සිරි දළදා වන්දනාව සඳහා මහජනතාවට අවස්ථාව සලසා දී ගෙවුණු මුල් දින අටේදී ලක්ෂ 5ක පමණ පිරිසක් ශ්‍රී දළදා වහන්සේ දැක වැඳ පුදා ගෙන තිබෙන බව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් සංගමය පවසයි. කෘත්‍රිම බුද්ධිය හා සාමාන්‍ය ගණනය කිරීම යන දෙයාකාරයටම සිදු කළ ගණනය කිරීම් ඔස්සේ විද්‍යාත්මක පදනමකින් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය පියවර ගෙන ඇති අතර, ඒ සඳහා විසි දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සම්බන්ධ වී තිබේ.
මේ ගණනය කිරීම අනුව සිරි දළදා දැක්මේදී පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 දක්වා දෛනිකව වෙන් වන පැය 6 1/2 කාලයේදී ශ්‍රී දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීම සඳහා අවස්ථාව හිමි වන්නේ 55,000ත් 65,000ත් අතර පිරිසකටය.
ප්‍රධාන පෝලිම් තුනට අමතරව, ශ්‍රී දළදා මාලිගාව පිටුපසින් ඇති විශේෂිත පුද්ගලයන් සඳහා වන පෝලිමෙන්ද දෛනිකව 7,000ත් 10,000ත් අතර පිරිසක් ඇතුළු වී තිබෙන බව මේ දත්ත මඟින් අනාවරණය වී ඇති අතර, අවසන් දෛනික වාර්තාව සකස් කරනු ලැබ තිබෙන්නේ ඒ ගණනද ඇතුළත් කරමිනි.
දෛනිකව ලක්ෂ 1 1/2ක පමණ පිරිසක් දළදා වහන්සේ වන්දනා කරන බවට පොලීසිය කළ ප්‍රකාශවල පරස්පරතා දක්නට ලැබීම හේතුවෙන් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව මේ ගණනය සඳහා ඉල්ලීම ඉංජිනේරු සංගමය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී. අභයකෝන් හා මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත විසිනි. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්ය ජයලත් එදිරිසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සැදැහැවතුන් ගණනය කිරීමේ ව්‍යාපෘතිය වරලත් ඉංජිනේරු අතුල ලියනගේ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ කඳුරට ශාඛාවේ සභාපති දිනුක සෙනෙවිරත්න, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් ශාඛාවේ ලේකම් තුෂාර ජයසිංහ ඇතුළු කණ්ඩායමක්ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුසිසුවියන් පිරිසක්ද ඇතුළු 20 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ සදහා ස්වේච්ඡාවෙන් එක්ව සිටිති.
මේ කණ්ඩායම දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමේ අරමුණින් පෝලිම්වල රැඳී සිටින ජනතාව අතරට ගොස් පෙ.ව. 8.00 සිට සිට දත්ත ලබා ගන්නා අතර මේ ක්‍රියාවලිය පස්වරුවේ ද ඒ ආකාරයෙන්ම සිදු කරති. ඒ අනුව පසුගිය 25 දින දහවල් වන විට 214,000ක පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගැනීමේ අපේක්ෂාවෙන් පෝලිම්වල රැඳී සිටියහ. සිරි දළදා වන්දනාව අවසන් කෙරෙන 27 දින දක්වාම දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමට ප්‍රමාණවත් ජන සංඛ්‍යාවක් 22 දින වන විටම පෝලිම්වලට එක්ව සිටීම නිසා යළිත් පෝලිම්වලට කිසිවකුත් ඇතුළු කර නොගන්නා ලෙස මෙහෙයුම් කමිටුව උපදෙස් දී තිබිණි.
දළදා වන්දනාව පසුගිය 18 වැනිදා ආරම්භ වූ අතර, එය අද (27) අවසන් වීමට නියමිතය. පසුගිය 22 දින පස්වරුව වන විට ලක්ෂ 3කට ආසන්න පිරිසක් පෝලිම්වලට එක්ව සිටීම හේතුවෙන් ඔවුන් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැපයීම සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු විය. දිවයිනේ සතර දෙසින් අතිවිශාල පිරිසක් ඒ වන විටත් බස් රථවලින් වන්දනා නඩ ලෙස මහනුවරට ළඟා වෙමින් සිටීම හේතුවෙන් ඔවුන්ගේ පැමිණීම වැළැක්වීමට පොලීසිය කටයුතු කළේ සිරි දළදා වන්දනාවේ මෙහෙයුම් කමිටුවේ උපදෙස් අනුවය.
විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු කළ ගණනය කිරීමට අනුව සැබෑ සංඛ්‍යාලේඛන ජනගත වීමත් සමඟ දළදා වන්දනාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි බොහෝ පිරිසක් ඒ අදහස් ඇත්හැර දමද්දී පෝලිම්වල සිටි විශාල පිරිසක්ද ආපසු හැරී යන්නට වූහ.