ගල්ෆ් කලාපයේ යුද ගැටුම් උත්සන්නව තිබියදී මැදපෙරදිග තත්ත්වය තවත් උණුසුම් කරමින් අප්‍රිකානු කලාපයේද යුදමය තත්ත්වයකට පසුබිම සකස් වෙමින් පවතින බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ නවතම පරිසරය ගොඩනැඟී ඇත්තේ, ලෝකයේ ළාබාලතම රාජ්‍ය අතරට එක් වූ අප්‍රිකානු මහාද්වීපයට අයත් දකුණු සුඩාන රාජ්‍යයෙනි. අප්‍රේල් 2 වැනිදා වන විට දකුණු සුඩානයේ පවතින අභ්‍යන්තර සිවිල් යුද තත්ත්වයේ භයානකකම හේතුවෙන් ගැටුම වහ වහා සමනය කිරීමට අවශ්‍ය සාකච්ඡාමය පසුබිම නිර්මාණය කිරීම අරමුණු කොටගනිමින් මැදිහත්කරුවන් දකුණු සුඩානයේ අගනුවර වූ ජූබා වෙත පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ අතර උගන්ඩා ජනපති යෝවේරී මුසෙවෙනි ද තම අසල්වැසි රාජ්‍යයක් වූ දකුණු සුඩානයට මාර්තු 4 වැනිදා ළඟා වී ඇත්තේ මේ තත්ත්වය ඉතා සුවිශේෂ ලෙස සලකා බැලීමෙන් අනතුරුවය. මේ අවස්ථාව වන විටත් දකුණු සුඩාන උප ජනපති රීක් මාචර් පසු වන්නේ නිවාස අඩස්සියේය. ඒ දැන් මසක පමණ කාලයක පටන්ය. මේ ආකාර දරුණු සිවිල් යුද ගැටුමකට දකුණු සුඩානය නතු වී ඇති පරිසරයක එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා සුඩානයේ වත්මන් තත්ත්වය, සිවිල් යුද පසුබිමක අඳුරුතර පැතිකඩක් නිරූපණය කර ඇති බව ප්‍රකාශ කළේය. මාර්තු 28 වැනිදා ඔහු ප්‍රකාශ කර ඇත්තේ දකුණු සුඩාන සාම ක්‍රියාවලිය කැඩි බිඳීමකට ලක්ව ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද අප්‍රේල් 17 වැනිදා දකුණු සුඩානීය එක්සත් ජාතීන්ගේ නියෝජිත පෙරටු කොටගෙන විශේෂ සැසියක් කැඳවා ඇති අතර, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ භටයන් 18,000ක් පමණ දකුණු සුඩානයේ යොදවා ඇති බවද වාර්තා වේ.
මාර්තු 7 වන විට එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ අධිකාරීන් ප්‍රකාශ කර ඇත්තේ, දකුණු සුඩානයේ තත්ත්වය සලකමින් ආරම්භ කළ සාම ක්‍රියාවලිය මුළුමනින්ම කැඩී බිඳී යෑමට ලක්ව ඇති බවයි. දකුණු සුඩාන ජනපති සල්වා කීර් මයාර්ඩිට් හා උප ජනපති රීක් මාචර් අතර පවතින දරුණු ඝට්ටනය මේ වන විට දකුණු සුඩානයෙන් ඇරඹි යුදමය තත්ත්වය සමස්ත අප්‍රිකානු කලාපයම ඈඳුණු යුද ගැටුමක් බවට වුව පරිවර්තනය වීමට විශාල ඉඩකඩක් ඇති බව ගෝලීය යුද විශේෂඥයන්ගේ අදහසයි.
එක්සත් ජනපදය, මේ වන විට දකුණු සුඩාන ජනපතිට දන්වා ඇත්තේ, උප ජනපති රීක් මාචර් නිවාස අඩස්සියෙන් නිදහස් කර, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර, සුරක්ෂිත කරලීමට අවශ්‍ය සහය දෙන ලෙස විදෙස් මාධ්‍ය දක්වා තිබිණි. එමෙන්ම අප්‍රිකානු සබඳතා පිළිබඳ වොෂිංටන් බියුරෝව දක්වා ඇත්තේ, මේ අවස්ථාවේදී දකුණු සුඩානයට අප්‍රිකානු සංගමයේ විශ්වසනීයත්වය හා හෘදයංගම සහය අත්‍යවශ්‍ය මොහොතක් බවයි. දරුණු සාගත තත්ත්වයක්, වසංගත තත්ත්වයක් දකුණු සුඩානය තුළ මේ වන විට ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින අතර, දරුණු කොලරා වසංගතයක්ද පැතිර යමින් පවතින බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.
දකුණු සුඩානයේ වර්තමානයේ උද්ගත වී ඇති දරුණු සිවිල් යුද තත්ත්වය, එක්සත් ජාතීන්ගේ දකුණු සුඩානය සඳහා වූ කමිටුවේ ප්‍රධානී නිකොලස් හේසම් අර්ථ දක්වා ඇත්තේ, ආර්ථිකමය අර්බුදයකට ඔබ්බෙන් ගියා වූ ඉතා පුළුල් දේශපාලන මානයක් ඔස්සේ විහිදුණු ඉහළ ආතතිමය තත්ත්වයක් වශයෙනි.
දකුණු සුඩානය, සුඩානයෙන් ස්වාධීනත්වය අත්පත් කොටගෙන වසර 14ක් ගත වුවද, එහි තවම එකදු මැතිවරණයක් හෝ පවත්වා නැති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි. දකුණු සුඩානයේ දේශපාලන වපසරිය තුළ පවතින අස්ථාවරත්වයට තව කුමන සාක්ෂි අවශ්‍ය වේද? අනෙක් අතින් දකුණු සුඩානයේ ජනපති හා උප ජනපති අතර පවතින දරුණු ඝට්ටනය, දකුණු සුඩානය කේන්ද්‍ර කරගත් අප්‍රිකානු කලාපීය ගැටුමක් දක්වා විතැන් වීමට ඇති ඉඩකඩද ඉතා වැඩි බව ගෝලීය යුද විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ එබැවිනි.
ඇත්ත වශයෙන්ම දකුණු සුඩාන සන්නද්ධ ගැටුම, අභ්‍යන්තර ප්‍රචණ්ඩත්වය, ආර්ථික අර්බුදය, දේශපාලන අස්ථාවරත්වය ආදි මේ සියලු තත්ත්වයන්හි සම්මිශ්‍රණය තුළ මේ දැඩි මානුෂීය අර්බුදයට මාවත විවර වූ බව පැවසුව හොත් එය වඩාත් නිවැරදිය. දකුණු සුඩාන ජනගහනයෙන් 70%ක් පමණ මානුෂීය ආධාර හා සහාය වහ වහා අවශ්‍ය පරිසරයක පවතින බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි. මිලියන 7.8ක ජනතාවක් දරුණු ආහාර අනාරක්ෂිතභාවයකින් පෙළෙන අතර, මිලියන 2.1ක ළමා ජනගහනයක් දකුණු සුඩානය තුළ උග්‍ර මන්දපෝෂණයට මුහුණ පා ඇත.
යුරෝපීය සංගමය දකුණු සුඩාන මානුෂීය අර්බුදය තුළ මානුෂීය ආධාර සහාය පදනම් කරගත් ජීවිතාරක්ෂක අවශ්‍යතා සපයා දීම උදෙසා කැප වී කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
පී.ආර්. දුෂාන්ති සිල්වා