මම රටා මවන සඳ සිඹින්න පෙරුම් පුරනවා
ආදරයේ බිතු සිතුවම සිතුවම් කළ දෑසේ
සංසාරේ මං සලකූණු රැඳී තියෙනවා
ඒ සලකුණු දිගේ මට හිමි තැන සොයා
මගෙ හිත සංසාරයක්ම දුරට ඇදෙනවා
ජීව්තයේ උද්‍යානය මලින් සරසවා
ඒ මල්වල ආදරයේ පාට තවරලා
නුඹ ඉරක් වගේ දුරට වෙලා බලන් ඉන්නවා
මම මල් පිබිදුව හිරු සිඹින්න පෙරුම් පුරනවා
හැම කළුවර රාත්‍රියම පෙමින් නහවලා
ඒ රැය මත නෙක සෙවණැලි රටා මව මවා
නුඹ සඳක් වගේ දුරට වෙලා බලන් ඉන්නවා
මම රටා මවන සඳ සිඹින්න පෙරුම් පුරනවා
ගායනය – ආචාර්ය නන්දා මාලිනී
පද රචනය – තුෂාරි දිල්කි වීරසිංහ
සංගීතය – කපිල අපරැක්ක
ඉනෝකා සමරවික්‍රම
ජීවිතය හරි පුදුමයි. මට මතක් වෙන්නේ මගේ අතීතය. ඒ මම සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්න කාලේ. අපේ ජීවිතේ හොඳම කාලේ. පන්තියේ වැඩවලට දක්ෂ වුණ මම විෂය බාහිර වැඩත් කළා. ඔය අතරේ තමයි එයා අපේ පන්තියට එන්නේ. පන්තියේ හිටපු හැමෝ එක්කම හොඳ යාළුවෙක් වෙලා හිටපු ඒ ළමයා මගෙත් එක්ක හුඟක්ම යාළු වුණා. සමහරු අපට විහිළු කළා.
සාමානය පෙළ පන්තියේ හිටපු එයයි මමයි බොහෝම ළඟින් ඇසුරු කළ නිසා හුඟක් අය හිතුවා අපි යාළුයි කියලා. සමහර වෙලාවට මටත් ඔහු ගැන ආදරයක් හිතුණා. ඒත් මගෙ හිතට මහ බයක් දැනුණා. උසස් පෙළ පන්තියේදී අපි අංශ දෙකකට වෙන්වුණා. ඒත් හැම විවේක කාලයකදි අප හමුවුණා. පාසල් කාලය නිමා වුණා. ඒක එහෙම වුණත් අපේ යාළුකමට එහා ගිය හිත් අස්සේ හැංගිලා තිබුණ හරි සුන්දර ආදරයක් අපි දෙන්නටම තිබුණා. කවදාවත් අපි ඒ ආදරේ ගැන කතා කරලා නැහැ. මම ඒ ආදරයට හරි ආදරෙයි. පාසල් කාලය නිමා වීමත් සමඟ අපි දෙපැත්තකට වුණා.
අපේ ජීවිතවල හරිම සුන්දර කාලය ඒක. මම විශ්වවිද්‍යාලයට තේරුණා. හරි ළඟින් ඇසුරු කළ අපි දෙන්නා වෙන් වුණාම මගෙ හිතට තද දුකක් දැනුණා. මම දවස් ගණන් කල්පනා කළා. විසඳුමක් නැහැ. කවදාවත් අපි අතර ආදරය ගැන වචනයක්වත් හුවමාරු වෙලා තිබුණේ නැහැ. ඒත් මම දන්නවා එයා මට විශේෂයයි කියලා. මට කවදාවත් එයාගෙන් ආදරෙයිද කියලා අහන්න උවමනාවක් තිබුණෙත් නැහැ. ඒත් මම එයාට ආදරය කළා කියලා මම දන්නවා. අම්මයි තාත්තයි හිටියේ මං ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන. එයාලා බලාගෙන ඉන්නවා මම ඉගෙන ගෙන ඉහළට යනතුරු. මම එයාව අමතක කරන්න කරපු හොඳම දේ තමයි වැඩියෙන් ඉගෙනීමට යොමු වුණ එක. කාලය ගෙවිලා ගියා. පාසල් කාලයේ සුන්දර ප්‍රේමයක් විතරක් මගෙ මතකයේ තියෙනවා. ඒ මතකයට මම හරි ආදරෙයි. “ පුංචි පන්තියේ සිට එකට ඉගෙන ගත්ත මගෙ යෙහෙළිය තමන්ගේ මතකය අලුත් කළේ ඒ විදිහට. එක් වරක් නෙමෙයි දහදොළොස් වතාවකට වඩා අසා ඇති මේ කතාව ඇය කියන්නේ හැමදාමත් අලුත්ම කතාවක් කියනවා වගේ. ඇගේ කතාව මෙන්ම මෙවැනි කතා බොහෝමයක් පාසල් කාලයේ මතක අතර ඇත. මේ හැම කතාවක්ම සිහිපත් කරමින් සිත අතීතයට කැන්දාගෙන යන ගීතයක් ඉකුත් දිනෙක අසන්නට ලැබුණා. ගීතය ලියා තිබුණේ ගී පද රචිකා තුෂාරි දිල්කි වීරසිංහ. ගීතය ගයන්නේ විශාරද නන්දා මාලිනීය. ගීතය සංගීතවත් කළේ ප්‍රවීණ සංගීතවේදී කපිල අපරැක්ක.
“ආදරයේ බිතු සිතුවම සිතුවම් කළ දෑසේ
සංසාරේ මං සළකූණු රැඳී තියෙනවා
ඒ සළකුණු දිගේ මට හිමි තැන සොයා
මගෙ හිත සංසාරයක්ම දුරට ඇදෙනවා…“ ගීතයේ පද රචිකා තුෂාරි ගීතය පිළිබද පැවැසුවේ මෙවන් අදහසක්.
“අපිට මේ සමාජයේ ජීවත් වෙද්දි විවිධ අත්දැකීම් විඳින්න ලැබෙනවා. සමහර වෙලාවට එහෙම කාගේ හරි අත්දැකීමක් විඳින්න ලැබුණම ඒක අපේමයි කියලා දැනෙනවා. ඒ තරමටම අපි ඒ ගැන හිතලා. මේකත් එහෙමයි. මගේ යෙහෙළියකගේ අත්දැකීමක් ගැනයි මට ලියැවුණේ. ඇයට පාසල් ප්‍රේමයක් තිබිලා. නමුත් ඒ ප්‍රේමය අමතක කරලා ඇය ඇගේ ගමන යන්න උත්සාහ කරනවා. එහෙම ගමනක් ගියත් ඇයට විටින් විට ඔහුව මතක් වෙනවා. ඒ සිතුවිලි තමයි මේ ගීතයෙ තියෙන්නේ. හිතට ළඟ ඒත් තමන්ගේ නොවුන ප්‍රේමයක් ගැනයි මට කියන්න ඕන වුණේ. ඒ පද පේලි ගයන්න සුදුසුම අපේ නන්දා මාලිනී මිස් කියලමයි හිතුණේ. මම එතුමියට කතා කළා. එතුමියත් ඒ පදවලට හරි කැමැතියි කිව්වා. සංගීතවේදී කපිල අපරැක්ක සහෝදරයා මේ පද හරි අපූරුවට සංගීතවත් කර තියෙනවා. මේ හැමෝගෙම සහයෝගයෙන් මට අපූරු නිර්මාණයක් කරන්න ලැබුණා කියන හැඟීම මට දැනෙනවා.“
“හැම කළුවර රාත්‍රියම පෙමින් නහවලා
ඒ රැය මත නෙක සෙවණැලි රටා මව මවා
නුඹ සඳක් වගේ දුරට වෙලා බලන් ඉන්නවා
මම රටා මවන සඳ සිඹින්න පෙරුම් පුරනවා“
ආදරය හරි සුන්දරයි. ඒ ආදරය වඩාත් සුන්දරය දුර ඈතට වෙලා ඒ දෙස බලා හිඳින විටය. ඒ මිහිර විඳින්නට ඉතින් එන්න මේ හඬ අසන්න