බීජිංහි දීප්තිමත් හිරු එළිය රතු චතුරශ්‍රය ආලෝකවත් කළේය. පිටත, නූතන චීනයේ නිර්මාතෘවරයා වන මාඕ සේතුංට උපහාර දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නොඉවසිලිවන්තව බලා සිටියහ.
‘තියැනමෙන්’ රතු චතුරශ්‍රයට දිනකට ලක්ෂ සංඛ්‍යාත අමුත්තෝ පැමිණෙති. කෙසේ වෙතත්, අධික ජනකායක් පැමිණීම හේතුවෙන්, සංචාරකයන් තම සංචාරය කලින් ලියාපදිංචි කළ යුතු බවට චීන බලධාරීන් නියෝග කර ඇත.
මගේ කාර්යබහුල සම්මන්ත්‍රණ කාලසටහන නිසා දුර සංචාරයකට අවස්ථාවක් නොමැති විය. ඒ වෙනුවට මම කිට්ටුම නැඟෙනහිරට වන්නට පිහිටි ‘වැන්ග්ෆුජින්’ උමං දුම්රිය ස්ථානය වෙත පියනැඟුවෙමි. දුම්රියෙන් උමං මාර්ගය දිගේ චීනයේ ජාතික කලා කෞතුකාගාරයට (NAMOC) වෙත පැමිණියෙමි. මේ සඳහා මට යුවාන් තුනක් වැය විය.
කෞතුකාගාරයෙන් පිටත සිටි ආරක්ෂක නිලධාරීන් මගෙන් ඇසුවේ “ඔබ ලියාපදිංචි වුණා ද?” යනුවෙනි (මතක තබාගන්න: මේ සියලු සංවාද ස්මාර්ට්ෆෝන්වල පරිවර්තන යෙදුම් මඟින් සිදු කරන ලදි). කෙසේ වෙතත්, මගේ සහනයට, ඔවුහු මගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්ෂා කර, මට ඇතුළට යෑමට ඉඩ දුන්හ.
කලා කෘති

චීන ජාතික කලා කෞතුකාගාරය ඇතුළත සිතුවමක්
මා ගිය දිනයේ නැමොක්හි(NAMOC) ප්‍රදර්ශන කිහිපයක් තිබිණි. පළමු මහලේ ප්‍රදර්ශන තුනක් විය. සර්පයාගේ වසර සැමරීම, පියරේ කැරන්ගේ පරිත්‍යාග කරන ලද කෘති ප්‍රදර්ශනය සහ පස් මහා කඳුකරයේ සුන්දරත්වය පෙන්වන විවිධ නිර්මාණ මෙහි විය.
චීන රාජ්‍ය ගොඩනැඟිලි අතර නැමොක්(NAMOC) ගොඩනැඟිල්ල මගේ යටි සිත අවදි කළේය. එහි නිමැවුම බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලව හා සමාන විය. එය දෙරටේ මිත්‍රත්වය යා කරන පාලමක් වැන්න. ශාලාව තුළ වූ විශාල අවකාශයත්, චීන සංස්කෘතියට අනුව සෞභාගයේ පැහැය වූ රතු වර්ණයෙන් යුතු දද පතාක හා බුමුතුරුණු මෙම ගොඩනැඟිලි පරිශ්‍රයට අමුතුම තේජසක් එක්කර තිබිණි.
දෙවැනි මහලේ පැවති ප්‍රදර්ශනය ‘ජීවිතයේ සුන්දරත්වය’ විදහපාන නූතන චීන ජනජීවිතය කියාපාන සමකාලීන කලාකරුවන්ගේ මූර්ති සහ සිතුවම්වලින් වර්ණවත් වී තිබිණ. පර්යේෂණ දත්ත රැස් කිරීම සඳහා ඩ්‍රෝන යානයක් පියාසර කරන විද්‍යාඥයින් දැක්වෙන දැවැන්ත සිතුවම නූතන චීනයේ ගමන් මඟ සාරාංශ කර දක්වන්නකි.
අනතුරුව මම තෙවැනි මහලේ වූ ප්‍රදර්ශනයට බැලීමට ගියෙමි. මා නැවත ලංකාවට ආවා මෙන් මට දැනිණි. බුද්ධ ප්‍රතිමා සහ බෞද්ධ විහාර කලාව කොරිඩෝව පුරා විසිරී තිබිණි.
චීනයට බෞද්ධ ධර්මය පැමිණියේ ගන්සු හී සේද මාවත දිගේය. බටහිරින් ෂින්ජියැං, නැඟෙනහිරින් අභ්‍යන්තර මොන්ගෝලියාව සහ දකුණින් සිචුආන් අතර උතුරුමැද ගන්සු පිහිටා තිබීම ඒ සඳහා හේතුවන්නට ඇතැයි සිතිය හැකිය. වසර 2,000කට පෙර භික්ෂූන් වහන්සේලා සේද මාවත දිගේ වෙළෙඳ තවලම් සමඟ ගමන් කළ අතර ඔවුන් හරහා බුදුදහම චීනයට ඇතුළු විය.
ඓතිහාසිකව, චීන ඉතිහාසයේ පළමු අධිරාජ්‍ය රාජවංශය ස්ථාපිත කළ ‘චින්’ රාජ්‍යය ආරම්භ වූයේ අද ගිනිකොනදිග ගන්සු ලෙස හඳුන්වන ප්‍රදේශයෙනි. උතුරු සේද මාවත හෙක්සි කොරිඩෝව හරහා ගමන් කරන අතර, එය ගන්සු හරහා වැටී තිබිණි.
ෂෙන්ග්ලියැං භික්ෂුව හමුවීම
ප්‍රදර්ශන භාණ්ඩ වටා ඇවිද ගොස් තෑගි සාප්පුවෙන් භාණ්ඩ කිහිපයක් මිල දී ගැනීමෙන් පසු, මම නැවත වරක් පිටතට ගොස් බීජිං වීදිවලට ගියෙමි.
අනතුරුව කොතැනකට යන්නේදැයි මම කල්පනාවේ සිරව සිටියෙමි. අඳුරු අළු පැහැති වස්ත්‍රවලින් සැරසුණු ප්‍රීතිමත් චීන බෞද්ධ භික්ෂුවක් නැමොක් වෙතින් පිටතට යනවා මම දුටුවෙමි. මම කඩිමුඩියේ මගේ අදහස චීන බසට පරිවර්තනය කර මගේ දුරකතනය පෙන්වූවෙමි. “ඔබ ෂැවොලින් භික්ෂුවක් ද?” ඔහු සිනා සෙමින් නැවත ටයිප් කළේය.
“නැහැ. ඒත් මම ෆයුවාන් පන්සලේ භික්ෂුවක්.”
“අනේ හාමුදුරුවනේ, මට ඔබ සමඟ ඔබේ පන්සලට එන්න පුළුවන් ද?” නමුත් එයට ඔහු යම් අකැමැත්තක් පෙන්නීය. මා ව්‍යාකූලත්වයට පත්විය. මම නැවතත් හඬ අවදි කළේය. “ අපේ රටේ බෞද්ධ විහාරස්ථාන රාශියක් තිබෙනවා.” ඔහුගේ මුහුණ වෙනස් විය. “ඔබ ලංකාවේ කෙනෙක් ද?; මොනතරම් පුදුමයක් ද! මා පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළා”. “ඔබ ගියේ කුමන නගරයට ද?” මම නැවතත් ප්‍රශ්න කළෙමි. “මහනුවර” භික්ෂුවගේ පිළිතුර විය. “මගේ ගෙවල් තියෙන්නේ එහේ” මම පිළිතුරු දුනෙමි.
එතැන් සිට අපි මිතුරන් බවට පත්වීමු. අපි උමං දුම්රිය ස්ථානයට ඇවිද ගියෙමු. මම ඔහුගෙන් ඉංග්‍රීසි කතා කරනවා දැයි ඇසුවෙමි. යම් තරමකට පුළුවන් බව ඔහු පැවසීය. භික්ෂුවගේ නම ෂෙන්ග්ලියැං බව මම දැන ගත්තේ ද ඒ අතරතුරය.
වඳුරු රජුගේ පුරාවෘත්තය
මම ඔහුට නැමොක් හි ‘ගන්සු’ සේද මාවතේ ප්‍රදර්ශනයේ ඡායාරූප පෙන්වීමි. ඔහු සිනාසෙමින් අප ගමන් කිරීමට නියමිත ‘කයිෂි කෝ’ දුම්රිය ස්ථානයට ටිකට්පත් දෙකක් මිල දී ගත්තේය.
අප ගමන්ගන්නා අතරතුර, නැවතත් එම ප්‍රදර්ශනයේ ඡායාරූප පෙන්වමින් චීන සංස්කෘතියට මගේ ඇති ආදරය, කැමැත්ත ප්‍රකාශ කළෙමි. අනතුරුව මගේ ප්‍රියතම චීන සම්භාව්‍ය පුරාවෘත්තය වූ වඳුරු රජුගේ Monkey King ගැන කතා කරන්න පටන් ගතිමි. භික්ෂුව නැවතත් ඔහුගේ දුරකතනය ගෙන එක් සිතුවමක් විශාල කර එක් කඳු බෑවුමක කතාවේ ප්‍රධාන චරිත වන වඳුරු රජු, භික්ෂුව ෂුවාන්සැන්ග්, පිග්සි, සැන්ඩි සහ සුදු මකර අශ්වයා සේද මාවත දිගේ ගමන් කරමින් ඉන්නා ආකාරය පෙන්වීය.
අප දුම්රිය ස්ථානයෙන් පිටතට එනවිට දිවා ආහාර වේලාව ළඟා වී තිබුණි. මා දිවා ආහාරය මිල දී ගැනීමට ඉදිරිපත් වූ අතර, ඔහු ඊට එකඟ නොවීය. “ඔබ බත් හෝ නූඩ්ල්ස්වලට කැමැති ද?” ඔහු ඉංග්‍රීසියෙන් ඇසීය. ‘නූඩ්ල්ස්” මගේ පිළිතුර විය.
පූජ්‍ය ෂෙන්ග්ලියැං හිමි මා ලන්මන් හුටොංහී පිහිටි ඉතා අලංකාර වීදියක් හරහා රැගෙන ගියේය. ලස්සන අවන්හල් සහ සාප්පුවලින් එය පිරී තිබිණි.
ෆයුවාන් දේවාලය පිහිටා ඇති ෆයුවාන්සි අසල්වැසි ප්‍රදේශය පැරණි බීජිංහි පිහිටා ඇති අතර, එහි පටු වීදි ගල් කැටවලින් නිමවා තිබිණි. එය ෆෙන්ෂුයි ශෛලියකින් යුක්ත වූ අතර, ගාලු කොටුව මගේ සිහියට නැඟිණි.
මහායාන සම්ප්‍රදාය
අපි අවන්හලට ඇතුළු වුණෙමු. ෂෙන්ග්ලියැං භික්ෂුව පැවසුවේ තමා නිර්මාංසාහාරිකයකු බවයි.
අප අපේ ඇණවුම් ලැබෙන තුරු බලා සිටියදී මා උන් වහන්සේගේ හිසේ ඇති කැළැල් ගැන ඔහුගෙන් විමසූ අතර, ඔහු ඊට පෙරළා පිළිතුරු ලබා දුන්නේය.
මහායාන සම්ප්‍රදායට අනුව, ජීබා යනු බෝධිසත්ත්ව ශික්ෂාපද භික්ෂූන් විසින් චාරිත්‍රානුකූලව පිලිස්සුම් කැළැල් ලබා ගන්නා පැවිදි පිළිවෙතකි. ගිහියෝ සාමාන්‍යයෙන් එය ඔවුන්ගේ අත්වල තබා ගනිති. භික්ෂූන් සඳහා, එය ජීවිත කාලය පුරාම කැපවීමක් පෙන්නුම් කරයි.
මා බිල්පත ගෙවීමට උත්සාහ කළ විට, ඒ වන විටත් ඔහු එය QR Pay හරහා ගෙවා ඇති බව මට පෙනී ගියේය.
“ හාමුදුරුවනේ, බිල මට ගෙවන්න දුන්නේ නැත්තේ ඇයි?”
“ඔයා මගේ ගමේ ඉන්නේ” උන්වහන්සේ පැවසූහ.
ෆයුවාන් විහාරය
ෆයුවාන් විහාරය ප්‍රථම වරට ඉදිකරන ලද්දේ 645දී ටැං රාජවංශ සමයේදී ටයිසොං අධිරාජ්‍යයා විසිනි. මෙහි ටිබෙට් ග්‍රන්ථ එකතුවක් සහ බෝධිසත්ත්ව අවලෝකිතේශ්වර සහ දයානුකම්පිත ගුවාන්යින්ගේ ප්‍රතිමා සහ සිතුවම් ඇතුළු මිල කළ නොහැකි බෞද්ධ කෞතුක වස්තු එකතුවක් ඇත.
මේ විහාරය අවට පිපෙන මල්, විශේෂිත වන අතර ඒවා ඉතා ජනප්‍රිය බවත්; වසන්තයේදී බොහෝ සංචාරකයින් ආකර්ෂණය කිරීමට සමත්වන බවත් ෂෙන්ග්ලියැං භික්ෂුව මට පැවසීය. ඔහු මට පළමුව සිද්ධස්ථානය පෙන්වූ අතර, සුවඳ දුම් කූරු දල්වා දෙකක් මටත් දුන්නේය.
මා කිතුනුවකු වූ නිසා මා එය ආචාරශීලීව ප්‍රතික්ෂේප කළ අතර, ඔහු සුවඳ දුම් පූජා කරන අයුරු මම පසකට වී බලා සිටියෙමි.
ඔහු මා ප්‍රධාන සිද්ධස්ථානය වටා ඇති කුටිවලට කැටුව ගිය අතර, බොහෝ පැවිදි නායකයන්ගේ සහ බෞද්ධ ගුරුවරුන්ගේ ප්‍රතිමා මට පෙන්වීය.
අනෙක් පූජාසනයේ බුද්ධ ප්‍රතිමා කිහිපයක් සහ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමා කිහිපයක් ද තිබිණි. මේ අවස්ථාවේ මම ඔහුට 7-10 සියවස්වලදී ශ්‍රී ලංකාවේ අවලෝකිතේශ්වර වන්දනාව පිළිබඳ මා ලියූ ලිපියක් ගැන සැල කළෙමි.
ඔහු මා කුටියෙන් කුටියට ගෙන ගොස් සියවස් ගණනක් පැරණි කාසි පෙන්වූ අතර, සමහර කාසි අවුරුදු 2,000ක් තරම් පැරණි ඒවා වීය.
අපි වන්දනා ගෘහයන් පසුකරමින් මැද මළුවට පැමිණියෙමු. සංචාරකයෝ කිහිප දෙනෙක් භික්ෂුව වෙත පැමිණ ගල් ශිලාවක සෙල්ලිපියක් පරිවර්තනය කරන ලෙස ඉල්ලා සිටියහ. චීන බැතිමතුන් මා ගැන කුතූහලයෙන් සිටි අතර, මා ශ්‍රී ලාංකිකයකු බව දැනගැනීමෙන් ඔවූහු සතුටට පත්වූහ.
කොතරම් වේලාවක් එහි රැඳී සිටියද මට එය ඉතා සුළු වේලාවක් මෙන් විය. මට එහි තවදුරටත් රැඳී සිටීමට අවැසිය. එහෙත් කාලය ගෙවී යමින් තිබේ. මට ඔහුගෙන් ඈත්ව යෑමට සිදුව තිබේ. එහෙත් මා ජීවත් වනතුරා ඒ මතකය මගෙන් කිසිදා ඈත් නොවනු ඇත.

ෂෙන්ග්ලියැං භික්ෂුව සෙල්ලිපියක් පරිවර්තනය කරන අයුරු

ෆයුවාන් පන්සල් මළුව