Home » බෝට්ටුවෙන් ඔෆිස් යමුද?

බෝට්ටුවෙන් ඔෆිස් යමුද?

by Mahesh Lakehouse
April 26, 2025 12:30 am 0 comment
සඳුනි ප්‍රභාෂලී

තීතයේ ලෝකයේ වැඩි වශයෙන්ම ගමනාගමනයට යොදාගත්තේ ජල ප්‍රවාහනයයි. ශ්‍රී ලංකාවද බොහෝ ජල සම්පත්වලින් සමන්විත දූපතකි. දිවයින පුරා විහිදී ඇති ගංගා, වැව් හා ජල මාර්ග රැසකි. මේ ජල මාර්ග වාණිජ සහ කෘෂිකාර්මික කටයුතු සඳහා වඩාත් භාවිත වුවද, මගී ප්‍රවාහනය සඳහා භාවිත කෙරෙන්නේ ඉතා අඩුවෙනි.

ඒ එසේ වුවත් පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත මගී ප්‍රවාහනය පිළිබඳ නව අවධානයක් යොමුව තිබේ. විශේෂයෙන් එහිදී ජල මාර්ග ඔස්සේ මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කිරීම කෙරෙහි අවධානය යොමු විය. ඒ සඳහා මුහුදු තීරය ආශ්‍රිත ජල මාර්ගද උපයෝගි කරගත හැකි බව අනාවරණය විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ජල ප්‍රවාහයන් භාවිත කරමින් සංචාරක හා මගී ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. එහිදී පුත්තලම – කොටුව, කොටුව – ගාල්ල, ගාල්ල – මාතර ආදී වශයෙන් සමුද්‍ර ජල ප්‍රවාහන සේවාවක් ඇති කිරීම සහ හැමිල්ටන් ඇළ, බේරේ වැව, දියවන්නා ඔය හා මාදු ගඟ භාවිත කරමින් අභ්‍යන්තර ජල ප්‍රවාහනය නගා සිටුවීම මඟින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අදහස් කරයි.

මේ ජලාශ්‍රිත ප්‍රවාහන ක්‍රමයේ වාසි රැසකි. මාර්ග තදබදය අඩු වීම, පරිසර හිතකාමි බව, සංචාරක ආකර්ෂණය, විශේෂ අවස්ථා සඳහා සහ වෙළෙඳ ගමනාගමනයට පහසුකම් සැපයීම මේ වාසි ලෙස පෙන්වා දිය හැකිය.

ලෝකයේ බොහෝ රටවල, විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල, සංචාරක සහ දෛනික ගමනාගමන කටයුතු සඳහාද ජල ප්‍රවාහනය භාවිත කෙරේ. ඉතාලියේ වේන්ස් නගරය සම්පූර්ණයෙන්ම ජල මාර්ග පද්ධති මත පදනම් වී ඇති නගරයකි. එමෙන්ම මාලදිවයිනේ දුපත්වලට යෑම සඳහා භාවිත කෙරෙන්නේද ජල ප්‍රවාහනයයි. ඒ රටේ වැඩිම ප්‍රවාහන කටයුතු කෙරෙන්නේද ජල ප්‍රවාහනයෙනි. තායිලන්තයේ චාඔ ප්‍රයයා නදිය මත විශාල ජල ගමනාගමනයක් සිදු වේ. ඊට අමතරව ඉන්දියාවේ කේරළ රාජ්‍යයේද, එක්සත් රාජධානියේද ‘රිවර් බස්’ සේවාව දැකගත හැකිය.

ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත මගී ප්‍රවාහනය තවමත් සම්පූර්ණයෙන්ම ප්‍රචලිත නොවූ ක්ෂේත්‍රයකි. එහෙත් පරිසර හිතකාමිත්වය, වාණිජ වටිනාකම සහ ගමනාගමන පහසුකම් වර්ධනය කිරීම මත පදනම්ව එය දියුණු කළ හැකි ක්ෂේත්‍රයක් ලෙස සැලකිය හැකිය. විශේෂයෙන් නගරවල තදබදය සහ වායු දූෂණය මත විශාල බලපෑම් ඇති වන අවස්ථාවලදී, ජලාශ්‍රිත ප්‍රවාහනය සඳහා විකල්ප මාර්ග සලසන අනාගතය අතිශය වටිනාය. දේශීය බලධාරීන්ගේ සහ පෞද්ගලික ආයතනවල සහභාගිත්වය, නීතිමය පදනමක් සහ විශිෂ්ට සැලසුම් මත පදනම්ව ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත මගී ප්‍රවාහනය සාර්ථකව ක්‍රියාත්මක කළ හැකිය.

මෙරට අධික රථවාහන තදබදයට සුදුසුම පිළිතුරක් ලෙස ඇළ මාර්ගවල ප්‍රවාහන කටයුතු සිදු කිරීම පෙන්වා දිය හැකිය. අතීතයේ ප්‍රවාහන කටයුතු සඳහා ඇළ මාර්ග ප්‍රධාන වශයෙන් යොදාගත් බව සඳහන් වේ. අතීතයේ ජලාශ්‍රිත මගී ප්‍රවාහන ක්‍රමය සුලබව පැවතියද වර්තමානයේ එය ශ්‍රී ලංකාවෙන් ඈත් වී තිබේ. මෑත කාලයේදී හැමිල්ටන් ඇළ මෙන්ම දියවන්නාවේ සිට වැල්ලවත්ත දක්වා ජල ප්‍රවාහන මාර්ගයක් සැකසීමට පියවර ගත්තද එයින් ක්‍රියාත්මක වූයේ දියවන්නාවේ සිට වැල්ලවත්ත දක්වා වූ කොටස පමණි.

දියවන්නාවේ සිට වැල්ලවත්ත දක්වා ජල මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී රාජ්‍ය ආයතන ඇතුළු මහජන අවශ්‍යතා සපුරාගත හැකි ආයතන ලෙස විවෘත විශ්වවිද්‍යාලය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පෞද්ගලික රෝහල්, අමාත්‍යාංශ හා පාසල් පෙන්වා දිය හැකිය. මේ ස්ථාන සියල්ලට ළඟා වීමට ජල ප්‍රවාහනය යොදා ගැනීමෙන් පහසුවෙන් හැකියාව ලැබේ.

දියත උයනේ සිට වැල්ලවත්ත දක්වා කිලෝමීටර් 7.5ක දුර විනාඩි 20ක් වැනි කෙටි කාලයකින් ජල ප්‍රවාහන මඟින් ගමන් කළ හැකි අතර, බස් රථයකින් ගමන් කළ හොත් ඒ සඳහා පැයකට අධික කාලයක් ගත වේ. මේ මාර්ගයේ පෙ.ව. 6.00 – ප.ව. 6.00 දක්වා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වූ අතර, එහිදී සෑම විනාඩි 30කට වරක්ම බෝට්ටු සේවාව ක්‍රියාත්මක කිරීමට යෝජනා විය.

අතීතයේ වෙළෙඳ කටයුතු සදහා ජල මාර්ග ප්‍රමුඛ ලෙස භාවිතයට ගත්තත් වර්තමානය වන විට එය සම්පූර්ණයෙන්ම වාගේ නැවතී පවතී. නැවත වතාවක් ඒ ක්‍රියාවලිය වැඩි දියුණු කරමින් ආරම්භ කිරීමෙන් ජනතාවට මෙන්ම සංචාරකයන්ට නවමු අත්දැකීමක් ලබා දිය හැකිය. මෙය මාර්ගවල පවතින අධික තදබදය වළක්වාගැනීමටත්, සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත්, ලාංකීය සුන්දරත්වය වැඩි දියුණු කිරීමටත් අගනා පියවරක් බව කිව යුතුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division