෙන් සාන්ත පීතර මහ බැසිලිකාවට ඇතුළු වූ ජනතාව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට දණින් වැටී අප සුදොතුම් පියතුමා වෙනුවෙන් දිගින් දිගටම යාච්ඤා කරනු දැකගත හැකි වුණා.”

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් ආශීර්වාදය
පාප් ධුරයට පත් වීමත් සමඟ දිළිඳුන් වෙනුවෙන් ජීවිතය කැප කළ අසීසියේ ෆ්‍රැන්සිස් නමැති ශුද්ධවන්තයාගේ නාමය සිය නාමය කොට ගත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාප් ධුරයට පත් වීමෙන් පසු සිදු කළ පළමු කථාවේදීම පෙරළිකාර ප්‍රකාශයක් කරමින් පැවසුවේ කතෝලික සභාව යනු කෞතුකාගාරයක් හෝ ප්‍රදර්ශනාගාරයක් නොවන බවත්, යුද පිටියක තුවාල වී ලේ ගලමින් සිටින ජනතාවට සත්කාර කරන රෝහලක් විය යුතු බවත්ය. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව සිය සළු සෙවණට කැඳවා දුන් ආධ්‍යාත්මික සහනය ගැන එහි වින්දිත ජනතාව සිහි කරන්නේ අප්‍රමාණ බැතියෙනි.
අවමංගල්‍ය කටයුතු සහ ශෝක කාලය
පාප් වහන්සේගේ මරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දින 9ක ශෝක කාලයක් ආරම්භ වූ අතර, පාප් වහන්සේගේ දේහය පළමුව සාන්ත මරියා මැජෝරේ බැසිලිකාවේ තැන්පත් කොට පසුව මහජන ගෞරවය සඳහා සාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කරනු ලැබිණි. ලෝක නායකයන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ බුහුමන්වලින් අනතුරුව 28 සෙනසුරාදා වතිකාන වේලාවෙන් උදෑසන 10.30ට ආරම්භ වූ අවමංගල මෙහෙයෙන් පසු ෆ්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ දේහය සාන්ත මරියා මජෝරේ බැසිලිකාවේ දෙව්මවු සෙවෙණේ මිහිදන් වන්නේ ලෝකයටම ක්‍රිස්තු ප්‍රේමය පසක් කළ උතුම් මිනිසකු ලෙස සුවහසක් හදවත් මත බොහෝ දයාර්ද්‍ර මතක ඉතිරි කරමිනි.
පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් හිස් වූ ශුද්ධාසනය
කතෝලික සභාවේ නායකයා වන පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමත් සමඟ ශුද්ධාසනය එළඹ ඇත්තේ හිස් වූ කාල පරිච්ඡේදයකටය. මේ කාල පරිච්ඡේදය ‘සෙදේ වකන්තේ’ (Sede Vacante) ලෙස හැඳින්වෙන අතර, ‘හිස් ආසනය’ යන්න එහි ලතින් අරුතයි. පාප් වහන්සේගේ මරණය සහ නව පාප්වරයකු තේරී පත් වීම අතර මේ කාලයේදී කතෝලික සභාවේ පාලනය තාවකාලිකව කාදිනල් මණ්ඩලය වෙත පැවරේ. මේ සමය අතරතුර කාදිනල් මණ්ඩලයට ගත හැක්කේ සභාවේ දෛනික කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය තීරණ පමණක් වන අතර, ප්‍රධාන ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ඔවුන්ට බලයක් නැත. ඒ අනුව කැමර්ලෙන්ගෝ කාදිනල්වරයා සභාවේ භෞතික දේපොළ සහ මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීමේ වගකීම දරමින් අපෝස්තලික මාලිගය, ලැටරන් මාලිගය සහ කැස්ටල් ගන්ඩොල්ෆෝහි දෛනික කටයුතු අධීක්ෂණය කරයි. මේ කාලය අතරතුර වතිකානයේ රාජ්‍ය ලාංඡනයද වෙනස් වන අතර, ශුද්ධෝත්තම පාප් වහන්සේගේ මරණය හෝ විශ්‍රාම යෑම හේතුවෙන් පාප් ධුරය හිස් වූ විට භාවිත කරන විශේෂ නිල ලාංඡනය භාවිත කෙරේ.
පාප් වහන්සේගේ මරණය තහවුරු කිරීමෙන් පසු උන් වහන්සේගේ නිල මුද්‍රාව ලෙස භාවිත කළ ‘ධීවර මුදුව’ (Fisherman’s Ring) සහ අනෙකුත් නිල මුද්‍රා විනාශ කරනු ලබන්නේ උන් වහන්සේගේ නමින් තවදුරටත් ලේඛන හෝ නියෝග නිකුත් කළ නොහැකි බව සහතික වීම සඳහාය. එමෙන්ම පාප් වහන්සේගේ පෞද්ගලික කුටි සහ කාර්යාලය (Papal Apartments) මුද්‍රා තබන අතර, උන් වහන්සේ නිවාඩු සඳහා භාවිත කළ කැස්ටල් ගන්ඩොල්ෆෝහි (Castel Gandolfo) කුටි සාමාන්‍යයෙන් මුද්‍රා තබනු නොලබන්නේ එහි වැදගත් ලේඛන නැති බැවිනි.
නව පාප් වහන්සේ තෝරා ගැනීම
නව පාප්වරයකු තෝරා පත් කරගැනීමේ අතිශය රහසිගත ඡන්ද ක්‍රියාවලිය ‘කොන්ක්ලේව්’ ලෙස හැඳින්වේ. පාප් වහන්සේගේ අවමංගල කටයුතුවලින් පසුව ලොව පුරා සිටින කාදිනල්වරු රෝමයේදී රැස් වී සභාවේ වත්මන් තත්ත්වය සාකච්ඡා කර, වතිකානයේ සිස්ටීන් දේවස්ථානයේදී කොන්ක්ලේව් සමුළුව ආරම්භ කරන දිනය තීරණය කරති. කාදිනල් මණ්ඩලයේ ප්‍රධානියා මේ රැස්වීම්වල මුලසුන හොබවයි. නව පාප්වරයකු තේරී පත් වීමට තුනෙන් දෙකක බහුතර ඡන්දයක් අවශ්‍ය වේ. ඡන්ද විමසීම් වට කිහිපයක් පැවැත්වෙන අතර, එක් එක් වටයෙන් පසු ඡන්ද පත්‍රිකා පුලුස්සා දමනු ලැබේ. වයස අවුරුදු 80ට අඩු සියලු කාදිනල්වරුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි අතර, රහස්‍යභාවය සුරැකීමට ප්‍රතිඥා දෙති.
දුම් කවුළුවේ සංඥාව
නව පාප් වහන්සේ තේරී පත් වන තුරු සාන්ත පීතර චතුරශ්‍රයේ රැස්ව සිටින ජනතාවටත් සමස්ත ලෝකයාටත් ඒ පණිඩඩය පිළිබඳ ලැබෙන පළමු ඉඟිය සිස්ටීන් දේවස්ථානයේ දුම් කවුළුවෙන් පිට වන දුමයි. ඡන්ද වටයකින් පසු නව පාප්වරයකු තේරී පත් වී නැති නම්, ඡන්ද පත්‍රිකා පුලුස්සන විට රසායනික ද්‍රව්‍යයක් එකතු කිරීමෙන් කළු දුමක් නිකුත් කෙරේ. නව පාප්වරයකු තේරී පත් වූ විට සුදු දුමක් නිකුත් කෙරේ.
සුදු දුමාරය දිස් වීමෙන් පසු කාදිනල් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කාදිනල් උපස්ථායකවරයා සාන්ත පීතර බැසිලිකාවේ මධ්‍යම සඳලුතලයට පැමිණ, ‘හබේමුස් පාපම්’ (Habemus Papam – අපට පාප්වරයෙක් සිටී) යනුවෙන් ලතින් බසින් ප්‍රකාශ කරයි; ඉන් පසු නව පාප් වහන්සේගේ නම සහ එතුමන් තෝරාගත් පාප් නාමය ප්‍රකාශයට පත් කරයි. අනතුරුව නව පාප් වහන්සේ සඳලුතලයට පැමිණ, රෝම නගරයට සහ මුළු ලෝකයටම සිය පළමු අපෝස්තලික ආශීර්වාදය ලබා දෙයි.
මෙවර පාප් නිලවරණය
මෙවර පාප් වහන්සේ තෝරාගන්නා ඡන්දයට සහභාගි වීමට කාදිනල්වරුන් 135 දෙනකු සුදුසුකම් ලබා සිටින අතර, කොළඹ අගදරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝද ඒ අතර වෙති. පාප් ධුරයට පත් වන කාදිනල්වරුන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන අතර, මැල්කම් කාදිනල් හිමිගේ නමද ඒ අතර වේ. මේ පිළිබඳ අපි කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ සහ ජාතික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමාගෙන් විමසීමක් කළෙමු.
“එවැනි ප්‍රමුඛතාවක් සිදු වන්නේ නැහැ. එවැනි ලැයිස්තුවක් සංසරණය වන්නේ කාදිනල්වරුන්ගේ ජනප්‍රියතාව මුල් කරගෙනයි. අප දන්නවා අප මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද ජනප්‍රිය කාදිනල්වරයකු බව. කෙසේ වෙතත් ඉතා පැහැදිලිව කිව යුත්තේ පාප් වහන්සේ කෙනකු තෝරාගැනීම මුළුමනින්ම දේවානුභාවය සහ දේවාශීර්වාදය මත සිදු වන ක්‍රියාවලියක් බව.”
පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම සිහි කරමින් මේ දිනවල කිතුනු දේවස්ථානවල සීනු නාද කිරීම විශේෂ ආකාරයකට සිදු වන බවද පියතුමා පැවසීය. ඒ අනුව තුන්කාල ආරාධනාව වෙනුවෙන් සීනුව නාද කිරීම සිදු වන්නේ සාමාන්‍ය ආකාරයට එක් වර සීනුව තෙවරක් නාද කිරීම ලෙස නොව, එක් වරක් සහ පස් වරක් ලෙසටය. කොළඹ වතිකානු තානාපති කාර්යාලයේ තබා ඇති විශේෂ ග්‍රන්ථයේ පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමින් සටහනක් තැබීමට ඕනෑම අයකුට අවස්ථාව තිබෙන බවද ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමා සඳහන් කළේය. අප්‍රේල් 26 වැනිදා ශ්‍රී රජය ශෝක දිනයක්ද ප්‍රකාශයට පත් කළේය.
“මට ප්‍රේම කරන අයටත් මා වෙනුවෙන් නොකඩවා යාච්ඤා කරන අයටත් නිසි ත්‍යාගය සමිඳාණන් වහන්සේ දානය කරන සේක්වා! මගේ ජීවිතයේ අවසන් භාගයේ මා හට විඳින්න සිදු වූ සියලු දුක් වේදනා, ලෝකයේ සාමය උදෙසාත් සියලු ජනතාව අතර සහෝදරත්වය උදෙසාත් මම ස්වාමීන් වහන්සේට ඔප්පු කරමි.”
මිහි මතින් සමු ගැනීමට පෙර දින (20) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෝකවාසි ජනතාවට පාස්කු සුබපැතුම් එක් කළේ එලෙසිනි. මෙලොවදීම සාන්තුවර භාවය ප්‍රකට කළ උන් වහන්සේගේ ආත්මය මේ වන විටත් සුරදූතයන් සමඟ දේව ප්‍රශංසා ගායනා කරමින් ස්වර්ගීය සැපත ලබනවාට සැක නැත.
සුදොතුම් පිය දිවි සැරියේ මතක සටහන්
උපත: 1936 දෙසැම්බර් 17, ආර්ජන්ටිනාවේදී
ගිහි නම: හොසේ මාරියෝ බෙර්ගෝග්ලියෝ
පූජාත්වරය: 1969 දෙසැම්බර් 13 (ජේසු නිකාය)
අගරදගුරු ධුරයට පත් වීම: 1998 පෙබරවාරි 28 (ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හි අගරදගුරු බවට)
කාදිනල් ධුරයට පත් වීම: 2001 පෙබරවාරි 21 (දෙවැනි ජුවාම් පාවුලු පාප්තුමන් විසින් කාදිනල් ධුරයට ඔසවන ලදි)
පාප් ධුරයට පත් වීම: 2013 පෙබරවාරි 28 (16 වැනිදා බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා ධුරයෙන් ඉල්ලා අස් වීමත් සමඟ හිස් වූ පාප් තනතුර සඳහා එතුමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස 2013 මාර්තු 13 වැනිදා පළමුවැනි ෆ්‍රැන්සිස් ලෙස කතෝලික සභාවේ නායකත්වයට පත්වූයේ 266 වැනි පාප්තුමා ලෙස මෙන්ම ලතින් ඇමෙරිකානු රටකින් පාප් ධුරයට පත් පළමු වැන්නා ලෙසිනි)
සුවිශේෂිතා: අසීමිත හා නොහික්මුණු අන්දමින් ධනය රැස් කිරීමට විරෝධය ප්‍රකාශ කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගබ්සාව, අන්‍යාස මරණය, ගැබ්ගැනීම වැළැක්වීමේ උපක්‍රම, සමලිංගිකත්වය, කාන්තාවන් සඳහා පූජාත්වරය පිරිනැමීම හා පූජකතුමන්ලාගේ බ්‍රහ්මචාරි ජීවිතය පිළිබඳ ශුද්ධ වූ සභාවේ සම්ප්‍රදායන් ඒ ආකාරයයෙන්ම ආරක්ෂා කළ අතර, පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් හා වගකීම් සහිත වූ සංවර්ධනයක් වෙනුවෙන් හඬ නැඟූහ. සමාජීය අසමානතාව, ගෝලීය ධනවාදය සහ මුදල් පමණක්ම මූලික වූ සමාජ ක්‍රමය පිළිබඳ නිරන්තර විවේචකයකු වූ උන් වහන්සේ ලෝක සාමය වෙනුවෙන් බොහෝ දෑ කළ සේක. මුස්ලිම්වරුන්, යුදෙව්වන්, ලෝකවාසි බෞද්ධ ප්‍රජාව සමඟ සබඳතා ශක්තිමත් කරමින් එක්සත් ජනපද – කියුබා සාම සාකච්ඡා සඳහා මෙන්ම යුක්රේනය, සිරියාව, පලස්තීනය සහ බොහෝ ගැටුම් තිබූ කලාපවල සාමය වෙනුවෙන් පෙනී සිටියහ. පලස්තීනයේ සමූලඝාතන ගැන බොහෝ කම්පා වූහ. පූජක පක්ෂය සහ ගිහි ජනතාව සමාන බවත්, සියලු දෙනා එකෙනිකාගේ කාර්යභාරය තුළ සේවය කළ යුතු බවත් පෙන්වා දුන් උන් වහන්සේ පූජක පක්ෂයට එල්ල වී තිබූ ඇතැම් ලිංගික අපයෝජන සම්බන්ධ චෝදනා සඳහා ප්‍රසිද්ධියේ සමාව ගැනීමට නිහතමානී වූහ. ඒ සියල්ල කතෝලික සභාවේ පැහැදිලි ධනාත්මක පර්වර්තනීය යුගයක් පෙන්නුම් කළේය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමට පෙර ඉකුත් 12 වැනිදා සාන්ත මරියා මැජෝරේ බැසිලිකාවේ තමා වඩාත් ප්‍රිය කළ දේවමාතා පින්තුරය ඉදිරිපිට හිඳගෙන යාච්ඤා කළ අවස්ථාව

මැල්කම් කාදිනල් හිමිපාණන් පාප්වහන්සේට අවසන් ගෞරව දැක්වූ අයුරු