දහසය වසකට පසු දළදා වහන්සේ සියැසින් දැක-බලා වන්දනා කිරීමේ අවස්ථාව ජනතාවට ලැබී තිබේ. පෙර කිසිදු අවස්ථාවකට වඩා වැඩි ජනතාවක් මෙවර දළදා වන්දනාව සඳහා පැමිණියහ. කිලෝ මීටර් ගණන් ඈතට ඇදී ගිය පෝලිම් ඊට නිදසුන්ය. අනපේක්ෂිත ලෙස ලක්ෂ ගණනින් මහනුවරට පැමිණි සැදැහැවතුන් වෙනුවෙන් පහසුකම් සලසා දීම සඳහා නව සැලසුම් ක්‍රියාත්මක කිරීමට සංවිධායකයන්ට සිදු වූයේ, එතෙක් කර තිබූ සැලසුම් ප්‍රමාණවත් නොවූ බැවිනි. දළදා වහන්සේ සියැසින් දැකගැනීම සඳහා සැදැහැවත්හු රාත්‍රී තුන-හතර පෝලිම්වල ගත කරද්දී අලුතින් පෝලිම්වලට එකතු නොවන ලෙස ජනතාවට දැනුම් දීමට පොලීසියට සිදු වූයේ පැමිණි ජන ගඟ මහනුවරට දරාගැනීමට බැරි තරම් විශාල වීම නිසාය.

මුස්ලිම් ප්‍රජාව විසින් ශ්‍රී දළදා මාලිගාවට පිරිනමා තිබුණු භාජනවල යුද හමුදා සාමාජිකයන් සැදැහැවතුන් වෙනුවෙන් ආහාර පිසින අයුරු
දළදා වන්දනාව, ආරක්ෂක තත්ත්වය, පොදු පහසුකම් ස්ථාපිත කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජය සහ දළදා මාලිගාව අවධානය යොමු කර තිබිණි. සැදැහැවතුන් වෙනුවෙන් ආහාරපාන ලබා දීමට පුද්ගල හා සංවිධාන 3,000කට වඩා ඉදිරිපත් වූයේ මහනුවර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලබාගනිමිනි. ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබිණි. සංඛ්‍යාත්මකව එම ගණන දස දහසකි. මේ දළදා වන්දනාවේ මතුපිට ස්වරූපයයි. එහෙත් එහි අභ්‍යන්තර ක්‍රියාවලිය ඊට වඩා වෙනස්ය. ඒ තුළ කරුණාව, දයාව, සහෝදරත්වය, සංහිඳියාව, කැපවීම ආදී බොහෝ ගුණාංග ගැබ්ව තිබිණි. දළදා වන්දනාව සඳහා මහනුවරට ජන ගඟක් ගලා එද්දී මිනිසත්කම් දෝරේ ගලා ගියේ ජාති, ආගම්, පක්ෂ භේදයෙන් තොරවය. එය දළදා වන්දනාවත් සමඟ එක්තරා අන්දමකින් රට ලැබූ ජයග්‍රහණයකි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවරට පැමිණෙන ජනතාව වෙනුවෙන් ජංගම වැසිකිළි 300ක් පමණ ස්ථාපිත කරන්නට රජය පියවර ගෙන තිබිණි. එහෙත් අනපේක්ෂිත ලෙස එකවර පැමිණි ලක්ෂ තුනද ඉක්මවා ගිය ජන ගඟට මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නොවිණි. පැමිණ සිටි සැදැහැවතුන් වෙනුවෙන් සහෝදරත්වයේ දෑත් දිගු කරමින් මහනුවර නගරයේ ඇති ඉස්ලාම් දේවස්ථානවල දොරවල් විවෘත කරන්නට මුස්ලිම් ජනතාව පියවර ගත්හ. මෙහිදී පෙරමුණ ගත්තේ මහනුවර මුස්ලිම් දේවස්ථාන සම්මේලනය, මහනුවර මුස්ලිම් වෙළෙඳ සංගමය හා මහනුවර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයයි. කාන්තාවන් හා පිරිමින් සඳහා වෙන් වෙන්ව වැසිකිළි, කැසිකිළි මෙන්ම ස්නානය කිරීම සඳහා පහසුකම් ද සැදැහැවතුන් වෙනුවෙන් සැලසීමට මුස්ලිම් ප්‍රජාව කටයුතු කර තිබුණේ මහයියාව ජුම්මා පල්ලිය, මීරාමක්කම් පල්ලිය හා මහනුවර මුස්ලිම් මහ පල්ලිය කේන්ද්‍ර කරගනිමිනි. දළදා වන්දනාව සඳහා මුස්ලිම් ජනතාවගේ සුභාශිංසන පිරිනමමින් අදාළ පහසුකම් සැදැහැවතුන් වෙනුවෙන් සලසන බව දන්වා සෑම පල්ලියක් ඉදිරිපිටම බැනරයක් ප්‍රදර්ශනය කරන්නට මුස්ලිම් ජනතාව කටයුතු කර තිබිණි.
මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ අය අතරින් කෙනකු වන මහනුවර දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන සම්මේලනයේ සභාපති කේ.ආර්.ඒ. සිද්දීක් මහතා ඒ වැඩපිළිවෙළ වචනවලට පෙරළුවේ මෙසේය:
“මේක අපි හැමෝගෙම රට. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම සහෝදරත්වයෙන් හිටියොත් තමයි මේ රට ගොඩනඟන්න පුළුවන්. දළදා වහන්සේ වැඳපුදාගන්න ලක්ෂ ගණනක් බෞද්ධයෝ මහනුවරට ආවා. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් දෙන්න රජයට තනිවම බෑ. මේ අවස්ථාවේ අපිත් කල්පනා කළා මේ වෙනුවෙන් අපේ සහයෝගය දෙන්න. ලොකුම ප්‍රශ්නය වුණේ පැමිණි ජනතාවට වැසිකිළි කැසිකිළි පහසුකම් සැලසීමයි. ඒ අනුව පෝලිම් ආසන්නයේ තිබෙන දේවස්ථාන සැදැහැවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පැය 24 පුරා විවෘත කර තැබීමට අප තීරණය කළා. ඒ වගේම මුස්ලිම් ජනතාව එකතු වී සෑම දිනකම රාත්‍රියේ කෑම පාර්සල් 2000ක් ජනතාව අතර බෙදා දුන්නා. මහයියාව ආශ්‍රිතව ව්‍යාපාර කරන වාහන සේල් හිමියන් කෝපි හා වතුර බෝතල් බෙදුවා. සැදැහැවතුන්ට ආහාර දීම සඳහා පසුගිය 25 වැනිදා සිට මහනුවර මහ පල්ලියේ කණ්ඩායමක් ආහාර පිසිනවා. ඒ ඔස්සේ තවත් විශාල පිරිසකට ආහාර දීමට අපට හැකි වුණා.”
දළදා මාලිගාව මඟින් සෑම දිනකම සැදැහැවතුන් වෙනුවෙන් දන්සලක් පවත්වාගෙන ගියේ දළදා මාලිගා පරිශ්‍රයේදීමය. මීට අමතරව දළදා වඳින්නට එන සෑම භික්ෂූන් වහන්සේ නමකටම හීල් දානය හා දහවල් දානය සකස් කෙරුණේ ද මේ ස්ථානයේදීය. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අරමුණ වූයේ සෑම දිනකම 35,000ක පමණ පිරිසකට රාත්‍රි ආහාරය දීමය. මෙතරම් ආහාර ප්‍රමාණයක් පිසීමට නම් ඊට ගැළපෙන විශාල භාජන තිබිය යුතුය. රාමසාන් උපවාස සමයේදී මුස්ලිම් ජනතාව සඳහා කැඳ පිළියෙල කරන භාජන මේ සඳහා යොදාගැනීමට ඇති හැකියාව දියවඩන නිලමේවරයා සොයා බැලුවේය. ඒ වෙනුවෙන් වන යෝජනාව ඉදිරිපත් වූ පසු දෙවරක් නොසිතා සිද්දික් මහතා ඊට කැමැත්ත පළ කළේය. ඒ අනුව දැන් සැදැහැවතුන් වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගා දන්සලේ ආහාර පිසිනු ලබන්නේ කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලිය සතු භාජනවලය. දෛනිකව මේ දන්සලේ 120 දෙනෙක් පමණ සේවය කරති. ඊට යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ද ලැබී තිබේ. දිනපතා සහල් කිලෝ 4,500ක පමණ බතක් මෙහි ඉදෙන්නේය. කෑම වේල සම්පූර්ණයෙන්ම නිර්මාංසය. සෝයා, අඹ, පරිප්පු ඇතුළු වෑංජන සමඟ රසවත් ආහාර වේලක් උණු උණුවේම සැදැහැවතුන්ට දීමට මෙහි සිටින පිරිස දිවා රෑ නොබලා දරන වෙහෙස බොහෝ දෙනෙක් නොදනිති.
මේ ආකාරයෙන් කටයුතු සිදු වෙද්දී මහනුවර බදුඋඩ්ඩීන් බාලිකා විදුහලේ ආචාර්වරු සහ සිසුවියෝ කණ්ඩායමක් මහනුවර නගරය පිරිසුදු කිරීම සඳහා එක්ව සිටියහ. සැදැහැවතුන් අවිධිමත් ලෙස පරිසරයට බැහැර කර තිබූ ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරාපත් නොවන අපද්‍රව්‍ය එකතු කර නගර සභාවට භාර දීමට ඔවුන් කටයුතු කර තිබිණි.
ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයට එක්රොක් වෙද්දී නගරයේ සුන්දරත්වය නොනැසී පවත්වාගෙන යෑමට උර දෙන ප්‍රබලතම කණ්ඩායම කැළිකසළ ඉවත් කිරීමේ නිරත මහනුවර මහා නගර සභාවේ කම්කරුවෝය. වැඩි දෙනකුගේ අවධානය මේ පිරිස වෙත යොමු නොවුණද ඔවුන් එක් දිනක් වැඩ නොකළ හොත් නගරය කුණු ගඳින් පිරී යනු නිරනුමානය. නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයට අනුයුක්තව සේවය කරන කම්කරුවන් 120කට ආසන්න සංඛ්‍යාවක් දිවා රෑ නොබලා සේවය කරමින් දෛනිකව නගර සීමාවෙන් ඉවත් කරන කසළ ප්‍රමාණය ටොන් 100කට ආසන්නය. මේ අතරින් ටොන් 20ක්ම දළදා වඳින්න පැමිණි පිරිස් විසින් පරිසරයට මුදාහළ ඒවාය. දිරාපත් වන හා නොවන ලෙස කසළ වෙන් කර තබන ලෙස කොතෙක් දැනුම් දුන්නද සැදැහැවතුන් බොහෝ දෙනකු ඊට අනුගතව ක්‍රියා නොකිරීමේ ප්‍රතිවිපාක විඳින්න සිදුව තිබෙන්නේ නගර සභා කම්කරු සේවකයන්ටය. සැදැහැවතුන් කරන වරද නිවැරදි කරන්න ගොහාගොඩ කසළ අංගණයේ පැය 24 පුරා සේවකන් 10දෙනකු කසළ වෙන් කිරීමේ නිරතව සිටින බව අප සමඟ පැවසුවේ මහනුවර ජල හා අපජල කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු නාමල් දිසානායක මහතාය.
ඇතැම් පිරිස් තමාට කෑමට ගතහැකි ප්‍රමාණය ද ඉක්මවා අහාරපාන ගෙන පසුව ඒවා අවිධිමත්ව පරිසරයට බැහැර කර තිබිණි. මේ තත්ත්වය සම්බන්ධයෙන් නාමල් දිසානායක මහතා මෙසේ පැවසුවේය:
“පෝලිම්වල සිටි සැදැහැවතුන්ට ආහාරපානවලින් සංග්‍රහ කිරීමට විශාල පිරිසක් ඉදිරිපත් වුණා. මේ දෙන ආහාර, ප්‍රමාණය ඉක්මවා ලබා ගත් අය පසුව ඒවා තමන් ඉන්නා තැන්වලම දමා යන තත්ත්වයක් දක්නට ලැබුණා. නගර සීමා බලප්‍රදේශයෙන් එකතු වන අපද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ආහාර වර්ගයි. නරක් වූ මේ ආහාර ට්‍රැක්ටර්වලට පටවා ගැනීමේදී නගර සභා සේවකයන් විශාල අසීරුතාවකට පත්වෙනවා. එහෙත් ඔවුන් කිසිදු පැකිළීමකින් තොරව මේ කටයුතු කරනවා. ජංගම වැසිකිළි පද්ධති සඳහා සවි කර තිබූ බිඩර් ෂවර් 50ක් විතර කඩලා. සමහරු ඒවා ගෙදර අරන් ගිහින්. අපේ මිනිස්සු මේ තත්ත්වයෙන් වෙනස් විය යුතුයි. පොදු දේපළ තමන්ගේ දේපළක් ලෙස සිතා පාවිච්චි කරන ස්වරූපය දකින්න ලැබෙනවා බොහොම අඩුයි.”
මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව තම සේවා කටයුතුවලදී තාක්ෂණය බද්ධ කරමින් සෙසු රාජ්‍ය ආයතනයට ආදර්ශයක් වන අයුරින් කටයුතු කිරීම අගය කළ යුතුයි. දළදා වන්දනාව වෙනුවෙන් දන්සල් දීමට ප්‍රථම ඒවා මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා ක්‍රියාත්මක කර තිබුණේය. ලියාපදිංචියෙන් තොරව කිසිදු ආයතනයකට හෝ පුද්ගලයකුට දන්සල් දීමේ අවස්ථාව එමඟින් අහිමි කර තිබුණේ සැදැහැවතුන්ගේ සෞඛ්‍යාරක්ෂාව මුල්තැන තබා නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කිරීම හේතුවෙනි. මහජන පරීක්ෂකවරුන් 32 දෙනකුගේ සේවය ලබා ගනිමින් ආහාර සුපරීක්ෂාව උපරිමයෙන් පවත්වාගෙන යෑමට නගර සභාව කටයුතු කර තිබීම පැසසිය යුතුය.
පෝලිම්වල සිටියදී නොයෙක් රෝග තත්ත්වයන්ට ගොදුරු වන පිරිස වෙනුවෙන් හදිසි ප්‍රතිකාර ඒකක 9ක් නගරයේ ස්ථානගත කර තිබූ අතර, ඒවායින් ප්‍රතිකාර ලද පිරිස දහස් ගණනකි. සුවසැරිය ගිලන් රථ 7ක් ද නිතර සූදානම් කර තිබුණේ හදිසි අවස්ථාවක රෝගීන් රෝහල් කරා රැගෙන යෑමටය. පැය 24 පුරා නිදිවර්ජිතව සෞඛ්‍ය සේවකයන් කළ කැපවීම රෝගී වූවෝ හැර, සෙසු පිරිසගේ ඇස නොගැටුණේය. ආරක්ෂක රාජකාරිවල නිරත පොලිස්, විශේෂ කාර්ය බළකා හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් අතර සිටින ඇතැමුන් මිනිසත්කමින් මොනතරම් නම් පොහොසත් ද යන්න පෙන්නුම් කළ සිදුවීම් දළදා වන්දනා සමය පුරා දක්නට ලැබිණි. දෙපා වාරු නැති මහා සංඝරත්නය මෙන්ම කුඩා, තරුණ, මහලු සැමට ඔවුන්ගේ සහාය හිමි විය. ආරක්ෂක රාජකාරි කරන අතරතුර දෙපා වාරු නැති ඇත්තන් දෑතින් ඔසවා රැගෙන ගොස් දළදා වන්දවා යළි රැගෙන එන්නට තරම් ඔවුහු කාරුණික වූහ.
දරුවකු මෙලොව එළිය දැක තුන් මාසයක් ගත වූ පසු මෙරට බෞද්ධ ජනතාව දරුවා රැගෙන ගොස් භාර කරන්නේ දළදා වහන්සේටය. ගොවිතැන්වලින් උපයාගන්නා අග්‍රඵලය පූජා කරන්නේ දළදා හාමුදුරුවන්ටය. ලෝකවාසී ජනතාව දළදා වහන්සේ සලකන්නේ ජීවමාන බුදුන් ලෙසිනි. දළදා වහන්සේ වැඳපුදාගැනීම සඳහා පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාව හේතුවෙන් එක්තරා අන්දමකින් මහනුවර නාගරික ජනතාවගේ ජන ජීවිතය උඩුයටිකුරු වී ගියේය. එහිදී පැනනැඟුණු සියලු ආකාරයේ අපහසුතා දරාගනිමින් සාමාන්‍ය ජනතාව සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව, විටක ස්වකීය ව්‍යාපාරික ස්ථාන පවා විවෘත නොකර මහා කැපවීමක් කළෝය.
දළදා වහන්සේ එදා සිට මෙරට ජනතාව සැලකුවේ රාජ්‍යත්වයේ සංකේතය වශයෙනි. මෙරට සියලු පුරවැසියන් ඊට අනුගතව කටයුතු කළේ දළදා වහන්සේගේ රැකවරණය ඔවුන්ට ද ලැබෙන්නේය යන විශ්වාසයෙනි. පසුගිය කාලයේ ජාති හා ආගම් වශයෙන් ඇති වූ බෙදීම් නිසා ජනතාව බොහෝ විට ජීවත් වූයේ බියෙන් හා සැකයෙනි. දිගන කේන්ද්‍ර කරගනිමින් ඇති වූ ගැටුම ඊට නිදසුනකි. දළදා වන්දනාවත් සමඟ මෙරට ජාතික හා ආගමික සමගියට නව පණක් ලැබී තිබේ. කරුණාව, දයාව, මෛත්‍රිය ජන හදවත්වල මෝදු වන තත්ත්වයක් දක්නට ලැබේ. ජාතික හා ආගමික පුනරුදයක් සඳහා මෙය ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

දළදා වන්දනාවට පැමිණ සිටි ජන ගඟ

දෙපා වාරු නැති හිමිවරුන්ගේ පිහිටට ආ පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයෝ