Home » ජනාධිපතිතුමාගෙ ඉල්ලීම ඉටු කරන්න අපි 100%ක්ම බැහැලා වැඩ

ජනාධිපතිතුමාගෙ ඉල්ලීම ඉටු කරන්න අපි 100%ක්ම බැහැලා වැඩ

සනත් ජයසූරිය

by Mahesh Lakehouse
April 26, 2025 12:31 am 0 comment
සිරිනාම රාජපක්ෂ

දිරි වසර පහක කාලයක් ඇතුළත යාපනයේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කොට එහි අන්තර්ජාතික ක්‍රිකට් තරගයක් පැවැත්වීම තම අපේක්ෂාව බව පසුගියදා යාපනයේ පැවති ජනහමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. තමා හමුවීමට පැමිණි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියගෙන්, තමාගේ ඒ අපේක්ෂාව ඉටු කර දෙන ලෙස ඉල්ලීමක් කළ බවද ජනාධිපතිවරයා ඒ රැස්වීමේදී වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර ඉදිකිරීමට යෝජිත නව ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා දැනටමත් හඳුනාගෙන අත්පත් කරගෙන ඇති යාපනය දිස්ත්‍රිතක්කයේ මණ්ඩතිව්හි පිහිටි අක්කර 52ක භූමි ප්‍රමාණයකින් යුක්ත එම ඉඩම ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සනත් ජයසූරිය යන දෙදෙනා පසුගියදා එහි ගොස් පරීක්ෂා කරන ලද බවටද වාර්තා විය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීම ඉටු කරදීම සඳහා ඉදිරියේදී ගනු ලබන පියවර පිළිබඳ අප සනත් ජයසූරියගෙන් විමසා සිටි අතර, ඔහු පැවසූයේ ඊට අදාළ යටිතල පහසුකම් පිළිබඳ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි. යාපනයේ ක්‍රීඩාංගණයක අන්තර්ජාතික තරගයක් පවත්වනු දැකීම තමාගේද බලාපොරොත්තුවක් බව පැවැසූ ජයසූරිය තවදුරටත් මෙසේද කීය:

“ජනාධිපතිතුමා මගෙන් ඉල්ලීම කළාට පසුව මම ඒ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් දැනුවත් කළා. ක්‍රිකට් සභාපතිතුමා ඇතුළු ඔවුන්ගේ ප්‍රතිචාරයත් ඉතා ඉහළයි; ධනාත්මකයි. ඒ නිසා ජනාධිපතිතුමාගේ ඉල්ලීම ඉටු කර දෙන්න අපි සීයයට සියයක් කැපවෙලා කටයුතු කරනවා. මීට වසර ගණනාවකට පෙරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ ඉඩම ක්‍රීඩාංගණයක් ඉදි කිරීම සඳහා පවරාගත්තෙ. ඒත් විවිධ හේතු මත මේ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු අත්හැරලා තිබුණු තැනක්. ජනාධිපතිතුමා අපෙන් කරපු ඉල්ලීමත් එක්කම දැන් ඒ පිළිබඳ කාගේත් උනන්දුව කැප වීම වැඩි වෙලයි තියෙන්නෙ.”

දශක තුනක් පුරා පැවති සිවිල් ගැටුමෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ යාපනයේ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ගැඹුරු වැදගත්කම පැහැදිලි කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරුවා, කොළඹ, හම්බන්තොට, දඹුල්ල සහ පල්ලෙකැලේ වැනි රටේ දකුණු ප්‍රදේශවල ස්ථාපිත අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ තිබුණද, උතුරේ තවම එවැනි පහසුකම් නැති බවද පෙන්වා දුන්නේය. දශක ගණනාවක් පුරා පැවති ජාති භේද ගැටුම් නිම වී, සාමය යථා තත්ත්වයට පත් වී ඇති බැවින්, උතුර සහ දකුණ අතර සමඟිය වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජයසූරිය, ක්‍රීඩාව යනු එවන් භේද සමනය කිරීමට යොදාගත හැකි මහඟු බලවත් ඖෂධයක් බවද විශ්වාස කරයි.

යාපනයේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම එක්සත්කම පෝෂණය කිරීමට, කලාපීය බෙදීම් මඟහැරීමට සහ දිගු කලක් තිස්සේ කොන් වී සිටින ප්‍රජාවන් නඟාසිටුවීමට උපකාරි වනු ඇතැයි පැවැසූ ජයසූරිය: “මේ වගේ ව්‍යාපෘතියක් සඳහා මම ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව මේක. මේ ගැන විතරක් නොවෙයි, රටේම ක්‍රිකට් දියුණුව වෙනුවෙන් දැන් පැහැදිලි වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව තිබෙනවා. ක්‍රීඩාංගණ පහසුකම්, පුහුණුකරණය ආදි ක්‍රිකට් දියුණුව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ගැන කතා කළොත් උතුර-දකුණ කියල භේදයක් නෑ. රටේ දිස්ත්‍රික්ක 23ටම එක හා සමාන පහසුකම් දැන් සලසලයි තියෙන්නෙ. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලොකු කැපකිරීමක් කරනවා” යනුවෙන්ද කීය.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රීඩාව හා එකමුතුකම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, යාපනයේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට සහය වන ලෙස සනත් ජයසූරිය, පසුගියදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් නිල වශයෙන් ඉල්ලා තිබු බවද දැනගන්නට ලැබිණි. 1996 ලෝක කුසලාන ජයග්‍රාහි ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනකු ඉන්දීය අගමැතිවරයා පිළිගැනීම සඳහා කොළඹ පැවති රැස්වීමකදී මේ යෝජනාව ඉදිරිපත් කළ බවද පැවැසේ. එසේ කළ යෝජනාව සම්බන්ධයෙන් විමසූ විට ජයසූරිය කියා සිටියේ තමා එවැනි ඉල්ලීමක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළ බවත්, මේ වන විට ඊට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බවත්ය. “ඒ ඉල්ලීම සඳහන් කරලා විවෘත ලිපියක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා හරහා ඉන්දීය අග්‍රාමාත්‍යතුමාට ඉදිරි සතියේදී යැවීමට මා බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ජයසූරිය වැඩිදුරටත් කීය.

මේ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ නව පිහිනුම් තටාකය විවෘත කිරීම සඳහා පසුගියදා (අප්‍රේල් 22දා) සහභාගි වූ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසූවේ යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා මූල්‍ය ආධාර ලබා දෙන ලෙස තමන් පසුගිය මාසයේදී ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා “සනතුත් මමත් මේ මාසෙ 9 වැනිදා යාපනය ක්‍රීඩාංගණයට අදාළ ඉඩම බලන්න ගියා. ඒ වගේම සනත් පසුගිය දවසක ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමු වූ වෙලාවෙත් ක්‍රීඩාංගණය ඉදි කිරීමට සහාය දෙන්න කියලා ඉල්ලීමක් කළා. මං හිතන්නෙ මගේ ඉල්ලීමට වැඩිය සනත්ගෙ ඉල්ලීම ප්‍රබලයි. මොකද: සනත් යම් දෙයක් ඉල්ලුවොත් කාටවත් ඒක බැහැ කියන්න බැහැ නේ.‍..” යනුවෙන් පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද මේ ව්‍යාපෘතියට සහය වනු ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා මින් පෙර මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division