Home » මෛත්‍රි-ශිරන්ති උඩුගුවනේදී කතා කළේ මොනවාද?

මෛත්‍රි-ශිරන්ති උඩුගුවනේදී කතා කළේ මොනවාද?

by Mahesh Lakehouse
April 26, 2025 12:30 am 0 comment

ළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 24 වැනිදා ආරම්භ කිරීමත් සමඟම මැයි මස 06 වැනි දින පැවැත්වෙන පුංචි ඡන්දය පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි කතාබහක් ඇති වී තිබේ. මෙය පුංචි ඡන්දයක් වුවත්, ඒ ගැන ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් වැඩි අවධානයක් යොමු වී ඇති තරමට එය මහ ඡන්දයක ස්වරූපයක් උසුලන ආකාරයක්ද දැකිය හැකිය.

ශ්‍රී දළදා වන්දනාව

රටම බුද්ධාලම්බන ප්‍රීතියට පත් කරමින් අසිරිමත් දළදා වන්දනාව ආරම්භ විය. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපතිවරයා දළදා මාලිගාවට පැමිණීමෙන් පසු මල්වතු මහනාහිමියෝ ජනාධිපතිවරයාට මල් වට්ටියක් පරිත්‍යාග කළහ. ජනාධිපතිවරයා දළදා කරඬුවට මල් වට්ටිය පූජා කළේය. දළදා වන්දනාව ආරම්භ වූයේ එසේය.

මෙවැනි අවස්ථාවකට මැති ඇමැතිවරුන් සෑම දෙනකුම පාහේ පැමිණීම සිරිතක් වුවද, මෙවර එවැන්නක් දක්නට නොවීය. ඇමැති කේ.ඩී. ලාල් කාන්ත ජනාධිපතිවරයා අසලින්ම සිටියේය. “ක්‍රවුඩ් එක වැඩි වෙන්න පුළුවන්. ලාල් සහෝදරයා පොඩ්ඩක් ඒ ගැන බලන්න.” ජනාධිපති අනුර එහෙම කිව්වේ ඇමැති ලාල් කාන්තටය.

ශ්‍රී දළදා වන්දනාවට අතිවිශාල පිරිසක්

වසර 16කට පසුව පැවැත්වුණු ශ්‍රී දළදා වන්දනාව සඳහා අතිවිශාල පිරිසක් පැමිණෙමින් සිටින බව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේය. පසුගිය 18දා ආරම්භ වුණු ශ්‍රී දළදා වන්දනාව අදින් (27) අවසන් වීමට නියමිතව තිබිණි. දිවයින පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහනුවරට පැමිණි නිසා දින 6ක් පමණ ගත වූ පසු පැමිණෙන බැතිමතුන් සීමා කිරීම සඳහා කටයුතු කිරීමටද සංවිධායක මණ්ඩලයට සිදු විය.

ජනපති බැතිමතුන් අතරට

පසුගිය 24 වනදා රාත්‍රී ශ්‍රී දළදා වන්දනාවට පැමිණි බැතිමතුන් හමු වීමට ගිය ජනාධිපතිවරයා බැතිමතුන් සමඟ සුහද කතාබහක යෙදීමටද අමතක කළේ නැත. මෙහිදී බැතිමතුන්ගෙන් ජනපතිට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි.

ජනපති අනුරගේ කැප වීම

ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයේ දේශපාලනඥයෝ බොහෝ දෙනෙක් අවුරුදු සමයේ විවිධ වූ අවුරුදු උත්සවවලට සහභාගි වන්නට ගොස් සිටියහ. විවිධ පළාත්වල සංවිධානය කර තිබූ අවුරුදු උත්සව පැවැත්වුණේ ඒ ඒ පළාත්වල රජයෙහි දේශපාලන බලවතුන්ගේ මෙහෙයවීමෙන් වීම විශේෂත්වයකි. ඇතැම් ජාතික උත්සවවලට ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය සහභාගි වූ අතර, ජනාධිපතිවරයා සහභාගි වූ උත්සව කිහිපයක්ද තිබිණි.

ඒ අතර පසුගිය දිනවල ජනාධිපති අනුර කුමාර දිසානායක දේශපාලන රැස්වීම් සඳහාද කොළඹින් බැහැරව ගොස් සිටියේය. ලබන මස මුල පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම් වීම ඉලක්කය කරගෙන සිටි බැවින් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට ලොකු වගකීමක් පැවරී තිබිණි. පසුගිය මහ මැතිවරණයේදී රට වටෙන්ම මාලිමාව ලැබූ ඡන්ද ප්‍රතිඵලය ආරක්ෂා කරගැනීම ඔවුන්ගේ ඉලක්කයයි. පළාත් පාලන ඡන්දයේදී එවන් ප්‍රතිඵලයක් ලැබීම හිතන තරම් පහසු කටයුත්තක් නොවූවත්, ජනාධිපති අනුර කුමාර පක්ෂ නායකයා හැටියට සෑම මහජන නියෝජිතයකුටම පවරා තිබූ වගකීම හා අභියෝගය වූයේ, පසු ගිය ඡන්දයේ ප්‍රතිඵලයම මෙවරත් ආරක්ෂා කරගැනීමයි. ජනාධිපතිවරයාද ඒ වෙනුවෙන් කැප වන බව දැකගත හැකි විය. මේ නිසා අවුරුදු උත්සවවලට සහභාගි වෙමින් වුවද ඔවුන් අමතක නොකළ වගකීම වූයේ පුංචි ඡන්දය සඳහා ජනමතය සූදානම් කිරීමයි.

තීරුබදු ගැටලුව ගැන සාකච්ඡා ඵලදායක බව ජනපති කියයි

එක්සත් ජනපදයේ නව තීරු බදු ක්‍රමය පිළිබඳ ගැටලුව විසඳාගැනීමට අදාළ සාකච්ඡා මේ වන විට ඉතා ප්‍රතිඵලදායක බව එහි ගොස් සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස තමා වෙත දැනුම් දුන් බවත්, ඒ අනුව දෙපාර්ශ්වයම එක්ව මේ පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ‘ජය නියතයි ගම අපිටයි’ ජන රැලි මාලාවේ තවත් ජන රැලියකට පසුගිය 23 දා රත්නපුරයේදී එක් වෙමිනි. 2025 වසර වැඩිම අපනයන ආදායමක් උපයාගන්නා වසර බවට පත් කරගැනීම රජයේ අපේක්ෂාව බවත්, එහිදී මැණික් කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

2025 වැඩිම අපනයන ආදායමක් උපයන වසර

ජන රැලිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසී‍ය:

“මැයි 6 පැවැත්වෙන මැතිවරණයේදී කිසිදු සැකයකින් තොරව මෙම රත්නපුර දිස්ත්‍රික්කයේ තිබෙන පළාත් පාලන ආයතන සියල්ල අප ජයග්‍රහණය කරනවා. පසුගිය සැප්තැම්බර් 21 වන දා මේ රටේ ජනතාව පැරණි, විනාශකාරී දේශපාලන ගමන පරාජයට පත් කර අලුත් දේශපාලන ගමනකට අපේ රට අවතීර්ණ කරනු ලැබුවා. ඉන් පසුව, නොවැම්බර් 14 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ජයග්‍රහණයක් ඔබ අපට දුන්නා. මෙය ලංකා දේශපාලන ඉතිහාසයේ විශාලතම පෙරළිය බව සඳහන් කළ යුතුයි. 2019 මැතිවරණයේදී 3%ක තිබූ දේශපාලන ව්‍යාපාරයක් ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සහිත පාර්ලිමේන්තුවක් සහ ආණ්ඩුවක් හදන තැනට මේ රටේ ජනතාව විශ්වාස කළා; ඒ වගේම 2019දී ලක්ෂ 69ක් ගත් දේශපාලන ව්‍යාපාරය 2.5%ට පහතට ඇදදැමුවා.

“මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. දීර්ඝ කාලයක් පුරා ආණ්ඩු හදපු සහ ආණ්ඩු කරපු එක්සත් ජාතික පක්ෂය ඡන්ද පත්‍රිකාවේ ලකුණක් නැති තරමට පහතට වැටුණා. අපේ රටේ ජනතාව විශාලතම දේශපාලන තීන්දුවක් සහ හැරවුමක් ගනු ලැබුවා. ඊට හේතු කිහිපයක් තිබුණා. අපේ දරුවන්ට හොඳ රටක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව ආණ්ඩු හැදුවා; ආණ්ඩු පෙරළුවා. නායකයෝ ගෙනාවා; නායකයෝ වෙනස් කළා. එහෙත් අවසන් ප්‍රතිඵලය වූයේ ජනතා අපේක්ෂා මුළුමනින්ම බිඳදැමූ පාලනයන් ගොඩනැඟීමයි. ජනතාව මේ විෂමචක්‍රයෙන් හෙම්බත් වී සිටියා. අනතුරුව සාතිශය බහුතර ජනතාව මේ රට නව මාවතකට යොමු කළ යුතුය යන අදිටනින් යුතුව ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාස තැබුවා.

“අපට ඡන්දය දෙමින් ජනතාව අපේක්ෂා කළේ කුමක්ද? අපේ රටේ බිඳවැටී තිබෙන ආර්ථිකය ගොඩනැංවීම සඳහා වූ අපේක්ෂාවෙන් ජනතාව අපට ඡන්දය දුන්නා; ඒ වගේම අපේ රටේ නීතියේ විධානය කාටත් සාධාරණ විය යුතුයි යන බලාපොරොත්තුවෙන් ඡන්දය දුන්නා; වංචා දූෂණ නතර කිරීම වගේම වංචා දූෂණවල යෙදුණු අයට දඬුවම් දීම සඳහා ඡන්දය දුන්නා. ඒ වගේම ලෝකයේ කළු රටක් බවට පත්ව තිබූ අපේ රට ලොව බැබළෙන රටක් බවට පත් කිරීම ජනතාවගේ අපේක්ෂාවක් වුණා.

සංචාරකයන් වැඩියෙන්ම පැමිණෙන වසර

“මේ අයුරින් අප කෙරෙහි විශාල බලපොරොත්තුවක් තබමින් මෙකී අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් ඔබ අපට ඡන්දය දුන්නා. අප දිනපතා ජනතාව අපට ඡන්දය දුන්නේ ඇයි? ඔවුන්ගේ අපේක්ෂාව කුමක්ද? යන්න නිරන්තරයෙන් සිහිපත් කරමින් පාලනය ගෙන යනවා. අපේක්ෂා පොදි බැඳගෙන අපට ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සහ අපේක්ෂා නියත වශයෙන්ම ඉටු කරන බවට අප ඔබට සහතික වනවා.

“අපට මේ රටේ වැටී තිබූ ආර්ථිකය ගොඩනැඟීමට අවශ්‍ය වුණා. මීට වසර දෙක-තුනකට පෙර ආර්ථිකයේ විශාල අස්ථාවරත්වයක් නිර්මාණය වී තිබුණා. සැලකිය යුතු ප්‍රමාණයකින් රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට ඉතා කෙටි කාලයක් තුළ අප සමත් වී තිබෙනවා. රටක ආර්ථිකයක් නිරන්තරයෙන් අවදානම් නම්, අස්ථාවර නම්, බැංකු ක්ෂේත්‍රය, මූල්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසයක් බිඳවැටිලා නම්, ව්‍යාපාර, කර්මාන්තකරුවන්, ආයෝජකයන් තුළ ආර්ථිකය කෙරෙහි විශ්වාසය බිඳවැටී ඇත් නම් රටක ආර්ථිකයක් ඉදිරියට ගෙන යන්න බෑ. ඒ නිසා අපේ පළමු අභියෝගය වූයේ රටේ ආර්ථිකය ස්ථාවරභාවයක් ඇති කරගැනීමයි. අප අද ඊට සමත් වී තිබෙනවා. එහි සලකුණු අද මේ රටේ ජනතාවට පේන්න තිබෙනවා. රට ගොඩනැඟීමේ පළමු පියවර ලෙස ශක්තිමත් රාජ්‍ය සේවයක් රට තුළ ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ වගේම අපේ රට ගොඩනැගිය හැකි ක්ෂේත්‍ර තෝරාගෙන, ඒ ක්ෂේත්‍ර සඳහා අප සංවර්ධන සැලසුම් සකස් කර තිබෙනවා. සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, 2025 වසර මෙරටට වැඩිම සංචාරකයන් පැමිණෙන වසර බවට පත් වනවා…” යනුවෙන්ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමෙරිකාවෙන් කොළ එළියක්

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 දින, එහි තානාපති ජේමිසන් ග්‍රියර් හමු විය. එහිදී, ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත තානාපති ග්‍රියර් වෙත යොමු කළ ලිපි ගනුදෙනුවෙහි මුල් පිටපත් මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් අනුව, ශ්‍රී ලංකා දූත පිරිස විසින් තානාපතිවරයා වෙත භාර දෙන ලදි.

අතීතයේදී මුහුණ දුන් අභියෝග සහ අනාගතයේ මතු විය හැකි අභියෝග ජය ගැනීමට මෙන්ම ආර්ථිකය යළි පූර්ණ ලෙස යථා තත්ත්වයට පත් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳ එහිදී නියෝජිත පිරිස තානාපති ග්‍රියර් දැනුවත් කළහ. වෙ‍ළෙඳ හිඟය අඩු කිරීමටද, තීරුබදු සහ තීරුබදු නොවන බාධක අවම කිරීමටද එක්සත් ජනපද රජය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති යුහුසුලු සහ ධනාත්මක කැප වීම මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස පෙන්වා දුන්හ.

මේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති යෝජනා ඇගයුමට ලක් කළ තානාපති ග්‍රියර් දෙරට අතර අපක්ෂපාති හා සාධාරණ වෙ‍ළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළඹිය හැකි බවටද අපේක්ෂාව පළ කළේය. අනතුරුව, තානාපති ග්‍රියර් මහතා විසින් පත් කරන ලද දකුණු සහ මධ්‍යම ආසියාව භාර සහකාර එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත බ්‍රෙන්ඩන් ලින්ච් නායකත්වය දරන USTR දූත පිරිස සමඟ දකුණු ආසියාව භාර අධ්‍යක්ෂ එමිලි ඈෂ්බි ද එදිනම හමු වූ ශ්‍රී ලංකා දූත පිරිස, ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදයට ලිඛිතව ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූහ. එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළඹීමේ අරමුණින් සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑමට දෙපාර්ශ්වයේම එකඟතාව පළ කෙරුණු අතර, කෙටි කාලයක් ඇතුළත අදාළ ගිවිසුමට එළඹීමටද දෙපාර්ශ්වයම කැමැත්ත පළ කළහ.

එක්සත් ජනපදයේ අන්තර්ජාතික වෙළෙඳාම, වෙළෙඳ භාණ්ඩ, ඍජු ආයෝජන ප්‍රතිපත්තිය සංවර්ධනය සහ සම්බන්ධීකරණය මෙන්ම අනෙකුත් රටවල් සමඟ සිදු කරන සාකච්ඡා අධීක්ෂණය කිරීමේ වගකීම එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) සතු වේ. එහි ප්‍රධානියා වන්නේ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයකු වන එරට ජනාධිපතිවරයාගේ ප්‍රධාන වෙළෙඳ උපදේශක, ගනුදෙනුකරු සහ වෙළෙඳ ගැටලු පිළිබඳ ප්‍රකාශක යන වගකීම් දරන කැබිනට් සාමාජිකයෙකි.

ජනපති වතිකාන තානාපති කාර්යාලයට

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 24 දා දහවල් වතිකානු තානාපති කාර්යාලය වෙත ගොස් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය. තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් විසින් පිළිගනු ලැබිණි. අනතුරුව, උන් වහන්සේ සමඟ කෙටි කතාබහක නිරත වූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතේ සටහනක්ද තබමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සියලු ලෝකවාසී කිතුනු ජනතාව වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කර සිටියේය.

මෛත්‍රි – ශිරන්ති උඩුගුවනේදී හමු වෙති

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ අතර හමුවක් පසුගියදා උඩුගුවනේදී සිදු විය. මේ දෙදෙනා එලෙස උඩුගුවනේදී හමු වූයේ දකුණු කොරියාවේ සමුළුවකට යෑමට එකම ගුවන් යානයේ ගමන් කළ අවස්ථාවේදීය.

ශිරන්තිගෙන් ආරාධනාවක්

මෛත්‍රී සමඟ ඔහුගේ පුත් දහම් සිරිසේනද මේ සංචාරයට එක් වූ අතර, තිදෙනාම ගමන් කළේ ව්‍යාපාරික පන්තියේය. “ඉතිං කොහොමද වැඩ කටයුතු හිටපු ජනාධිපතිතුමා?” යනුවෙන් කතාවට මුල පිරුවේ ශිරන්තිය.

“වැඩ ටික කරගෙන යනවා. මහින්ද ජනාධිපතිතුමා හොඳින් ඉන්නවා නේද?” යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන විමසා සිටියේය.

“ඔව්. ජනාධිපතිතුමා හොඳින් ඉන්නවා. මේ දහම් පුතාට කියන්නකෝ අපේ නාමල් පුතත් එක්ක එකතු වෙලා දේශපාලන කටයුතු කරන්න කියලා…” යනුවෙන් ශිරන්තිගෙන් ලැබුණේ ආරාධනාවකි.

“ඔව් ඔව් මැඩම්, ඒක තමයි මේ මාත් දහම් පුතාට කිය-කිය හිටියේ. ඔය තරුණ කාලේ දේශපාලන වැඩ හොඳට කරන්න පුළුවන්…” යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.

තව දුරටත් දේශපාලන කටයුතු ගැන කතා කරමින් සිටින විට ශිරන්ති රාජපක්ෂ විමසා සිටියේ “මොකද ඉතිං අපිත් එක්ක දේශපාලනයෙන් තරහ වුණේ?” කියලාය.

බැසිල් ගැන ශිරන්ති කිව්වේ මොනවාද?

“මට අගමැතිකම දෙන්නෙ නැතුව ඒක වැළැක්වූයේ බැසිල් මල්ලිනේ. එදා ඒක නූණ නම් මේ එක ප්‍රශ්නයක්වත් නැහැ නේ” යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ ඇඟට පතට නොදැනී සිනා සෙමිනි.

දකුණු කොරියානු සංචාරය නිමා කොට පැමිණි ශිරන්ති තම සංචාරයේ අත්දැකීම් තම හිතවතුන් කිහිප දෙනකු සමඟ බෙදාහදා ගැනීමටද අමතක නොකළාය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා හමු වූ බවත්, මෛත්‍රී සහ ඔහුගේ පුතා තමා ගැන හොඳින් සොයා බැලූ බවත් ප්‍රකාශ කළ ශිරන්ති වැඩි දුරටත් කියා සිටියේ බැසිල්ගෙන් මෛත්‍රීපාලට අසාධාරණයක් සිදු වූ බවයි.

විදේශ සංචාරවලට පෙරේත නැති ඇමැති

සාමාන්‍යයෙන් මැති-ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් පමණක් නොව, ඕනෑම කෙනකු විදෙස් සංචාරවලට දක්වන්නේ දැඩි කැමැත්තකි. රට-රටවල සංචාරය කිරීම එතරම් පහසු නොවන නිසා බොහෝ දෙනකු විදෙස් සංචාරයක් ලැබෙන තුරු සිටින්නේ නොයිවසිල්ලෙනි. එහෙත් වර්තමාන මාලිමා ආණ්ඩුවේ එක් කැබිනට් අමාත්‍යවරයකු විදෙස් සංචාර සඳහා දැඩි උනන්දුවක් නොදක්වන බව වාර්තා වේ. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් තමාට ලැබෙන විදෙස් සංචාර අනෙක් අයට දී වැදගත්ම සංචාරයකට පමණක් ඔහු සහභාගි වේ.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යවරයා වශයෙන් විජිත හේරත්ට විදෙස් සංචාර වෙනත් අයට වඩා ලැබීම සාමාන්‍ය දෙයකි.

එහෙත් පසුගිය දිනවල රුසියාවෙන්, චීනයෙන් සහ තායිලන්තයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ට ලැබුණු විදෙස් සංචාරවලට ඔහු සහභාගි නොවූ අතර, එම අවස්ථා තම අමාත්‍යාංශය යටතේ සිටින නියෝජ්‍ය අමාත්‍යවරුන්ට දීමට විජිත හේරත් පියවර ගෙන තිබීම විශේෂත්වයකි.

මෝදිගෙන් මහින්දට තිළිණයක්

ඉන්දීය අගමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත අලුත් අවුරුද්දට තෑග්ගක් එවුවේය. අනර්ඝ සිහිවටන කිහිපයක් තිළිණයක් ලෙස මෙසේ එවමින් ඉන්දීය අගමැතිවරයා ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා මඟින් මහින්ද හා සාකච්ඡාවක් ගොඩනඟාගත්තේය. මහ කොමසාරිස්වරයා එහිදී ඉල්ලා සිටියේ, මහින්ද හමු වී සාකච්ඡා කරන්නට අවස්ථාවකි. ඒ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අප්‍රේල් 19 දා විජේරාම මාවතේ නිල නිවෙසේදී ඉන්දීය මහකොමසාරිස්වරයා හා සාකච්ඡා කරන්නට නියමිත විය.

අවුරුද්දෙන් පසු රනිල් වැඩ පටන් ගනී

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේ අලුත් අවුරුද්දෙන් පසු රාජකාරි කටයුතු ආරම්භ කිරීම පසුගිය සඳුදා උදෑසන සිදු විණි. චාම් උත්සවයක් එම කාර්යාලයේ සංවිධානය කර තිබුණු අතර මෙහි සියලු සංවිධාන කටයුතු සූදානම් කළේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන විසිනි. ඒ අනුව ඊට දින කිහිපයකට පෙරම වජිර විසින් රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පිරිසට සහ පසුගිය ආණ්ඩුවේ සිටි මැති-ඇමැතිවරුන්ට ආරාධනා කර තිබූ අතර, විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

පැය දෙකකට පමණ ආසන්න කාලයක් රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් මේ ස්ථානයේ රැඳී සිටි අතර, ඉන් අනතුරුව ඔවුන් සියලු දෙනා කාර්යාලයෙන් නික්ම ගියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ සංවිධානය කර තිබූ කොළඹ සහ කළුතර දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂක හමුවට සහභාගී වීම සඳහාය. ඒ අනුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක රුවන්, සභාපති වජිර, මහලේකම් තලතා, හිටපු අමාත්‍ය රාජිත ඇතුළු කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කය සඳහා තරග කරන සියලු පළාත් පාලන ආයතන අපෙක්ෂකයෝ සහභාගි වී සිටියහ.

වජිර ගාල්ලේ සියලු කොට්ඨාසවල

මේ අතර වජිර පසුගිය සතියේ මුල් දවස් කිහිපය කොළඹ වැඩකටයුතුවල නියැළී සිටි අතර, අවසාන දවස් කිහිපයම ගාල්ල දිස්ත්‍රික්කයේ සිටියේ ගාල්ල දිස්ත්‍රික් අපෙක්ෂකයන්ට ශක්තියක් වීම සඳහායි. ඒ අනුව බ්‍රහස්පතින්දා සිටම වජිර ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු කොට්ඨාසවල මැතිවරණ රැස්වීම් සංවිධානය කරමින් අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට කටයුතු කර තිබිණි. එසේම ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේදී විශේෂ රැස්වීම් කිහිපයක්ම සූදානම් කරමින් මේ දින කිහිපය පුරා පළාත් පාලන අපෙක්ෂකයන් සමඟ සිටිමින් ඔවුන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් වැඩකටයුතු රාශියක්ම වජිර දියත් කොට තිබිණි.

සජිත් ගමින් ගමට

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද මෙවර පළාත් පාලන ගමන්-බිමන් යෑම හා වැඩ ඇල්ලීම ආරම්භ කිරීම විශේෂත්වයකි. සිංහල අලුත් අවුරුද්ද ඒ තරම් දුරට තකන්නේ නැති පාක්ෂිකයන් සිටින ප්‍රදේශ තෝරාගන්නට ඔහු කල් තියා සැලසුමක් සාදාගෙන තිබිණි. කතෝලික ජනතාව වැඩිපුර සිටින මීගමුවෙන් ඉහළ ප්‍රදේශයට හා මුස්ලිම් ජනතාව වැඩිපුර සිටින අම්පාර, කල්මුණේ, කාත්තන්කුඩි ප්‍රදේශවලටද මැතිවරණ ප්‍රචාරක කටයුතු මුල් කරගෙන යන්නට සජිත් සැලසුම් කර තිබිණි. ඒ සැලසුම් අකුරටම ක්‍රියාවට නඟමින් පළාත්වල සිටින දේශපාලන බලවතුන් හා එක්වෙමින් නගරයෙන් නගරයට ගිය ආකාරය අපට පසුගිය දින දෙක තුනේදී දැක ගත හැකි විය.

මේ පිළිබඳ පසුගිය දිනක සමඟි ජන බලවේගයේ දේශපාලනඥයෝ කිහිප දෙනකු එකට එකතු වී කතාබස් කරමින් සිටියහ. ඔවුන්ගේ කතාවේ මාතෘකාව වූයේ දේශපාලන පක්ෂ මෙවර මැතිවරණයට තරග වදින්නට අනුගමනය කරන දේශපාලන උපාය මාර්ග ගැනයි. ඒ අතර එතැන සිටි තරුණ මන්ත්‍රීවරයෙක් හරි අපූරු කතාවක් කීවේ මෙසේය:

“අපේ ලොක්කා ගමින් ගමට ගිහිල්ලා ජනතාව හම්බ වෙලා පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු කරනවා; ඡන්ද ඉල්ලනවා. ආණ්ඩුව නිසා ජනතාවට ඉදිරියේදී කරදර හිරිහැර විය හැකි මාර්ග පෙන්නලා දෙනවා. හැබැයි ඉතින් ඔය මොනවත් නැතුව ඔන්න දැන් ජනාධිපතිතුමා මේ රටේ බහුතර ජනතාවට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරලා ජනතාව තුළ පහන් සංවේගය ඇති කරලා කිසි මහන්සියක් නැතුව ඡන්දය ගන්න පාරක් කපනවා.”

ඔහු කීවේ මේ දිනවල පැවැත්වෙන දළදා වන්දනාව මහා පුණ්‍යකර්මය ගැන බව වටහාගන්නට අපහසුවක් නොවීය.

ඉම්තියාස්ගේ ඉල්ලීම

සමඟි ජන බලවේගයේ සභාපති ඉම්තියාස් බාකීර් මාකාර් ධුරයෙන් ඉල්ලා අස් වුවද සජබ නායක සජිත් ප්‍රේමදාස ඒ ඉල්ලා අස්වීම පිළිගත්තේ නැත. එහෙත් සැබවින්ම මේ වන විට සජබට සභාපතිවරයකු නැත. සජිත් සභාපති ලෙස ඉම්තියාස් දෙස බලා සිටියද ඔහු පක්ෂ සම්මේලනයටවත්, පක්ෂයේ වැඩ කටයුතුවලටවත්, විධායක සභා රැස්වීම්වලටවත් එන්නේ නැත. ඉම්තියාස් නිහතමානි, නිවුණු මනුස්සයා නිසාත් ඔහු බැලන්ස් කරගන්න පුළුවන් කියා සිතා “ඉම්තියාස් නැවත සභාපති ධුරයට එනවා” කියා පුවතක් පුවත්පතක පළ කරන ලෙස සජිත් පක්ෂයට උපදෙස් දී තිබේ. ඒ අනුව එම පුවත එක්තරා ජාතික පුවත්පතක පළ කර තිබේ. මේ පුවත දුටු ඉම්තියාස්, සජබ රංජිත් මද්දුම බණ්ඩර, තිස්ස අත්තනායක වැනි ජ්‍යෙෂ්ඨයන්ට කතා කර “මම නැවත පත් වෙන්න ඉල්ලා අස් වුණේ නෑ, ඒ නිසා මේක මේ විදිහට කරන්න එපා. මේක හොඳ මදි. මොකද මගේ එකඟතාවක්වත් කතා බහක්වත් මුකුත් නැතුව ඉල්ලා අස් වුණු මම ආයිත් එනවා කියලා දැම්මාම මිනිස්සු බලන්නේ ‘අපෝ! මේ යකා ඉල්ලා අස් වෙනවා, ආයෙත් එනවා!’ වගේ හැඟීමකින්. මම මේ ප්‍රවෘත්තිය නිවැරදි කරන්න කියලා පත්තරේට කියන්න යන්නේ නෑ, ඒත් මේ විදිහට කරන්න එපා. ඒක මගේ පැත්තෙන් හොඳ මදි” යනුවෙන් බෙහෙවින් කාරුණික ලෙස පවසා තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division