Home » මට මාවම අභියෝගයකට ගන්න පුළුවන් චරිතයක් ලැබුණොත් රඟපානවා

මට මාවම අභියෝගයකට ගන්න පුළුවන් චරිතයක් ලැබුණොත් රඟපානවා

ජනිතා පෙරේරා

by thanushika
April 26, 2025 12:30 am 0 comment
අනුෂා රණසිංහ

ජනිතා පෙරේරා කියන්නේ නිතරම නැතත් කලාතුරකින් දකින්න ලැබෙන අපේ රටේ දක්ෂ කලා තරුවක්. ඇය ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ. ශාරධා කියන්නෙ ඇයව බොහොමයක් දෙනා අතරට රැගෙන ගිය නිර්මාණයක්. ඒ එක්කම නැවත මේ දිනවල රිදී තිරයෙන් ජනිතා දකින්න ලැබෙනවා. ඒ ලක්මාල් ධර්මරත්නගේ වාලම්පුරි තුළින්.

 මේ කාලයේ ඔබ කොහෙද ඉන්නෙ මොනවද කරන්නේ

මම ජීවත් වෙන්නේ සිඩ්නිවල. මේ වෙද්දී මම මුලිකත්වය දීලා තියෙන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතුවලට සහ content creations වලට.

 ලක්මාල් ධර්මරත්නගේ වාලම්පුරි චිත්‍රපටයේ රඟපාන්න ඇරියුම ලැබෙන්නෙ කොහොමද?

ලකා අයියා මාව මුලින්ම දැකලා තිබ්බේ ශාරදා මියුසික් වීඩියෝ එකෙන්. ඒක දැකලා මට කතා කළා. එයා කරන්න යන චිත්‍රපටයේ කොටසක් වෙන්න කැමතිද කියලා ඇහුවා. ඒ වෙද්දී මම ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා කියන එකවත් ඔහු දැනගෙන ඉඳලා තිබුණේ නැහැ. නමුත් මට ඒ චරිතය කරන්න ඇත්තටම දෙපාරක් හිතන්න සිද්ධ වුණේත් නැහැ, ඒ නිසා මම ඔහුට කිවුවා හරි මම එන්නම් කියලා.

 වාලම්පුරි කියන්නෙ සිනමාවෙ පළමු අත්දැකීම ද?

ඔව්, මම චිත්‍රපටයක රඟපාන පළමු අවස්ථාව. ඒක අපූරු අත්දැකීමක් වුණා.

 අමතක නොවන මතක ඇති?

චිත්‍රපටයට සම්බන්ධ වෙලා හිටියෙම දක්ෂ ප්‍රවීණ නළු නිළියන් රැසක්. ඔවුන් සමඟ රඟපෑමට ලැබීමම අමතක නොවන මතකයක්. ඒ වගේම මේ වගේ දැවැන්ත චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා දැක ගැනීමට හැකිවීමත් ලොකු භාග්‍යයක් වුණා.

 ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂවරයා ගැන කිවුවොත්?

ඔහු ඇත්තටම හොඳ අධ්‍යක්ෂවරයෙක් වගේම ඉතා ආදරණීය පුද්ගලයෙක්. ඒ වගේම ඔහු එක්ක වැඩ කරන්න හරිම පහසුයි. ඔහු ලොකේෂන් එකේදී ඉන්නේ ඉතා සැහැල්ලුවෙන්. ඒ නිසා අපිට අපේ චරිතය සැහැල්ලුවෙන් ගොඩනඟා ගන්න පහසු වුණා.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ තියෙනවද?

මේ මොහොතේ නම් කිසිවක් නැහැ. නමුත් ඉතා ඉක්මනින් අලුත් නිර්මාණයකට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 ජනිතාට තියෙන්නෙ හරිම සියුම් සුන්දරත්වයක් සහ සිහින් සිරුරක්. මේ විදිහට ශරීරය පවත්වාගෙන යන්න මොනවද කරන්නෙ

එහෙම කියලා මම විශේෂ දෙයක් කරන්නේ නැහැ. මට කවදත් තිබ්බේ සිහින් සිරුරක්. මම සාමාන්‍යයෙන් නීරෝගිව සිටීමට ව්‍යායාම කිරීමට කැමති කෙනෙක්. ඒ හැර මම කිසිම දෙයක් කරන්නේ නැහැ.

 ලංකාවෙන් යළිත් නිර්මාණයකට ඇරියුම් ලැබුණොත් භාර ගන්නවද?

ඔව්. අනිවාර්යයෙන්ම මම කරනවා. රංගන ශිල්පිනියක් විදිහට මට මාවම අභියෝගයකට ගන්න පුළුවන් හොඳ චරිතයක් ලැබුණොත් නම් මම ඒක කරනවා, නමුත් ඒ වගේ දෙයක් තවම ඇවිත් නැහැ.

 ලංකාවට ඇවිත් ජීවත් වෙන්න අදහසක් නැද්ද

මම ඔස්ට්‍රේලියාවේ මේ ගත කරන ජීවිතේට ගොඩක් ආදරෙයි, ඒ නිසා දැනට නම් ලංකාවට ඇවිත් ජීවත් වෙන්න අදහසක් නැහැ.

 නිර්මාණයක් භාර ගන්න කලින් සලකා බලන්නෙ මොනවද?

මම කැමති මට අභියෝගයක් වෙන විදිහේ එකිනෙකට වෙනස් වූ චරිත කරන්න. මානුෂීය හැඟීම් ගැඹුරින් කතා කරන නිර්මාණවලට දායක වෙන්න කැම­ැත්තක් තියෙනවා.

 ජනිතාගේ පවුලේ ඉන්නෙ කවුද?

අම්මා තාත්තා සහ මගේ සහෝදරිය. මගේ පවුලේ හැමෝම ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නිවල. මම අවුරුදු 11 වෙනකම්ම හිටියේ ලංකාවේ. ඒ කාලයේ මම ගියේ විශාඛා විද්‍යාලයට. ඊට පස්සේ තමයි අපි ඔස්ට්‍රේලියාවට ආවේ. මගේ පවුලේ අය මට උපරිම සහයෝගය දෙනවා. ඒ අය තමයි මගේ ශක්තිය.

 ජනිතා පෙරේරා කියන්නෙ මොන වගේ චරිතයක් ද?

මම ආදරය කරන අය සමඟ කාලය ගත කිරීමටත්, ගෙදර සිටීමටත් කැමති කෙනෙක්. මට ඕන මම කැමති වෘත්තිය කෙරෙහි අවධානය යොමු කරලා නිර්මාණශීලිව වැඩ කරන්න. මේ දේවල් තුළින් මගේ ජීවිතයට සතුට ගෙන දෙන බව මම විශ්වාස කරනවා.

 පසුගිය 20 වෙනිදා වාලම්පුරි චිත්‍රපටයේ ඔස්ට්‍රේලියානු මංගල දැක්ම තිබූ දා ලැබුණ ප්‍රතිචාර කොහොමද?

හැමෝගෙන්ම ලැබුණේ ඉතාමත් හොඳ ප්‍රතිචාර. වාලම්පුරි කියන්නේ එක මොහොතක් මඟහැරුණොත් ඊළඟ දර්ශනයට මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරි විදිහේ කුතුහලය පිරුණු සිනමා නිර්මාණයක්. මම හිතන්නේ හැමෝම ඒ අත්දැකීමට ඇත්තටම කැමති වුණා. ඒ නිසා මෙහි සිටින සිනමා ප්‍රේක්ෂකයින් වාලම්පුරි චිත්‍රපටයට ගොඩක් කැමති වුණා.

 වාලම්පුරි බලන්න ප්‍රේක­්ෂකයින්ට පොදුවේ ඇරියුමක් කළොත්?

වාලම්පුරි චිත්‍රපටය හඬක් නැති අයට හඬක් ලබා දෙන අතර මේ ලෝකයේ බහුතරයක් මිනිසුන්ගේ, විශේෂයෙන් ලංකාවේ ජනතාවගේ ජිවිත පැතිකඩක් අපට පෙන්වන අපූරු නිර්මාණයක්. ඒ නිසා ප්‍රේක්ෂක ඔබ නිසැකවම නැරඹිය යුතු සිනමා නිර්මාණයක්.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division