Home » නිවන් මඟේ ‘ෂෝට් කට්’ සෙවීම

නිවන් මඟේ ‘ෂෝට් කට්’ සෙවීම

by Mahesh Lakehouse
April 26, 2025 12:30 am 0 comment
තාරක වික්‍රමසේකර

හනුවර දළදා මැඳුරේ වැඩසිටින දළදා වහන්සේ වන්දනාමාන කිරීමට දිනකට ඇදී එන පිරිස දසදහසකට ආසන්නය. ඒ අතර විදේශීය පිරිස්ද සැලකිය යුතු පිරිසකි. දෑසින් දැක ගැන්මට නොහැකි වුවත් විදේශිකයෝද එසේ පැමිණෙන්නේ දළදා වහන්සේ වැඩ සිටින තැන වන්දනාවට නැත් නම් එම ස්ථානයට පැමිණීම හෝ ඔවුන්ට සතුටක් උපදවන හෙයිනි.

සාමාන්‍ය දිනකට එතරම් පිරිසක් පැය 10කට ආසන්න කාලයකදී පැමිණෙන්නේ නම් පැයකට දහසකට ආසන්න පිරිසක් පැමිණෙන බව සාමාන්‍ය වශයෙන් තක්සේරු කළ හැකිය.

දළදා වහන්සේ වන්දනාවට මෙතරම් ජනතාවක් උනන්දු වන්නේ ජීවමාන බුදු රජාණන් වහන්සේ වන්දනා කිරීමක් හා සමාන බවට බෞද්ධයන්ගේ ඇති විශ්වාසය නිසාය. ඒ ගෞරවය නිසාම වසර දශක කිහිපයකට පසුව හෝ ඒ ආසන්න කාලයකදී දළදා වහන්සේ වැඩසිටින කරඬුවෙන් එළියට වැඩමවා විශේෂ දළදා දැක්මක් පැවැත්වීම රජ දවස සිට සිදු කෙරුණු අතර අවසන් වසර මීට වසර 16කට පෙර එනම් 2009 වසරේදී එවන් විශේෂ දළදා දැක්මක් පැවැත්වුණු අතර, මේ වසරේදීද එවන් විශේෂිත දළදා දැක්මක් පැවැත්වීමට දළදා වහන්සේගේ භාරකාරත්වය දරන සියම් මහානිකායික මහනාහිමිවරු කටයුතු කළහ. දළදා වහන්සේගේ ගිහිභාරකාර දියවඩන නිලමේවරයාගේද පූර්ණ සහයෝගයෙන් මේ කාර්යය සිදු කරන්නට පියවර ගැනිණි.

පසුගිය 18 වැනිදා ආරම්භ වූ දළදා වහන්සේ විශේෂ දැක්ම 27 වැනිදා දක්වා දින 10ක් අඛණ්ඩව පැවැත්වීමට තීරණය කෙරිණි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පළමු දින ආරම්භයෙන් පසු ජනතාවට එදින පස්වරු 3.30ට ප්‍රදර්ශනය විවෘත කිරීමට නියමිතව තිබුණු නමුත්, සියලු කාර්යයන් කල්වේලා ඇතිව සිදු කෙරුණු හෙයින් එදින පස්වරු 2.45 සිටම මහජනතාවට දළදා දැක්ම විවෘත කෙරිණි.

දළදා දැක්ම ආරම්භ කිරීමට සති කිහිපයකට පෙර නිවේදනයක් නිකුත් කරමින් රජය පවසා තිබුණේ මෙවර ප්‍රභූ අවසර පත් (VIP) නිකුත් නොකරන බවයි. සියලු දෙනාටම පොදු මහජන පෝලිමේ වන්දනා කිරීමට සිදු වන බව දන්වා තිබිණි. භික්ෂූන් වහන්සේ මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති අයට පමණක් විශේෂිත ඇතුළු වීමේ ක්‍රමවේද සකස් කරන්නට කල් ඇතිවම කටයුතු යොදා තිබිණි.

ප්‍රභූ අවසර පත් නිකුත් නොකරක බව ප්‍රසිද්ධ කළ ලෙසම එය ක්‍රියාවට නැංවිණි. එවැනි ප්‍රභූ අවසර පත් නිකුත් නොකෙරුණු අතර, මහ ජනතාවට පෝලිම් 3ක් ඔස්සේ ගොස් දළදා වන්දනාව කිරීමට අවශ්‍ය පහසුකම් සලසා තිබිණි. තත්ත්පරයකට තිදෙනකුට එලෙස වන්දනා කිරීමට අවශ්‍ය පහසුකම් සැලසිණි.

එහෙත් දෙවැනි දිනය වන 19 වැනිදා පස්වරුවේ සිට දළදා වහන්සේ වන්දනාව පිණිස ස්ථාපිත කළ පෝලිම් 3ට අමතරව වෙනත් පැතිවලින් ජනතාව ඇතුළු වී දළදා වහන්සේ වන්දනාව පිණිස යන බවට වාර්තා විය. ඒ සම්බන්ධයෙන් වරින් වර සමාජ මාධ්‍ය මඟින්ද වාර්තා කෙරිණි. මේ සම්බන්ධයෙන් විමසා බැලූ අපට පෙනී ගියේද එවන් විශේෂිත පෝලිමක් වරින් වර ක්‍රියාත්මක වන බවයි. ජනතාවද වරින් වර ඒ ඔස්සේ දළදා වන්දනාව පිණිස ගමන් කරනු දක්නට ලැබිණි.

පොදු මහජනතාවට වන්දනාව පිණිස ස්ථාපිත එක් මාවතක් සකස් කර තිබුණේ ඩී.එස්. සේනානායක වීදියෙන් කොළඹ වීදිය හරහා දේව වීදියෙන් මහමළුවට පිවිසීමටයි. තවත් පෝලිමක් මහනුවර වැවරවුමේ අම්පිටිය පැත්තේ සිට සංඝරාජ මාවත ඔස්සේ ‘ජෝයි බෝට් සර්විස්’ හරහා රැජන හෝටලය ඉදිරිපිටින් මාලිගාවට ඇතුළු වීමට මාවත සකස් කර තිබිණි. අනෙක් මාර්ගය මහනුවර රතු බෝක්කුව පැත්තේ සිට දළදා මාලිගාවේ උල්පැන් ගේ පසු කර රැජන හෝටලය ඉදිරිපිටින් පැමිණීමට සලසා අහස් පාලමක් ඔස්සේ ඔවුන්ටද මහමළුවට ඇතුළු වීමට පිළියෙල කර තිබිණි.

කුමන මාවතක් ඔස්සේ පැමිණියත් මහමළුවේදී ඒ මාර්ග තුනෙන්ම පැමිණි ජනතාව එකතුව වන්දනාවට යොමු කෙරිණි.

එවන් මාර්ග තුනක් තිබුණද, තවත් මාර්ග ඔස්සේ වරින් වර නිල නොවන ලෙස පිරිස් වන්දනාවට යන බවක් නිරීක්ෂණය කළ හැකි විය. ඉන් එක් මාර්ගයකින් ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය හරහා ගොස් මාලිගාවේ පසුපස ගේට්ටුවක් හරහා පිරිස් මහමළුවට යොමු කෙරිණි. තවත් මාවතකින් පිරිස් දළදා වන්දනාවට යන බවක්ද දක්නට ලැබිණි. ඒ, ආසන්න විහාරස්ථානවල සහ පොලිස් ක්‍රීඩාංගණයේ සිට වාහනවලින් ඩී.එස්. සේනානායක වීදියෙන් ගමන් කර, රජ වීදියෙන් පැමිණ විෂ්ණු දේවාලය හරහා කෞතුකාගාරය ළඟින් දළදා මැඳුරට ඇතුළු වීමෙනි.

මෙහිදී අප හමුවේ පැනනඟින පැනය වන්නේ පොදු පෝලිම්වල දින දෙක තුනක් තිස්සේ ජනතාව දුෂ්කර ක්‍රියා කරද්දී එලෙස ගමන් කළේ කවුරුන්ද යන්නය.

මෙහිදී එක් කරුණක් පැහැදිලිව සඳහන් කළ යුතුය. මේ අනවසර පෝලිම් ඔස්සේ කිසිදු දේශපාලකයකු තම හිතවතුන් ඇතුළු කළේ නැත. එය ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේද එක සේම බව පෙන්වා දිය යුතුය. දේශපාලකයා යනු බොහෝ තැන්හි සමාජයේ දැඩි දෝෂදර්ශනයට ලක් වන්නකු වුවද මේ අවස්ථාවේ නම් ඔවුන් ඒ දෝෂ දර්ශනයෙන් මුදා ලිය යුතුය. අපට පළමුව මාලිගාවෙන් වාර්තා වූයේ එලෙස ඇතුළු වන්නේ මාලිගාවේ සේවක පිරිස් පමණක් බවයි.

දළදා මාලිගාව හා සම්බන්ධිත පිරිස් මෙන්ම දළදා පෙරහරට සම්බන්ධ වන්නා වූ පිරිස් හා ඔවුන්ගේ පවුල්වල අය මේ ලෙස වෙනත් මාර්ගයකින් පැමිණ දළදා වහන්සේ වන්දනාමාන කිරීම ගැන යම් ආකාරයක සුළු හෝ සාධාරණත්වයක් තිබිය හැකිය. රජ්ජුරුවන්ගේ මල් වත්තේ මල් කඩන්නට රජ්ජුරුවන්ට කාගෙන්වත් අවසර අවශ්‍ය නොවන්නා සේ මාලිගාවේ ඇත්තනට තමන්ට රිසි යමක් කළ හැකිය යන්න ඉන් කිසි සේත්ම අදහස් නොවේ. එහෙත් හෙළයේ මහා කලා මංගල්‍යය වන දළදා පෙරහරේ පාරම්පරික කලා ශිල්පීහු බොහෝය. ඔවුහු ඇතැම් විට වසර මුළුල්ලේම දළදා පෙරහර වෙනුවෙන් මහන්සි වී කටයුතු කරති; මාසික වැටුපක්ද නැත. එනිසා ඔවුන්ට ඇතැම් විට ජීවිතයේ එක් වරක් පමණක් දැකිය හැකි වන්නට පවා ඉඩ ඇති දළදා වහන්සේ දැක බලා ගැනීමට යම් ආකාරයක හෝ අනෙක් අයට වඩා යම් හෝ අවස්ථාවක් සලසා දීමේ සාධාරණයත්වයක් තිබිය හැකිය. එය නීතිමය අයිතියක් නොවුණද ඔවුන්ගේ කැප වීමට, සේවයට කරනු ලබන තුති පිදීමක් හෝ පිරිනමන වරප්‍රසාදයක් ලෙස සැලකිය හැකිය.

එහෙත් දිනපතා තුන් හාරදහසක් පමණ රංචු පිටින් යන්නට තරම් පිරිසක් දළදා තේවාවේ හෝ පෙරහර රාජකාරියේ හෝ අස්ගිරි මල්වතු විහාරයන්ට සම්බන්ධව සිටිත්ද?

මෙහිලා අපට පැහැදිලි වන සත්‍යය නම් දන්නා අඳුනන අය මාර්ගයෙන් ගොස් හොර පාරෙන් රිංගා යන්නන් බහුතරයක් සිටි බවයි.

වයොවෘද්ධ උපාසක උපාසිකාවන් දින ගණන් පෝලිම්වල සිටියදී, ඇතැම් අය වැස්සේ තෙමෙමින් සිටියදී, මෙලෙස හොර පාරෙන් ගිය බොහෝ දෙනා දින කිහිපයක් හෝ එක තැනක කෙළින් සිටිය හැකි අය වෙති.

අත පය වාරු නැති අය පෝලිම්වල සිටියදී වැසිකිළි පහසුකම් පවා නිසි ලෙස ලබන්නට හැකියාව නොතිබෙද්දී මහනුවරට පැමිණි විගස පැයක් දෙකක් ඇතුළත දළදා වන්දනාව සිදු කර ආපසු යන්න තරම් ඔවුහු පින් ඇත්තෝ වෙති. එහෙත් ඇත්තටම ඔවුහු පින් ඇත්තෝද? බුදු රජාණන් වහන්සේ හෝ ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව බෞද්ධයකු වශයෙක් සිදු කරගන්නා උතුම් පුණ්‍යකර්මයකි. එයින්ද ජීවමාන බුදු රජාණන් වහන්සේ දැක්ම හා සමාන ලෙස සැලකෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලාගැන්ම ඊටත් වඩා පිනක් වන්නේය; කුසල් කිරීමෙන් නිවනද ළං වන්නේය.

එහෙත් මේ නිවනටද දැන් අපේ පිරිස් ‘ෂෝට් කට්’ සොයමින් සිටිති. බෝසතාණන් වහන්සේ වසර හයක් දුෂ්කරක්‍රියා කරමින් පිට බඩට ඇලෙන තෙක්, ඇස් ගිලී යන තෙක් ඒ ශීලය රැක ගත්හ. එහෙත් අද සිදුව ඇත්තේ වයස අවුරුදු 80ක පමණ අය දින දෙක තුන පෝලිම්වල සිටියදී, අත-පය වාරු ඇති තරුණ ඇත්තන් ඇතුළු සමාජයේ ඉහළයැයි සම්මත රැකියාවල නිරත අය හා යහමින් මුදල් ගැවසෙන ලොකු වාහනවල පැමිණෙන අය දැන-ඇඳුනුම්කම් හා තම වෘත්තිය භාවිත කරමින් මෙසේ දළදා වන්දනාවද අවභාවිත කිරීමය. බෝසතාණන් වහන්සේ නිවන් මඟට පිවිසුණේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ඵල ක්‍රමයෙන් ලබමිනි.

එහෙත් නිසි ක්‍රමවේදයක් යටතේ ඇති පෝලිම්වල නොගොස්, මෙලෙස පිට පාරේ යන ඇත්තන් කඩිනමින් නිවන් දකින්න යන්නේදැයි අපි නොදනිමු. පිරිසක් පෝලිම්වල වධ විඳිමින් සිටියදී, තවත් පිරිසක් කඩිනමින් වන්දනාමාන කර පැමිණෙන්නේ ඔවුන් පෙර කළ පින් මහිමය නිසා නොවේ. එය ඔවුන් අයථා ක්‍රම, නොඑසේ නම් දහමේද දැක්වෙන සමානාත්මතාවට පිටුපා බලයෙන් තම අවශ්‍යතා ඉටු කරගැනීමකි. ඔවුන් නිවන් යෑමටත් වංචාවක් සිදුකරන බවක් අපට පෙනී යන්නේය. අනෙක් දින ගණන් අය පෙළින් පෙළ යද්දී අනෙකාගේ අයිතිවාසිකම් උදුරාගෙන පහන්සිත් ඇති කරගත හැකිද? ‘පාරක් තිබෙන නිසා, අපි දන්න අඳුනන නිසා ගියා’ වැනි වදන් තමන්ගේ අවකල්කිරියාව සාධාරණීකරණය කරගැනීමට හදාගන්නා ඒවා මිස, ඒ කිසිවක් සාධාරණත්වයට නම් අදාළම නැත.

VIP පෝලිම්වල ගියාට නිවනට නම් VIP නැති බව දළදා වහන්සේ වැඳපුදාගන්නට පිට පාරෙන් යන ඇත්තන් වටහා ගත යුතුය. අනෙක් අය දුක් විඳිද්දී හොරෙන් ගොස් ඒ අයගේ අවස්ථාව පැහැරගැනීම හිරි-ඔතප් හෙවත් විලි-බිය නැති වැඩකි. කොළඹ හෝ වෙනත් නගරවල සිට ගොස් එසේ දළදා වැදීමෙන් පින් රැස් කරගත හැක්කේද? නොඑසේ නම් අනෙක් අයට පෙර වන්දනා කර ඔවුන් පෝලිමේ විඳිනා දුක දැක දැක, තමා එසේ දුක් නොවිඳ වන්දනා කළේයැයි ලබන සතුට ඇත්තෙන්ම නිරාමිස සතුටක් වන්නේද?

බුදුදහම අනුව නම් එය තමන් විසින් තමන්ම රවටාගැනීමකි. බුදු දහමේ දැක්වෙන වංචක ධර්ම ගොන්නට මේ ක්‍රියාද යොමු කළ හැකිය. එය කිසි සේත්ම ශ්‍රද්ධාවක් නොවන්නේ තම ධනය, බලය, ශක්තිය යොදා එවැනි බලයක් නැති අයගේ අයිතිය උදුරාගැනීම නිසාය. එවන් අයට නිවන් මඟ හෝ පහන් සිත් තිබේද යන පැනයට පිළිතුරු බුදු දහමේම දක්වා ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division