කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස නාමයෝජනා භාර දී සිටින ඔබ කොළඹ නගරය නව ලෝකයට ගැළපෙන ස්මාට් නගරයක් බවට පත් කිරීම සඳහා සැලසුම් කර ඇති වැඩපිළිවෙළ කුමක්ද?
දැනට රාජ්‍ය යන්ත්‍රණයේ අකාර්යක්ෂමතාව නිසා ජනතාවගේ කාලය, ශ්‍රමය අනවශ්‍ය ලෙස නාස්ති වීම අපට විශාල බරක්. එය වෙනස් කිරීමට නම් මේ සිස්ටම් එක වෙනස් විය යුතුයි. එය වෙනස් කරන ක්‍රම රැසක් තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය, ඩිජිටල්කරණ අත්‍යවශ්‍ය බව අප දන්නවා. ඩිජිටල්කරණයට මුල් තැනක් දෙන අතර, ජනතාවගේ අවශ්‍යතා කඩිනමින් ඉටු වන ගුණාත්මක සේවයක් සැපයීමේ දේශපාලනික වුවමනාව අපට තිබෙනවා. පවතින ක්‍රමය වෙනස් කිරීමට බාධා මතු කරන විවිධ ගැටලු නිරාකරණය කරගනිමින් ඒ වෙනස ඇති කරන්න අපි සූදානම්.
නවීන මහල් ගොඩනැඟිලි ඉදි වුණත් නගරවාසීන්ගෙන් බහුතරය තවමත් ජීවත් වන්නේ පැල්පත්, මුඩුක්කු සහ වතු නිවාසවල…
වතු නිවාස ගැන විවිධ දේශපාලන, සමාජීය විචාර තිබෙනවා. පර්යේෂිකාවක විදිහට මම අවුරුදු 7ක් වතු ගැන අධ්‍යයනය කළා. වතු 1,400ක ජීවත් වන හැම කෙනකුගේම අපේක්ෂාව හොඳ ජීවිතයක් ගත කිරීම. වතු නිවාසවල ජීවත් වන ජනතාව මහල් නිවාස හෝ වෙනත් තැනක පදිංචි කළාම ඔවුන්ට ආවේණික සමාජ, සංස්කෘතික සබඳතාවලින් ඈත් වීම නිසා ඔවුන් සිටියාටත් වඩා අර්බුද රැසකට මුහුණ දෙනවා කියන අදහස ගැන හිටපු පාලකයන්ට අවබෝධයක් තිබුණේ නැහැ. මේ දක්වා කොළඹ නගරයේ ඒ කටයුතු සිදු වෙලා තියෙන්නේ ජනතාව කේන්ද්‍ර කරගෙන නොවෙයි. කොළඹ ඉඩම්වල වාණිජමය වටිනාකම ඉහළ නිසා අඩු ආදායම්ලාභි ජනතාව කොහෙට හරි යවලා, ඒ ඉඩම් අත්පත් කර ගැනීමේ අරමුණ පමණයි පාලකයන්ට තිබුණේ. ඒත් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ ඒ ජනතාව එක්ක සාකච්ඡා කරලයි. අප තීරණ ගන්නේ, සැලසුම් සකස් කරන්නේ ජනතාව මුල්කරගෙනයි.
දේශපාලන බලපෑම් නිසා නගරයේ ඉඩම් අවිධිමත් ඉදි කිරීම්වලට යට වෙලා. ඒ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?
කුඩා ගෙවල්වලට වඩා අවිධිමත් ආකාරයට වසර ගණනාවක් තිස්සේ විශාල ඉඩම් සහ ගොඩනැඟිලි අත්පත් කරගෙන තමන්ගේ ව්‍යාපාර කරගෙන යන පුද්ගලයන් සිටිනවා. ඒවා ගැන වගේම ඒවා කරගෙන යෑමට අනුමැතිය දුන් දේශපාලනඥයන් ගැනත් අපට හොයන්න වෙනවා. ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නා අතර, නීති මාර්ගයෙන් ගත හැකි පියවරත් අප ගන්නවා.
කොළඹ නගර සභාව ඉතා විශාල ආදායමක් ලැබුවත්, නිලධාරීන්ගේ දූෂණ හා වංචා හේතුවෙන් මහජන මුදල් විශාල වශයෙන් නාස්ති වන බවටත් චෝදනාවක් නැඟෙනවා…
එවැනි නිලධාරීන් සුළුතරයක් සිටියත්, කිසිදු දූෂණයකට සම්බන්ධ නැති අවංක, කාර්යක්ෂම නිලධාරීන් පිරිසකුත් ඒ අතර ඉන්නවා. මේ ජනවරම ලබා දෙන්න අපි වෙනුවෙන් කැප වුණේ ඔවුන්. ඒ නිසා ඔවුන් සමඟ අපට අලුත් ගමනක් යන්න පුළුවන්. ඉහළ ඉන්න නිලධාරියා දූෂණ, වංචා කරනවා නම් පහළ සිටින නිලධාරියත් ඒක කරනවා. මොකද මේ වැඩපිළිවෙළ ක්‍රියාදාමයක්. ඒක නතර කරන්න නම් ඉහළින්ම නතර කළ යුතුයි. දූෂණ, වංචා නැවැත්වීමේ ප්‍රබල දේශපාලන වුවමනාව අපට තිබෙන නිසා වගේම හොඳ නායකත්වයක් සහ කණ්ඩායමක් සිටින නිසා මේ කාර්යය අසීරු වන්නේ නෑ.
නගර සභාව හොර ගුහාවක් බවට පත් වී තිබෙන නිසා නගර වැසියන් වරිපනම් ගාස්තු ගෙවීමටත් මැළි වී තිබෙනවා. හිඟ වරිපනම් ආදායම කෝටි 500ක් බව වාර්තා වනවා…
නගර සභාවට ගෙවන බදුවලට තමන්ට යමක් ලැබෙනවා කියන හැඟීම නගර වැසියාට දැනෙන්න ඕනෑ. සේවාවක් නොලබන තැනකට නිකරුණේ මුදල් දෙන්න කවුරුවත් කැමැති වෙන්නෙ නැහැ. නැති වුණු විශ්වාසය යළි ගොඩනඟන්නයි අපි සාමූහිකත්වයෙන් එකතු වන්නෙ. සභාවේ හොරු නෑ, වංචා දූෂණ සිදු වන්නේ නෑ කියන විශ්වාසය ජනතාව අතර ඇති විය යුතුයි. ඒ විශ්වාසය රැකීමේ වගකීම අප පැහැරහරින්නේ නෑ.
කෝප් කමිටුවේදී පසුගියදා හෙළි වුණා, ස්මාර්ට් වීදි ලාම්පු පාලනය පෞද්ගලික අංශයට භාර දීමෙන් නගර සභාවට බිලියන 2.45ක පාඩුවක් සිදු වී ඇති බව…
ඒ ප්‍රශ්නය ඊට වඩා සංකීර්ණයි. කෝප් කමිටුවෙන් එළියට ගිය වීඩියෝ පට, සාකච්ඡාවලට වඩා ගොඩක් ගැඹුරු ප්‍රශ්න රැසක් එහි තිබෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් නගර සභාවේ හිටපු නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් අතර සබඳතා පිළිබඳ නඩු කටයුත්තක් දැනටමත් සිදු වනවා. ඊට අමතරව, අප ඒ සියලු කටයුතු පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිටිනවා. රට වගේම ගරාවැටුණු නගර සභාවක් තමයි අපට භාර ගන්න වෙලා තිබෙන්නෙ. වාර්ෂික ආදායම රුපියල් බිලියන 30 ඉක්මවන ශ්‍රී ලංකාවේ තිබෙන බලවත්ම නගර සභාව හැටියට අපට කරන්න ගොඩක් වැඩ තිබෙනවා.
පෞද්ගලික අංශය අතේ පවතින කොළඹ නගරයේ අවමංගල ශාලා වෙනුවට නගර සභාවේ වියදමින් අංග සම්පූර්ණ අවමංගල ශාලාවක් බොරැල්ල පොදු සුසාන භූමිය අසල ඉදි කළ නොහැක්කේ ඇයි?
අනිවාර්යෙන්ම එවැනි අදහසක් තිබෙනවා. අපේ වැඩපිළිවෙළ තුළ ඒ ගැන කතා කරලත් තියෙනවා. එවැනි අවමංගල ශාලා අත්‍යවශ්‍යයි. විශේෂයෙන් උතුරු කොළඹ ජනතාව අමංගල්‍යයක් අවස්ථාවේදී දැඩි අසීරුතා විඳිනවා. ඒකට හේතුව, නගරය හදලා තිබෙන්නෙ නගරයේ ජීවත් වන මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන්ද කියන අවබෝධයෙන් නොවෙයි. නිවාස හදද්දි ඒ ජනතාවට තිබිය යුතු පහසුකම් ගැන අවබෝධය වගේම ඔවුන්ගේ සංස්කෘතිය ගැනත් අවබෝධයක් තිබිය යුතුයි. අවමංගල පහසුකම් වගේම දරුවන්ට ක්‍රීඩා කරන්න ක්‍රීඩා පිටියක්, උත්සවයක් ගන්න උත්සව ශාලාවක්, ප්‍රජා ශාලාවක් ආදි හැම පහසුකමක්ම මහල් නිවාසවල ජීවත් වන ජනතාවටත් ලැබිය යුතුයි. මහල් නිවාසවලට යවන ජනතාවට තෝරා ගැනීමක් කරන්න අවස්ථාවක් නැහැ. ඔවුන් සමඟ කිසිම සන්නිවේදනයක් නැතිව පෙට්ටි පෙට්ටි විදිහට හදපු ෆ්ලැට් එකක මිනිසුන් හිර කිරීම ඛේදවාචකයක්. අප ඒ යථාර්ථය හොඳින් හඳුනාගෙන, ජනතාව මූලික කරගෙනයි තීන්දු තීරණ ගන්නෙ. එහෙම නොකළොත් මේ ජන වරමෙන් වැඩක් නැහැ.
කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් වැටීම පාදක කර ගනිමින් ගස් විශාල ප්‍රමාණයක් නගර සභාව විසින් කපා දැමුවා. නගරයේ වීදි දෙපස නැවත ගස් සිටුවීමේ වැඩපිළිවෙළක් තිබෙනවාද?
වීදි දෙපස ගස් සිටුවීම පමණක් නොවෙයි, නාගරික උණුසුම පාලනය කර ගැනීමටත් අපට වුවමනාව තිබෙනවා. මේ දවස්වල ඉතා තදින් දැනෙන උණුසුම එක්ක ගස්වල වටිනාකම හොඳින්ම දැනෙනවා. ඒ වගේම ගස් දිරාපත් වීමෙන් අනතුරු සිදුවීමේ අවදානම ගැනත් අප සැලකිලිමත්. ඒ අතරේ නගරයේ තිබෙන හරිත ඉඩ අප ආරක්ෂා කරගත යුතුයි වගේම, තිබෙන හරිත ස්ථාන අපි හරි විදිහට පාවිච්චි කරනවාද කියන දේ ගැනත් සිතිය යුතුයි. නගර අලංකරණයත් එක්ක නාගරික උණුසුම පාලනය කරගැනීමට නව දැනුම භාවිත කිරීම ගැනත් අප සාකච්ඡා කරමින් යනවා. ඒ සියල්ල පරිසරය හා බද්ධ වූ වැඩපිළිවෙළක් විය යුතුයි. ඒ වගේම කැළිකසළ බැහැර කිරීම, පරිභෝජනය ඇතුළු ප්‍රශ්න රැසක් මේ හා බැඳී තිබෙනවා. ඒ සියල්ල සමඟ පුරවැසියාගේ ආකල්පත් වැදගත් වෙනවා.
පදික වේදිකාව අවහිර කරමින් ඉදි කර ඇති තාවකාලික කඩ කාමර නිසා නගරයට පැමිණෙන ජනතාව විශාල පීඩාවක් විඳිනවා. මේ සඳහා ඔබ දෙන විසඳුම කුමක්ද?
මේ ඇතැම් ස්ථාන සමඟ සංස්කෘතිමය බැඳීමක් තිබෙනවා. ඔවුන් ඒ ස්ථානවලින් ඉවත් කරලා වෙනත් ස්ථාන දුන්නාම ඔවුන්ට ව්‍යාපාර කරගෙන යන්න බැරි වෙලා තියෙනවා. ඒ ප්‍රායෝගික ගැටලු පහුගිය කාලයේ අපි දැක්කා. මේවා ඉවත් කරනවා නම්, ඒ ව්‍යාපාර තවත් හොඳින් කරගෙන යන්න පුළුවන් විදිහට තමයි එය කළ යුත්තේ. එහෙම නැතිව, ඒවා ඉවත් කිරීම සදාචාරාත්මක නැහැ. පදිකයන්ට තිබෙන අසීරුතා තේරුම් ගනිමින්, කඩ කාමර පවත්වාගෙන යන ප්‍රජාව සමඟත් කතා කරමින් ගුණාත්මක විදිහට මේ වෙනස්කම් කළ යුතුයි.
කොළඹ නගරයේ වැහි වැහැලා තිබෙන අනවසර ඉදිකිරීම් සෑම එකකටම නගර සභාවේ නිලධාරියකු හෝ නාගරික මන්ත්‍රීවරුන්, දේශපාලනඥයන් සම්බන්ධයි. මේවා වළක්වාගන්නේ කෙසේද?
මෙයත් කොළඹ නගරයේ සංකීර්ණත්වය සමඟ පැනනඟින ගැටලුවක්. ඉදිරියේදී එවැනි දේ වළක්වාගන්න අපේ පාලනය තුළ අනිවාර්යයෙන් කටයුතු කරනවා. ඇතැම් ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් දෙනවා වගේම, ඇතැම් ප්‍රශ්න විසඳන්න ටික කාලයක් ගත වනවා. ඒ සියලු විසඳුම් යථාර්ථවාදි විය යුතු බව අපි විශ්වාස කරනවා.
කොළඹ නගරයේ බලපුළුවන්කාරයන්ට එක් නීතියකුත්, සාමාන්‍ය ජනතාවට තව නීතියකුත් බලපැවැත්වෙන බවට මතයක් තිබෙනවා…
නගර සභාව විතරක් නොවෙයි, අපේ ආණ්ඩුවම ජනතාවාදි ආණ්ඩුවක්. ඒ නිසා අපේ පාලනය යටතේ ඔය කියන තත්ත්වයන් ඇති විය හැකි සියලු මාර්ග ඇහිරීම අපේ වගකීමක්. අප දන්නවා නගර සභාව තුළ වෙනස් විය යුතු බොහෝ දේ තිබෙනවා. ඒ වෙනස්කම් කිරීමට මේ ජනවරම තුළ අප වග වෙනවා. අනිවාර්යෙන්ම අප එය කරනවා.
නගරයේ සංවර්ධනයට හා දියුණුවට නාගරික වැසියන් සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් ඔබේ වැඩපිළිවෙළ කුමක්ද?
අපේ සමස්ත වැඩපිළිවෙළම ජනතාව සමඟ සම්බන්ධ වූවක්. ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවත්, නගර සභාවේ 113 හිටියත් අපට මදි, ජනතාව එක්ක යන ගමනක් නැත්නම්. අප මේ ගමන යන්නේ ජනතාව එක්කමයි. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් අපිට තිබෙනවා. නගරයේ ගොඩක් ප්‍රශ්නවලට හේතුව ජනතාව සහ මන්ත්‍රීවරයා අතර හොඳ සන්නිවේදනයක් නැති වීම. අඩු ආදායම්ලාභි පවුල්වල ජනතාවට බයක් තිබෙනවා තමන්ගේ ගෙවල් අහිමි වෙයිද? ඉස්සරහට යන්නෙ කොහොමද? කියලා. ඒ ප්‍රශ්න එක්ක ජීවත් වෙද්දි ඔවුන් කොයි වෙලෙත් දේශපාලකයා ගැන අවිශ්වාසයෙන්, දේශපාලන අධිකාරිය ගැන පිළිකුලෙන් ඉන්නෙ. ඒක නැති තරන්න අපට පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙනවා. කොට්ඨාස සභා හරහා ප්‍රජාව බලගැන්වීම, ඔවුන්ට අවශ්‍ය මාතෘ සායන, ක්‍රීඩාංගණ, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආදි හැම දේම හදලා දෙන්න ප්‍රතිපාදන වෙන් කරද්දී ජනතාව සමඟ සන්නිවේදනය ඉතා වැදගත්. ජනතාවගේ විශ්වාසය දිනාගෙන යන ගමනක් අපට තිබෙන්නෙ. එහෙම කරන්න බැරි වුණොත් අපටත් වෙන්නෙ පෙර පාලකයාට සිදු වූ දේමයි. එහි දේශපාලන බරපතළකම ඊටත් වඩා භයානකයි. ජනතාවට දැන් විශ්වාස කරන්න ඉතිරි වෙලා ඉන්නෙ අපි විතරයි. ඒ විශ්වාසය සීයට සීයක් අපි රකින්නම ඕනෑ.