කොළඹ නගරාධිපති අපේක්ෂක හැටියට නාමයෝජනා භාර දී තිබෙනවා. ජනතාව ඔබට ඡන්දය දිය යුත්තේ ඇයි?
උගත්, බුද්ධිමත්, දූෂණයෙන් තොර නව අදහස් තියෙන පිරිසක් මේ ජනතාවගේ නියෝජිතයන් විය යුතු බව ආණ්ඩුව කියනවා. ඒ අය බලයට පත් කර ගත යුත්තේ එවැනි අය නම්, ආණ්ඩුවේ මේ අර්ථකථනයට දෙස බැලුවාම ඒ කරුණු සියල්ල සම්පූර්ණ කර තිබෙන කෙනෙක් මම. ඒ නිසා ඕනැ කෙනකුට කියන්න පුළුවන් අප වගේ අයට ඡන්දය දෙන්න කියලා. සජබ නගරාධිපති අපෙක්ෂකයා ලෙස ආණ්ඩුව කියන සියලු සුදුසුකම් ඇති අෙප්ක්ෂකයකු ලෙස මා තෝරාගෙන තිබෙනවා.
‘සතුටින් පිරි කොළඹ පුරවරයක්’ යන තේමාව යටතේ ඔබ ඉදිරි සැලසුම් සකස් කර තිබෙනවා. කොළඹ නගරය නව ලෝකයට ගැළපෙන ස්මාට් නගරයක් බවට පත් කිරීමට සැලසුම් තිබෙනවාද?
කොළඹ නගර සභාවට අවුරුදු 150ක ඉතිහාසයක් තිබෙනවා. ඒත් ලෝකයත් සමඟ එක සමාන අඩියක නොවෙයි අපි ඉන්නේ. කොළඹ නගරයේ සපයන සේවාවන්ට ස්මාට් තාක්ෂණය යොදා ගත්තොත් ඒහි විනිවිද භාවයක් ඇති වෙනවා. ජනතාවට අවශ්‍ය සේවාවන් හොඳින් ඉටු කිරීමට සියලු පාර්ශ්ව සියලු කටයුතුවලදී වගකීමක්, වගවීමක් ඇති කරන්න ඕනෑ. නවීන තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගත හැකි සුහුරු නගරයක් බවට කොළඹ පත් කිරීමට අප සැලසුම් කරනවා.
නගරයේ නවීන මහල් ගොඩනැඟිලි ඉදි කර තිබුණත්, නගරවාසීන්ගෙන් බහුතරය තවමත් ජීවත් වන්නේ නිසි සෞඛ්‍ය තත්ත්වයක් නැති පැල්පත්වල. ගංවතුර, කැළිකසළ, ප්‍රජා රථගාල්, මහල් නිවාස ගැටලු රැසක් තිබෙනවා. වතු නිවාස නගරයේ පවතින බව වාර්තා වෙලා තියනවා. මේ දේවල්වලට පිළියම් නැතුව ස්මාට් නගරයකට යන්නේ කොහොමද?
කසළ ප්‍රතිචක්‍රීකරණය සහ කසළ ගොඩගැසීම වැළැක්වීමේ ක්‍රියාවලිවලිය බලාත්මක කිරීම, ගංවතුර පාලනය ප්‍රධාන ජල ප්‍රවාහන මාර්ගවල සංවේදක පද්ධති ස්ථාපිත කිරීම, අවදානම් සහිත ක්ෂුද්‍ර ජල ප්‍රවාහනය පද්ධතිය වැඩිදියුණු කිරීම, ඩිජිටල් නිවාස ලේඛනගත කිරීම්, ඩිජිටල් කවුන්සිලයක් ඇති කිරීම එනම් මුදල් රහිත ක්‍රම ඔස්සේ ගාස්තු ගෙවීම් සහ නගරයේ සියලු ව්‍යාපෘතිවලට කේත හඳුන්වා දීම වැනි ක්‍රියාමාර්ග රැසක් අප සැලසුම් කර තිබෙනවා. නාගරික ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ඇති පැමිණිලි ඩිජිටල් ක්‍රමවේදයන් මඟින් කඩිනම් කිරීම, අප බලයට පත් වූ වහාම ඒ පද්ධති ස්ථාපිත කරනවා. ගංවතුර ඇතුළු සියලු ප්‍රධාන ජලාපවහන පද්ධති සහ ජල ගැලුම් ප්‍රදේශ සුහුරු තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කර කළමනාකරණය කිරීම වැනි ක්‍රමවේදයන් රැසක් ඇති කිරීමට අප කටයුතු කරනවා. නගරය පිරිසුදු කිරීමේ කණ්ඩායම් පිහිටුවීම පැමිණිලි සඳහා ක්ෂණික දුරකතන අංකය ක්‍රියාත්මක කිරීම කසළ ට්‍රක් රථ ජීපීඑස් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීම වැනි ක්‍රියාමාර්ග විසඳුම් අපි ක්‍රියාත්මක කරනවා. මේ ප්‍රදේශවල ජීවත් වන අයට නිසි සෞඛ්‍ය තත්ත්වය යටතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම, මූලිකව ඒ ප්‍රදේශවල ජීවත් වන අයගේ ආකල්ප වෙනස් කරන්න අවශ්‍යයි. නගර සභාව, මාතෘ නිවාස තියෙනවා, ප්‍රාදේශීයව රෝහල් තියනවා, මේ දේවල් තාක්ෂණිකව නවීකරණය කළ යුතුයි. කොළඹ සුහුරු නගරයක් කළ හොත් පමණයි මේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ.
මේ දේවල් කිරීමට පෙර ජනතාවගේ මූලික යටිතල පහසුකම් සැලසිය යුතුයි නේද?
නිසැකවම. කොළඹ මලනල සහ ජලනළ පද්ධතිය වසර 80කටත් වඩා පැරණියි. මෙතෙක් වෙලා තියෙන්නේ ඒවා තැනින් තැන නවීකරණය කිරීමක්. මහල් නිවාස ගැටලුව ගත් විට නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස, නගර සභා නිවාස, වැනි විවිධ අංශ යටතේ පවතිනවා. වසර ගණන් ඉපැරණි ඇතැම් නිවාසවල පරිපාලන ගැටලු තිබෙනවා. කැළිකසළ බැහැර කිරීම, සනීපාරක්ෂාව ලොකු ගැටලුවක්. මේ සඳහා අප ක්‍රමෝපායන් යොදනවා. එය සියලු ආණ්ඩු යටතේ වෙනස් නොවන ක්‍රමවේදයක් අනුව සකස් කරන්න අවශ්‍යයි.
බලයේ සිටි සෑම ආණ්ඩුවක්ම කොළඹ නගර සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කළත්, ඒවා අඛණ්ඩව ඉදිරියට ගියේ නෑ. දේශපාලන බලපෑම් නිසා නගරයේ ඉඩම් අවිධිමත් ඉදි කිරීම්වලට යට වෙලා. ඒ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?
ඒ සඳහා අපට තාක්ෂණය අවශ්‍යයි; විනිවිදභාවයක් අවශ්‍යයි. තාක්ෂණිකව මේ දේවල් වුණාම ඒ සඳහා දේශපාලනඥයන් හෝ නිලධාරීන් සහභාගි වෙන්න අවශ්‍ය නැහැ. ඒ ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කළාම සියලු දෙනාටම එකම ආකාරයට කටයුතු සිදු වන්නේ. පක්ෂ පාට භේදයක් නැහැ. එවිට ජනතාවට විශ්වාසයක් ඇති වෙනවා; තාක්ෂණික මැදිහත් වීමක් සිදු කිරීමෙන් වඩා විධිමත් ක්‍රියාවලියක් ඇති කර ගන්න පුළුවන්. එවිට නාස්ති කරන්නේ නිලධාරීන්ද සේවකයන්ද කියලා අපට බලාගන්න පුළුවන්.
විශාල ආදායමක් ලබන කොළඹ මහා නගර සභාවේ ඇතැම් නිලධාරීන්ගේ දූෂණ, වංචා හේතුවෙන් මහජන මුදල් විශාල වශයෙන් නාස්ති වන බවට චෝදනා තියෙනවා?
මගේ පෞද්ගලික අදහස දූෂණයෙන්, නාස්තියෙන් තොර නගර සභාවක් නිර්මාණය විය යුතු බවයි. කොළඹ මහා නගර සභාව සම්බන්ධයෙන් තිබෙන අදහස සහ පොදුවේ රාජ්‍ය ඇතැම් ආයතන ගැන තියෙන අදහස ගැන අපි දන්නවා. මේ දූෂණය ඇති වෙන්නේ ඇයි? නීති විරෝධි ක්‍රියා කරන්නේ ඇයි? කියා අප සොයා බැලිය යුතුයි. මේ දූෂණය දවසින් දෙකෙන් නවත්වන්න බැහැ. ක්ෂණික විසඳුම තාක්ෂණය එකතු කිරීමයි. මුදල් රහිත ක්‍රමවේදයන් ඔස්සේ ගාස්තු ගෙවීම් සහ නගරයේ සියලු ව්‍යාපෘතිවලට කේත හඳුන්වා දීම සෑම ව්‍යාපෘතියක් වෙනුවෙන්ම වැය කරන සෑම රුපියලක්ම විනිවිද භාවයෙන් යුතුව වාර්තා කිරීම ඒ අනුව කළ හැකියි. තාක්ෂණය භාවිත කිරීම තුළ මේ ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබෙනවා. පර්මිට් එකක් ගන්න, ප්ලෑන් එකක් පාස් කරගන්න මුදල් අතින් අතට යෑමෙන් වංචාව, ප්‍රමාදය වගේම දූෂණය සිදු වන්න පුළුවන්.
පදික වේදිකාව අවහිර කරමින් ඉදි කර ඇති තාවකාලික කඩ කාමර නිසා නගරයට පැමිණෙන ජනතාව විශාල පීඩාවක් විඳිනවා. මේ ප්‍රශ්නයට ඔබ දෙන විසඳුම කුමක්ද?
මේ දේවල් ඉදි කළේ කවුද? ඒකට වග කියන්න අවශ්‍ය වෙන්නේ කවුද කියලා අපි බලන්න අවශ්‍යයි. විශ්‍රාම ගිය නිලධාරීන් වුණත් මේ දේවල් කරපු අය මේ දේවල්වලට වගකිවයුතුයි. දැන් කරන්න තියෙන්නේ කුමක්ද කියලා සංවේදිව බලන්න අවශ්‍යයි. සමහර මිනිසුන් ජීවත් වන්නේ මාර්ගවල මේ පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීමෙන්. ප්‍රජා කේන්ද්‍රීයව මේ ගැන සාකච්ඡා කරන්න අවශ්‍යයි; ඒ වගේම ඒ අයට යම් විකල්පයක් සකස් කර මේ දේවල් කරන්න අවශ්‍යයි.
කොළඹ නගරයේ අනවසර ඉදි කිරීම් රැසක් තියනවා. ඒ සෑම එකකටම නගර සභාවේ කිසියම් හෝ නිලධාරියකු හෝ නාගරික මන්ත්‍රීවරයකු සම්බන්ධයි. මේවා වළක්වාගන්නේ කොහොමද?
මේ සඳහා විනිවිදභාවය සහ නිසි ක්‍රමවේදයක් ආයතනගත කිරීම වැදගත්. එය වසර හතරින් හතර වෙනස් නොවන ආකාරයෙන් සකස් කළ යුතුයි. මෙයට හේතුව නීතිරීති පවතින ක්‍රමවේද ක්‍රියාත්මක නොවීමයි. අප ඡන්දයකින් පත් වන්නේ ජනතා අවශ්‍යතා සහ වුවමනාවන් ඉටු කරන්න. කොළඹ මහා නගර සභාව දේශපාලන ආයතනයයක්. අපට බලය ලැබුණාම නගර සභාව දූෂණයෙන්, වංචාවෙන් තොර නගර සභාවක් ඇති කරන්න සහය දෙයි කියලා හිතනවා.
කොළඹ නගරයේ යම් දේශපාලනික හෝ වෙනත් බලයක් ඇති අයට එක් නීතියකුත්, සාමාන්‍ය ජනතාවට තව නීතියකුත් බල පවත්වන බවට චෝදනා නැඟෙනවා…
මේ සඳහා නිසි ක්‍රියාපටිපාටියක් ඇති කළ හොත්, යම් රාමුවක් ඔස්සේ පොදුවේ සකස් කළ හොත්, සියලු කටයුතු විනිවිදභාවයකින්, තාක්ෂණය යොදාගනිමින්, මානව මැදිහත්වීම්වලින් තොරව කළ හොත් එක්කෙනාට එක එක විදිහට සලකන්න බෑ. අපි තරුණ පිරිස යොදවාගෙන මූලිකව මේ තාක්ෂණික ක්‍රමවේද කරා යොමු වනවා. පියවරින් පියවර මේ ගැටලු විසඳනවා ජාති, ආගම්, කුල භේද නැතුව එකම විදිහට අපේ සේවාවන් ලබාගැනීමට අපට හැකි ක්‍රමවේදයක් ඇති කරනවා.
සියලු ජාතීන් නියෝජනය කරන කොළඹ නගරයේ සංවර්ධනයට හා දියුණුවට නාගරික වැසියන්ගේ විරෝධතාවලින් තොරව ඔවුන්ගේ මැදිහත් වීමත් අවශ්‍යයි කියලා හිතනවාද?
ප්‍රජා මැදිහත් වීම් අත්‍යවශ්‍යයි. තමන්ගේ ආදායම් මට්ටම්, හැදියාවන්, චර්යාධර්ම එකිනෙකාට වෙනස් වෙනවා. නොයෙකුත් සමාජ තරාතිරම්වල ජනතාවක් කොළඹ ඉන්නවා. සියලු දෙනාගේ ආකල්ප එක සමාන නැහැ. ඒ දේවල්වලට ගරු කරමින් සියලු දෙනාම ශ්‍රී ලංකිකයෝ කියන තැන ඉඳලා වැඩ කරන්න අවශ්‍යයි. කොළඹ අනන්‍යතාව අපි ඉස්මතු කරන්න අවශ්‍යයි.
කොළඹ නගරයේ අවමංගල්‍ය ශාලා පවතින්නේ පෞද්ගලික අංශයේ. නගර සභාවේ වියදමින් අංග සම්පූර්ණ අවමංගල්‍ය ශාලාවක් ඉදි නොකෙරුණේ ඇයි?
වසර 30ක් ආපස්සට ගියොත් මරණ තියාගත්තේ පාලර්වල නොවෙයි, ගෙවල්වලයි. ප්‍රජා ශාලා හැම ප්‍රදේශයකම ක්‍රියාත්මක වෙනවා. එසේ නම් උත්සව මෙන්ම අවමංගල්‍යයත් අපි මෙවැනි ප්‍රජා ශාලා ආශ්‍රිතව තිබිය යුතුයි. ප්‍රජාශාලා සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන්න අප බලාපොරොත්තු වෙනවා. අප දැක තිබෙනවා සමහර පැතිවල ගෙවල් පුංචියි. ඒත් ඒ අසලම ක්‍රීඩාපිටියක්, සෙල්ලම් කිරීමට හැකි ස්ථාන සකසා තිබෙනවා. ඒ වගේම ප්‍රජාශාලා පුළුල් ලෙස වැඩි දියුණු කර මෙවැනි දේවල්වලට යොදාගන්න අවශ්‍යයි.
තරුණ තරුණියන්ගේ විරැකියාව විශාල ගැටලුවක් වී තිබෙනවා. මීට විසඳුම් මොනවද?
මෙය ලොකුම ප්‍රශ්නයක්, පෞද්ගලික හවුල්කාරිත්වය හරහා තරුණ රැකියා පද්ධතිය පවත්වාගෙන යන්න අප කටයුතු කරනවා. තරුණ රැකියා කේන්ද්‍ර ආරම්භ කිරීම තරුණ ව්‍යාවසායකයන් සඳහා ක්ෂුද්‍ර ණය ප්‍රධාන වැඩසටහනක් ඇරඹීමට අප කටයුතු කරනවා. තරුණ තරුණියන්ට රැකියා සඳහා මාර්ගෝපදේශක වැඩපිළිවෙළක් ඇති කරනවා. රැකියා බැංකුවක් ඇති කර පුහුණුවක් දීමටත්, නිපුණතා වැඩිදියුණු කිරීමටත් කටයුතු කරනවා. පෞද්ගලික අංශයේ රැකියාවක් ලබාගන්න ඒ අංශ සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරනවා. රැකියා පුහුණුවක්, නිපුණතාවන්ද ඇති කරනවා. තරුණ තරුණියන්ගේ රැකියා කෙන්ද්‍රීය වැඩසටහනක් ආරම්භ කිරීමට තරුණ ව්‍යවසායකයන් සඳහා ක්ෂුද්‍ර ණය ප්‍රදාන වැඩසටහනක් ඇරඹීම වැනි ක්‍රමවේද අනුගමනය කරනවා.