සිරි දළදා වන්දනා වාරය කලින් නියම කරගත් පරිදි අදින් (27) අවසන් කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි.
ජනපති අනුර කුමාර දිසානායක පසුගිය 25 වැනිදා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හා තමා සමඟ කළ සාකච්ඡාවකින් පසු අදාළ තීරණයට එළඹි බවද ඒ මහතා කීය.
වන්දනාව ආරම්භ කිරීමට පෙර සැලසුම් කළ ප්‍රමාණයට වැඩි පිරිසකට දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමට අවස්ථාව ලැබුණු බවත්, පසුගිය දින කිහිපයේ දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණීම නිසා මහනුවර නගරය අතිශය ජනාකීර්ණ වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
දළදා වන්දනාව සඳහා සැදැහැවතුන් වෙනුවෙන් පෝලිම් තුනක් ස්ථාපිත කළ බවද එක්වර විශාල ජන පිරිසක් පැමිණීම නිසා ඔවුන්ට රැඳී සිටීමට ඉඩකඩ ප්‍රශ්න මතු වූ බවද කී ඒ මහතා පාරිසරික ගැටලු එක් පැත්තකින් මතු වෙද්දී සැදැහැවතුන්ගේ සනීපාරක්ෂක පහසුකම් සපිරීමද ගැටලුවක් වූයේයැයි අවධාරණය කළේය.
පොලීසිය, යුද හමුදාව, මහනුවර මහා නගර සභාව, මධ්‍යම පළාත් සභාව, සෞඛ්‍ය ඇතුළු සියලු අංශ මඟින් මෙහිදී ඉටු වූ සේවය අගය කරන බවත්, වැව රවුම වටා අම්පිටිය දක්වාත් කටුගස්තොට මාර්ගයේත් පෝලිම පැවැති ස්ථානවල නිවැසියන් හා වෙළෙඳ ප්‍රජාව දැක්වූ සහය අතිශය වැදගත් බවත් දියවඩන නිලමේවරයා පැවසීය.