ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු පක්ෂ වගේම චෝදනා තියෙන අය ඉන්න පක්ෂ බලයට ගේනවද කියන එක ජනතාව තීරණය කළ යුතුයි ‘ආණ්ඩුවේ ගමන් මඟ සම්බන්ධව මෙන්ම ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරමින් අදහස් දක්වන්නේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ය’
– රට ආර්ථික වශයෙන් අස්ථාවර වුණේ රටේ ආර්ථික ප්රතිපත්තියෙ වැරැද්ද නිසා. ඒ වගේම රට වැටුණෙ එක කණ්ඩායමක් නිසා
– වර්තමානයේ සියලු ජන කොටස් වගේම සියලු සුළු ජාතික පක්ෂ අපත් සමඟ ඉන්නවා. ඒ කිසිවෙක් සමඟ අප විශේෂ එකඟතා නැහැ
ආණ්ඩුවේ ගමන් මඟ ගැන ප්‍රධාන විපක්ෂය ලෙස ඔබ පක්ෂය සෑහීමට පත් වෙනවාද?
ආණ්ඩුව දවස ගානෙ ජනතාවට බදු බර පටවනවා. එන්න එන්නම ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා කරල තියෙන්නෙ. අද සමහරුන්ගෙ රැකියා නැති වෙලා, කර්මාන්ත නැති වෙලා, තවත් ආයතන වහලා, ගොවිතැන් නැවතිලා.
ඒ අස්සෙ රජයේ සේවකයන්ටත් දරන්න බැරි තරමට බඩු මිල වැඩි වෙලා. ලොකු පීඩනයක් එක්ක ජනතාව ජීවත් වෙන්නෙ. මේක තමයි අද ආණ්ඩුව ජනතාවට ලබා දීල තියෙන්නෙ.
සමගි ජල බලවේගය බලයට ආවොත් ඒ වෙනුවෙන් විසඳුමක් ලබා දෙන්න පුළුවන් වෙයිද? කුමනාකාරයේ විසඳුමක් ද ඔබ පක්ෂය සතුව තියෙන්නේ?
ඇයි මේ රට වැටුණෙ? හොරකම් කරපු නිසා. ඒ වගේම රට ආර්ථික වශයෙන් අස්ථාවර වුණේ රටේ ආර්ථික ප්රතිපත්තියෙ වැරැද්ද නිසා. ඒ වගේම රට වැටුණෙ එක කණ්ඩායමක් නිසා. අපි ජීවත් වෙන්නෙ ණය අරගෙන.
අපේ පක්ෂයට පුළුවන් වෙයි හොරකම් නැති කරල, හොරකමෙන් දූෂණයෙන් තොර රටක් බිහි කරන්න. අද අපේ රටේ සියලු නිෂ්පාදන වැටිලා. තේ, රබර් පොල්, අපනයනයක් නිසියාකාරව සිදු වෙනවද? කර්මාන්ත අඩු වෙලා. නිෂ්පාදන ඇණ හිටලා, මම දන්නෙ නෑ මේ ආණ්ඩුව කොහොමද මේ ආර්ථිකයෙන් ගොඩ එන්නෙ කියලා. නමුත් අපට නම් නිෂ්පාදන ආර්ථිකයක් එක්ක රටක් ඉදිරියට ගෙන යන සැලැස්මක් තියෙනවා. හොරුන්ගෙන් තොර රටක් බිහි කිරීමට අප කටයුතු කරනවා.
සියලු ආණ්ඩු බලයට ආවේ හොරු අල්ලනවා කියල අල්ලපු එක හොරෙක් නැහැනෙ. පැන්ඩෝරා පත්‍රිකා හරහා මහා පරිමාණ දූෂණ වංචා හෙළි වුණු අයටවත් කිසිදු ගැටලුවක් නැහැ. ඔය දේශපාලනයේ හොරු ඇල්ලීමේ කතාව ජනතාව විශ්වාස කරයි කියල ඔබ හිතනවද?
අපේ රජයක් තුළ අනිවාර්යෙන්ම නීති රීති සකස් කරනවා, දූෂණය හොරකම වළක්වන්න. ඒ වගේම අවශ්‍ය පනත් වෙනස් කරල අවශ්‍ය පරිදි ඒ වෙනුවෙන් මාර්ගය සකසනවා. ඔබ කියනවා වගේ මෙතනදි වුණේ එක් පාර්ශ්වයක් සොරකම් කරනකොට අනෙක් පාර්ශ්වය ඔවුන් ආරක්ෂා කළා. ඔවුන් සොරකම් කරනකොට අනෙක් පාර්ශ්වය ආරක්ෂා කළා.
නමුත් අද වන විට සමගි ජන බලවේගයේ ඉන්නෙ පිරිසිදු කණ්ඩායමක්. ඒක නිසා තමයි සමගි ජන බලවේගය ජනතාව වෙනුවෙන් අධිකරණයට ගිහින් රට බංකොලොත් කරන්න මුල් වුණු අය සම්බන්ධයෙන් හෙළි කරේ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරල තියෙනවා රාජපක්ෂ පවුලේ තිදෙනෙක් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඒ එක්කම පී. බී. ජයසුන්දර රටේ බංකොලොත් වීමට වගකිව යුතු අය ලෙසින්. ඒ ලෙසින් අපි අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නවා.
ඒ අය වැරදිකරුවන් බවට අධිකරණය කරුණු දක්වා ඇති නිසා පක්ෂයක් ලෙසින් ඇයි තවදුරටත් ඉදිරියට නොගිහින් බලා ඉන්නෙ. වන්දි ලබා ගන්න පවා පුළුවන්නෙ.
රටේ ඕනෑම පුරවැසියකුට දැන් පුළුවන් අධිකරණයට ගිහින් කියන්න මේ අය රට බංකොළොත් කළා. ඒ නිසා මට පාඩුවක් වුණා. නැත්නම් මගේ රැකියාව අහිමි වුණා වැනි කරුණු ඉදිරිපත් කරල වන්දි ඉල්ලන්න.
පක්ෂයක් ලෙසින් අපත් ඉදිරියේදී ඒ වෙනුවෙන් කටයුතු කරන්න සූදානමින් ඉන්නෙ.
වැට් බද්ද 18% දක්වා වැඩිවීම අපට සැලකිය යුතු ලෙසින් බලපානවා. මේ වෙනුවෙන් වගකිව යුතු ප්‍රධාන විපක්ෂය ලෙස ඔබ පක්ෂය කටයුතු කරන්නේ කෙසේද?
ආණ්ඩුවෙ ඇත්තො හොරකම් කරපු සල්ලි දැන් හොයල දෙන්න එපායැ. රට බංකොලොත් බවෙන් යම් මට්ටමකට හරි මුදා ගන්න. ඒකට ඉතින් ගහන්න පුළුවන් හැම බද්දක්ම ගහනවා. ජනතාව වෙනුවෙන් අපි පුළුවන් තරම් හඬ නඟනවා.
ඒ වුණත් ආණ්ඩුව කියල තියෙනවා ලබන මාර්තු වෙනකොට විදුලි බිල අඩු කරනවා. උද්ධමනයත් අඩු වෙනවා කියල.
ආණ්ඩුව හැමදාම කියන්නෙ අඩු කරනව කියලනෙ, ඒත් හැම දෙයක්ම වැඩිවුණා මිසක් අඩු වුණේ නැහැනෙ. 300%කින් විතර වැඩි කරල 2%කින් විතර අඩු කරල ජනතාවට ලැබෙන සෙත මොකක්ද?
අනික් එක ඇයි මාර්තු වෙනකල් ඉන්නෙ දැන් අඩු කරන්න පුළුවන්නෙ. දැන් වැඩි විදුලි බලයක් නිපදවන්නෙ ජල විදුලියෙන්නෙ. දැන් පුළුවන්නෙ බිල අඩු කරන්නෙ. එතනම තියෙන්නෙ ප්‍රෝඩාවනෙ.
ඉදිරියේදී මැතිවරණ කිහිපයක් එනවා, විශේෂයෙන්ම ලබන වසරේ මැතිවරණයන්ට මුහුණ දෙන්න පක්ෂය සූදානම්ද?
ඔව්, අපි සූදානම්. මේ වෙනකොට අපි ජාතික මට්ටමේ දිස්ත්‍රික් මට්ටමේ වගේම ගම්මට්ටමේ සංවිධාන කටයුතු සිදු කරගෙන යනවා. සමගි ජන බලවේගය තමයි මේ රට ගොඩ ගන්න පුළුවන් එකම පක්ෂය වන්නේ.
ඉදිරි ජනාධිපතිවරණය විශාල බල අරගලයක් මෙන්ම විශාල අවුලක් වන ලකුණු පහළ වනවා, එක් පැත්තකින් සමගි ජන බලවේගය ජනාධිපතිවරණ සටනට එනවා. එක්සත් ජාතික පක්ෂය තවත් පැත්තකින් එනවා, පොදු ජන පෙරමුණ තවත් පැත්තකින් ජනාධිපතිවණ සටනේ, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනාධිපතිවරණයට එන බවක් පේනවා. ජනතා විමුක්ති පෙරමුණත් මේ සටනේ එක් පාර්ශ්වයක්. මේ ලෙසින් ප්‍රධාන පක්ෂත් බෙදීයාමෙන් වන බල අරගලයේ අවසන් ප්‍රතිඵලය කුමක් වෙයි කියල ද ඔබ හිතන්නේ?
ඇත්තෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ජනතා බලය ලබා ගැනීමට. මම මුලින් කිව්වා වගේ සමගි ජන බලවේගයේ ඉන්නෙ චෝදනා එල්ල වුණු පිරිස් නෙමෙයි. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු පක්ෂ වගේම චෝදනා තියෙන අය ඉන්න පක්ෂ බලයට ගේනවද කියන එක ජනතාව තීරණය කළ යුතුයි.
එක්සත් ජාතික පක්ෂ නායකයාට චෝදනා තියෙනවා. පොදු ජන පෙරමුණ වෙනුවෙන් ජනතාවගේ තිබුණු කැමැත්ත ජනප්‍රියතාව විශාල ලෙසින් පහළ ගිහින් තියෙනවා, ජනතා විමුක්ති පෙරමුණට රැස්වීම්වලට ජනතාව හිටියට මැතිවරණ ප්‍රතිඵල බලද්දි 3%ක් 4%ක් තමයි ඡන්ද තියෙන්නෙ. නමුත් චෝදනා නැති නිසි ප්‍රතිපත්තියක් අනුව ජනතාව නඟා සිටුවන ක්‍රියාමාර්ගයක් එක්ක එන්නෙ අපි. ඒ නිසා ජනතාව අප සමඟයි ඉන්නෙ.
නමුත් ජනතා විමුක්ති පෙරමුණ එහෙමත් නැත්නම් ඒ එකමුතුව ඒ කියන්නෙ ජාතික ජන බලවේගයේ අය කියන්නෙ ඔවුන්ට කිසිදු ආකාරයක චෝදනා එල්ල කරන්න බැහැ කියල,
ජනතා විමුක්ති පෙරමුණත් වගකියන්න ඕන මේ තත්ත්වයට, අතීත කතා පැත්තක තියමුකො. නමුත් අනික් හැම අවස්ථාවකම එයාල ක්‍රියාකාරී දේශපාලනයේ හිටියනෙ.
එයාල 1994 අවුරුද්දෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය දිනවන්න කටයුතු කළා. පසුව එක්ව තරග කරලා මන්ත්‍රී ධුර 39ක් ලබා ගත්තා. ඇමැතිවරු 4ක් හිටියා. නියෝජ්‍ය ඇමැතිවරුත් එක්ක 8ක් හිටියා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ එක්කත් එකට කටයුතු කළා.
එයින් පස්සෙ මෛත්‍රීපාල සිරිසේන දිනවන්න කටයුතු කළා. එයාලත් වගකියන්න ඕන නැද්ද; මේ තත්ත්වයට එයාලට චෝදනා නැහැ කියන්නෙ කොහොමද?
අපේ රටේ ඕනෑම මැතිවරණයකදි තීරණාත්මක සාධකය වෙන්නෙ සුළු ජන කොටස් නියෝජනය කරන පක්ෂ, මෙහිදී විශේෂයෙන්ම කඳුරට හා උතුරු නැඟෙනහිර පළාත් නියෝජනය කරන පක්ෂ හරහා බලයට එන්න දේශපාලකයන් විවිධ පොරොන්දු දෙනවා. එයින් පසුව විවිධ අර්බුද මතු වෙනවා. මේ තත්ත්වයට ඔබ පක්ෂය මුහුණ දෙන්නේ කෙසේද?
මෙහිදී වැදගත් වන්නේ ජන කොට්ඨාස අනුව කටයුතු කිරීම නෙමෙයි. අපට සිදු වෙනවා සියලු ලාංකේය ජනතාව සමඟ එක්ව කටයුතු කරන්න. එතනදි ජාතිය ආගම බලල ප්‍රතිපත්ති සකස් කිරීම නොකළ යුතුයි. අප කළ යුත්තේ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමයි. වර්තමානයේ සියලු ජන කොටස් වගේම සියලු සුළු ජාතික පක්ෂ අපත් සමඟ ඉන්නවා. ඒ කිසිවෙක් සමඟ අප විශේෂ එකඟතා නැහැ. අප සෑම විටම එකම ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරනවා.
අප සමඟ ඉන්නා සියලු දේශපාලන පක්ෂ 2019 අවුරුද්දෙ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් සහාය ලබා දුන්නා. 2020 මහ මැතිවරණයේදිත් අපට සහාය ලබා දුන්නා. ඉදිරියේදිත් අපට සහාය ලබා දෙන බව විශ්වාසයි. සියලු ජන කොටස්වල විශ්වාසය ලබා ගැනීමයි අප කළ යුත්තේ. එවිට ජයග්‍රහණය කරා යාම අසීරු වන්නේ නැහැ.
තාරක වික්‍රමසේකර