* මාලිගාවේ බෝම්බ ප්‍රහාරය ගැන හොයන්න කොමිසමක් පත් කළ ද එහි වාර්තාව අද වන තුරු එළියට ආවේ නෑ
* කොටි සංවිධානයට නඩු පැවරුවත් වගකීම් අත්හළ නිලධාරීන් වෙනුවෙන් පියවරක් ගත්තේ නෑ
* බෝම්බ ලොරියක් මහනුවර නගරයට ඇතුළු වූ බව රාජ්‍ය බුද්ධි සේවාව සතියකට පෙර රජයට දැනුම් දුන්නා
– රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක
මහනුවර ශ්‍රී දළදා මාලිගයට 1998 ජනවාරි 25 වැනිදා එල්ටීටීඊ සංවිධානය විසින් එල්ල කරන ලද බිහිසුණු බෝම්බ ප්‍රහාරය සිදු වීමට ප්‍රථම රාජ්‍ය බුද්ධි සේවාව ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව දැනුවත් කර තිබූ බව හෙළි වී ඇත. බුද්ධි අංශ විසින් කල් ඇතිව දැනුම්දී තිබියදීත් එවකට පැවති ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ රජය දළදා මාලිගාවේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු ආරක්ෂක ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නැත.
කොටි සංවිධානය විසින් 1998 ජනවාරි මාසයේ මහනුවර කේන්ද්‍ර කර ගනිමින් දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් සිදු කරන බව රාජ්‍ය බුද්ධි සේවාව ඇත්ත වශයෙන්ම දැනුවත්ව සිටියාද?
එසේ දැනුවත්ව සිටියා නම් බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කළාද?
දැනුවත් කළා නම් ඒ සම්බන්ධයෙන් රජය අවශ්‍ය ආරක්ෂක පියවර නොගත්තේ ඇයි?
පැනනඟින දහසක් ප්‍රශ්නවලට ලැබෙන පිළිතුර කුමක්ද?
ජනතාවට එය දැනගැනීමට අයිතියක් තිබේ. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරගැනීම සඳහා සුදුසුම පුද්ගලයා වන හිටපු නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක මහතා හමු වුණෙමි.
ඔහු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වැනි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වගකිවයුතු තනතුරු රාශියක් දැරූ නිලධරයෙකි. 1998 ජනවාරි 25 දා දළදා මාලිගාවට එල්ටීටීඊ ප්‍රහාරය එල්ල වන වකවානුවේ ඔහු රාජ්‍ය බුද්ධි සේවාවේ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර දැරුවේය.
අපගේ විමසුමට පිළිතුරු ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක මහතා මෙසේ පැවසීය:
“දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරය එල්ල වන වකවානුවේ මා කටයුතු කළේ මධ්‍යම පළාත භාර රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා ලෙසයි. 50 වැනි ජාතික නිදහස් උලෙළ ඒ වර්ෂයට යෙදී තිබුණා. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග තීරණයක් ගෙන තිබුණා නිදහසට අඩසියවසක් පිරෙන උත්සවය මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට පැවැත්වීමටත්, විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයා වන චාල්ස් කුමාරයා කැඳවීමටත්. මේ තීරණය නිල වශයෙන් දැනුම් දීමෙන් පසු මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකටම මා සහභාගි වුණා.
“මේ කාලය එල්ටීටීඊ සංවිධානය සමඟ ඉතා දරුණු යුද ගැටුම් පැවැති වකවානුවක්. නිදහස් දින උත්සවය මහනුවර පවත්වනවා නම්, චාල්ස් කුමාරයා ඒ සඳහා සහභාගි වනවා නම් අනිවාර්යයෙන්ම එල්ටීටීඊ සංවිධානයේ කිසියම් ක්‍රියාකාරකමක් මහනුවර කේන්ද්‍ර කොට සිදු විය හැකි බවට අනුමානයක් අප තුළ පැවතියා. දීර්ඝ කාලයක් එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විමර්ශනය කිරීම නිසා අපට අත්දැකීමක් තිබුණා වේළුපිල්ලේ ප්‍රභාකරන් සිතන, තීරණ ගන්නා ආකාරය පිළිබඳව.
“බොහෝ විට ඔවුන් ත්‍රස්ත ක්‍රියාකාරකම්වල යෙදුණේ අන්තර්ජාතික අවධානය යොමු වන පරිදියි. නුවර ජාතික නිදහස් දින උත්සවය පවත්වන්න රජය තීරණය කරනවා නම් එය වළක්වන්නට ඔවුන් ක්‍රියාත්මක විය හැකිය යන සැකය අපට තිබුණා. නුවර ප්‍රදේශයේ එල්ටීටීඊ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා ජනවාරි මාසයේ මුල් සතියේ විශේෂ අංශයක් ස්ථාපිත කරන්න මා කටයුතු කළා. ඒ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් හන්තානේ පිහිටි ගොඩනැඟිලි දෙකක් අප තාවකාලිකව ලබාගත්තා.
“එක් ගොඩනැඟිල්ලක ගුවන්විදුලි තරංග අවශෝෂණය කරගත හැකි ඇන්ටනාවක් සවිකර, පැය 24ම ඊට සවන් දීම සඳහා බුද්ධි නිලධාරීන් යෙදෙවුවා. ඒ වන විට කොටි සංවිධානය පණිවිඩ හුවමාරු කර ගන්නා ගුවන් විදුලි තරංග පිළිබඳ අපට දැනුවත්කමක් තිබුණා. ඒවා සුසර කර ගැනීමෙන් තමයි අපේ නිලධාරීන් ඔවුන්ගේ කතාබහට සවන් දෙන්නේ.
“මේ කාලය වන විට ඒ සඳහා යොදවා සිටි අපේ නිලධාරීන්ට තමිල් චෙල්වම්, කරුණා අම්මාන්, පිල්ලෙයාන් පමණක් නොවේ ප්‍රභාකරන් පවා කටහඬින් හඳුනාගන්න පුළුවන්. එල්ටීටීඊ නායකයන්ට ඔවුන් වගේම අපත් විවිධ සංඥා නාම භාවිත කළා. එවිට ඔවුන් කිසියම් කෝඩ් එකකින් පුද්ගලයකු හැඳින්වූවත් ඒ පුද්ගලයාගේ කටහඬින් ඔහු කවුද යන්න නිගමනය කිරීමේ හැකියාව අපේ බුද්ධි නිලධාරීන්ට තිබුණා. එල්ටීටීඊයේ පණිවිඩ හුවමාරුවලට සවන් දෙමින් බුද්ධි නිලධාරීන් විසින් දිනපතාම වාර්තාවක් මට ලබා දුන්නා.
“මෙන්න මේ වෙලාවේ තමයි අපි දැනගත්තේ එල්ටීටීඊ සංවිධානයට අයත් අධිබලැති පුපුරන ද්‍රව්‍ය සහිත ලොරි රථයක් මහනුවර ප්‍රදේශයට ඇතුළු වී තිබෙන බව. එහිදී, ඔවුන්ගේ පණිවිඩ හුවමාරුවලට අනුව, අප තේරුම් ගෙන තිබුණේ නුවර ප්‍රදේශයට කොටි සංවිධානයේ ලොරියක් ඇතුළු වී ඇති නමුත් එය යම් ආපදාවකට ලක් වී තිබෙන බවයි. ලොරියේ ඇතිව තිබූ යාන්ත්‍රික දෝෂය සකස් කර ගැනීම සඳහා ලොරිය භාරව පැමිණි පුද්ගලයන් කරුණා අම්මාන්ගෙන් උපදෙස් ගෙන තිබුණා. ඔවුන් අතර සිදු වූ සියලු කතාබස්වලට අපේ නිලධාරීන් කන්දී තිබුණා. ඒ අනුව අප තහවුරු කර ගත්තා එල්ටීටීඊ සංවිධානය ඉතා ආසන්න දිනක මහනුවරදී පිපිරීමක් සිදු කරන බව.
“බුද්ධි තොරතුරු තහවුරු කර ගත් වහාම මා කළේ එවකට ආරක්ෂක ලේකම්ව සිටි චන්දානන්ද ද සිල්වාට ඒ බව ලිඛිතව දැනුම් දීමයි. ඊට අමතරව මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට, මහනුවර භාර පොලිස් අධිකාරිවරයාටද වහාම ලිඛිතව දැනුම්දී, ඊට අමතරව මා යටතේ සිටි සහකාර පොලිස් අධිකාරිවරයා ලවා වාචිකවද දැනුම් දුන්නා. බෝම්බ පිපිරීම සිදු වන්නට සතියකට පෙර මේ දැනුවත් කිරීම් සියල්ල සිදු කිරීමට මගේ බුද්ධි අංශය සමත් වුණා.
“අධිබලැති බෝම්බ සහිත ට්‍රක් රථය නිසැක ලෙසම පුපුරවන බවට අපට විශ්වාසයක් තිබුණා. එහෙත් එය පුපුරවන්නේ කවර ස්ථානයකද? කවදාද? යන්න අප නිශ්චිතව දැන සිටියේ නෑ. මහනුවර කේන්ද්‍රස්ථානය වූ ඓතිහාසික දළදා මාලිගාවේ ආරක්ෂාව දැඩි කළා නම් ඔවුන්ට එදා මාලිගාව ආසන්නයට ළඟා වීමට හැකි වන්නේ නැහැ. නුවර ප්‍රදේශය මාර්ග බාධක යොදා දැඩි පරීක්ෂාවට භාජන කළා නම් බෝම්බ ලොරිය වෙනත් ස්ථානයකදී අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුණා. එහෙත් ඒ කිසිවක් සිදු වූයේ නැහැ.
“නිදහස් උත්සවයට ප්‍රථම දළදා මාලිගාවේ තීන්ත ආලේප කිරීම ඇතුළු රෙපෙයාර් වැඩ ආරම්භ වී තිබුණා. එහි කොන්ත්‍රාත්තු භාර ගෙන තිබුණේ එවකට ආරක්ෂක ඇමැතිවරයා වූ අනුරුද්ධ රත්වත්තේගේ පුතා ලොහාන් රත්වත්තේ විසින්. මාලිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වී සිටි තැනැත්තන්ගේ වාහන සහ භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරි නිතර මාලිගාව අසලට පැමිණ තිබුණා. කොටි සංවිධානයේ ඔත්තුකරුවන් ඒ සම්බන්ධව දැනුවත්ව සිට තිබෙනවා.
“බෝම්බ රැගත් ලොරිය රජ වීදිය ඔස්සේ පැමිණ තිබෙන්නේ හරියටම ජනවාරි 25 දින උදෑසන 6.10ට. දළදා මාලිගාවේ වාහල්කඩ දක්වා පැමිණීමට බෝම්බ ලොරියට කිසිදු බාධකයක් තිබී නැහැ. ඒ දිනවල එම ස්ථානය දක්වා කම්කරුවන් සහිත ලොරි නිතර ඇවිත් තිබෙනවා. ඒ තත්ත්වය்තුළ කොටි සංවිධානය ඉන් ප්‍රයෝජන ගත්තා. ලොරිය වාහල්කඩ ඉදිරිපිට නතර කළ වහාම පුපුරුවා හැරියා. එහි සීෆෝ වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ 400ක් පමණ තිබුණු බවයි සැලකෙන්නේ. පිපිරීමෙන් බරපතළ විනාශයක් සිදු වූ අතර, 16 දෙනෙක් එම ස්ථානයේදීම මරණයට පත් වූහ. දළදා මාලිගයට සහ අවට ගොඩනැඟිලිවලට අතිවිශාල භෞතික හානියක් ඉන් සිදුවුණා.
“මාලිගාව අසල බෝම්බ පිපිරීමක් සිදු වූ බව දැනගත් වහාම මම මාලිගාවට ගියා. අපි නුවර මිනිස්සු. අපේ ජීවිතයේ සෑම සංසිද්ධියක් එක්කම දළදා මාලිගාව සම්බන්ධයි. පුංචි කාලේ ඉඳලම මාලිගාව අපට සමීපයි. විභාග ලියන්න යන කොට, රස්සාවක් ලැබුණාම, විවාහ වුණාම, දරුවෙක් ලැබුණාම අපි පළමුවෙන් යන්නේ දළදා මාලිගාවට. බෝම්බෙන් විනාශ වුණ මාලිගාව දැක්කම මට කතා කරගන්න බැරුව ගියා. ඇත්තටම සුන්බුන් අතරින් මං මාලිගාවට ඇතුළු වුණේ හඬාවැටෙමින්. මේ දේ සිද්ධ වුණේ රාජ්‍ය බුද්ධි සේවාව සියලු දැනුවත් කිරීම සිදු කර තිබියදී. ආරක්ෂක අංශ කිසිම ආරක්ෂිත පියවරක් අරගෙන තිබුණේ නැහැ.
“එදා සිදු වුණේත් පාස්කු ප්‍රහාරයේදී සිදු වුණු දේමයි. බෝම්බය පිපිරීමෙන් පසු ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවුණේ මන්ද යන්න පිළිබඳ පරීක්ෂා කරන්න රජය කොමිසමක් පත් කළා. විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් පත් කළ ඒ ත්‍රිපුද්ගල කොමිසමට ආරක්ෂක ලේකම් චන්දානන්ද ද සිල්වා සහ පොලිස්පති අයත් වුණා. මම ඒ කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නා. එහිදී මම කොමිසම හමුවේ ප්‍රකාශ කළා රාජ්‍ය බුද්ධි සේවාව විසින් කොටි සංවිධානයේ බෝම්බ ලොරිය සම්බන්ධ සියලු තොරතුරු රජයට කල් ඇතිව දැනුම් දී තිබූ බව. ආරක්ෂක අංශ විසින් සිදු කළ අතපසු කිරීම සම්බන්ධයෙන් කොමිසමට හැම පැත්තකින්ම කරුණු ඉදිරිපත් වුණා. එහෙත් මේ කොමිසමේ වාර්තාව එළියට ආවේ නෑ. වගකීම් පැහැරහළ නිලධාරීන්ට කිසිම ගැටලුවක් ඇති වුණෙත් නැහැ. මේක තමයි අපේ රටේ තිබෙන අවාසනාවන්ත තත්ත්වය. දේශපාලන බලපෑම් නිසා කවුරුවත් වරදකරුවන් වන්නේ නෑ. අකාලයේ මියගිය ජීවිතවලටත්, විනාශ වූ ජාතික සම්පත්වලටත් කිසිවකු වගකියන්නේ නැහැ.
“කොහොම වුණත් බෝම්බ පිපිරීම පිළිබඳ විමර්ශන සිදු කොට පොලීසිය විසින් එල්ටීටීඊ සැකකරුවන්ට විරුද්ධව නඩු පැවරුවා. ඒ නඩුවේදී බෝම්බ ලොරිය නුවරට ගෙන ඒම සඳහා සහය වූ කොටි සාමාජිකයන්ට දඬුවම් නියම වුණා. එහෙත් ඔවුන් අතර කොටි සංවිධානයේ ප්‍රබලයන් සිටියේ නැහැ.”
1998 පෙබරවාරි 4 වැනිදා 50 වැනි ජාතික නිදහස් උලෙළ පවත්වන ලද්දේ ප්‍රථමයෙන් සූදානම් කර තිබූ පරිදි මහනුවරදී නොව, බත්තරමුල්ලේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසලය. ජාතික දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයා පැමිණියේය. ශ්‍රී ලංකාවේ පාලක පෙළැන්තිය තමන් දරන වගකීම් අනුව විවිධ වරප්‍රසාද උපරිමයෙන් භුක්ති විඳිති. එහෙත් වගකීම පැහැරහැරීම සම්බන්ධයෙන් ඔවුන් නීතිය හමුවේ වරදකරුවන්ව දඬුවම් ලබන්නේ නැත.
නිදහසින් පසු ගත වූ වසර 76 පුරා රටේ පාලකයන්ට ප්‍රභූ පෙළැන්තියට එක් නීතියකුත්, සාමාන්‍ය පුරවැසියාට එක් නීතියකුත් වශයෙන් නීතිය බලාත්මක විය. මහජන දේපොළ සම්බන්ධයෙන් හා මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන්ට හෘදය සාක්ෂියක් නොතිබීම මේ සියල්ලටම මුලය. ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්නුවත් ඔවුන් සැලකිලිමත් වන්නේ ස්වකීය ආරක්ෂාව පිළිබඳව පමණි. යමක් සිදු වූ විට කොමිෂන් දමන්නට, කමිටු දමන්නට, තරාතිරම නොබලා වරදකරුවන්ට දඬුවම් දෙන බව ප්‍රකාශ කරන මාධ්‍ය හමුව පවත්වන්නට අප රටේ පාලකයෝ දක්ෂයෝය. කාලයාගේ ඇවෑමෙන් සියල්ල ජනතාවට අමතක වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. අකාලයේ නැති වූ ජීවිත සම්බන්ධයෙන් සහ අපේ මහ ජනතාවට අයත් භෞතික සම්පත් සම්බන්ධයෙන් වගවීමක් හෝ සහකම්පනයක් මෙරට බලයේ සිටි දේශපාලකයන්ට තිබුණේ නැත. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට බලයේ සිටි පාලකයන් ක්‍රියා කළේ එලෙසය.
වර්තමාන ආණ්ඩුව ඉදිරියේ පවතින අභියෝගය රටට වග කියන, රටේ ජනතාවගේ ආරක්ෂාවට වග කියන, සැබෑ මානව හිතවාදි දේශපාලන සම්ප්‍රදායක් ස්ථාපිත කිරීමය.
ඡායාරූප – ලේක්හවුස් පුස්තකාලය