අප්‍රේල් 18 වැනිදා චීන විදේශ කටයුතු අමාත්‍යාංශය, කාම්බෝජය හා චීනය සුහදශීලි සහභාගිත්වයෙන් ඒකාබද්ධ ප්‍රකාශනයක් මඟින් දැනුම් දී සිටියේ, දෙරට අතර මාස ගණනක් පමණ කල් ගිය මහා පරිමාණ ඒකාබද්ධ ඇළ මාර්ග ව්‍යාපෘතිය වූ ෆුනාන් ටෙක්හො ඉදිකිරීමේ ඓතිහාසික අවස්ථාව ගිවිසුම්ගත කළ සුභදායක පණිවිඩයයි. ඒ ෆොනොම් පෙන්හිදීය. මෙය හුදෙක් චීනය හා අසල්වැසි අග්නිදිග ආසියානු කලාපීය රාජ්‍යයක් වූ කාම්බෝජයට පමණක් බල පාන්නා වූ ව්‍යාපෘතියක් පමණක් නොව, ගෝලීය ආර්ථික සබඳතා හා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල නැවුම් වූ සන්ධිස්ථානයක ඇරඹුමක් සටහන් කිරීමකි.
මෑත කාලීනව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්තර්ජාතික වෙළෙඳාමට, ගෝලීය ආර්ථික සබඳතාවලට හා අන්තර්ජාතික සබඳතාවලට විවිධ පැතිකඩ ඔස්සේ එල්ල වන සැලකිය යුතු බලපෑමක් පවතින වකවානුවක චීනය ලෝකයේ දෙවැනි ආර්ථික බලවත් රාජ්‍යය ලෙස අසල්වැසි රාජ්‍යයන් සමඟ එළඹුණු මේ ප්‍රවේශය, ගෝලීය සාධනීය ප්‍රවේශයක් ලෙස ආර්ථික හා සමාජයීය විද්වතුන් විග්‍රහ කරන්නේ එබැවිනි.
එමෙන්ම ෆුනාන් ටෙක්හො ඇළ මාර්ග ව්‍යාපෘතිය මඟින් කාම්බෝජයේ රැකියා අවස්ථා විශාල වශයෙන් උත්පාදනය කරගැනීමට මේ ඔස්සේ බලාපොරොත්තු වන බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර ඇත.
මේ ෆුනාන් ටෙක්හො ඇළ මාර්ග ව්‍යාපෘතිය හා සැසඳෙන සහයෝගිතා ගිවිසුම් 37කට ‘ශෙයාර්ඩ් ෆියුචර්’ දැක්ම ඔස්සේ චීනය හා කාම්බෝජය අත්සන් තැබීම චීන ජනපති හා කාම්බෝජ අගමැති අතර අප්‍රේල් 18 සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. චීන ජනපති ෂි ජිං පින් හා කාම්බෝජ අගමැති හුන් මැනට් මේ ගිවිසුම්වලට අත්සන් තබන දසුන් අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇත්ත වශයෙන්ම මේ රාජ්‍යතාන්ත්‍රික සබැඳියාව, රාජ්‍යයන්ගේ එකමුතුකමේ හා සහෝදරත්වයේ නව මානයක් තුළින් ගෝලීය තලයේ ශක්තිමත් ආර්ථික ප්‍රවාහයන්වල ස්ථාවරත්වය උපායමාර්ගිකව ප්‍රදර්ශනය වීමක් නොවේද?
මීට සමගාමිව යෙදුණු චීන ජනපතිගේ අප්‍රේල් 17-18 දෙදින කාම්බෝජ නිල සංචාරය පිළිබඳ කාම්බෝජ විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජාත්‍යන්තර සහයෝගිතාව නිකුත් කළ නිල නිවේදනයේ දක්වා ඇත්තේ සහයෝගිතා ගිවිසුම් 37 මඟින්, වෙළෙඳාම යටිතල පහසුකම් යන ප්‍රධාන ක්ෂේත්‍ර මෙන්ම අධ්‍යාපනය, බල ශක්තිය, සංචාරක කර්මාන්තය හා උපායමාර්ගික සබඳතාවද කාම්බෝජයට සුවිශේෂ ආකාරයෙන් සැලසෙන බවයි.
කාම්බෝජය අතර ඉදිරියට ගෙන ආ සමීප සබඳතාවය කෙතරම් අගය කළා ද යත්, එය අන්‍යෝන්‍ය ගරුත්වය හා සමාන සැලකීම උදෙසා වූ අර්ථකථනයට ඉතා සුවිශේෂව පණක් දුන් රාජ්‍යයන් 2ක් ලෙස හඳුන්වා දී ඇත.
එහිදී ප්‍රදර්ශනය වූ වැදගත්ම කරුණ වී ඇති මේ ගෞරවනීය භාවය හා සුහදත්වය දිගින් දිගටම රැඳී පැවතී ඇත්තේ, දෙරටට ආවේණික වූ එකිනෙකට වෙනස් සමාජ ක්‍රමයන් හා වෙනස් ප්‍රමිතීන් යන වපසරිය තුළ වීමයි. මේ ස්වභාවය තව තවත් තහවුරු කරමින් චීන තානාපති පවසා ඇත්තේ, මෑත කාලීනව චීනය හා කාම්බෝජය අතර මිත්‍රශීලි සබඳතාවල ඉතා නොවෙනස් වර්ධනයක් පෙන්නුම් කළ අතරම ප්‍රායෝගික තලයේදීද එය උපායමාර්ගික මාර්ගෝපදේශකත්වය මත පදනම්ව දිගින් දිගටම ඉදිරියට ගිය බවයි යන්න විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබිණි.
ගත වූ වසර 13ක කාලයේදී පටන්ම චීනය, කාම්බෝජයේ විශාලතම වෙළෙඳ හවුල්කරු ලෙස කටයුතු කරනු ලැබේ. චීන-කාම්බෝජ නිදහස් වෙළෙඳ ගිවිසුමද කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වයද යන ගිවිසුම් හරහා දෙරටේ මෙන්ම අග්නිදිග ආසියානු කලාපීය රාජ්‍යයන්ගේ ද වෙළඳ සහයෝගිතාවද ඉතා සැලකිය යුතු අන්දමේ ප්‍රගතියක් චීනය සමග පවත්වාගෙන යෑමට හැකි වීම කලාපීය මෙන්ම ගෝලීයවද අත්පත් කරගැනීමකි. අප්‍රේල් 18 වැනිදා මුල පිරූ ෆුනාන් ටෙක්හො ඇළ මාර්ග ව්‍යාපෘතියද මේ පසුබිමේ ඉතා ස්ථාවරව ගොඩනැඟෙන බව හොඳින්ම ප්‍රත්‍යක්ෂ වේ.
චීනය හා කාම්බෝජය මූල්‍ය දායකත්වය දරන මේ යෝධ ඇළ මාර්ග ව්‍යාපෘතිය මොකොංග් ගංගාවේ ශාඛාවක් හා තායිලන්ත බොක්ක සම්බන්ධ කරනු ලැබූ ව්‍යාපෘතියකි. ෆුනාන් ටෙක්හො ඇළ මාර්ග යෝධ ව්‍යාපෘතියට පෞද්ගලික හා පොදු යන අංශ දෙකෙහිම දායකත්වය ලැබෙන අතර එහි චීන ආයෝජනයන් 49%ක් ද 51%ක කාම්බෝජ ආයෝජනයන්ද අන්තර්ගත වන බව විස්තර වී ඇත. ඉතා වේගවත් ආර්ථික වර්ධනයක් තිරසර සංවර්ධන මාවතේ යමින් උදා කරගැනීමට බලාපොරොත්තු වන මේ ව්‍යාපෘතිය මඟින් රැකියා අවස්ථා 50,000කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය වීම තක්සේරු කොට ඇත. එය ආර්ථික, සමාජීය ප්‍රගමනය උදෙසා ඵලදායි ඉදිරි පියවරක් වන්නා සේම චීනය හා කාම්බෝජය අතර මේ ඔස්සේ ගොඩනැඟෙන හා දශක ගණනාවක් පුරා පැවත එන රාජ්‍යතාන්ත්‍රික සබඳතා වඩ වඩාත් ඔපවත් වී එය සමස්ත අග්නිදිග ආසියානු කලාපයටම මහත් වූ පිටුවහලක් වන බව නිරනුමානය.