කිල්මිෂා යාසිසායි යනු මේ දිනවල මුළු ලොවෙහිම අවධානය ශ්‍රී ලංකාව කෙරෙහි යොමු කළ ශ්‍රී ලාංකේය දියණියකි. දකුණු ඉන්දියාවේ Zee Tamil රූපවාහිනී නාළිකාවේ පැවැති සරිගමපා ලිට්ල් චෑම්ප් රියැලිටි වැඩසටහනේ කිරුළ හිමිකර ගනිමින් ඉන්දියානූ රියැලිටි කලාව උඩුයටිකුරු කරන්නට ඇය සමත් වූවාය.
පසුගිය 17 වැනිදා චෙන්නායි නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති ලිට්ල් චෑම්ප් සීසන් – 3 අවසන් තරගයෙහි ජයග්‍රහණය කිල්මිෂා සතු වූවේ කේරළය, තමිල්නාඩු, තෙලගානා, කර්ණාටක හා ආන්ද්‍රා ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත ගණනාවක තරගකරුවන් දහස් ගණනකගෙන් ප්‍රථමයා වීමෙනි. එහි විනිසුරුවන් ලෙස කටයුතු කළේ ද ප්‍රකට ඉන්දීය කලාකරුවන් වන විජේ ප්‍රකාශ්, ශ්‍රීනිවාස්, සයින්දවි සහ අභිරාමිය. ඉන්දියාවේ ඉතාම ජනප්‍රිය වැඩසටහනක් වන සරිගමපා ලිට්ල් චෑම්ප් වැඩසටහනේ ජයග්රහණයෙන් පසුව ඇයට ඉන්දීය රුපියල් ලක්ෂ දහයක් හා තවත් තෑගි රැසක් ද හිමි වූවාය. යාපනයේ පදිංචි පුංචි කිල්මිෂා ඉන්දීය රියැලිටි ඉතිහාසයේ කිරුළකට හිමිකම් කී ප්‍රථම ශ්‍රී ලාංකේය තරගකාරිය ලෙස පසුගිය 17 වැනිදා ඉන්දීය ඉතිහාසය පොතෙහි තම නම සනිටුහන් කළාය.
දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ Zee Tamil පෞද්ගලික රූපවාහිනී නාළිකාව විසින් කුඩා දරු දැරියන්ගේ ගායන හැකියාව උරගා බැලීම සඳහා පවත්වනු ලබන මෙම රියැලිටි වැඩසටහනට ශ්‍රී ලාංකේය දියණියන් දෙදෙනකු ඇතුළු කිහිපදෙනකු ඉදිරිපත් වී තිබුණ ද අවසන් මහා තරගය දක්වා සුදුසුකම් ලබන්නට සමත්වූවේ කිල්මිෂා පමණි. තවමත් 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කිල්මිෂා 14 වැනි වියේ පසුවන්නීය. අවුරුදු 3ක් තරම් කුඩා වියේදීම තම පියාගේ උනන්දුව මත සංගීතය හැදෑරීමට යොමු වූ කිල්මිෂා පළමුව ගායනා කර තිබුණේ ‘අම්මා චුන්නි අප්පා චුන්නි‘ නමැති මවුපිය ගුණ ගීතයයි. ගමේ සරස්වතී කෝවිලේ බැති ගී ගායනයෙහි ද යෙදෙන ඇය සරාංගා සංගීත කණ්ඩායමේ ගායිකාවක ලෙස ද කටයුතු කරන්නීය. තරගය සඳහා ඉන්දියාව බලා ගිය කුල්මිෂා රියැලිටි වැඩසටහනේ තරගකරුවන් හඳුන්වාදීමේදී පැවැසුවේ මෙවන් කතාවකි.
“යාපනේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයකට සහභාගි වුණු අවස්ථාවක තමයි මට සරිගමපා රියැලිටි වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ සංගීත ප්‍රසංගය බලන්න ඉන්දියාවෙ Zee Tamil රූපවාහිනී නාළිකාවෙ ඇන්තර් අර්ජනා මැඩම් ඇවිත් හිටියා. ඒ එක්කම සරිගමපා වැඩසටහන් අධ්යක්ෂතුමා ඇතුළු තවත් පිරිසක් ඇවිත් හිටියා. මං ගීත ගායනා කරල ඉවර වුණ ගමන් ඇන්තර් මැඩම් එක්ක වැඩසටහන් අධ්යක්ෂතුමා ඇවිත් මට කිවුවා ඉන්දියාවෙ Zee Tamil රූපවාහිනී නාළිකාවෙ සරිගමපා රියැලිටි වැඩසටහනේ ගීත ගායනා කරන්න එන්න කියලා. මට අදහගන්නත් බැරි වුණා. ඒක තමයි මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම. එදා දැනුණ සතුට කියල නිමකරන්න බෑ. වැඩසටහනේ පුහුණු සැසිවලට එන්න ඕන නෑ කෙළින්ම තරගයට සහභාගි වෙන්නම එන්න කියල වැඩසටහන් අධ්යක්ෂතුමා කිවුවා. ඒක තමයි මගේ ජීවිතේ ලැබුණු වටිනාම අවස්ථාව. ඉන්දියාවෙදි මට එහේ ප්‍රවීණයන් එක්ක ගීත ගයන්න වගේම සංගීත අධ්‍යයනයටත් අවස්ථාව ලැබුණා. ලංකාවෙ ඉන්න මගේ ගුරුවරු වගේම මගේ පාසලේ ගුරුවරු මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මීට කලින් මං ලංකාවෙ කලාකරුවන් එක්කත් ගීත ගායනා කරල තියෙනවා. ලංකාවෙ ගායනා තරගවලින් මට ගොඩක් සම්මාන ලැබිල තියෙනවා. හොඳම ළමා ගීත තාරකාවිය, හොඳම ගායනය ඒ අතරින් විශේෂයි. යාපනයේ පැවැත්වුණු එක ගායනා තරගයකදී භාෂා තුනෙන්ම ගීත ගායනා කරල මං සම්මාන ගොඩක් ගත්තා. පහුගිය කාලෙ ඇමෙරිකාවෙ සංගීත ආයතනයකින් ‘කුඩා සංගීත තාරකාවිය’ කියන ගෞරව නාමයක් මට ලබාදුන්නා. ඒකත් මට ලොකු සතුටක්. ගායනයට අමතරව මට වයලීන්, ඕගන් වගේ භාණ්ඩ වාදනය කිරීමේ හැකියාවත් තියෙනවා. නටන්න, රඟපාන්නත් මං කැමැතියි. ගායන අංශයෙන් ඉහළටම යන්න තමයි බලාපොරොත්තුව. ඒ අතරේ වෛද්‍යවරියක් වීමේ ආසාවත් තියෙනවා.”
ලංකාවට අභිමානයක් එක්කළ කුල්මිෂා දියණිය මෙම ජයග්‍රාහී කිරුළ ලංකාවට ගෙන ආවේ අවසන් වටවලට තේරුණු දක්ෂ තරගකරුවන් 45 දෙනෙකු සමඟ කරට කර තරග වැදීමෙනි. Zee Tamil රූපවාහිනී නාළිකාවෙ සරිගමපා රියැලිටි වැඩසටහනේ ජයග්‍රහණය වෙනුවෙන් කිල්මිෂාට නන් දෙසින් සුබපැතුම් ගලා එන බව ද නොරහසකි. ඉන්දියන් සාගරයේ පුංචි මුතු අැටයේ දිස්නය තව තවත් ලොවෙහි පතුරුවන්නට හැකියාව ලද මේ පුංචි තාරකාවට රසඳුන අපත් සුබපැතුම් එක්කරන්නෙමු.
නාමලී ගමගේ