
ප්‍රදර්ශන භාණ්ඩ
අප බොහෝ වාරයක් ට්‍රෝජන් අශ්වයාගේ කතාව අසා ඇත. දේශපාලන උපහාස කතාවල ද, කාටූන්වල ද, පුරාණ ග්‍රීක මිථ්‍යා කතාවල ද ට්‍රෝජන් අශ්වයා සිටියේය. මේ ට්‍රෝජන් අශ්වයාගේ කතාව සාහිත්‍ය ලෝකයට එකතු වුණේ කෙසේද යන්න පැහැදිලි නැතත්, ට්‍රෝජන් පුරය ගැන ක්‍රි.පූ. 8 වැනි සියවසේ විසූ ග්‍රීක කවියකු වූ හෝමර් සිය සුප්‍රකට ඉලියාඩ් ග්‍රන්ථයේ ලියා ඇත. හෝමර් ඉපදුණේ වත්මන් තුර්කියට අයත් ඇනටෝලියා භූමියේදීය. ඔහුගේ ගද්‍ය කාව්‍යය හා එහි ලියවී තිබුණු නගර, මිනිස් චරිත හා සිදුවීම් හුදු ප්‍රබන්ධයන් ලෙස 19 වැනි සියවස අග භාගය වන තුරු ලෝකයා සිතා සිටියත් ට්‍රෝයි යනු මනඃකල්පිත නගරයක් නොව, සැබෑවටම මිහිපිට පැවතුණු නගරයක් බව පුරාවිද්‍යාව විසින් පසක් කරගනු ලැබීය. වෙනෙකක් තබා දස අවුරුදු ට්‍රෝජන් යුද්ධය පැවති කාලවකවානුව හා සංග්‍රාම භුමිය පිහිටි තැන පිළිබඳ පුරාවිද්‍යාත්මකව අනුමාන කරන්නට ද පටන්ගෙන තිබේ.
ට්‍රෝජන් අශ්වයා සැබෑ නිර්මාණයක් ද නැත්නම් ප්‍රබන්ධයක් ද කියා තවම කිසිවකුත් දන්නේ නැති වුවද ට්‍රෝජන් අශ්වයාගේ අනුරුවක් ඉපැරණි ට්‍රෝයි නගරයේ ද, තවත් එකක් පරසිදු චනක්කලේ නගරයේ ද තිබෙන බව අසා තිබුණේය. ඒවා මේ ජීවිතයේදී දකින්නට ලැබෙතැයි මා කිසිදා සිතා සිටියේ නැත. එහෙත් පසුගියදා අපට ඒ වාසනාව ලැබුණේය. අපි හෝමර් සමඟ චානක්කලේ හා ට්‍රෝයි ගොසින් ට්‍රෝජන් අශ්වයන් ද බැලුවෙමු.
ට්‍රෝයි යනු වත්මන් තුර්කි රාජ්‍යයේ වයඹදිග ප්‍රදේශයේ, ඩාර්ඩනෙල්ස් සමුද්‍ර දොරකඩට මුහුණලා පිහිටි පුරාණ නගරයකි. ඒ අසල ඇති දැනට සක්‍රිය ප්‍රධාන නගරය චානක්කළේය. ඩාර්ඩනෙල්ස් යනු ඉස්තාන්බුල් නුවර යුරෝපීය හා ආසියානු කොටස් දෙකකට බෙදන බොස්පරස් සමුද්‍ර තීරය මෙන්ම වැදගත් වූ පටු සමුද්‍ර තීරයක් වන අතර, එමඟින් චානක්කලේ දිස්ත්‍රික්කය ආසියානු හා යුරෝපියානු කොටස් ලෙස වෙන් කෙරේ. මේ සමුද්‍ර තීරවල දේශ සීමා අයිතිය මෙන්ම පාලන අයිතිය දැන් තිබෙන්නේ තුර්කියටයි. මේවා දුරාතීතයේ පටන් නාවික ගමනාගමන්දීත් භූ දේශපාලනයේත් අතිශයින් වැදගත් මර්මස්ථාන විය. එනිසා ට්‍රෝයි නගරය පිහිටියේ බලසම්පන්න භූගෝලීය ස්ථානයකය. පෙර කීවාක් මෙන් ට්‍රෝයි හෝමර්ගේ කාව්‍යයන්වල පැවති පුරාණ නගරයක් පමණකැයි ශත වසර ගණනාවක් පුරා ලෝකයා විශ්වාස කළත්, 1870 දශකයේ දී ජර්මන් ජාතික හෙයින්රිච් ශ්ලිමන් විසින් ආරම්භ කරන ලද පුරාවිද්‍යා පරීක්ෂණවලින් එය සැබෑ ඓතිහාසික නගරයක් බව තහවුරු විය.
පුරාවිද්‍යා කැණීම්වලින් ලද සාධක අනුව ට්‍රෝයි යනු එක් අවධියක් නොව, පුරාතන යුග ගණනාවක වැළලී ගිය ඉතිහාසයන් උඩින් තවත් යුගයක් බැගින් බිහි වූ ශිෂ්ටාචාර සංකීර්ණයකි. එවැනි යුග නවයක් පිළිබඳ අනාවරණය වී ඇත. මෙයින්, හත්වැනි අදියරේ පිහිටි යුගය යනු හෝමර් විස්තර කළ ට්‍රෝයි පාලන සමය ක්‍රි.පූ. 1250 වර්ෂය ආසන්නයේ පැවති බවට සැලකෙයි.
ට්‍රෝයි නගරය, සුවිශේෂ වෙළෙඳ මාර්ගයක පිහිටි බැවින් විශාල රටවල් ගණනකට වෙෙළඳාමට හා ගමනාගමනයට පිවිසෙන යාත්‍රාවලින් ගාස්තු අය කළ හැකි හා ඒවා පාලනය කළ හැකි සුවිශේෂ මුහුදු දොරකඩක් විය. මෙය එහි සෞභාග්‍යවත් බවේ වාසනාවට මෙන්ම වරින්වර ඇති වූ යුද ගැටුම් නිසා මුළුමනින් විනාශ වීම්වල අවාසනාවට ද හේතුවක් විය.
හෝමර් ‘ඉලීයාඩ්’ පොතේ සඳහන් කළ පරිදි, ට්‍රෝජන් යුද්ධය ආරම්භ වන්නේ ට්‍රෝයි රාජකීය පුත්‍රයා වූ පැරිස්, ග්‍රීසියේ පිහිටි තවත් රාජ්‍යයක් වූ ස්පාර්ටාවේ රජ බිසව හෙලන් පැහැරගෙන යෑමෙනි. මෙය ස්පාර්ටාවේ රජු මෙනෙලස් සහ ග්‍රීක රාජ්‍යයන්ගේ සන්ධානයක් සමඟ එකතු වී ට්‍රෝයි රාජ්‍යයට එරෙහිව අවුරුදු දහයක් තිස්සේ ඇවිළුණු දරුණු යුද්ධයකට මඟපෑදුවේය.
අප කවුරුත් දන්නා ට්‍රෝජන් අශ්වයාගේ කතාවේ කියවෙන්නේ ට්‍රෝයි බළකොටුවට පහර දීමට එන ග්‍රීක හමුදා ට්‍රෝජන් ප්‍රහාර හමුවේ උපක්‍රමිකව පලා යන්නේ නගර දොරකඩින් පිටත ට්‍රෝජන් අශ්වයා අත්හැර දමා යන්නාක් මෙන් පෙන්වමිනි. ට්‍රෝජන් අශ්වයා යනු රෝද මත තල්ලු කරගෙන යා හැකි, දැවවලින් නිර්මිත අශ්වයෙකි. සතුරා අත්හැර ගිය ලී අශ්වයා අත්පත් කරගත් ට්‍රෝයි බලධාරීන්, නගරය තුළට ගෙනගොස් එය ප්‍රදර්ශනය කරමින් ප්‍රීති සාද පවත්වා ඇත. රාත්‍රිය උදා වූ පසු ලී අශ්වයාගේ ගැබ තුළ සැඟවී සිටි සතුරු පිලේ සෙබළු කිහිප දෙනා බළකොටු දොරටු හැරදමා නගරයෙන් පිටත සැඟවී සිටි සිය හමුදා ඇතුළට ගෙන නගරය අත්පත් කරගත්හ. මේ කතාව ගැන හෝමර්ගේ ඉලීයාඩ්හි සඳහන් නොවෙතත් වෙනත් සටහන් හා ජනප්‍රවාද ඔස්සේ තාමත් ට්‍රෝජන් අශ්වයා ජීවමානය.
චනක්කලේ නාවික කෞතුකාගාරය අසන්න වෙරළේ ස්ථාපිත කර තිබූ විශාල ට්‍රෝජන් අශ්වයා අපි නැරඹුවෙමු. එය නගරයේ ගම්භීර සංකේතයක් ලෙස මේ වනවිට සැලකුණ ද එයට ඇත්තේ වසර විස්සක පමණ ඉතිහාසයක් පමණි. 2004දී නිර්මාණය වූ ට්‍රෝයි චිත්‍රපටය සඳහා ඉදි වූ මේ නිර්මාණය නගරයට ත්‍යාග කොට ඇත්තේ චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමයි.
2004 වසරේදී, වෝනර් බ්‍රදර්ස් ආයතනය මඟින් නිපද වූ ‘ට්‍රෝයි’ සිනමාපටය මේ පසුබිම ගැන කියවෙන දැවැන්ත නිර්මාණයකි. වෝල්ෆ්ගෑන්ග් පිටර්සන් විසින් අධ්‍යක්ෂණය කළ එහි නිෂ්පාදනයට ඩොලර් මිලියන 175ක් වැය වූ වාර්තාගත ව්‍යාපෘතියකි.

ට්‍රෝයි කෞතුකාගාරය
ට්‍රෝයි නගරය යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක් ලෙස 1998දී නම් කර ඇත. එහි පුරාවිද්‍යා පරීක්ෂණ තවදුරටත් සිදු වෙයි. ට්‍රෝයිවල පමණක් නොව, තුර්කිය පුරා පුරාවිද්‍යා කැණීම් කෙරෙමින් තිබෙන හා කිරීමට තිබෙන ස්ථාන තව බොහෝ ගණනක් තිබෙන බව මා අසා තිබේ.
පසුගියදා අපි පුරාණ ට්‍රෝයි නගරයට ආසන්නව පිහිටා ඇති පුරාවිද්‍යා කෞතුකාගාරය නැරඹීමට ද ගියෙමු. එය දෙස් – විදෙස් සංචාරකයන්ගෙන්, පාසල් සිසුන්ගෙන් හා ඉතිහාසය හදාරන්නන්ගෙන් නිතර පිරී පවතියි. එහි පියස්ස මතට ගොඩ වූ කෙනකුට හාත්පස පෙනෙන පරිසරය පෙන්වමින් අප සමඟ ගිය මිතුරන් කිවුවේ මේ පෙනෙන්නේ ට්‍රෝයි යුද පිටිය බවයි.
2018දී විවෘත කරන ලද ට්‍රෝයි කෞතුකාගාරයේ දවසක් පුරා නරඹන්නට දේවල් තිබේ. ට්‍රෝයි හා අවට පිහිටි පුරාණ නගරවල කැණීම්වලදී හමු වූ ඓතිහාසික කෞතුක වස්තු ප්‍රදර්ශනය සඳහා ඉදි කළ නවීන ගොඩනැඟිල්ලකි එය. හෙයින්රිච් ශ්ලිමන්ගෙන් පටන්ගෙන සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම් කළ පුද්ගලයන් පිළිබඳ විස්තරත්, ඔවුන් සොයාගත් දේත් පැරණි කටුගෙයක විලාශයෙන් නොව නවීන තාක්ෂණික උපක්‍රම ද යොදාගෙන අපූරුවට ප්‍රදර්ශනයට තබා ඇත. ට්‍රෝයි නුවර පුරාවිද්‍යා කැණීම් තවදුරටත් සිදු ෙවද්දී හමුවන්නේ ලෝක ඉතිහාසයේ අතිශය විසිතුරු පරිච්ඡේද කිහිපයකි.
සමහර විට හෝමර් විසින් පැපිරස් පත්‍ර මිටියක ඉලීයාඩ් කතාන්දරය ලියා නොතිබුණා නම්, ඒ ඔස්සේ කුතූහලයක් මතු නොවුණා නම් මේ කතාන්දරය සදහටම වැළලී තිබෙන්නටත් ඉඩ තිබිණි.