Home » ට්‍රම්ප් චීනයට එරෙහි දැඩි බදු තීරණය හකුළාගනී

ට්‍රම්ප් චීනයට එරෙහි දැඩි බදු තීරණය හකුළාගනී

by Mahesh Lakehouse
April 26, 2025 12:31 am 0 comment
විජය දිසානායක

මෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් අඟහරුවාදා ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී චීනය සමඟ ඔහුගේ වෙළෙඳ යුද්ධය ආපසු හැරවීමට අදාළ සංඥාවක් නිකුත් කළේය. චීන භාණ්ඩ සඳහා පනවා ඇති ඉහළ තීරුබදු සැලකිය යුතු ලෙස අඩු වන බව එහිදී ඔහු කියා සිටියේය. කෙසේ වෙතත්, තීරුබදු බින්දුවට අඩු නොකරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

“145% කියන්නේ ඉතා ඉහළ අගයක්. එය එතරම් ඉහළ නොයනු ඇත.” ට්‍රම්ප් පැවසීය. තීරුබදු කුමන මට්ටම තෙක් පහත වැටෙනු ඇත්දැයි විමසූ විට, ට්‍රම්ප් පිළිතුරු දුන්නේ, “එය සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇත, එහෙත් එය ශූන්‍ය නොවනු ඇත. එය කලින් ශූන්‍ය මට්ටමක පැවතු‍ණේ. චීනය අප යම් තැනකට ගමනකට ගෙන යමින් සිටියා, හැබැයි ඒක එහෙම වෙන්න දෙන්නේ නෑ.”

චීන ජනාධිපති ෂී ජිං පින් සමඟ තමාට හොඳ සම්බන්ධතාවක් ඇති බවත්, වොෂින්ටනය සහ බීජිං පාලනය සාමකාමීව සහජීවනයෙන් සිටීමට අවශ්‍ය බවත් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.

“අප චීනය සමඟ ඉතා හොඳ කටයුතු කරනවා, ජනාධිපති ෂී සමඟ හොඳ සම්බන්ධතාවක් ඇති කරගන්න මම අපේක්ෂා කරනවා. එහෙත් ඔවුන් වසරකට ඩොලර් බිලියන ගණනක් අපෙන් උපයාගත්තා, එලෙස ඔවුන් අමෙරිකා එක්සත් ජනපදයෙන් උපයාගත් දෙයින් ඔවුන් තමන්ගේ හමුදාව ගොඩනඟා ගන්නවා. ඒක එහෙම වෙන්න දෙන්න බෑ. අපි ඉතා සතුටින් එකමුතුව කටයුතු සූදානම්. (ආනයනික බදු) 145% සංඛ්‍යාවට ආසන්නව නොතිබෙනු ඇත.”

ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශය ලොව විශාලතම ආර්ථික දෙක අතර වෙළෙඳ යුද්ධය උත්සන්න විය හැකි බවට භාණ්ඩාගාර ලේකම් ස්කොට් බැසන්ට් පෙර දැක්වූ අදහස්වලට ප්‍රතිචාරයක් බැව් පෙනේ. ට්‍රම්ප් පරිපාලනයේ ස්ථාවරයේ සිදු වූ මේ වෙනස කෙරෙහි චීනයේ අවධානය යොමුව ඇති අතර, ‘ට්‍රම්ප් චිකන් අවුට්’ (ට්‍රම්ප් බියෙන් අකුළාගනී) යන හැෂ් ටැගය චීන සමාජ මාධ්‍ය මෙවලමක් වන වෙයිබෝහි මිලියන 100කට අධික නැරඹුම් සංඛ්‍යාවක් ලබාගෙන ඇත.

මේ අතර, ගෝලීය ආර්ථික අවපාතයක් පිළිබඳ බිය මධ්‍යයේ වොෂින්ටනය සමඟ වෙළෙඳ සාකච්ඡාවල නිරත වීමට චීන රජය කැමැත්තෙන් සිටින බව වාර්තා වේ. විශේෂයෙන්ම, ට්‍රම්ප් පරිපාලනය චීන භාණ්ඩ සඳහා 245%ක් දක්වා ආනයන බදු පනවා ඇති අතර මෙතෙක් එය ඉවත් කර ගෙන නැත. ඊට ප්‍රතිචාර වශයෙන්, බීජිං පාලනය එක්සත් ජනපද භාණ්ඩ සඳහා 125%ක තීරුබදු පැනවීමෙන් එකට එක කර ඇත. තවද, අමෙරිකා එක්සත් ජනපදයට කෙරෙන තීරණාත්මක ඛනිජ අපනයනය සීමා කර ඇති අතර, රට තුළ තිරගත කෙරෙන හොලිවුඩ් චිත්‍රපට සංඛ්‍යාවද අඩු කර ඇත. අමෙරිකාවේ නිෂ්පාදිත බෝයිං ජෙට් යානා දෙකක්ද චීනය විසින් ආපසු හරවා යවා ඇත.

ජනාධිපති ට්‍රම්ප් ෂී ජිං පින් සමඟ වෙළෙඳ ගිවිසුමක් ඇති කරගැනීමට බලාපොරොත්තු වන අතරවාරයේ, චීන නායකයා තම කලාපීය වෙළෙඳ හවුල්කරුවන් සමඟ වෙළෙඳ සබඳතා තර කරගනිමින්, අමෙරිකානු ආනයනික බදුවලට එරෙහිව පොදු පෙරමුණක් ගොඩනඟමින් සිටී. ලෝක ආර්ථිකය මුහුණ පා ඇති අවිනිශ්චිතතා හමුවේ, චීනය පහර දීමට වඩා අත්වැල් බැඳගැනීම, බාධක ගොඩනඟාගැනීම වෙනුවට බිත්ති කඩාදැමීම සහ විසන්ධි කිරීම වෙනුවට සම්බන්ධ වීම අවධාරණය කරයි. වෙළෙඳ හවුල්කරුවන්ගේ කවය පුළුල් කිරීම, ආයෝජනය සඳහා ශක්තිමත් චුම්බකයක් බවට පත් වීම සහ ගෝලීය ආර්ථිකයට වැඩි ස්ථාවරත්වයක් සහ ධනාත්මක ශක්තියක් එන්නත් කිරීම සඳහා උසස් තත්ත්වයේ සහ විවෘතභාවයකින් සංවර්ධනය කරා ළඟා වීමට ඇති අභිප්‍රාය චීන රජය අවධාරණය කරයි. තමා දඩමීමා කොටගනිමින් අමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳ ගනුදෙනු කිරීමට එරෙහිව චීනය සෙසු රටවලට මේ සතියේ අනතුරු ඇඟවීමක්ද සිදු කළේය.

හාවර්ඩ් සරසවිය ට්‍රම්ප්ට එරෙහිව නඩු මඟට බසී

ඩොලර් බිලියන 2.2ක ෆෙඩරල් අරමුදල් අත්හිටුවීම අභියෝගයට ලක් කරමින් අයිවි ලීග් විශ්වවිද්‍යාලය ඉකුත් සඳුදා නඩුවක් ගොනු කිරීමෙන් අනතුරුව ට්‍රම්ප් පරිපාලනය අඟහරුවාදා ප්‍රකාශ කළේ හාවර්ඩ් සරසවිය තමන්ට එරෙහිව අධිකරණයේ ගොනු කළ නඩුවට ප්‍රතිචාර දක්වන බවයි.

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ ඉල්ලීම් හමුවේ අධ්‍යයන කටයුතු ස්වාධීනත්වය පවත්වා ගෙන යෑම සඳහා හාවර්ඩ් සරසවිය ගෙන යන අරගලයේ තීව්‍රතාවක් මේ නඩුව මඟින් සටහන් වේ. හාවර්ඩ් ප්‍රජාවට ලිපියක් යොමු කරමින් විශ්වවිද්‍යාල සභාපති ඇලන් එම්. ගාර්බර් පැවසුවේ පරිපාලනයේ නීති විරෝධී ඉල්ලීම් විශ්වවිද්‍යාලය මත පෙර නොවූ විරූ මෙන්ම නුසුදුසු පාලනයක් පනවා ඇති බවයි. පරිපාලනයේ තර්ජන රෝගීන්, සිසුන්, පීඨය, කාර්ය මණ්ඩලය, පර්යේෂකයන් සහ අමෙරිකානු උසස් අධ්‍යාපනයේ ස්ථාවරය පිළිබඳ ලෝක ජනමතයද තර්ජනයට ලක් කොට ඇති බවද ගාර්බර් පැවසීය.

හාවඩ් සරසවියේ ස්ථාවරය අනෙකුත් විශ්වවිද්‍යාලද සටන් මඟට යොමු කිරීමට පෙළඹවූ බවක් පෙනේ. එක්සත් ජනපද විද්‍යාල සභාපතිවරු 150කට වැඩි පිරිසක් ට්‍රම්ප් පරිපාලනය රජයේ සීමා පෙර නොවූ විරූ අයුරින් ඉක්මවා යෑම සහ දේශපාලන මැදිහත්වීම් අමෙරිකානු උසස් අධ්‍යාපනයට අනතුරක් බව හෙළා දකිමින් ලිපියකට අත්සන් කළහ. මේ ලිපිය ඇතැම් විට එක්සත් ජනපද අධ්‍යාපන ආයතන තම ස්වාධීනත්වයට එල්ල වී තිබෙන අභියෝගයට මුහුණ දීම සඳහා එක්සත් වෙමින් පවතින බවට කදිම සලකුණකි.

2013 වසරේ දී එම පදවියට තේරී පත් වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, ලොව පුරා කතෝලිකයන් බිලියන 1.4කට වඩා වැඩි පිරිසකගේ ආධ්‍යාත්මික නායකයා වූ වූහ. ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හි ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ ලෙස උපත ලැබූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, දකුණු අමෙරිකාවෙන් බිහි වූ පාප්වරුන් 266 දෙනකුගෙන් යුත් දිගු ලැයිස්තුවේ පළමුවැන්නා වූ අතර, ක්‍රිස්තු වර්ෂ 8 වැනි සියවසෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ පළමු පාප් වහන්සේද විය. ජේසු නිකායේ සාමාජිකයකු වූ පළමු පුද්ගලයාද වන පාප් වහන්සේ, බොහෝ ප්‍රගතිශීලි කතෝලිකයන්ගේ ආදර ගෞරවයට පාත්‍ර වූ අතර, ආන්තික ප්‍රජාවන් නඟාසිටුවීම, සංක්‍රමණිකයන් ආරක්ෂා කිරීම සහ පාරිසරික යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් අන්‍යාගමිකයන් අතර පවා ප්‍රශංසාවට ලක් වූහ. 2024 පිව් පර්යේෂණ මධ්‍යස්ථානයේ සමීක්ෂණයකට අනුව, එක්සත් ජනපද කතෝලිකයන්ගෙන් 75%ක් පමණ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කෙරෙහි ධනාත්මක ආකල්පයක් දැරූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division