ආණ්ඩුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශන වේගවත් කර තිබේ. වසර හයක් තිස්සේ පාස්කු විමර්ශන යට ගසාගෙන සිටි කුමන්ත්‍රණකරුවන් අවසන් සටනට සූදානම් වන බව පෙනේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බොහෝ අවස්ථාවල පැවසූ පරිදි සැබෑ අපරාධකරුවන් ‘රෙඩ් කාපට්’ යට සැඟවීමටය. නැඟෙනහිර පළාතේ හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔවුහු වියරු වැටී සිටිති.
විශේෂ රඳවාගැනීම් නියෝග යටතේ අත්අඩංගුවේ සිටින පිල්ලෙයාන් හමු වීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට හා පිවිතුරු හෙළ උරුමයේ ගම්මන්පිලට හදිසි අවශ්‍යතාවක් ඇතිවීමෙන් මේ අපරාධය පිටුපස සිටින අවශේෂ චරිත කවුරුන්ද යන්න පිළිබඳ ජනතාවට නිවැරදි අවබෝධයක් ලැබිණි. දැන් පිල්ලෙයාන්ගේ අහිංසකබව ගැන කතා කරන්නට බොහෝ කටවල් විවර වී තිබේ.
පාස්කු ඉරුදින කතෝලික බැතිමතුන්ට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළ උදවිය සකස් කළ පිටපතේ ඇතුළත් වූයේ සියල්ල අවසානයේ සමස්ත අපරාධයේ වගකීම අයිඑස්අයිඑස් ඉස්ලාම් අන්තවාදීන්ට පැටවීමය. ඒ කොන්ත්‍රාත්තුව භාර ගෙන තිබුණේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් රොහාන් ගුණරත්න විසිනි. ඔහු දිගින් දිගටම පැවසුවේ ඉස්ලාමීය අන්තවාදීන් විසින් කතෝලිකයන්ට විරුද්ධව පාස්කු ඉරුදින ප්‍රහාරය සැලසුම් කළ බවයි.
මේ නාටකයේ අලුත්ම අංකය එළියට ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් විමර්ශන ආරම්භ කිරීමත් සමගය. අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ අධිකරණය පසුගියදා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. ඊට අනුව ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ඉරුදින ප්‍රහාරය සැලසුම් කළේ ඉස්ලාමීය අන්තවාදීන් විසින් බවත්, අයිඑස්අයිඑස් නායක අබ්දුල් බග්ඩාඩි පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබූ බවත් සඳහන් විය. මේ කතාව රොහාන් ගුණරත්න දිගින් දිගටම ඉදිරිපත් කළ ප්‍රකාශය හා ඉතා හොඳින් සමපාත විය.
මහා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව 2023 ඔක්තෝබර් 6 වැනිදා ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පැයක වාර්තා චිත්‍රපටයක් විකාශය කළේය. චැනල් 4 ප්‍රවෘත්ති කර්තෘ බෙන් පෙයාර් මේ වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබිණි. ඊට පදනම් වී තිබුණේ පිල්ලෙයාන්ගේ මාධ්‍ය ලේකම් හන්සීර් මවුලානා විසින් චැනල් 4 නාළිකාව හමුවේ කරන ලද ප්‍රකාශයන්ය.
ඊට අමතරව, එහි ශ්‍රී ලංකාවෙන් පිටත සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකයකු වන නිශාන්ත ද සිල්වා කළ ප්‍රකාශයක් ද ඇතුළත් විය. හන්සීර් මවුලානා මේ වැඩසටහනේදී ප්‍රකාශ කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය සිදු වන වකවානුවේ තමා සහ පිල්ලෙයාන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවයි. තමා ගෝඨාභය රාජපක්ෂ ප්‍රථමයෙන් හමු වූයේ ‘ට්‍රිපොලි ප්ලැටූන්’ නම් මිලිටරි කණ්ඩායම පිහිටුවූ අවස්ථාවේදී බව ද ඔහු එහිදී පවසා තිබිණි.
“ට්‍රිපොලි ප්ලැටුන් එක වැඩ කළේ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ ඍජු අණ දීම යටතේ. ඔහු පිල්ලෙයාන්ට උපදෙස් දුන්නා ඔහුට අවශ්‍ය නිලධාරීන් ඊට ඇතුළත් කරගෙන වැඩ කරගෙන යන ලෙස. ට්‍රිපොලි ප්ලැටූන් එක රජයට විරුද්ධ මිනිසුන් තෝරා, ඒ මිනිස්සු ඝාතනය කළා. එක් අවස්ථාවක ඔහුගේ මේසය මත සන්ඩේ ලීඩර් පුවත්පත තිබුණා. එය පෙන්වා ඔහු කීවා ‘මේ බල්ලා හැම වෙලේම මගෙත් එක්ක සෙල්ලම් කරනවා, ඉක්මනින්ම ඔහු ඝාතනය කළ යුතුයි’ කියා. ‘ඔයාට පුළුවන් තරම් ඉක්මනින් ඒක කරන්නයැ’ යි ඔහු පිල්ලෙයන්ට කිවුවා.
“පිල්ලෙයාන් සිරගතව සිටියදී මට පණිවිඩයක් එවමින් කියා සිටියා ‘මා සමඟ මුස්ලිම් අන්තවාදීන් පිරිසක් සිටිනවා, ඔවුන් හරිම ඉන්ටරස්ටින්, ඔබ ඔවුන් හමු විය යුතුයි’ කියා. මා ඔවුන් හමුවීමට ගියා. බන්ධනාගාර නිලධාරීන් එක් සිරකරුවකු මට මුණගැස්වූවා. මා ඔහුට ‘සලාම්’ කීවා. ඔහුත් මට ‘සලාම්’ කීවා. ඇත්ත වශයෙන්ම එවැනි මිනිසුන් මා මීට පෙර දැක නැහැ. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ මරණය: මරණයමයි. මොකද, ඔවුන්ට අවශ්‍ය වී තිබුණා ස්වර්ගයට යන්න. පිල්ලෙයාන් කිවුවා ‘ඒක හොඳයි, අපට ඔවුන් පාවිච්චි කරන්න පුළුවන්’ කියා. ඔවුන් ලෝකයේ වෙනත් කිසිම දෙයක් ගැන ආසාවකින් පසු වූයේ නැහැ. පිල්ලෙයාන් නීතිඥයකුගේ මාර්ගයෙන් ඔවුන් නිදහස් කරගත් බව පසුව දැනගන්න ලැබුණා.
“2018 ජනවාරියේ පිල්ලෙයාන් මට කිවුවා මේ අයට හමුදා බුද්ධි අංශයේ සුරේෂ් සලේ සමඟ සාකච්ඡාවක් සූදානම් කර දෙන්න කියා. හැම දෙනාටම පණිවිඩය දීලා, මා සාකච්ඡාව සංවිධානය කළා. ඒ සාකච්ඡාව තිබ්බේ වනාතවිල්ලුව ප්‍රදේශයේ පොල් වත්තක. එතැන කුඩා ගෙයක් තිබුණා. මුස්ලිම්වරු හයදෙනෙක් වෑන් රියකින් පැමිණියා. ඒ පිරිස අතර ෂයිනි මවුලවී සිටියා. ඔහුගේ සහෝදරයා වූ සහරාන් හෂීම් හඳුන්වා දීලා මට කිවුවා ‘සහරාන් තමයි අපේ නායකයා’ කියලා කියලා. මා ඔවුන්ට සුරේෂ් සලේ හඳුන්වා දුන්නා.
“සුරේෂ් සලේ සමඟ ඔවුන් කළ සාකච්ඡාවට ගොඩක් වෙලා ගියා. ඒ වෙලාවේ සලේ ‘මේ වෙලාවේ රාජපක්ෂලාට අවශ්‍යයි ශ්‍රී ලංකාවේ අස්ථාවර තත්ත්වයක් ඇති කරන්න. ගෝඨාභයට ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙන්න තිබෙන එකම ක්‍රමය එය පමණයි’ මට කිවුවා. පාස්කු ඉරුදින ප්‍රහාරය වූ දා සිදු වූ සිද්ධියක් ද ඔහු මා සමඟ පැවසුවා. එදින උදේ සුරේෂ් සලේ මට දුර ඇමතුමක් ගත්තා. ඔහු කියා සිටියා ‘ටාජ් සමුද්‍රා හෝටලයේ කෙනෙක් ඉන්නවා, වහාම ඔහු ඔයාගේ වාහනයට ගන්න’ කියා; ‘ඔහු ගත් විගස හැකි ඉක්මනින් ඔහු කැමැති ස්ථානයකට ගෙන ගොස් බස්සන්න’ කියාත් කිවුවා. මා සුරේෂ් සලේට කිවුවා ‘සර්, මේ වෙලාවේ මම ඉන්නේ මඩකලපුවේ’ කියා. බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මා ඔවුන් හඳුනාගත්තා. බෝම්බ පුපුරවාගෙන තිබුණේ වනාතවිල්ලුවේදී සුරේෂ් සලේ සමඟ සාකච්ඡා කළ පිරිසයි. මේ සිදුවීම ගැන මා පිල්ලෙයාන්ට කිවුවා. පිල්ලෙයාන් මට කිවුවා ‘ඔයා කට වහගන්න, එච්චරයි’ කියලා.”
තමාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සුරේෂ් සලේ පවසා තිබුණේ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් සමඟ තමාට කිසිදු සම්බන්ධයක් නොතිබුණු බවයි. තමා ඔවුන් සමඟ සාකච්ඡා කළ බව කියන වකවානුවේ මැලේසියාවේ සේවය කරමින් සිටි බවද හෙතෙම සඳහන් කර ඇත. පාස්කු ප්‍රහාරය සිදු වන අවස්ථාවේ තමා සිටියේ ඉන්දියාවේ බව පවසන සුරේෂ් සලේ තමා ඒ කාලය තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමඟ කටයුතු නොකළ බව ද පවසා ඇත.
කෙසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් වහා සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා ලෙස පත් කළේය. එපමණක් නොව, ඔහු පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පැවති සියලු විමර්ශන කණපිට ගැසුවේය; අදාළ විමර්ශන සිදු කරමින් සිටි ශානි අබේසේකර ඇතුළු කීර්තිමත් විමර්ශන නිලධාරීන් සී සීකඩ විසුරුවා හැරියේය. එතෙකින් නොනැවතුණු ඔහු ඒ නිලධාරීන්ට විරුද්ධව විවිධ චෝදනා ගොනු කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
ජාතික තව්හීද් ජමාත් සංවිධානය කතෝලික පල්ලිවලට ප්‍රහාරයක් එල්ල කරන බවට ඉන්දීය ඔත්තු සේවා මූලාශ්‍රවලින් ලැබුණු තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවූ බව චැනල් 4 වැඩසටහන ප්‍රකාශ කර තිබිණි. තව්හීද් ජමාත් සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ගත් උත්සාහයන් හමුදා බුද්ධි අංශ විසින් පීලිපැනීමට ලක් කළ බවට චෝදනා එල්ල වේ.
චැනල් 4 නාළිකාව ඉදිරිපත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තුළ කම්පනසහගත තත්ත්වයක් ඇති කළ බව අමුතුවෙන් කිවයුතු නැත.
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ මහාචාර්ය රොහාන් ගුණරත්න 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු අපරාධයේ වගකීම ඉස්ලාම් අන්තවාදීන්ට පවරමින් දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කළේ මේ සියල්ල පිටුපස සිටින මහමොළකරු ඔහු යැයි හැඟෙන පරිද්දෙනි.
පුවත්පත් සංවාදයකට සහභාගි වෙමින් 2021 දෙසැම්බර් 5 ඉරිදා මහාචාර්ය රොහාන් ගුණරත්න ප්‍රකාශ කර තිබුණේ මෙසේය:
“පාස්කු ඉරුදින ප්‍රහාරය සිදු කළ ඉස්ලාමික් ස්ටේට්ස් සංවිධානය ගැන මා අවස්ථා කිහිපයකදීම රට දැනුම්වත් කර තිබෙනවා; රටේ නායකයන්ටත් දැනුම් දී තිබෙනවා; ඔත්තු සේවාවන්ට දැනුම් දී තිබෙනවා. මා සාධක සහිතව පෙන්වන්නම් මා ගත් පියවර. මා මුලින්ම දේශපාලන නායකයන්ට කිවුවා. ඔවුන් ඒ ගැන දක්වන නොසැලකිල්ල නිසා දෙවනුව මාධ්‍යයට ප්‍රකාශ කළා. මේ අනතුරු සම්බන්ධයෙන් මා මුලින්ම ප්‍රකාශයක් කළේ සිලෝන් ටුඩේ පුවත්පතට. මේ කරුණු මා පෙන්වා දුන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සිදු වීමට අවුරුදු දෙකහමාරකට පෙර. දෙමළ ඊළාම් යුද්ධය නිසා අපේ රට අවුරුදු 30ක් දුක් වින්දා. රාජපක්ෂ ආණ්ඩුව ඒ ප්‍රශ්නය නිරාකරණය කළා. සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව අද පවතින තත්ත්වයේ අනතුර දැනගන්න ඕනෑ. ප්‍රහාරය සිදු වුණේ අප්‍රේල් 21 දා. මම මාර්තු 21 වැනිදා ශ්‍රී ලංකා රජයට වාර්තාවක් දී, සහරාන් හෂීම් සහ ඔහු සමඟ වැඩ කරන සියල්ලන් අත්අඩංගුවට ගතයුතු බව අවධාරණය කළා. රජයේ ආයතනයකින් මට පිළිතුරු ලැබුණා. රජය දැන් සිටින ස්ථාවරය අනුව එවැනි පියවරක් ගත නොහැකි බව එයින් කියවුණා. (2021 දෙසැම්බර් 5, මව්බිම පුවත්පත)
මේ සියලු කරුණුවලින් පෙනී යන්නේ ජාතික රක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් ගුණරත්න මහ පොළොවේ සිදු වන දේට අවධානය යොමු වීම වැළැක්වීම සඳහා සෑම අවස්ථාවකම හඳට ඇඟිල්ල දිගු කර තිබෙන බවයි.
ශ්‍රී ලංකා පොලීසිය අපරාධ විමර්ශන කටයුතුවලට විශිෂ්ට සමත්කම් දක්වා තිබේ. අපරාධ හඹා යෑම සම්බන්ධයෙන් මෙරට පොලීසියට ජාත්‍යන්තරයේ පැතිරුණු කීර්තියක් හිමිය. ඕනෑම විමර්ශනයකදී ඉතා කෙටි කාලයකදී සාර්ථකත්වයට ළඟා වීමට ඔවුහු සමත්ය. එහෙත් ප්‍රශ්නය වන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පූර්ව සිදුවීම් එක පෙළට දිගහැරෙද්දී, ශ්‍රී ලංකාවේ පොලීසිය කටයුතු කර තිබෙන ආකාරය ගැටලුසහගත වීමය.
පාස්කු ඉරුදින සිදුවීම්වලට අදාළව වාර්තා වූ ප්‍රථම සිද්ධිය වූයේ 2018 දෙසැම්බරයේදී, මාවනැල්ල නගරයේ බුද්ධ ප්‍රතිමාවලටට පහර දීමයි. ඒ අස්වාභාවික සිදු වීම අදාළ අංශ ප්‍රමාණවත් බරකින් විමර්ශනය නොකළේය.
දෙවැනි අවස්ථාව වූයේ 2019 ජනවාරියේදී, පුත්තලම වනාතවිල්ලුවේ ලැක්ටෝවත්ත නම් ස්ථානයේ තිබී යූරියා නයිට්‍රේට් නමැති ඉතා ප්‍රබල පිපුරුම්කාරකය කි.ග්‍රෑ. 100කට අධික ප්‍රමාණයක් සහ තවත් පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගැනීමය. පසුව හෙළිවූයේ ඒ පිළිබඳ විමර්ශනවලට ද නිසි බර යොදා නොතිබූ බවය.
තුන්වැනි අවස්ථාව වූයේ 2018 නොවැම්බරයේදී, මඩකලපුව වවුනතිව් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනයයි. එයද පාස්කු ඉරුදින ත්‍රස්තයන්ගේ ක්‍රියාවක් වූ අතර, මේ සිදුවීම කොටි සංවිධානයට බැර කොට ඉලක්කය වෙනස් අතකට යොමු කරන ලද්දේ හමුදා බුද්ධි අංශයට සම්බන්ධ පුද්ගලයන් විසිනි.
සිවුවැනි අවස්ථාව පාස්කු ඉරුදින ප්‍රහාරයට ඉතා ආසන්නව, කාත්තන්කුඩි ප්‍රදේශයේ ගොවිපොළක යතුරුපැදියක බෝම්බයක් පුපුරුවාහැරීමේ සිද්ධියයි. මේ සිද්ධියට ද නිසි අවධානය යොමු කළේ නැත. මේ සිදුවීම් පෙළ මනාව අධ්‍යයනය කිරීමෙන්, මේ සියල්ල පිටුපස රජයේ බලගතු හස්තයක් ක්‍රියාත්මක වූ බව ඕනෑම කෙනකුට පැහැදිලිව වැටහේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පත් කළ පාස්කු විමර්ශන කොමිසම පිටු 66,000ක වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. වර්තමාන ආණ්ඩුව ඒ වාර්තාව පසුගියදා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබූ අතර, පොලිස්පතිවරයා එය විමර්ශනය කිරීම සඳහා විශේෂඥ දැනුම ඇති පොලිස් නිලධාරින්ගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ. එයද එසේ මෙසේ පහසු කාර්යයක් නොවේ.
පවුල් දහසකගේ පමණ සාමාජිකයන් 269ක් මරාදමා 500ක් තුවාල කොට ශ්‍රී ලංකාව මහා විනාශයකට තල්ලු කර දැමූ පාස්කු ඉරුදින අපරාධය සැලසුම් කළ මහමොළකරුවාට තවදුරටත් හැංගිමුත්තන් කෙළින්න ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබේ. දැනටමත් රජයේ යම් යම් වගකීම් දරමින් මේ උත්සාහය වැළැක්වීම සඳහා කකුලෙන් අදින නිලධාරීන් සිටී නම්, ඔවුන් විත්ති කූඩුවට නැංවිය යුතුය.
ත්‍රස්ත බියෙන් තොරව ජීවත් වීමේ අයිතිය සෑම පුරවැසියකුගේම මානව හිමිකමකි. ත්‍රස්ත බියෙන් තොරව ජීවත් වන්න නම් ත්‍රස්තවාදීන්, ඔවුන් උසිගන්වන්නන්, ඔවුන්ට ආධාර අනුබල දෙන්නන් නිවැරදිව හඳුනාගෙන, ඔවුන් නීතිය හමුවට පමුණුවා දඬුවම් දිය යුතුය. මේ වගකීම පැවරෙන්නේ රාජ්‍ය ආරක්ෂාව භාර ආයතනයන්ටය. ඒ වගකීම ඉටු කරන තුරු පුරවැසියන් පසුවන්නේ බියෙනි. මන්ද යත්: ඕනෑම මොහොතක ත්‍රස්තවාදීන් කරළියට පැමිණ, පුරවැසියන්ගේ ජීවිත බිලිගන්නට ඉඩ ඇති හෙයිනි.
ශ්‍රී ලංකාව වඩාත් පරිස්සම් විය යුත්තේ සුදු කරපටි ත්‍රස්තවාදීන්ගෙනි.
දේශපාලන ලියුම්කරු විසිනි