එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී අමෙරිකාවේ ජීවත්වූ Presbyterian පූජකයකුගේ පුතෙක් ආගමික කල්ලියක් පටන් ගනී. ටෙක්සාස් ප්‍රාන්තය වාසස්ථානය කරගත් මේ පුත්‍රයා හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ පරම විඥානාර්ථ සමාගමේ සිටි, ලංකාවට ද පැමිණි හෙලේනා බ්ලැවට්ස්කි නමැති ගුප්ත විද්යාචාර්යවරියගේ ලිවීම්වලට වහ වැටෙයි. ඊළඟට ඔහු Heaven’s Gate නමින් ආගමික කල්ලියක් පටන් ගනී. ලෝකය අවසාන වන දිනය සම්බන්ධයෙන් මහත් සේ උනන්දු වූ ඒ කල්ලිය ඊට පෙර මිය යන අයට දිව්‍ය ලෝකයට යා හැකි බවට කිසිවකු දුන් ලණුවක් ගිල දමති.
මේ අතර 1997 මාර්තු මාසයේ 20 දා වල්ගා තරුවක් පායන බවත් මේ තාරකාවෙන් පෘථිවියට එන පියාඹන පීරිසි දෙකක් Heaven’s Gate බැතිමතුන් දිව්‍ය ලෝකයට ගෙන යන බවත් ඔවුන්ගේ ප්‍රධානියා වූ පාස්ටර් බොනී නෙට්ල්ස් විසින් ඔවුන්ට කියනු ලැබේ. මේ ගමන යාම සඳහා සිය දිවි නසා ගැනීම බොනී නෙට්ල්ස්ගේ කොන්දේසියකි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ගමරාල සහ පවුලේ කට්ටිය දිව්‍ය ලෝකයේ ගියාක් බඳුව Heaven’s Gate බැතිමත්හු 34ක් පිටසක්වළ ගමන සඳහා නිවෙසකට රැස් වෙති. ඊළඟට ඔවුන් කරන්නේ වස මිශ්‍ර කළ ඇපල් පුඩිමක් අනුභව කර සියදිවි නසා ගැනීමය. මේ සිද්ධියෙන් පසු පොලිසිය විසින් ඔවුන්ගේ මළ සිරුරු සොයාගනු ලැබ මරණ පරීක්ෂණ පවත්වා මිහිදන් කරනු ලැබේ. ගමරාල ඇතුළු පිරිස කිසි කලෙකත් දිව්‍ය ලෝකයේ නොගිය පරිදි Heaven’s Gate කට්ටිය දිව්‍ය ලෝකයට ගෙනයාම සඳහා අදටත් පියාඹන පීරිසි පැමිණ නැත. Heaven’s Gate ආගමික කල්ලිය අදටත් අමෙරිකාවේ ක්‍රියාත්මක වෙයි. පියාඹන පීරිසි කල්ලිය කී පමණින් කවුරුත් ඔවුන් ගැන දනිති.
ආගම පෙන්නා හෝ ආගම වෙනුවෙන් සියදිවි නසා ගැනීම 1900 පසු හටගත් ලෝක ප්රවණතාවකි. ආගමික දර්ශනවාදී දේශන පවත්වමින් බැතිමතුන් විශාල ප්‍රමාණයක් එකතු කරගෙන සිටි රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයෙක් පසුගියදා උග්‍ර වස වර්ගයක් පානය කර සියදිවි නසා ගත්තේය. ජීවිතය නිස්සාර දෙයක් බවත් මේ රටේ ජීවත් වී වැඩක් නැති බවත් ඔහු තම ශ්‍රාවකයන්ට නිතර කියූ අතර හෝමාගම මාකුඹුරේ පිහිටි සිය නිවෙස ආශ්රමයක් ලෙස පවත්වා ගෙන ගියේය. ඔහු හෝමාගමට පැමිණියේ පොලොන්නරුවේ තිබූ සිය දේපළ විකුණා සිය පවුලේ උදවිය සමඟය. ඔහු අත විශාල මුදලක් තිබූ අතර රුපියල් එක්ලක්ෂ හැත්තෑ පන්දහසක මාසික කුලියකට මාකුඹුරෙන් ගෙයක් ද කුලියට ගෙන තිබිණි. ඔහු වස පානය කරන්නේ දෙසැම්බර් 28 දාය. ඊට දින කිහිපයකට පෙර සිටම ඔහු ජීවිතයේ අනිත්‍ය පිළිබඳ දේශනා කරන්නට විය. මරණය තමා වෙත නොඑන්නේ නම් තමන් මරණය කරා යා යුතු බව ඔහුගේ දේශනාවල අදහස විය. ඔහු වස පානය කොට දින දෙකකට පසු ඔහුගේ බිරිය ද දරුවන් තිදෙනාද එම වස වර්ගයම පානය කර සිය දිවි නසා ගත්හ. ඉන් දිනකට පසු අම්බලන්ගොඩ තරුණයකු උග්‍ර විසක් පානය කර දිවි නසා ගත්තේය. මේ තරුණයා ආගමික දේශක රුවන් ප්‍රසන්නගේ ගෝලයෙකි. සරසවියට මෙවර තේරුණු සිසුවියක ද එදිනම සිය දිවි නසා ගත්තාය. ඒ ද වස බීමෙනි. පොලිසිය කියන පරිදි දේශකයා ද ඇතුළු හත් දෙනෙක් මේ වනවිට වස බී මියගොස් ඇත.
සමහර මිනිස්සු මෝඩකමට මිනී මරති. තවත් සමහර මිනිස්සු මෝඩකමට සිය දිවි නසා ගනිති. මනෝ විද්‍යාඥයන් විසින් දක්වන පරිදි සිය දිවි නසාගැනීමේ අවස්ථා හෙවත් ස්වරූප හතරක් තිබේ. ඉන් පළමුවැන්න ආත්මාර්ථයයි. තමන් මිය ගියහොත් දිව්‍ය ලෝකයේ ඉපදීම, ධන සම්පත් ලැබීම යනාදිය ආත්මාර්ථකාමය පෙරටු කරගත් සියදිවි නසා ගැනීම් වේ. දෙවනුව පරාර්ථය උදෙසා ද මිනිස්සු සිය දිවි නසා ගනිති. බිරියට සහ දරුවන්ට ඉන්ෂුවරන්ස් සල්ලි ලබාදීම පිණිස ගඟේ පැන මිය යන ස්වාමි පුරුෂයා මේ සැම්පලයේ සිය දිවි නසා ගැනීමකි. අතිචාරි යනුවෙන් ද සිය දිවි නසා ගැනීමේ ස්වරූපයක් තිබේ. එසේ සිය දිවි නසා ගන්නා තැනැත්තා නිතරම සිතන්නේ තමන් මේ සමාජයට නොගැළපෙන බවය. තමා වටේ සිටින අය තමාට හිනා වෙතැයි ඔහු කල්පනා කරයි. එසේම තමන් සමාජයට කරදරයක් බව ද ඔහු සිතයි. මේ නිසා මේ ලෝකයෙන් නික්ම යාම වඩා සුදුසු බව කල්පනා කරන හෙතෙම එක්කෝ කෝච්චියට පනියි. නැත්නම් ලියුමක් ලියා තබා එල්ලෙයි. වස බොති.
ඊළඟට මාරාන්තික සිය දිවි නසා ගැනීම යනුවෙන් ද ස්වරූපයක් තිබේ. මරාගෙන මැරෙන බෝම්බකාරයා මීට උදාහරණයක් ලෙස දැක්විය හැකිය. කිසියම් අරමුණක් සඳහා විනාශයක් සිදු කරන ඔහු එසේ කරන්නේ එමඟින් තමන් ද මිය යන්නේ නම් ඊට ද හිත හදාගෙනය. මරාගෙන මැරෙන බෝම්බකාරයා මේ ගණයට ගත හැකිය. ආර්. ප්‍රේමදාස ඝාතනය කළ බාබු මෙවැන්නෙකි. මොහොමඩ් සහරාන් ඇතුළු මිය ගිය පාස්කු බෝම්බකාරයන් සියලුදෙනා ද මේ වර්ගයට දැමිය හැකිය. එසේ නම් අපේ ධර්ම දේශක රුවන් ප්‍රසන්න අයත් වන්නේ කවර වර්ගයට ද? අපේ හැඟීම නම් ඔහු ආත්මාර්ථය වෙනුවෙන් සිය දිවි නසාගත් බවය. ඔහු නිතරම අනිත්‍ය දේශනා කළ කෙනෙකි. මේ ලෝකයේ ජීවත් වීමෙන් වැඩක් නැති බව ද ඔහු කීවේය. එහි යටි අදහස වන්නේ පරලෝකයක ජීවත්වීම යහපත් බවය. මෙසේ කියා රුවන් ප්‍රසන්න කවදාවත් අපායට යාමට හිතන්නේ නැත. ඔහු තෝරා ගන්නේ ගමරාල අලි නැට්ටේ එල්ලී යාමට තීරණය කළ ගමනාන්තයයි.
අප දන්නා පරිදි සිය දිවි නසා ගැනීම බලවත් පාපයකි. එය ප්‍රාණගාත අකුසලය හා සමානය. එබැවින් රුවන් ප්‍රසන්න යන්නේ අපායටය. සිය දිවි නසා ගැනීමට තැත්කර ජීවිතය බේරුණු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් ඉස්සර මේ රටේ තිබිණි. එහෙත් මීට අවුරුදු ගණනාවකට පෙර එසේ කිරීම නවත්වන ලදී. මිය යාමට හිතාගෙන වහලේ ලණුවක් ගැට ගසා එල්ලෙන එකා කඹයත් කඩාගෙන බිම වැටෙන අවස්ථා තිබේ. එවිට පස්ස බිම ඇනීම නිසා ඇතැම් විට ඔහුගේ කොන්ද ද කැඩේ. එවිට තවදුරටත් නීතියෙන් දඬුවම් දිය නොහැකිය. ඔහුට හෝ ඇයට නීතියෙන් දඬුවමක් දෙතොත් එය සමාන වනුයේ සිය දිවි නසා ගැනීමකටය. කෙසේ වුව ද මේ රටේ තිබෙන ආගමික ව්‍යාපාර සහ ධර්ම දේශකයන් ගැන ආණ්ඩුව කල්පනාවෙන් සිටිය යුතුය. මන්ද පියාඹන පීරිසියක නැඟී දෙව්ලොව යාමට ප්‍රිය කරන ගමරාලලා මේ සමාජයේ විශාල වශයෙන් ජීවත් වීමය.