Home » නව වසරට නාඩි සිද්ධාන්තයෙන් ලග්න පලාපල

නව වසරට නාඩි සිද්ධාන්තයෙන් ලග්න පලාපල

by thanushika
December 30, 2023 12:34 am 0 comment

2024 වර්ෂයේ ග්‍රහ යුද්ධ, ග්‍රහ මාරුවීම් කීපයක්ද සුර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ද තිබෙන වර්ෂයකි. එසේම 2024 වසරේ විෂ කන්‍යා දෝෂයක්ද තිබේ. මේ සියලුම දෙයින් කියාපාන්නේ මේ දෙරණේ ජීවත්වන සතා සිවුපාවාට පවා කරදර සහ ස්වභාවධර්මයෙන් වන හානි ද වැඩි බවයි.

විශ්ව කේන්දරයට අනුව ඉදිරි කාලය තුළ ලෝකවාසී ජනීජනයාට කරදර විඳින්නට සිදුවන අතර ඔවුනොවුන් අතර ගැටුම්, රටවල් අතර යුද ගැටුම් නිර්මාණය ද වෙයි. මහ රාජ්‍ය බිඳී යයි. ස්වාභාවික විනාශ පවා සිදු වෙයි. නායයෑම්, කඳු කඩා වැටීම්, ගංවතුර තත්ත්වය ද ඉහළ යයි.

2024 වසරේ මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්වා පොදු පලාපලය මෙලෙසිනි. එය ඔබගේ උපන් කේන්දරයට අනුව බලපාන ආකාරය අඩුවැඩි වන්නට ද පුළුවන.

මේෂ – උසස් අධ්‍යාපනයට විදේශගත වීම්

මේෂ ලග්න හිමියන්ගේ තත්කාල සටහනයි මේ. වයස අවුරුදු 1, 12, 19, 20, 23,31,32,35 යන වයස්වල සිටින අය තරමක් කල්පනාකාරී ලෙස තම දිවි පැවැත්ම ගත කරන්නට උත්සාහ ගන්න. නීති විරෝධි කිසිම දෙයකට යොමු නොවන්න. හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න. වයස 01, 12‍ යන වයස්වල සිටින දරුවන්ද හොඳින් බලා ගන්න. අවුරුදු 16, 19 පාසල් යන දුවා දරුවන් ප්‍රේම සම්බන්ධතාවලට ලක් නොවන්න. මේ අලුත් විදිහට ගමන් කරන අලුත් වර්ෂයකි. තරුණ දූ දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට වාසනාව පවතී. රැකියා සඳහා විදේශගත වන අයටද මේ කාලය සුබදායකය. සුළු බාධා වීම් ප්‍රමාද වීම් පැවතිය හැකිය. එහෙත් ගමන සාර්ථක වෙයි. ලංකාවේ ජීවත්වන උසස් වීම් හෝ රැකියාවන් වෙනස් කිරීමට බලාපොරොත්තු වන අයට 20,22,32,34,44,46 යන වයස්වල සිටින අයටත් සුබදායකය. ඒ වගේම පෙරට වඩා මොන ක්‍රමයෙන් හෝ අතේ මුදල් රඳවන කාලයකි. නව නිවාස කටයුතු වලටත්, ඉඩම් මිලදී ගැනීමටත්, ඉඩම් නිවාස, විකිණීමටත් හොඳ කාලයකි. විවාහ වී සිටින අය විවාහ ජීවිතයේ නව බලාපොරොත්තු බිඳ ගන්නේ නැතුව තම පවුල් ජීවිතය අවුල් නොකර, අන් සතු දේ ළං කර නොගෙන ගෙනියන්නට සිතට ගන්න.

52,56,සිටින 64,68,76,80 යන වයස්වල සිටින මේෂ ලග්න දෙමාපියන්ව හොඳින් රැක බලා ගන්න. ආදරය කරුණාව නොපමාව දෙන්න. ඔවුන් වෙනුවෙන් යම් මුදලක් වියදම් කරන්නට ද සිදුවේ. කෙසේ හෝ ඔබේ බලාපොරොත්තු කරා යාමට පුළුවනි. දරුවන්ගේ සතුට දැක සතුටු වීමට ද පුළුවනි.

විදේශ රටවල ජීවත්වන ලාංකිකයන්ට මේ අතරින් නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය වැනි රටවල්වල සිටින අයට විශේෂයෙන් සුබයි. සෙසු රටවල සිටින අයට තරමක් උත්සාහයෙන් මුදල් සෙවීමට, නව නිවාස ගොඩනැගීමට මෙන්ම ජීවිතයේ පෙරළිකාර තත්ත්වයන්ට මුහුණ දීමටත් සිදු වෙයි.

වෘෂභ – යහපත් ආර්ථික තත්ත්වයක්

වෘෂභ ලග්න හිමියන්ගේ තත්කාල කේන්දර සටහන සඳහන් වේ. වයස අවුරුදු 5,9,12 යන වයස්වල සිටින දරුවන් ගැන විමසිලිමත් වන්න. එවැනි දරුවන්ගේ අසනීප තත්ත්වයන් මෙන්ම අධ්‍යාපන කටයුතු පිළිබඳව විශාල වගකීමක් මාපියන්ට දරන්නට සිදුවන කාලයකි. මෙම කාලය තුළදී යහපත් ගුණධර්ම කියා දෙන්න. අවුරුදු 12 වයසේ පසුවන ගැහැනු දරුවන්ගේ මල්වර වීම් මෙන්ම පිරිමි දරුවන්ද ඔවුන්ගේ සිත් දුවන ගතිය නිසා ඇතිවිය හැකි කරදරවලින්ද ප්‍රවේසම් කර ගන්න. 16 සහ 20 යන වයස් කාණ්ඩවල සිටින දරුවන් අයාලයේ නොයා නීති විරෝධි දේට ඉඩ නොතබන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින දරුවන්ට ඉදිරි අනාගතය සුබදායකය. විවාහය, විවාහ ගිවිස ගැනීමට හොඳ කාලයකි. නමුත් අවබෝධයක් නැත්නම් විවාහය ප්‍රමාද කරන්න.

විදේශගත අධ්‍යාපනය ලබන දරුවන්ට තමන්ගේ ඥාන ශක්තිය වර්ධනය වෙයි. එමෙන්ම උසස් තත්ත්වයක් කරා යාමට ද හැකියාව ලැබේ. නව රැකියා මාර්ග විවර වෙයි. ලාංකිකයන්ට ආර්ථික වශයෙන් හොඳ තත්ත්වයක් උදා කරගත හැක. නොසැලකිල්ල ඔබේ ජීවිතය අඳුරටම වුව ඇද දැමීමට පුළුවනි. 31,43 යන වයස්වල රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවල සේවය කරන අය තම රැකියාව වෙනස් වීමට හෝ ස්ථාන මාරුවකට ඉඩ ඇත.

ලෙඩ රෝග ලෙස ගතහොත් තද හිසේ වේදනාව, සිතේ වේදනාව, කොඳු නාරටිය ආශ්‍රිත රෝග, සෙම් දෝෂ ඇතිවිය හැකි කාලයකි. විශේෂයෙන් 51, 55, 59,67,69 යන වයස්වල පසුවන අය තරමක් ලෙඩ රෝගවලින් ප්‍රවේශම් වන්න. ඔබ ළඟම සිටින ඥාතීන් නිසා ඔබේ ඉදිරි අනාගතයට අකුල් හෙළීමක්, සිත් රිදවීමක්, අමනාපයක් ඇති වීමට පුළුවනි. ගුප්ත දේ පසුපස ද යාමට සිදු වෙයි. බොරු චෝදනාවලට හසු විය හැක. වසර මැදදි පරිස්සම් විය යුතුය. නිසියාකාරව මුදල් වියදම් නොකළහොත් ඔබට දුක් විඳීමට පවා සිදු වෙයි. නඩු මඟට නොබසින්න. අපල කරදර බාධක වෙනුවෙන් සහ පින් දහම් කටයුතු වෙනුවෙන්ද කාලය වැය කරයි. මනුෂ්‍ය ගුණධර්ම හීනවී යයි. විදේශ ගතව සිටින අයට ලංකාවේ සිටින අයට වඩා සුබදායක බවක් පෙන්වයි. අලුතින් ඉඩම් මිලදී ගැනීමටත්, නිවාස ඉදිකිරීම ආරම්භ කිරීමටත් සුබ කාලයකි.

මිථුන – රැකියාව පිළිබඳ සුබ ආරංචි

මිථුන ලග්න හිමියන්ගේ තත්කාල සටහනයි මේ. වයස අවුරුදු 23,34,46 යන වයස් සීමාවේ පසුවන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම රැකියාව සම්බන්ධව සුබ දෙයක් අසන්නට ලැබේ. ආයෝජන මාර්ගවලට මඟ පැදේ. එමෙන්ම විදේශ ගමන් බිමන් බලාපොරොත්තුවෙන් සිටින අයට මේ කාලය සුබදායකයි. අවුරුදු 16 පසු වන දරුවන්ගේ මනස මේ කාලයේදී විසිරී යන ගතියක් පෙන්නුම් කරයි. විශේෂයෙන්ම බාහිර දේට වඩා පොතපතේ දැනීම ගන්නා තරමට ඉදිරි අනාගතය දියුණුකර ගත හැක. එසේ වූ දරුවන්ගේ උසස් අධ්‍යාපනය, විදේශගත අධ්‍යාපනය යන සියල්ලම හොඳ වෙයි. ලංකාවේ සිටින දරුවන්ගේ දෙමාපියන්ට තම දරුවන්ගේ දක්ෂකම් දැක සතුටු විය හැකි කාලයකි. සහෝදර සහෝදරියන් මෙන්ම හිතමිත්‍ර සමාගම්වලින්ද උදවු උපකාර ලබාගත හැකි කාලයකි.

අසනීප තත්ත්වයන් කලින් තිබූ තත්ත්වයන්ට වඩා සුබදායක බවක් පෙන්වයි. වයස 43, 44 කාලයෙත් 47, 59 යන කාලවලදී ලේ සම්බන්ධ හෘද රෝග සම්බන්ධ හෝ ක්ෂණිකව වැටීමක් වැනි දෙයකින් පීඩා විඳින්නට සිදු වෙයි. විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට තරමක් විවාහය ප්‍රමාද වුව ද අවුරුදු 20, 22 කාලයත්, 28, 30, 32 යන කාල සුබදායකයි. විවාහ වූ අයට වාසනාවන්ත දරුවන් ලැබීමට සුදුසුම කාලයකි. මේ කාලය ඔබේ පෙර පින්ද මතු කරගෙන ඒ සඳහා මුහුණ දෙන්න. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් උත්සව පවත්වන්නට ද අවස්ථාව උදාවෙයි.

නව අලුත් අවුරුද්ද ගොවිතැන් කරන අයට ද සුබදායක වර්ෂයකි. නව ව්‍යාපාර ආරම්භ කිරීමටත් සුබය. මෙතෙක් පැවති සතුරු කරදර මගහැරී යයි. වාසනාව ඔබ සොයා ඒමට පෙර ඔබ වාසනාව කරා යා යුතු කාලයකි. සියලුම දේ හොඳ විදිහට සිදුවෙයි.

විදේශගතව රැකියාව කරන තරුණ ප්‍රජාවට මේ හොඳම අවස්ථාවක් ඔබේ දියුණුව කරා යාමට එම නිසා පුළුවන් තරම් ශක්තිමත්ව ශ්‍රමය කාලය කැප කර දියුණුව කරා යන්න හොඳම අවස්ථායි 2024 නව වර්ෂය සිතුම් පැතුම් මල්පල ගන්වන වර්ෂයකි.

කටක – විවාහයට සුබ කාලයක්

කටක ලග්න හිමියන්ගේ තත්කාල කේන්දර සටහන මෙලෙසිනි. කටක ලග්න හිමියන්ට අෂ්ටම ඒරාෂ්ට තත්ත්වයක් තිබුණ ද නාඩි සිද්ධාන්තවලට අනුව අලුත් ව්‍යාපාර කීපයක්ද තිබේ. දැනට කරගෙන යන කටයුතුවලටත් නවතාවක් කරා පැමිණෙන කාලයකි. සතුරු කරදර බොහෝ දුරට අඩු වී යන කාලයකි. අවුරුදු 22, 34, 46 යන වයස්වල සිටින අයගේ රැකියාවේ වෙනසක් සිදු වෙයි. එය බොහෝ විට ස්ථාන මාරුවක්, උසස් වීමක්, පඩි වැඩිවීමක් වැනි දෙයක් විය හැක. එවැනි වයසේ සිටින අයට රැකියාවක් සම්බන්ධව විදේශගත වීමට ද පුළුවනි. තවද 16, 17 සිටින සහ 19, 20 යන වයසේ අධ්‍යාපනය ලබන දරුවන්ට විභාග කඩඉම සමත් විය හැකිය. එම නිසා පුළුවන් තරම් බාහිර දේ පසෙකලා අධ්‍යාපන කටයුතුවල පමණක් නිරත විය යුතුය. නිදිමත, කම්මැලිකම දුරු කර ගන්න.

අවුරුදු 23, 28, 31, 32 යන වයස්වල පසුවන කටක ලග්න හිමියන්ට විවාහ වීමට සුබ කාලයකි. නමුත් ආදරය ප්‍රේමය යන තැනදී කල්පනාකාරී විය යුතුය. වේදනාව, සංතාපය, ආදරය සමඟම ඔබ සොයා පැමිණිය හැකිය. එම නිසා හැම විටම ගන්නා තීරණ නිවැරදිකර ගන්න. වාසනාවන්ත ප්‍රීති උත්සව පවත්වන්නටත්, ඒවාට සහභාගි වීමටත් අවස්ථාව උදාවෙයි.

අවුරුදු 20, 32, 44 යන වයස්වලට සිටින දරුවනි, ඔබේ පියාට සුළු වශයෙන් අපලදායක බවක් පෙන්වයි. අවුරුදු 5, 8, 12 යන වයස්වල දරුවන් ගැන විමසිලිමත් වෙන්න.

ලෙඩ රෝග ලෙස දණහිස්වල ආබාධ, ආමාශගත රෝග, ලේ හිඟකම, ලේ අඩුකමේ දෝෂ, මළපහ දෝෂ, හෘද රෝග වැනි ශාරීරික රෝග, සීනි අඩුකම හෝ වැඩි වීම නිසා ඇතිවන රෝග නිසා පීඩා විඳින්නට සිදු වෙයි. මේ වර්ෂය මැදදී ඔබට යම් යම් මානසික පීඩාවන්ට ලක්වෙන්නට ද සිදුවෙයි. බොහෝ දුරට එම පීඩා ඔබ විසින්ම හදාගන්න ප්‍රශ්නවලින් ඇතිවන පීඩාවන්ය. සිත් තැවුල්ද ඇති විය හැක. කෙසේ හෝ පරිස්සමින් තමන් අදහන ආගමික කටයුත්තක නිරත වෙමින් ජීවිතය ගොඩනඟා ගන්න.

සිංහ – වාසනාවන්ත දරු උපත්

සිංහ ලග්න හිමියන්ගේ තත්කාල සටහන මේ. අවුරුදු 18ත් 23ත් සහ 29, 34 යන වයස්වල අයට මේ කාලය සුබදායකය. එනම් මෙතෙක් විදේශ ගමනක් බලාපොරොත්තුවෙන් සිටි ඔබට රැකියාවකට හෝ උසස් අධ්‍යාපනයට හෝ වේවා විදේශගත වීමක් පෙන්නුම් කරයි.

දුර බැහැර ගමන් බිමන් කීපයක් ද යෙදේ. විභාගවලින් ජය ලැබීමට වාසනාව පවතී. විදේශගතව සිටින අයට ද මේ කාලය ඉතාම සුබදායකය. ඔබට අන්‍ය ජාතිකයන්ගෙන් බොහෝ ප්‍රයෝජන ලබාගත හැක. තෑගි භෝග ද මිල මුදල් ද ලබා ගත හැකි කාලයකි. ඔබේ පෙර පින් ද මතුවන කාලයකි. අවුරුදු 6, 9 යන වයස්වල සිටින දරුවන්ට හොඳින් අධ්‍යාපනය දෙන්න. අවුරුදු 28,29,32 තවමත් විවාහ නොවුණු ඔබට විවාහයට සුදුසු සහකාරයෙක්, සහකාරියක් ලැබේ. එමෙන්ම විවාහයට හොඳම කාලයක් ලෙස ද දැක්විය හැක.

ප්‍රේම සම්බන්ධතාවන් සම්බන්ධ අලුත් යාළුමිත්‍ර සංගම ඇතිවෙයි. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මවුවරුන්ට වාසනාවන්ත දරු ලාභයක් පෙන්නුම් කරයි. පෙර පිනට පහළ වන දරුවෙකි. කෙසේ හෝ කාර්යබහුල වසරකි. නව බලාපොරොත්තු පිරුණු වසරකි. අභියෝගාත්මක වසරකි.

ඕනෑම දෙයක් වෙනදාට වඩා අවශ්‍ය නැති වසරකි. නමුත් පෙරට වඩා තමාගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව විමසිලිමත් වන්න. පවුලේ අයට අසනීප කරදරද, නහරගත රෝග ද, බඩේ අසනීප මෙන්ම ලිංගික රෝග ද ඇතිවිය හැකි කාලයකි. 55,56,59,67,68 71යන වයස්වල අයට මානසික පීඩා, සිත් තැවුල් ඇති විය හැක. යම් කල්ගිය අසනීප නිසා සිත්තැවුල් ඇති වෙයි. දරුවන්ගේ දුරස්වීම් නිසා ද පීඩාවට පත්වෙයි. අදහන ආගමක යෙදෙන්න. වෙනදාට වැඩිය යමක් කරන්න. හොඳ අවබෝධයක් හික්මීමක් ඔබ තුළ වර්ධනය කර ගන්න. නිවාස ලාභ, වාහන ලාභ මෙන්ම භූමි ලාභ ද පෙන්වයි. උත්සාහයෙන් ජීවිතය ජය ගන්න.

කන්‍යා – රැකියාවේ උසස් වීම්

කන්‍යා ලග්න හිමියන්ගේ තත්කාල සටහන මෙලෙසිනි. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මේ කාලය තුළදී පෙර සූදානමක් නැතිව සහ කාලය කළමනාකරණය නොකළහොත් ඔබට දුක් විඳීමට සිදු වෙයි. පුංචි දෙයකින් ඔබේ මුළු ජීවිතයම වෙනස් විය හැකි කාලයකි. අපේ පුංචි හපනුන්, උසස් පෙළ ලියන දරුවන් ද ඉහත කී දේ හොඳින් සිහි තබා ගන්න. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අය සිහි බුද්ධියෙන් මුදල් ගනුදෙනු කළ යුතුය. එසේම බාධක සමඟ විදේශ ගමන් ඔබ මේ කාලයේ තරමක් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරයි. ඒ වගේම මුළාවේ නොවැටී ඉදිරියට යා යුතු කාලයකි.

අවුරුදු 18,19 යන වයස්වල සිටින තරුණ තරුණියන් පරිස්සමින් ජීවිතයට මුහුණ දෙන්න. විවාහ වෙන්න ඉන්න අයත් විවාහය ස්ථිර වෙනතෙක් පරිස්සමින් ඇසුරු කරන්න. තමාගේ සීමාව හඳුනාගෙන ඉන්න. ලෙඩරෝග ලෙස අර්ශස් රෝගවලින් පෙළෙන අය හට ගුද මාර්ගයේ දෝෂ, ශරීර ශක්තිය අඩු ගතියකුත් ඇති වෙයි. විශේෂයෙන් පපුවේ තද ගැස්මක් මෙන්ම ශල්‍ය කර්මයක් පවා කිරීමට සිදුවන කාලයකි.

පෙරට වඩා මුදල් වියදම් වී ලැබෙන ආදායම් මාර්ගවල අඩුකමක් මේ කාලයේ පෙන්වයි. නමුත් ඔබ නිසි ලෙස කල් ගෙවන්නේනම් මේ කාලයේ භූමි ලාභ පෙන්වයි. එමෙන්ම පොළොව සම්බන්ධව රැකියාවල් කරන අයට මේ 32, 44, 56 යන මේ වයස්වල සිටින අයට සුබදායකය. 23, 35, 47, 59 යන වයස්වල සිටින අයට රැකියාවෙන් ලාභයක්, වාසියක්, උසස් වීමක්, වෙනත් රැකියාවකට යාම සුබය. විදේශගත රැකියාවකට ද සුබයි. දෙමාපිය වැඩිහිටි අය හොඳින් බලා ගන්න. හදිසි අනතුරුවලින් මානසික පීඩාවෙන් පරිස්සම් වෙමින් තමන් අදහන ආගමික කටයුත්තක නිරත වෙමින් ජීවිතය ගෙනියන්න.

තුලා – බලාපොරොත්තු ඉටුවන කාලයක්

තුලා ලග්න හිමියන්ගේ තත්කාල සටහනයි මේ. නව වසර ආරම්භ වන්නේ දියුණුවකට මඟ පාදමිනි. ඔබේ බලාපොරොත්තුවක් ඉටුවන කාලයකි. අවුරුදු 22,34, 46 යන වයස්වල සිටින අයගේ රැකියාව ස්ථිර වෙයි. නැතිනම් උසස් වීමක් හා ස්ථාන මාරුවක් බලාපොරොත්තු වුවා නම් එය ඉටු වන ලකුණු පහළ වෙයි.

අවුරුදු 20, 32, 44 යන වයස්වල අයටත් 16, 23, 24, 28 යන වයස්වල සිටින අයට විදේශ රැකියා සඳහා ද, උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වීමට වාසනාව පවතී. විදේශ රටවල සිටින ලාංකිකයන්ටද මේ අවස්ථාව වාසනාවන්ත කාල පසු කරන්න ඉඩ ලැබේ. වාසනාවන්ත පුද්ගලයන් ඔබේ ජීවිතයට මුණ ගැසේ. විනෝද වීමට ද අවස්ථාව උදාවෙයි. මිත්‍ර ඇසුරත්, කලින් ආශ්‍රය කළ මිත්‍රයන්ද ඔබව සොයා එන වසරකි. පවුලට පිරිසක් ද වැඩිවෙයි. වයස 16, 22අතර පසුවන අයගේ හිතේ තිබෙන නව බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්වයි. ඉඩකඩම් මිලදී ගැනීමටත්, නව නිවාස ගොඩ නැගීමටත්, පදිංචිය වෙනස් කිරීමටත් හොඳම කාලයකි. යාන වාහන මිලදී ගැනීමට ද වාසනාව පවතියි. මේ කාලයේ සුළුවෙන් ඉවරකර ගත හැකි සෑම ප්‍රශ්නයක්ම සුළුවෙන් විසඳා ගන්න. දුර දිග යාමෙන් ගැටලු ඇති විය හැක.

අසනීප ලෙස ශරීරයෙහි තුවාල ඇති වීමටත් අර්ශස් ආදී රෝග ඇති වීමටත් කොඳු නාරටියේ ආශ්‍රිත රෝග ද ඇති වීමට පුළුවනි. වර්ෂය මැද භාගයේදී වෙහෙස ඇති සතුටක් නැති ගමන්බිමන් ඇතිවේ. කෙසේ හෝ වරින් වර පැමිණෙන කරදර නිසා ඔබේ ඉදිරි ගමනට එය බාධාවක් විය හැක. එම නිසා මූල්‍යමය ප්‍රශ්නවලදී මෙන්ම තම ව්‍යාපාර ඉදිරියට ගෙන යාමේදී කල්පනාකාරී වන්න. පසුතැවීමට කරුණු කාරණා ඇතිකර නොගන්න. තමන් අදහන ආගමක පිහිට පතන්න.

වෘශ්චික – නැවතුණු වැඩ යළි පණ ගැන්වේ

වෘශ්චික ලග්න හිමියන්ගේ තත්කාල සටහන මේ. වයස අවුරුදු 8, 9 යන වයස්වල සිටින දරුවන් ගැන විමසිලිමත් වෙන්න. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට පමණක් නොව හික්මීම පවා ඇති කළ යුතුය. ඔබේ ජීවිතයේ මෙතෙක් නැවතී තිබූ සියලු කටයුතු නැවත ආරම්භ කිරීමට 2024 වර්ෂය සමත් වේ. ජීවිතයේ අඳුරු වලාකුළු මැකී යන කාලයකි. වයස 22 අය ගන්නා තීරණ තීන්දු නිසියාකාරව ගන්න. විදේශ ගමන් පෙන්වයි. හොඳ අධ්‍යාපනයක් තරග විභාගවලින් සමත් වෙන්න පුළුවන්කම ඇත. මුදල් ලාභ ලැබේ. උසස් නිලතල ලැබේ. 24, 34, 46 යන වයස්වල අයට වෙළෙඳ ව්‍යාපාරවලින්ද රැකියාවෙන්ද ලාභ ලබයි. වාසනාවන්ත තැනකට තත්ත්වයකට යාමට ඉඩ ලැබේ.

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම විවාහයන් සාර්ථක වේ. 28,31,34 යන කාලවලදී විවාහයට හොඳම කාලයයි. විවාහයෙන් පසු ජීවිතයද සුබදායකය. වාසනාවන්ත තත්ත්වයකට යාමට ඉඩ ලැබේ. දරුවන් බලාපොරොත්තුව සිටින මවුවරුන්, දරුවන් හදන්නට සිටින මවුවරුන් තරමක් පරිස්සම් විය යුතුය. බෝවන වසංගත රෝග පවා ඇතිවන කාලයකි.

මේ කාලයේ අලුතින් ඉඩකඩම් මිලදී ගැනීමටත්, නිවාස අලුත්වැඩියා කිරීමටත් අවස්ථාව උදාවෙයි. අන් සතු වස්තුව පවා ලැබෙන්නට පුළුවනි. පවුලේ වැඩිහිටියන්ගෙන්ද උදවු උපකාර ලැබේ. විශේෂයෙන් මවු පර්ශ්වයෙන් විය හැක. නිවසට බඩු මුට්ටු ගැනීමට හිතන කාලයකි. විදේශ රටවල සිටින අයටත් මේ කාලය ඉතාම සුබදායකය. කරගෙන යන කටයුතුවලින් මෙන්ම කරන්නට සිටින කටයුතුවලින් හොඳක් සිදු වෙයි. විනෝද වීමට අවස්ථාව උදාවෙයි. ප්‍රියයන් හා සමාගම් පවත්වන්නට ඉඩ ලැබේ. බාහිර හා අභ්‍යන්තර කරදර බොහෝ දුරට මඟ හැරේ. සමස්තයක් ලෙස වෘශ්චික ලග්න හිමියන්ට සුබය. තමන් අදහන ආගමික කටයුත්තක නිරත වෙන්න.

ධනු – ප්‍රශ්න විසඳෙන කාලයක්

ධනු ලග්න හිමියන්ගේ තත්කාල කේන්දර සටහනයි මේ. මේ කාලයේ වයස අවුරුදු 5 සහ 8 යන වයස්වල දරුවන් හොඳින් රැකබලා ගන්න. හදිසි අනතුරු කරදර වැනි දේ ඇති වෙයි. විශේෂයෙන් අන් අයට දරුවන් බලා ගැනීමට දීමේදී කරදර ඇති විය හැක. 21, 33 යන වයස්වල සිටින අය තමන් ගැන මහ ලොකුවට හිතන්නට ගොස් අමාරුවේ වැටේ. අවුරුදු 28 ඔබට විදේශ ගමනක් පෙන්නුම් කරයි. උනන්දුව උත්සාහය මත ඒ කාර්යය ඉටුකර ගැනීම හැකි වෙයි. ඔබේ හිතේ මෙතෙක් පැවති ස්ථිර ගතිය අඩු වී යයි.

රැකියාව සම්බන්ධව ගතහොත් විදේශගතව සිටින අයටත් ලංකාවේ සිටින අයත් මේ කාලය තුළදී ඔබේ රැකියාව ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගන්න. රැකීරක්ෂා තනතුරු කඩා වැටේ. ඔබේ බලාපොරොත්තු බිඳ වැටේ. නමුත් මිල මුදල් ලාභ ලැබීමට වාසනාව පවතී. අලුත් ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමට ද ඉඩ සැලසේ.

හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වීමටත් හිසේ වේදනාවන්, හිස සම්බන්ධ ශල්‍යකර්ම කිරීමට හෝ ඒ හා සමාන බෙහෙත්හේත් ගැනීමට සිදුවෙයි. ඇස්වල සහ දත්වල ආබාධ ඇති වීමටත් පුළුවනි. ශරීරය දුර්වල කරයි. නින්දා අපහාස අපවාද පවා ඇති වීමට පුළුවනි. ධනු ලග්න හිමියන් තරමක් ප්‍රවේශමෙන්, කල්පනාවෙන් ජීවිතයට මුහුණ දීමට සිදුවේ. බලාපොරොත්තු රහිත අවාසනාවන්ත සිදුවීම් කිහිපයක්ද මේ කාලයේ යෙදේ. වියදම් අධික වන කාලයකි.

අගෝස්තුවලින් පසුව සහ අගභාගයේදී හොඳින් ඔබේ ප්‍රශ්න විසඳා ගැනීමට අවස්ථාව උදා වෙයි. අධ්‍යාපනය පැත්තෙන් මෙන්ම විදේශගත වීම් පෙන්වයි. මිල මුදල් අවශ්‍ය වේලාවට ලැබෙයි. ආගමික කටයුතුවලින් පිහිටක් ලබා ගන්න. පුළුවන් තරම් කල්පනාවෙන් ජීවත් වන්න.

මකර- ආදරය – ආලය ගැන උනන්දු වේ

මකර ලග්න හිමියන්ගේ තත්කාල කේන්දර සටහනයි මේ. මකර ලග්න හිමියන්ගේ ලග්න ඒරාෂ්ටක තත්ත්වයේ අවසන් අදියරයයි මේ. 2025න් මෙම අපලය අවසන් වෙයි. අවුරුදු 5,9,12,17 යන වයස්වල සිටින දරුවන්ට බාධක පෙන්වයි. මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වෙනදාට වඩා උනන්දුවක් දක්වන්නට උපදෙස් දෙන්න. නිසියාකාරව ඔවුන් ගැන සොයා බලන්නට උනන්දු වෙන්න.

25, 28 යන වයස්වල සිටින අය ආලය ප්‍රේමය වැනි දේ පිළිබඳව උනන්දුව උත්සාහය ගෙන දෙන කාලයකි. නමුත් එවැනි කටයුතුවලදී ඔබ ඔබේ ජීවිතය ගැන හිතන්න. විශ්වාසය නැති කිසිම තැනක රැඳෙන්නට උත්සාහ නොකරන්න. මුළා වීම් ඇති කරන කාලයකි. 22, 34, 46, 58 යන වයස්වල පසුවන අයට රැකියාව සම්බන්ධව සුබදායකය. ඒ රැකියාව සම්බන්ධව උසස් වීමක්, බලාපොරොත්තු ‍වූ ස්ථාන මාරුව ලැබෙන්නට පුළුවනි. අන් අයගේ ආදායම් තත්ත්වය පහළ බසී. නමුත් ඔබට පෙර අවුරුදුවලට වඩා සුබදායක සහනශීලී බවක් ගෙන දෙයි.

ගොවිතැන් කරන අයට මේ කාලයේ පාඩු විඳින්නට සිදු වෙයි. සමහර විට විශ්‍රාම ගැනීමට පවා සිදුවන කාලයකි. මේ කාලයේ දරුවන් වෙනුවෙන්වත් අවුරුදු 32, 44 යන වයස්වල අය පොලිසි, හිරගෙවල්වලට යන වැඩ සිද්ධ කර නොගන්න. මේ කාලය මංමුළා වන කාලයකි. එම නිසා ප්‍රධාන දේ පවුල, පවුල් සංස්ථාව ආරක්ෂා කරගෙන ලැබෙන දේ පරිස්සමින් පරිහරණය කරගෙන ජීවත් විය යුතුය වැඩිහිටි අයට ආහාර නොදිරවීමේ ආබාධ ඇති වීමටත් මල මුත්‍රා පහවීමේ බාධාවන්ද ඇති විය හැක. දණහිසේ වේදනාවල්, තුනටියේ වේදනාවල් මෙන්ම දත්වල ආබාධ ද ඇති විය හැක. ශරීරය දුර්වල වෙයි. පුළුවන් තරම් ධාර්මිකව සිත සංසුන් කරගෙන ජීවත් වෙන්න.

කුම්භ – යහපත් ආදායම් තත්ත්වයක්

කුම්භ ලග්න හිමියන්ගේ තත්කාල කේන්දර සටහන මෙලෙසිනි. කුම්භ ලග්න හිමියන්ගේද ශනි ලග්නයේ ගමන් කිරීමෙන් ලග්න ඒරාෂ්ටක තත්ත්වයක් පෙන්නුම් කරයි. අවුරුදු 24, 36, යන වයස්වල සිටින අයට ඒකීය අවස්ථාවක් උදාවෙයි. මොන යම් හෝ අයුරින් මුදල් හම්බ කරන පැත්ත හොඳ වෙයි. නමුත් මේ කාලයේ ස්ථානයේ හෝ පදිංචිය පිළිබඳව වෙනසක් ඇති වෙයි. කලින් රැකියාව කළ හෝ පදිංචි වී සිටි ස්ථාන ඔබට එපා වෙයි. ගෙදර ද ඔබට පීඩාගෙන දෙන ස්ථානයක් වෙයි. කෙසේ හෝ අවුරුදු 18 ඔබ තරමක් දඩබ්බරයි. ඔබට ලැබෙන මුදල් නාස්ති කරයි. හැබැයි මොන තරම් අපල තිබුණද 2024 වර්ෂය ඔබට යම් තරමක සුබදායකය. එහෙත් ලැබෙන මුදල් මදි කියා කිසි විටෙක ණය නොවන්න. අයුතු දේ කිසිම විටෙක නොකළ යුතු කාලයකි.

විවාහ වූ දරුවන් අපේක්ෂාවෙන් සිටින අයට විශේෂයෙන් පරිස්සම් විය යුතු කාලයකි. දරුවන් හොඳින් රැක බලාගැනීමට ද වෙර දරන්න. ශරීරය වෙහෙස ඇති දුර ගමන් බිමන් නොයන්න. ආදර සම්බන්ධතාවලදී ඔබට ගැළපෙනම සහකරු හෝ සහකාරිය ලැබෙයි. ඇතැම් කුම්භ ලග්න හිමියන්ගේ මංගල සීනු හැඬ වන කාලයකි. විවාහය ස්ථිර වෙයි. කෙසේ හෝ සුළු අපල සහගත බවක් පෙන්නුවද මේ ඔබට ගෞරව ලැබෙන වසරකි. හොඳ ආහාරපාන වර්ග ද ඇඳුම් පැලඳුම්ද ලැබෙන කාලයකි. ජීවිතය ගොඩදාගෙන ගමනක් යා හැකිය. දැහැමි ගති තිබිය යුතුය. පෙර සංසාරයේ කළ පවු මැකී යන්න මේ 2024 වර්ෂයේ ආගමික කටයුතුවල මෙන්ම දන් දීම් වැනි කටයුතුවල ද යෙදෙමින් ඉදිරියට යන්න. අධ්‍යාපනය ලබන දරුවනි උත්සාහයෙන් ජීවිතය ගොඩනගාගත හැකි කාලයකි. උසස් අධ්‍යාපනය, සරසවි වරම් පවා බාධක මැද ජය ගත හැක. අදහන ආගමක යෙදෙන්න. සියලුම දේ ජය ගනියි.

මීන – රට රටවල සංචාරයට ඉඩ

මීන ලග්න හිමියන්ගේ තත්කාල කේන්දර සටහනයි මේ. මීන ලග්න හිමියන්ට ද මේ ගෙවෙන්නේ ලග්න ඒරාෂ්ටකයකි. මෙය අවුරුදු 7 1/2 ක කාලයක් ඉදිරියට ඇත. එහෙත් බොහෝ සුබ කාල ඔබට පසු කරන්න සිදු වෙයි. 2024 වර්ෂයේදී අවුරුදු 01,06,12 යන වයස්වල සිටින දරුවන් විශේෂයෙන්ම රැක බලා ගත යුතුයි. 6,12 දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්නට සිදු වෙයි. සුළු සුළු බාධක කරදර ද මතක ශක්තිය අඩුකම ද මේ කාලයෙදී සිදු වෙයි.

අවුරුදු 21,22, 23, 24 යන වයස්වල සිටින අයට විදේශ ගමන්බිමන් පෙන්නුම් කරයි. රැකී රක්ෂා ආදියට හොඳ අවස්ථාවක් උදාවෙයි. ගරු නම්බු පවා ලැබෙන්නට පුළුවනි. විදේශ රටවල සිටින ලාංකිකයන්ට ගෞරවය ලැබෙන, රැකියාවට සරිලන වැටුපක් ලබෙන තවත් රටවල සංචාරය කිරීමට අවස්ථාව ලැබීම ද සිදුවෙයි. වාසනාවන්ත කාලයකි. එහෙත් කල්පනාවෙන් සිහි බුද්ධියෙන් සිටින්නටද වග බලා ගන්න. විෂ්ණු දෙවියන්ට භාරයක් වන්න. විවාහ යෝජනා ස්ථිර වෙයි. ගෙදර දොර වාසනාව ද ඇති වෙයි. තරමක අසනීප තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවෙයි. හදිසි අනතුරුවලින් ද ප්‍රවේශම් විය යුතු කාලයකි.

පොදුවේ ගතහොත් ලැබෙන දේ නිසි කළමනාකරණයකින් යුක්තව කරන්නට උත්සාහ ගන්න. හැම විටම මිශ්‍රපල සහිත කාලයක් නිසා පුළුවන් තරම් තම චරිතය රැකගෙන කටයුතු කරන්නට උත්සාහ ගන්න. අතහැර තිබූ ව්‍යාපාර හෝ එකී රක්ෂා නැවත ආරම්භ කරන්න. එය හොඳම අයුරින් කළහොත් ඔබට ඔබේ ජීවිතය ගොඩනඟාගත හැක. සුළුවෙන් හෝ ව්‍යාපාරයක් පටන් ගන්න. තමන් අදහන ආගමික කටයුත්තක යෙදෙන්න.

 

නාඩි ජ්‍යොතිෂවේදී

වාස්තු විද්‍යා උපදේශිකා

ඉවෝන් දිසානායක

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division