Home » වලියට බර තොටළඟ ටික් ටොක් රාණි

වලියට බර තොටළඟ ටික් ටොක් රාණි

ශිරෝමිකා ප්‍රනාන්දු

by thanushika
April 26, 2025 12:30 am 0 comment
අනුෂා රණසිංහ

ශිරෝමිකා ප්‍රනාන්දු කියන්නේ අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි. අපිට ඉන්න ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ හඬකැවීම් ශිල්පිනියක්. මේ දිනවල සමාජ මාධ්‍යය තුළ වයිරල් වෙන වීඩියෝවක් නිසා හිතුණා රසඳුන කතාබහකට ඇය එක්කර ගන්න.

මේ දවස්වල කොහොමද ජිවිතේ?

බක් මාසේ නිසා දිගටම අවුරුදු උත්සව එක්ක තමයි කාලය ගත වුණේ. ටීවී නාළිකාවල සහ ගම් වල අවුරුදු උත්සව වල‍ට සහභාගි වුණා.

මේ දවස්වල වලියට බර තොටළඟ ටික් ටොක් රාණි හරි ජනප්‍රියයි නේද?

ඔව්. මේ ටිකේ ඒක හොඳටම වයිරල් වෙලා තියෙන්නේ. ඒක මම කළේ දෙරණ නාළිකාවේ පැවති කලා ගමේ අවුරුදු උත්සවයේ විකට ඇඳුම් තරගයට. මම කරපු චරිතය තමයි වලියට බර තොටළඟ ටික් ටොක් රාණි. ඒක මගේ හිතේ තිබ්බ අදහසක්. ඒක මම තව ටික දවසකින් තව ටිකක් වැඩිදියුණු කරලා මගේ ටික් ටොක් එකට දාන්න ඉන්නේ. බොහෝ වෙලාවට විකට ඇඳුම් තරගයට සහභාගි වුණොත් මම තමයි පළමු තැන ගන්නේ.

මේ කාලයේ පුංචි තිරයේ නිර්මාණ මොනවද?

මම දායක වුණු නිර්මාණ 4ක්ම ඉවර වුණා. රැල්ල වෙරළට ආදරෙයි, සංසාරිණී, මේන් කැරැක්ටර්, වාව් මැඩම්. ඒ එක්කම අලුතින් විකාශය වෙනවා හිරිපොද වැස්ස සහ මැයි පළමු වැනිදා ඉඳන් ස්වර්ණවාහිනී නාළිකාවේ පටන් ගන්නවා ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කරන නිශාන්ත ප්‍රදීප් නිෂ්පාදනය කරන ‘මා‘ ටෙලි නාට්‍යය.

කටකාර චරිත තුළින් නිතර දකින ශිරෝමිකා සැබෑ ජීවිතේ කොහොම චරිතයක් ද?

නිර්මාණ ජීවිතේ විතරයි මම චරිතය අනුව කටකාර නම් කටකාර, විකට නම් විකට, හැඩකාර නම් හැඩකාර විදියට චරිතය හදා ගන්නේ. නමුත් මම මගේ පෞද්ගලික ජීවිතේ කා එක්කවත් කටකාර විදියට ජිවත් වෙන්නේ නැහැ. මම බොහොම සාමයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒත් ගොඩක් අය අපේ දිහා බලන කෝණය වෙන්නේ අපි කරන චරිත. මම ගොඩක්ම සන්සුන් කෙනෙක්.

සිනමාවෙන් දකින්න ලැබෙන නිර්මාණ මොනවද?

සිනමාවේ ලස්සන සිනමා නිර්මාණ දෙකක් මඟහැරුණා. එකක් තමයි අපි අතරින් නැති වුණු විජය නන්දසිරි අයියා එක්ක මම ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ලකී ඩයස් මහතා අධ්‍යක්ෂණය කළ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු නිෂ්පාදනය කළ සිනමා නිර්මාණය. ඒක ඉතාම ලස්සන නිර්මාණයක්. ඒ එක්කම ජයසේකර අපොන්සු අයියාගේ නිර්මාණයක් කළා. ඒක තවම තිරගත වුණෙත් නැහැ. ඒ එක්කම මෑතක දී වැඩ අවසන් කරපු නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා. එකක් තමයි තාරක අධිකාරි සහ උපුල් වීරසිංහ අයියා අධ්‍යක්ෂණය කරපු ‘සිහින සරුංගල්‘ චිත්‍රපටය. පූජිත ගුණතිලක අධ්‍යක්ෂණය කළ ‘එළ ද බ්‍රා‘ චිත්‍රපටය. සංජය ලීලාරත්න අයියා අධ්‍යක්ෂණය කළ තිස්ස විජේකෝන් සහාය අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණයත් එන්න තියෙනවා.

අමතක කරන්න බැහැනේ වේදිකාව?

මෑතකදී වියෝ වූ ප්‍රියන්ත රන්ජන්ගේ ‘සල්ලි අරන් හොරු ඇවිදින්‘ කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. සුනිල් ශ්‍රී ප්‍රනාන්දුගේ ‘ඉල්ලන් කෑවා‘ වේදිකා නාට්‍යය. ඒ එක්කම මේ දවස් වල පුහුණුවීම් කරගෙන යනවා නන්දන හෙට්ටිආරච්චිගේ ‘එකට යටින්‘ කියන වේදිකා නාට්‍යය.

මේ දේවල් ඔක්කොම කරන්න කොහොමද කාලය හොයාගන්නේ?

ඇත්තෙන්ම වෙහෙසයි. දැන් මගේ අම්මා ඉන්නේ ලෙඩ ඇඳේ. මගේ ජීවිතේ වෙනස් කරපු දෙයක් වුණා අම්මා අසනීප වීම. මම නිර්මාණවලට යද්දී මගේ දරුවන්ගේ සියලු වගකීම් ඉටු කරමින් ගෙදර බලා ගත්තේ ඇය. මගේ අම්මාට අවුරුදු 35දී තමයි මගේ තාත්තා ජීවතුන් අතරින් සමුගන්නේ. ඒ දවසේ ඉඳන් අම්මා තනිවම අපිව හදාගත්තේ. මගේ අම්මා ඉතාම කරුණාවන්ත අහිංසක කෙනෙක්.

පවුලේ විස්තර ගැනත් කිව්වොත්?

මට ලස්සන පවුල් ජීවිතයක් තියෙනවා. මගේ මහත්තයා ගාමිණී ඩයස් අබේගුණවර්ධන. එයා යුද හමුදාවේ නිලධාරියෙක්. වැඩි කාලයක් හිටියේ යුද්ධය පැවති ප්‍රදේශවල. අපිට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. තරුෂ සහ තරුෂි. පුතා විදෙස් ගත වෙන්න බලන් ඉන්නේ ජූලි මාසය වෙද්දී. දරුවෝ ඉගෙන ගත්ත දේවල්වල ප්‍රතිපල අපිට පෙන්නුවා. මේ වෙද්දී මම පොඩි ව්‍යාපාරයකුත් කරනවා.

අපි ඒ ව්‍යාපාරික කටයුතු ගැනත් කියමු?

මගේ ව්‍යාපාරයට අවුරුදු දෙකක් විතර වෙනවා. මම රැල්ල වෙරළට නාට්‍යයට ගියාම තමයි ව්‍යාපාරවලට යොමුවුණේ. මට ලැබුණේ කරවල මුදලාලි කෙනෙක්ගේ බිරිඳගේ චරිතය. එතැනදී තමයි මම මේ කරවල ව්‍යාපාරය ගැන ඉගෙන ගත්තේ. කිලෝ දෙකෙන් වගේ පටන් ගත්ත ව්‍යාපාරය දැන් කිලෝ 350ක් 400ක් සහ 500ක් දක්වා විකිණෙනවා.

අවසාන වශයෙන් ලැබෙන ප්‍රේක්ෂක ආදගැන මොකද හිතෙන්නේ?

අනිවාර්යයෙන්ම. කලාවට මම එන්නේ අවුරුදු 17දී දැන් මට 53ක් වෙනවා. එදා මෙදා තුර මගේ නිර්මාණ ආදරෙන් භාර ගත්ත ප්‍රේක්ෂකයින් නිසා තමයි අද මම මෙතැන ඉන්නේ. ඒ දෙන ආදරේට මම ඊටත් වඩා ආදරේ කරන කෙනෙක්.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division