කෑම මේසය මත තිබූ මංගල ආරාධනා පත දුටු සතරසිංහ තරමක් නොසන්සුන් විය. එය අතටගත් ඔහු දුටුවේ ඔහුගේ මතකයේ තිබු පරිදිම එය යෙදී ඇත්තේ හෙට දිනයට බවයි.
“මේ පොඩ්ඩක් මෙහාට එන්නකෝ” ඔහු තම බිරිඳට කථා කර මේ බව කී විට ඇය කීවේ තමා අසනීපයෙන් පසුවන හෙයින් යා නොහැකි මුත් ඒ ගමන ඔහු තනිව හෝ යා යුතු බවය. එය සත්‍ය නමුත් ගමන සඳහා සෑහෙන සූදානමක් විය යුතු බව ඔහු කල්පනා කළේය. තමා රාජකාරි සමයේ මෙබදු උත්සව සඳහා සහභාගී වීම නිතර නිතර සිදු වූ බව ඔහුට මතකය.
එකල ඔහු පිළිවෙළකට ඇන්දේය. ඇඳුමට ගැළපෙන ලෙස පැලඳීමට සුදුසු පාවහන් ජෝඩු කීපයක් තිබුණි. කලිසමේ හා කමිසයේ වර්ණයට ගැළපෙන ඉනපටි කීපයක්ද සුදුසු පරිදි තෝරා ගැනීමට ටයි පටි ගණනාවක්ද විය. ටයිපටිය බැඳ ටයිපින් එක පැලඳීම ඔහු අමතක නොකළේය. ළඟින් යන අයෙකුට දැනෙන නොදැනෙන සුවඳකින් යුතු ඕඩි කොලෝනයක් පාවිච්චි කළේය. ඔහු පසුකර යන විට ළඟ සිටි අය හොරැහින් බලන තරම් මනා සකසුරුවම් ලෙස සැරසුන හෙතෙම සැබවින්ම නිහතමානී, වියත්, බුද්ධිමත් රාජ්‍ය සේවකයෙකු විය. ඔහුට කිසියම් උත්සවයක් සඳහා අලුතින් සූදානමක් වීමට අවශ්‍ය නොවීය.
රාජකාරි ආයතනයට සම්බන්ධ උත්සවවලටද පමණක් නොව ගමේ මංගල හා අවමංගල උත්සවවලට ද ඔහුට ආරාධනා කළේ එම උත්සවලට ගෞරවයක් හා කළ එළියක් ගෙන දෙන අයකු නිසාය. නමුත් අද තත්ත්වය වෙනස්ය. ඔහුගේ කල් ඉකුත්වීමේ දිනය එසේ නැත්නම් විශ්‍රාමික දිනය පසුකර දැනට වසර හත අටකට වැඩි මිස අඩු නැත.
එදා මෙන් අද ඔහුට උත්සවවලට ආරාධනා කරන කෙනෙකු නැත. සතරසිංහ සිරිතක් හැටියට මත්පැන් පානය කළ කෙනෙකු නොවේ. එහෙත් ඉදහිට යහළුවන් සමඟ එක්ව මත්පැන් පොදක් තොල ගෑමට හෙතෙම ආසා කළේය. මත්පැන් පොදක් පානය කිරීමෙන් පසු ඔහු කළේ ඔවුන් සමඟ එක්ව ගීතයක් ගායනා කිරීමත් උසුළුවක් විසුළුවක් කර විනෝද වීමත් පමණකි. මංගල උත්සවවලදී සුදුසු යහළුවන් එක්වූ විට මත්පැන් පොදක් තොලගා සතුටුවීම ඔහුගේ සිරිතක් විය.
කෙසේ වෙතත් මේ කල් ඉකුත් වූ මිනිසාට වසර ගණනාවකින් උත්සවයක් සඳහා ආරාධනාවක් ලැබීමක් හෝ එසේ යහළුවන් හමුවීමක්ද සිදු වී නොමැත. බොහෝ විට විශ්‍රාමිකයිනට සිදුවන අවාසනාවන්ත හුදකලා වීම ඔහුටද උරුම වී ඇත.
මේ සියල්ල වරින්වර සිහිපත් කරමින් සිටි සතරසිංහ ඇඳ යටට අත දමා පාවහන් ජෝඩු කීපයක් එළියට ඇද බැලුවේය. ඒවා වසර ගණනාවකින් පැලඳ නැත. පොලිෂ් නොකළ පාවහන් දූවිලිවලින් වැසී ඇති අතර තද වී ඉරි තැළී ඇත. අල්මාරිය හැර කලිසම් කීපයක්ද ගෙන ඔහු ඇද බැලුවේය. එහෙත් ඒවායේ ඉණ වැහැරමින් සිටි ඔහුට දැන් ඉතා බුරුල්ය. ඉණ පටියක් දමා සිර කළ විට කලිසම ඉණ වටා රැලි වැටේ. පසුගිය දිනවල කුඩා මුනුපුරෝ ඔහුගේ ටයි පටි ගෙල ලාගෙන සෙල්ලම් කරනු ඔහු දුටුවේය. සුදුසු ටයි පටියක්ද සොයා ගැනීමට නොහැකි වූ තැන ඔහු කල්පනා කළේ මේ පාවහන් පැලඳ කලිසමත් කමිසයත් ඇඳ පටිය හිර කළ හොත් ඔහු වෙලේ සිටවූ පඹයකු සේ පෙනී විහිළුවට ලක් වනු ඇති බවයි. අන්තමේදී හෙතෙම තීරණය කළේ පන්සලට අදින ඉංග්‍රීසි නමකින් යුත් අපේ ජාතික ඇඳුම එනම් නැෂනල් එක හා සුදු සරමක් හැඳ සෙරෙප්පු දෙකක් ලාගෙන මංගල උත්සවයට යාමටය. මංගල උත්සවය පැවැත්වෙන ශාලාවට කිලෝමීටර් භාගයක් පමණ දුරය. එදා ඔහු සතුව තිබු වාහනය තම පුතාට දී තිබූ හෙයින් ත්‍රිවිලරයක් කතා කර ගෙන මංගල උත්සවයට යාමට තීරණය කළේය.
“මම යනවා”
“පරිස්සමින් ගිහින් එන්න” ඔහුගේ භාර්යාව ගමනක් පිටත්වන විට හතළිස් පස් වසරක් පමණ නොවරදාව කී වදන එදත් එලෙසම තෙපළාය. සතරසිංහ උත්සව ශාලාවට ඇතුළුවන විට පෝරුවේ චාරිත්‍ර ආරම්භ කර තිබු හෙයින්, ඔහුට ආයුබෝවන් කීමට කිසිවකු පිවිසුම ළඟ සිටියේ නැත. එකල පෝරුවේදී දෙපාර්ශ්වයේ කිට්ටු වන්තයින්ට මඟුල් ජෝඩුව කථා කරද්දී ඥාතියකු වුවත් නොවූවත් සතරසිංහටද කථා කරන නමුත් එදින ඒ සඳහා ඔහුට ආරාධනා කළ කෙනෙකු නැත. බොහෝ මංගල උත්සවවලදී එක් පාර්ශ්වයක සාක්ෂිකරුවකු ලෙස ආරාධනා කළේ සතරසිංහටය. අද ඒ වෙනුවට වෙනත් අනුප්‍රාප්තිකයින් යොදාගෙන ඇත. බොහෝ දෙනෙකු ශාලාවේ ඒ ඒ මේස වටා තම ඥාති හිත මිතුරන් සමඟ වාඩි වී සිටියත් සතරසිංහ ශාලාවේ කෙළවරක මේසයක් අසල ඈදිගෙන සිටියේය. ඒ මේසය වටේ තවත් වයෝ වෘද්යෙකු වාඩි වී සිටියත් ඔහු සමඟ සල්ලාපයේ යෙදීමට දෙයක් සතරසිංහට නොවීය.
සිසිල්පැන් බීමෙන් පසුව මඳ වේලාවක් ගිය විට කිසියම් තරුණ පිරිසක් එක් එක් මේසය වෙත ගොස් ‘පොඩ්ඩක් අර පැත්තට යමුද”
“මල්ලි යමු”
“සර්ලා පොඩ්ඩක් මොනව හරි කරමු” කියමින් පිරිස් කැටුව යති.
මේ කථා කරන්නේ මත්පැන් සඳහා බව සතරසිංහට හොදාකාරවම අවබෝධ වුවත් එම මේසය අසලට පැමිණි අය මගින් හැරී යන බව ඔහු දුටුවේය. මත්පැන් පොදක් තොලගෑමට ආශා වුවත් අනාරාධනයෙන් ඒ සඳහා සහභාගී වීම සුදුසු නැතැයි බුද්ධිමත් හෙතෙම පසක් කළේය.
“කවුද බං අර මැන්ටලේ” කිසිවකු කියනු ඔහුට ඇසුනි.
“ඒ අර සතරසිංහ මයානේ, මුකුත් කියන්න එපා”
අනෙකා පිළිතුරු බඳිනු ඇසුනත් අකම්පිත වූ සතරසිංහට ඒවා ගණනක් නැත. “මැන්ටලය” යනුවෙන් හඳුන්වන්නේ ඉතා වයස්ගත දුබල අයට බව නොදන්නෙකු නොවේ. මඳක් කම්පා වූයේ ඇතැම් කාන්තාවන් සිටි මේසවලට පවා බීර බෝතල් ගෙනැවිත් දෙනවාත්, ඔවුන් ඒවා තොල ගානවත් දකින විටය. මා ඒ තරමටවත් ගණන් නොගත්තදැයි ඔහුට මඳකට සිතුනද ඔහු සිත සාදා ගත්තේය.
දසත පැතිරෙන ගීත රාවය අතරේ දිවා ආහාරය පිරිනැමීම ඇරඹිණි. කෑම ගැනීම සඳහා සතරසිංහද පෝලිම් ගත වූයේය. වෙනදාමෙන් ඔහුට මංගල මේසයට ඇරයුම් ලැබුනේ නැත. හිස් පිඟාන අතින් ගත් හෙතෙම කෑම බන්දෙසිපෙළ දිගට නෙත් යොමු කළේය.
“සුදු බත් හොඳයි” ඔහු සිතුවේය. කුකුල් මස් කැබලි ලොකු වැඩි නිසා තම බුරුල් දත්වලට ඔරොත්තු නොදෙන හෙයින් හෝ හොඳි ටිකක් පමණක් බෙදා ගත්තේය. අල බැදුම තෙල් සැරයි, හොඳ නැත. කජු මාළුව ඌෂ්ණයි, බටු මෝජුව සෙමට අගුණයි. අච්චාරුව සැරවැඩියි හෙතෙම සිතුවේය.
සතරසිංහ රසමසවුළු භුක්ති වින්දේ නැති කෙනෙකු නොවේ. මදුවිත පොදක් තොල ගෑව නම් මේ තරම් හොඳ නරක තෝරන්නේද නැති වන්නට තිබිණ. කෙසේ වෙතත් හේ සලාද ටිකක් බෝංචි ටිකක් හා තෙල් නොදැමූ පරිප්පු ටිකක් ද බෙදාගෙන නිහතමානීව භුක්ති වින්දේය. ඔහුට කෑම ගැන එතරම් කෑදර කමක් නැත.
අතුරුපස – අයිස්ක්‍රීම්, කැට පලතුරු සලාද, පුඩින් අයිස්ක්‍රීම් සෙමට අඟුණයි.
අඹ කෑලි කීපයක් හා ඇපල් කැබලි කීපයක් පමණක් දමාගත් ඔහු “නරක වුනත් කමක් නැහැ” යයි සිතමින් අයිස්ක්‍රීම් ටිකක්ද බෙදා ගත්තේය. “පුඩින් ප්‍රශ්නයක් නැති හෙයින් කෑලි කීපයක්ම දමා ගත්තේය.
මංගල යුවළ පිටත්ව යාමට පෙර නෑසියන්ට කතා කිරීම සිරිතකි. ඔවුන් මේසයෙන් මේසයට ගමන් කරන්නේ වැඩි හිටියකු ද සමඟය.
සතරසිංහගේ මේසය දෙසට එනවිට මනාලියගේ පය පැටලී වැටෙන්නට ගිය විට ඔවුන් කැටුවා ආ වැඩිහිටියා ඇය අල්ලා වැරදීමකින්දෝ නැවත හැරෙව්වේ සතරසිංහගේ මේසය අතහැර වෙනත් මේසයක් වෙතය.
“කමක් නැහැ – මේ දැරිය පාසැල් යන කාලයේ මා කී දවසක් පාසැල් කැඳවාගෙන යන්නට ඇද්ද” ඔහුට සිතුණේය.
මංගල යුවළ සමුගැනීමට සූදානම් විය. දෙපසේ අය කථා පවත්වති. “ගරු මංගල සභාවෙන් අවසරයි” කියා ඇතැම්හු තටමති. සමහරු පරණ කවියක් දෙකක් කියයි.
“නොකියා සිය හිමිට – නැතිවද උතුරු සළුපොට
ගමන් ඉක්මන් කොට – නොයන් නුඹ වසන ගෙන් පිටතට”
“සිනා නොමසෙන් දසන් දක්වා” මේ පැරණි කියමන් අදට වලංගු නැත. එදා නම් උත්සවයක කථාවක් කිරීමට ගෞරවයක් ලෙස ආරාධනා කළේ තමාටය.
“සතරසිංහ සර්ගේ කථාව විතරයි කාගෙත් සිත් ගත්තේ එයා බුද්ධිමතානෙ” සමහරු කථාවට පසුව කියනවා ඔහුට බොහෝ විට ඇසී ඇත. එහෙත් අද ඔහුට ආරාධනාවක් නැත.
“මංගල ගමනට යන්න අවසරයි පියාණෙනි” මංගල ජෝඩුව පිටත්වීමට සූදානම්ය. සියල්ලට පසුව සිත සාදාගත් මේ අකම්පිත වයෝවෘද්ධයා සෙමෙන් සෙමෙන් පාගමනින් නිවස වෙත පැමිණියේය. නිවසට පැමිණෙන තම ස්වාමියා දුටු “රෙත්ස්” වලිගය වනා ඔහු සාදරයෙන් පිළිගත්තේය. ගෙට ගොඩවන විටම සතරසිංහගේ භාර්යාව පැමිණි “කොහොමද මහත්තයා. වෙඩින් එක හොඳයිද” ඇසුවාය.
“හොඳයි හොඳයි”, මඟුල් ජෝඩුව දැනුයි පිටත්වෙලා ගියේ”
මේ කිසිවක් නොවුනා සේ සතරසිංහ නිහතමානීව පිළිතුරු දුන්නේය.
දීප්ත කරුණාරත්න