මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක 1973 වසරේදී සම්මත කර ගත් අංක 25 දරන ක්‍රීඩා පනත ප්‍රකාරව ක්‍රීඩා 74ක් ලියාපදිංචි වී ඇතත් ඉන් හරි අඩකටත් වඩා ක්‍රියාත්මක වන්නේ නාමිකව පමණක් බව මෙරට ක්‍රීඩාව කරන සහ කරවන කා අතරත් ප්‍රසිද්ධ රහසකි. එනම්: එකී ක්‍රීඩාවන්ට අදාළ පරිපාලන සංගම් හෝ සම්මේලන අක්‍රියව හෝ ලියාපදිංචිය බෝඩ්ලෑල්ලට පමණක් සීමා කරගෙන ඇත. එසේ හේතුවක් ඇතිව අක්‍රිය වී ඇති ක්‍රීඩා පරිපාලනයන් ගැන හෝ හිතාමතා අක්‍රිය කරගෙන තනතුරු දරා වරප්‍රසාද භුක්ති විඳිමින් සිටිනා පරිපාලනයන් ගැන යම් තක්සේරුවක් ලබා ගෙන ඊට අදාළ නිසි පියවරයන් ගැනීමට මෙරට ක්‍රීඩාවේ මහගෙදර ඇත්තන් තවමත් අපොහොසත් වී ඇති බව කිව යුතුය.
මෙකී ලියාපදිංචි ක්‍රීඩාවන්ට අදාළව පරිපාලනය යාවත්කාලීන කිරීම සඳහා නිලවරණ පැවැත්විය යුතු කාල සමය අවසන් වීමට දැන් ආසන්න වුවත් එසේ කර ගන්නට බහුතරයක් ක්‍රීඩා පරිපාලන සංගම් මේ වන විට අසමත් බවක් පෙන්නුම් කිරීම ඊට හොඳම උදාහරණයයි. අවම වශයෙන් මෙරට තුළ දිස්ත්‍රික්ක දහයක් තුළවත් ක්‍රියාත්මක නොවන ක්‍රීඩාවක් ජාතික ක්‍රීඩාවක් ලෙස ලියාපදිංචි නොකළ යුතු යැයි නිර්ණායකයක් පවත්වාගත යුතු බවට අප මින් පෙරද යෝජනා කළත් එය එසේ සිදු නොකරන තත්වයක් තුළ ක්‍රීඩා පරිපාලන සංගම් වේගයෙන් පැටව් ගසමින් සිටී. මීට වසර එකහමාරකට පමණ පෙර ගත් කල මෙරට ලියාපදිංචි ක්‍රීඩාවන්ගේ සංඛ්‍යාව වූයේ 72කි. එහෙත් අද වන විට එම සංඛ්‍යාව 74 දක්වා වැඩි වී ඇත. එනම්: 73 වැනි ක්‍රීඩාව ලෙස කෝෆ්බෝල් (Korfball) ක්‍රීඩාවත් 74 වැනි ක්‍රීඩාව ලෙස සෙස්ටබෝල් (Cestoball) ක්‍රීඩාවත් යන ක්‍රීඩා දෙක ගෙවී ගිය කෙටි කාලය තුළ ලියාපදිංචි කර ඇත.
ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙසේ කිසිදු වග විභාගයකින් තොරව ක්‍රීඩා ලියාපදිංචි කරන්නේ කුමන අරමුණක් සඳහා දැයි පැහැදිලි නැතත්, මෙතැන සිදු කරන්නේ කුමක් දැයි දන්නෝ දනිති. එකී 73 වැනි හා 74 වැනි ක්‍රීඩා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුමත කරන ලද ක්‍රීඩා දෙකම දැල්පන්දු ක්‍රීඩාවේ ආකෘතියට සමානය. ඒත් රටක් තුළ ක්‍රීඩාවක් හඳුන්වාදී ලියාපදිංචියක් ඇතිකරලීම සඳහා යම් සාධක තෘප්තිමත් කළ යුතු වුවත් මෙවන් ක්‍රීඩාවන් ලියාපදිංචි කළ බව දන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සහ අදාළ ක්‍රීඩා සංගමයේ නිලධාරීන් පමණක් වන්නට පුළුවන. උදාහරණයක් ලෙස: එකී කෝෆ්බොල් නම් ක්‍රීඩාවක් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර ඇති බවට අප දැනුවත් වූයේ එම කෝෆ්බෝල් සංගමයේ බැංකු ගිණුමකට කණ්ඩායම් දෙකක් අයිතිවාසිකම් කියන්නට යෑමේ අක්‍රමිකතාවක් එළියට පැමිණි නිසාය.

මීටර් 800 කාන්තා රන් පදක්කම දිනා ගත් තරුෂි අභිෂේකා
එනම්: මේ සිදුවීම වන තෙක්ම කෝෆ්බෝල් ක්‍රීඩාව ගැන දැන සිටින්නට ඇත්තේ එම ගිණුමට අදාළ බැංකුව සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පමණක් විය හැකිය. 73 වැනි ක්‍රීඩාව ලෙස කෝෆ්බෝල් ක්‍රීඩාව පිළිගැනුණේ 2023 ජූනි 8 දිනැති අංක 2335/18 දරන ගැසට් නිවේදනය මඟිනි. එහෙත් දැනගන්නට ඇති පරිදි එසේ ලියාපදිංචිය හිමිකර ගත් පුද්ගලයන්ගෙන් ඒ අයිතිය පැහැරගන්නට වෙනත් පිරිසක් කුමන්ත්‍රණයක යෙදෙමින් සිටිති. තවද 74 වැනි ක්‍රීඩාව ලෙස සෙස්ටබෝල් ක්‍රීඩාව පිළිගැනුණේ 2024 ඔක්තෝබර් 9 දිනැති අංක 2405/31 දරන ගැසට් නිවේදනය මඟිනි.
කෙසේ වෙතත් මේ ලියුම්කරු විසින් කරුණු සොයාගත් පරිදි මේ සෙස්ටබෝල් ක්‍රීඩාව මින් පෙර 1986 වසරේදීද ක්‍රීඩාවක් ලෙස පළමු වරට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇත. ඒ අනුව තවත් පිරිසක් විසින් එය ඩැහැගෙන නැවතත් ලියාපදිංචි කරා දැයි දැන් සැකයක් මතු වේ. එසේ සැකයක් මතු කරන්න හේතු කාරණා දනවන අතීත උදාහරණයක් ලෙස මෙරට ක්‍රියාත්මක වන හෑන්ඩ්බෝල් ක්‍රීඩාවේ මුල් හිමිකරුවන්ට සිදු වූ දේ සඳහන් කළ හැකිය. අපේ මලල ක්‍රීඩා පොඩ්ඩන් පවා ලෝකය ජයගෙන පැමිණ ඇති මොහොතක එවන් කුළල් කාගැනීම් මෙසේ සටහන් කළේ රටට ජයග්‍රහණ ගෙන එන ක්‍රීඩාව කරන අයට මෙවන් පරිපාලනයක් තුළ අනාගතයක් නැති නිසාය.
එසේම පරණ ක්‍රීඩාවල කෙරුවාවද ඊටත් එහාය. රටේ වුවමනාව කෙසේ වෙතත් තම තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර අනුව තව තවත් අලුත් ක්‍රීඩා එසේ පැටවු ගහද්දී පරණ ක්‍රීඩා දුවන්නේත් රටේ වුවමනාවට වඩා ඒවායේ ඉහළ පුටුවල අරක්ගත් නෝනා මහත්වරුන්ගේ පැවැත්ම උදෙසාය. පසුගියදා පැවැති ජාතික ඔලිම්පික් කමිටු විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව එළියට පැමිණි කිහිපදෙනකු හැසිරුණු ආකාරයෙන්ම ඒ බව සනාථ විය. වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ සිදු කරන රඟදැක්වීම්වලට සමාන්තර සිදුවීම් මාලාවක් අද මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළත් දැකගත හැකිය. එනම් දූෂිත දේශපාලකයන්ට හොරුන්ට එරෙහිව දඬුවම් දී ඔවුන් ඇතුළට දමන විට එළියේ සිටින මහත්හොරු කලබල වී කෙඳිරිගාමින් දඟලති. අද ක්‍රීඩාවටත් ඒ කෙඳිරිය බෝ වී ඇත.
ක්‍රීඩාවේ දූෂිතයන්ට දඬුවම් දෙන්න යෑමේදී එවන් දූෂිතයන්ගේ වටේ සිටිමින් වරප්‍රසාද ලබා ගත් පිරිස් අද දඟලන්නේ ඒ නිසාය. ජාතික ඔලිම්පික් කමිටුවටද මේ කියමන අදාළය. ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම්වරයා දූෂිතයෙක් යැයි කීවේ අපි නොවේ. ඔහුට එරෙහිව පත්කළ සියලුම කමිටු වාර්තා මඟින් ඒ බව සනාථ විය. එපමණක්ද නොවේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයිඕසී) පවා අවසානයේදී එම හිටපු ලේකම්වරයාට එරෙහිව පොල්ල අතට ගත්තේය. එවන් ආකාරයෙන් තනතුරෙන් පහ කළ දූෂිතයකු රැකගන්න සමහරු තවමත් වලිකන්නේ ඇයි දැයි අපිට නම් පැහැදිලිය. වත්මන් ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයාට එරෙහිව මතයක් ගොඩනඟා තමන්ගේ පැවැත්ම සාදා ගැනීමට උත්සාහ කරන මෙකී පිරිස් ක්‍රීඩා ඇමැතිවරයාද නොමඟ යැවීමට උත්සාහ කරන බවක් පෙනේ.
ගෙවී ගිය මෑත කාලය තුළ යම් යම් අඩුපාඩු පෙන්නුම් කළද සුරේෂ් සුබ්‍රමනියම් ජාතික ඔලිම්පික් කමිටු සභාපති පුටුවේ නොසිටින්නට දැනට තනතුරෙන් පහ කර ඇති මැක්ස්වෙල් ද සිල්වා තවමත් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාමය. වත්මන් සභාපතිවරයා අයිඕසීය සමඟ නිවැරදි සම්බන්ධීකරණයක යෙදී අවශ්‍ය මොහොතේ අවශ්‍ය පියවර ගත් බැවින් ඒ ආයතනය මූල්‍ය සම්බාධක වැනි දඬුවමකට පමණක් සීමා වී යාන්තම් බේරාගැනීමට හැකි විය. එහෙත් දැන් රට, ක්‍රීඩාව බේරාගන්න යැයි කෑගසන සමහරුන්ට කීමට ඇත්තේ ඊට කලින් තමන්ගේ පරිපාලන කෙරුවාව ගැන නැවත හැරී බැලුවොත් වඩාත් හොඳ යැයි කියාය.
අනුන්ගේ ඇහේ තිබෙන පොල් කෙන්ද දකින්න කලින් තමන්ගේ ඇහේ ඇති පොල් පරාලය පෙනෙන්නේ නැති අය කරනා විවේචන විහිළු සහගතය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීමක් 2022 වසරේ සිට මෙතෙක් පවත්වා නැති සභාපතිවරයා අනුන්ගේ වැරදි පෙන්වන්නට වැඩිපුර දඟලන්නේ ඇයි දැයි ක්ෂේත්‍රයේ බොහෝදෙනාට අවබෝධයක් ඇත. කෙසේ වෙතත් මහගෙදරට පත් වී එන එන ක්‍රීඩා ඇමැතිවරයා අන්දවා හෝ නොමඟ යවා තමන්ගේ වැඩේ කරවා ගැනීමේ න්‍යාය මෙතෙක් සරුවට ක්‍රියාත්මක කිරීමට මෙකී ක්‍රීඩා පරිපාලකයන් සමත් වූ බව අපට නම් ප්‍රසිද්ධ රහසකි. එහෙත් ඒ න්‍යාය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉඩක් නොලැබෙනු ඇතැයි අපගේ විශ්වාසයයි.
සටහන – සිරිනාම