චොකලට් කන්න කවුද අකැමැති? ඉමිහිරි චොකලට් පෙත්තකට මනසට සතුටු හැඟීමක් ගෙන දිය හැකි බව බොහෝ දෙනෙකු අත්විඳින සත්‍යයකි. චොකලට් ගැන කතා කරද්දි ඉස්තරම් වර්ගයේ චොකලට් නිෂ්පාදනය වන්නේ විදෙස් රටවල බව බොහෝ දෙනාගේ අදහසයි. ශ්‍රී ලාංකික මහාචාර්යවරයකු ලංකාවේ කොකෝවා කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට පියවර තබා ඇති බව දැනගන්නට ලැබීම චොකලට් රසවතුන්ට ඉමිහිරි පුවතක් වනු නිසැකය. ඊට හේතුව මේ වන විට මෙරට චොක්ලට් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා කිහිපයක් තිබුණ ද ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරනු ලබන්නේ විදෙස් රටවලින් වන නිසාය. එසේ නම් අපේම රටේ අමුද්‍රව්‍යවලින් අපේම රටේ නිෂ්පාදිත ඉස්තරම් චොකලට් රස බැලීමේ අවස්ථාව හිමි වේ නම් එය කොතරම් අපූරුද? මේ මහඟු කාර්යයට මුල පුරා ඇත්තේ රුහුණ විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා තාක්ෂණ අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලන්ත ලියනගේ ය.
කොකෝවා වගාව මෙරට ප්‍රචලිත කොට දේශීය චොකලට් නිෂ්පාදනය කර පිටරටට යවා මෙරටට ඩොලර් උල්පත් ගලා ඒමට සැලැස්වීමේ සිහිනය යථාවත් කරගැනීමට සිය දැනුම, කාලය, ශ්‍රමය පමණක් නොව මුදල් පවා නිර්ලෝභීව වැය කරමින් කටයුතු කරන මහාචාර්ය නිලන්ත ලියනගේ ගෙන් චොකලට් සම්බන්ධ මේ විප්ලවය ගැන වැඩිදුර කරුණු විමසුවෙමු.
“ලංකාවේ අපි කන්නේ නියම චොකලට් නෙවෙයි. කිරි, සීනි සහ විවිධ ආදේශක දාලා චොකලට් රහට හදපු දෙයක්. ආහාර ගැන පර්යේෂණ කරන මහාචාර්යවරයෙක්, පර්යේෂකයෙක් විදිහට මම ලංකාවේ කොකෝවාවල වටිනාකම හොඳින් දන්නවා. ලෝකයේ හොඳම කොකෝවා වැවෙන රටවල් අතර ලංකාවට තියෙන්නේ වැදගත් ස්ථානයක්. ඒ වගේම ලෝකයේ හොඳම දේශගුණික තත්ත්ව, හොඳම පස, හොඳම ජෛව විවිධත්වයක් තියෙන රටක් විදිහට අපිට කොකෝවා වගාව කර්මාන්තයක් විදිහට දියුණු කළ හැකියි. ඒ තුළින් හොඳම තත්ත්වයේ කොකෝවා නිපදවා, එහි නිමි නිෂ්පාදන අපනයනය කළ හැකියි. ඒ තුළින් රටට ඩොලර් උල්පත් බිහි කළ හැකියි.”
විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සහ පර්යේෂණ අතරතුර මෙවැනි කාර්යයකට යොමුවීමේ පසුබිම ගැන ද අප මහාචාර්යවරයාගෙන් විමසුවෙමු.
“විශ්වවිද්‍යාලවල සේවය කරන බොහෝ මහාචාර්යවරු තමන් සතු දැනුමින් විශ්වවිද්‍යාලවලට ආයෝජනය කරන්නේ ඉතාම ස්වල්ප ප්‍රමාණයක්. ඒකට හේතුව, ලාංකේය විශ්වවිද්‍යාලවලට ලබාදෙන පර්යේෂණ ප්‍රතිපාදන ඉතා සීමිත වීමත්, ආචාර්යවරුන්ගේ විභවයට සරිලන අධ්‍යයන වටපිටාවක් නිර්මාණය නොවී තිබීමයි. ඒ කෙසේවෙතත් විශ්වවිද්‍යාලයෙන් බාහිර ප්‍රජා මූලික කටයුතුවලදී විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට කරන්න බොහෝ දේ තිබෙනවා. පුද්ගලිකව මට ඉගැන්වීම තුළින් සිසුන්ට උපාධියක් ලබා දීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකියි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදිහට අපේ වගකීම ඉගැන්වීම පමණක් නොවෙයි. ආහාර කියන්නේ මගේ විෂයය ක්ෂේත්රය. එය මූලික මිනිස් අයිතිවාසිකම්වලින් එකක්. ඒ අවශ්‍යතාවත් ඉටුකර ගත නොහැකිව මිනිසුන් පීඩාවට පත්වෙද්දි ඔවුන් වෙනුවෙන් මගෙන් යමක් ඉටු වෙලා නැහැ නේද කියන වරදකාරී හැඟීම මගේ හිතට වද දෙනවා. ඒ නිසාම මම මගේ විෂයය ක්ෂේත්රය තුළින් ඒවාට විසඳුම් හොයන්න පෙලඹෙනවා. මීට අවුරුදු හතරකට විතර පෙර ලංකාවේ ආර්ථිකය වැටෙයි කියන අවදානම හිතට දැනුණු කාලේ කොළඹ විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපතිව සිටි ආචාර්ය කුමාර හිරිඹුරේගම සහ ඉංජිනේරු බණ්ඩාර සමඟ මම ඇතුළු කිහිපදෙනෙක් සාකච්ඡා කළා ආර්ථිකය ගොඩගන්න අපිට මොනවද කළ හැක්කේ කියලා. ඒ වෙලාවේ තමයි අපි තීරණය කළේ තේ, පොල්, රබර් වගේම කොකෝවා කියන්නෙත් ලංකාව ගොඩගන්න පුළුවන් බෝගයක් කියලා. හොඳට දියුණු කරන්න හැකියාව තිබුණත් ඒ වෙද්දි කොකෝවා කර්මාන්තය අතෑරලා දාලා තිබුණා. ඒ වගේම චොකලට් හදන තාක්ෂණය අපිට කරන්න බැහැ කියලයි බොහෝ අය හිතන්නෙ. ඒ දුර්මත බිඳලා කොකෝවා කර්මාන්තයක් විදිහට දියුණු කරන්න මම පියවර ගත්තේ ඉන්පසුවයි.”
ඒ අනුව මහාචාර්ය නිලන්තගේ අවධානය යොමු වන්නේ විශ්වවිද්‍යාල භූමියේම පිහිටි කොකෝවා ගස් වෙතය. මෙරටට කොකෝවා වගාව හඳුන්වා දුන් උපාලි විජයවර්ධනට අයත් කඹුරුපිටියේ පිහිටි කොකෝවා වගාව ද ඔහුගේ සිතට දිරියක් විය. අපේ රටේම චොකලට් හදමු මැයෙන් ඔහු රුහුණු සරසවියෙන් ආරම්භ කළ වැඩසටහනට ක්‍රම ක්‍රමයෙන් බොහෝ දෙනා සම්බන්ධ වන්නට විය. ඒ වන විට ලෝක චොකලට් නිර්මාණ තරගයේ ශූරයා බවට පත්ව සිටි සූපවේදී අරවින්ද ලීලාරත්න ද අබුඩාබි හි සිට මහාචාර්ය නිලන්තගේ කොකෝවා සංග්‍රාමයට එක්වූ අතර, ඔහු දේශීය කොකෝවාවලින් චොකලට් නිෂ්පාදනය කිරීමට එක්විය. මහාචාර්ය නිලන්තගේ ශිෂ්‍යයකු වන අම්බලන්ගොඩ සමන්ත මිරැන්ඩෝ ද චොකලට් නිෂ්පාදනය ආරම්භ කළ අතර, මේ වන විට ඔහු විදෙස් වෙළෙඳපොළ ද අත්පත් කරගෙන සිටී.
“මුලින්ම මම අපේම රටේ කොකෝවාවලින් චොකලට් හදලා ඒ ගැන විශ්වවිද්‍යාල කිහිපයක දැනුවත් කිරීමේ දේශන සහ වැඩසටහන් පැවැත්වුවා. ඒ අතරේ අකුරැස්සේ සණස සංගමය කොකෝවා වගාව ගෙවතු මට්ටමින් ආරම්භ කරන්න මට අත්වැලක් වුණා. කෙනෙක් කර්මාන්තයක් විදිහට පටන් ගන්නවා නම් හෙක්ටයාර දෙක තුනක කොකෝවා වගාවක් කළොත් ඔහුට සාර්ථක මට්ටමේ කර්මාන්තයක් පටන් ගන්න පුළුවන්.
මේ වෙද්දි ලංකාවේ ඇතිවෙන්න කොකෝවා තියෙනවා. නමුත් කර්මාන්තයක් විදිහට කොකෝවා වගාව අතෑරලා නිසා ඒ සඳහා වෙළෙඳපොළක් නැහැ. ඒ නිසා මම කොකෝවා වගාව ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කළා. සිටුවා අවුරුදු 3ක් තුළ කොකෝවා ගස්වල ගෙඩි හට ගන්නවා. නමුත් චොකලට් නිෂ්පාදනය ආරම්භ කරන්න බලාගෙන ඉන්න කෙනෙකුට අමුද්‍රව්‍ය ලැබෙනකම් අවුරුදු 3ක් බලාගෙන ඉන්න බැරි නිසා අපි අමුද්‍රව්‍ය සපයා දීලා චොකලට් නිෂ්පාදනයට දිරි දෙනවා. කොකෝවා ගස් තුන හතරක් ගෙදර වත්තෙ තියෙනවා නම් දරුවකුගේ අධ්‍යාපනට වැයවන මුදල හෝ පිරිමසා ගත හැකි ආදායමක් ඉන් ලබන්න පුළුවන්. දැනට සැලකිය යුතු මට්ටමේ කොකෝවා අස්වැන්නක් අපේ රට තුළ තියෙනවා. නමුත් ඒ අස්වැන්න වෙළඳපොළක් නොමැති වීම නිසා අතහැර දාලා තිබෙනවා. අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් මේ කර්මාන්තය දියුණු කළ යුතුයි. කොකෝවා නැති ස්විස්ටර්ලන්තයේ රසවත්ම චොකලට් හදනවා නම් ඉස්තරම්ම කොකෝවා රටේම තියෙන අපිට අපේම චොකලට් හදන්න බැරි ඇයි? තේ, කුරුඳු වගේම අපේ කොකෝවත් සන්නාමයක් කරලා ලෝකෙට යවලා රටට ඩොලර් උල්පත් මවන්න පුළුවන් කර්මාන්තයක් විදිහට අපේ කොකෝවා ප්‍රවර්ධනය කරන්න පුළුවන්”මහාචාර්ය නිලන්ත ලියනගේ පවසන්නේ සුබවාදීවය.
මේ වන විටත් කොකෝවා පිළිබඳ ඔහුගේ දැනුම්වත් කිරීම් ඵල දරා තිබේ. කිහිප දෙනෙකුම සිය ගෙවත්තේ නැවත කොකෝවා වගාව ආරම්භ කර ඇත. මහාචාර්ය නිලන්ත ලියනගේ වඩාත් අවධානය යොමු කර ඇත්තේ ගෘහාශ්‍රිතව චොක්ලට් නිෂ්පාදනය පිළිබඳවය. නිවෙසේ වගාකර ඇති කොකෝවා ගස්වලින් ලැබෙන අමුද්‍රව්‍ය භාවිත කරමින් ගෘහාශ්‍රිතව චොක්ලට් නිෂ්පාදනය කිරීමට ජනතාව පෙළ ගැස්වීම ඔහුගේ මූලික අරමුණකි.
”සාමාන්‍යයෙන් අක්කරයට කොකෝවා පැළ 300ක් සිටවන්න පුළුවන්. එයින් සැලකිය යුතු අස්වැන්නක් ලබාගන්න පුළුවන්. කොකෝවා වගාව කියන්නෙ ශ්‍රමය ඉතා අඩුවෙන් වැයවන වගාවක්. තමන්ගෙ ගෙවත්තේ තියෙන කොකෝවා ගස්වල ඇට ටික වියළලා ඒක මුදල් කරගන්න බොහෝ දෙනාට දැනුමක් නැහැ. හොඳම ප්‍රමිතියෙන් පැසවීමට ලක් නොකර වියළීමට කාලයක් ගතවීම නිසා දිලීර ආසාදනවලට ලක්වීමෙන් මුළු අස්වැන්නෙන් සියයට 60ක් පමණ අපතේ යනවා. ඒක අපරාධයක්. ඒ නිසා ගොවියාට ඒ පිළිබඳ නිසි දැනුම සහ තාක්ෂණය ලබාදීම ඉතා වැදගත්. කොකෝවා කර්මාන්තයක් විදිහට දියුණු කරන්න නම් ගොවියා ආරක්ෂා විය යුතුයි. නිවැරදිව සකසා ගත් කොකෝවා වේළපු ඇට කිලෝ එකකින් රුපියල් දාහකට වැඩිය ලාභයක් ලබන්න පුළුවන්. එහෙම තත්ත්වයක් ඇතිවෙනවා නම් වඳුරන්ට, රිළවුන්ට, ලේනුන්ට කාලා යන්න දෙන්නෙ නැතුව මිනිස්සු තමන්ගේ කොකෝවා වගාව රැක ගන්නවා. මේ වෙද්දි කොකෝවා ඇටවලට හොඳ වෙළෙඳපොළක් ඇති වෙමින් තිබෙනවා. කොකෝවා වියළා ගත් ඇට කිලෝ එකක මිල රුපියල් 400, 500 සිට රුපියල් 700 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය හොඳ ප්‍රවණතාවක්. ඒ වගේම අලුතින් කොකෝවා වගා කරන්න කැමැති අයට ඒ සඳහා බිම් ලබාදී දිරි ගැන්විය හැකියි. ඒ සඳහා තිබෙන බිම් පුනරුත්ථාපනය කිරීම වගේම මුඩු ඉඩම් යොදා ගන්නත් පුළුවන්.”
කොකෝවා ඇටවලින් චොකලට් පමණක් නොව වයින්, වොඩ්කා, විනාකිරි ද නිපදවිය හැකි බවත් වෙනත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස ද කොකෝවා ඇට යොදාගත හැකි බැවින් කොකෝවා කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම මහාචාර්ය නිලන්ත ලියනගේ අවධාරණය කරන්නේ ඒ තුළින් රටේ ආර්ථිකයට ලැබිය හැකි වෙසෙස් දායකත්වය සැලකිල්ලට ගනිමිනි. ඒ වෙනුවෙන් ඔහු විශාල කැපකිරීමක් කරන අතර මාතලේ, මහනුවර, කුරුණෑගල, කෑගල්ල, අකුරැස්ස, දෙණියාය වැනි ප්‍රදේශයන්හි සංචාරය කරමින් දැනුම සහ තාක්ෂණික මඟපෙන්වීම ලබා දෙමින් කොකෝවා වගාව සඳහා ජනතාව බලගැන්වීමට කටයුතු කර ඇත. ඉකුත් නත්තල් නිවාඩුව ද මහාචාර්වරයා ගත කළේ මහාචාර්යවරියක් වන සිය බිරිය සහ දෙදරුවන් සමඟ මාතලේ, මහනුවර සහ කුරුණෑගල කොකෝවා වගා බිම් සොයා යෑමටය. මේ වන විට සිය ප්රයත්නයේ සාර්ථක ප්‍රතිඵල දකින්නට ඇති බව ඔහු පැවසුවේ සතුටිනි. ඊට හේතුව මේ වන විටත් ගෘහස්ථ චොකලට් නිෂ්පාදන කර අපනයනය කරන තරුණ ව්‍යවසායකයන් කිහිප දෙනෙකු මෙරටින් බිහිවී තිබීමය. කොකෝවා වගා බිම් නිරීක්ෂණය කරමින් එහි ගොවියන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් ගිය සංචාරයේදී සිය අවධානයට ලක්වූ කොකෝවා ප්‍රවර්ධනයට බලපාන කරුණු කිහිපයක් පිළිබඳ ද මහාචාර්ය නිලන්ත ලියනගේ අපට පැවසුවේය.
“කලකට පෙර ඉතා හොඳින් ක්‍රියාත්මක වූ කොකෝවා සමිතිය දැන් ක්‍රියාත්මක නොවන්නේ ඇයි? ඒ කාලයේ අමුද්‍රව්‍ය ලෙස කොකෝවා ලබාගත් දේශීය චොකලට් නිෂ්පාදන ආයතන දැන් විදෙස් රටවලින් ගෙන්වා ගත් කොකෝවා ආදේශක සිය නිෂ්පාදන සඳහා යොදා ගන්නේ ඇයි? දේශීය කොකෝවා වගාකරුවන්ට ඒවා නඩත්තු කිරීම, අස්වනු සකස් කිරීම, පසු අස්වනු හානි පිළිබඳ යාවත්කාලීන පුහුණුවක් හෝ දැනීමක් ලබා නොදුන්නේ ඇයි? වෙනත් රටවලට වඩා කොකෝවාවලට උචිතම දේශගුණයක් පවතින අප රටේ කොකෝවා පර්යේෂණ මධ්‍යස්ථානයක් නැත්තේ ඇයි? පුස්කෑ, නිවැරදි තාක්ෂණයෙන් තොරව වියළන ලද කොකෝවා බීජ එකතුකිරීමේ මධ්‍යස්ථාන හරහා යම් යම් පිරිස් විසින් මිලදී ගන්නේ කිනම් කාරණාවක් සඳහා ද යන කරුණු පිළිබඳ සොයා බැලීම කොකෝවා වගාව කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ඇති බාධා නැතිකර ගැනීමට ඉවහල් වන බව මගේ අදහසයි. ඒ වගේම මේ රටේ කිසිම කෘෂිකාර්මික නිෂ්පාදනයක් අගය එකතු කිරීමකින් තොරව අපනයනය කිරීම තහනම් කළ යුතුයි. අගය එකතු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන් ලබා දෙනවා නම් මේ කිසිවක් අමුද්‍රව්‍ය ලෙස පිටරටට යැවෙන්නෙ නැහැ.”
මාතර උපන් මහාචාර්ය නිලන්ත ලියනගේ කොටවිල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා වැලිගම සිද්ධාර්ථ බාලක මධ්‍ය මහා විද්‍යාලයෙන් ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ සමත් වීමෙන් පසු රුහුණ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී කෘෂිකර්ම (ආහාර විද්‍යාව) උපාධිය ලබා ගන්නේ දෙවැනි පෙළ ඉහළ සාමර්ථ්‍යයක් සහිතවය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජෛ්ව තාක්ෂණය පිළිබඳ විද්‍යාපති උපාධිධාරියකු වන හෙතෙම දෙවැනි විද්‍යාපති උපාධිය සහ ආහාර විද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධිය ලබාගන්නේ ජපානයේ කගොෂිමා විශ්වවිද්‍යාලයෙනි.
මහාචාර්යවරයකු සහ පර්යේෂකයකු ලෙස තමා සතු දැනුමෙන් රටට සහ ජනතාවට සේවයක් සැලසීම සිය වෘත්තීය යුතුකම සහ වගකීම බවට පත්කර ගත් මේ අපූරු විද්වතා පවසන්නේ එයින් තමා විසල් ආත්ම තෘප්තියක් ලබන බවය. විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම්, පර්යේෂණ මෙන්ම සිය පෞද්ගලික ජීවිතයේ කටයුතු ද මැනවින් කළමනාකරණය කරගනිමින් ඔහු එකී කටයුතුවල යෙදීම ද සුවිශේෂී වේ.
“ලෝකයේ හොඳම කොකෝවා තියෙන අපේ රටේ තවමත් කොකෝවා පර්යේෂණ මධ්‍යස්ථානයක් නැහැ. රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා නම් මම කැමතියි එවැනි පර්යේෂණ මධ්‍යස්ථානයක් හරහා රටේම ජනතාවට දැනුම සහ තාක්ෂණය බෙදලා දීලා ඒ තුළින් කොකෝවා කර්මාන්තය රටට ඩොලර් ගේන ප්‍රධාන මාර්ගයක් බවට පත්කරන්න. මගේ ඊළඟ සිහිනය එයයි.
හරියට නඩත්තු කරනවා නම් කොකෝවා ගහක් කියන්නේ මුදල් උපයන යන්ත්‍රයක්. කොකෝවා වවන්න, ගෙදරදීම චොකලට් හදන්න, කොකෝවා වගාවට ආයෝජනය කරන්න කැමති ඕනම කෙනෙක් මට කතා කරන්න. අවශ්‍ය දැනුම සහ තාක්ෂණික උපදෙස් දෙන්න මම සූදානම්. මට අවශ්‍ය දැනුම සඟවා ගෙන ඉන්න නෙවෙයි, දැනුම බෙදලා දෙන්නයි. කොකෝවා වගාවෙන් පටන් ගෙන අමුද්‍රව්‍ය සැකසීමේ සිට ලෝකයේ තියෙන රසම රස චොකලට් ලාංකේය සන්නාමය යටතේ නිර්මාණය කිරීමේ ගමනට එකතු වෙන්න කියල මේ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටම ආරාධනා කරනවා.
සුරේකා නිල්මිණි ඉලංකෝන්