රට ගැන සිතමු
රට වැටිලා කුස ගිනි ඇවිලෙන කාලේ
මැතිවරණයක් තැබුමෙන් ඇති කිමද පලේ
දැන් ඩිංගක් හිස ඔසවනු හදන වෙලේ
දුන්නොත් සහය එක්වී හොඳ නොවෙද බොලේ
මුඩුබිම් සියල්ලම ගොවිතැන් බත් කරමු
කර්මාන්ත නැංවීමට වෙර දරමු
පටු බලවේගයන් නිරතුරු පිටු දකිමු
සියලුම පක්ෂයන් එකතුව රට හදමු
වර්ජන අරගලෙන් ඵල නොව සැමට
ජාතිය ගැන සිතා රට ගත යුතු උඩට
සත්තට ඔබම ඔබ ගැන එකඟව සිතට
යනු හැක සැමට තිර සුබ ගමනක් පෙරට
චම්පා ගුණසේකර
සිතිවිල්ලක්
මඳ පවන් රැළි හෙමින් ඇවිදින්
ඔහෙ ඔහේ දැවටුණාවේ
වනය රත්සර ළහිරු කිරණින්
නැහැවිලා ඉපදුණාවේ
කැදලි තනනා විහඟ රංචුව
රිසිව දොඩමලු වුණාවේ
ගල් පරයෙ හැපි හැපී නදියත්
පෙණ නංවමින් ගියාවේ
ඒ. එච්. චම්පිකා ජයමිණි
රිදුම් පිරි ඇගේ හදවත
කුටුම්බයෙ කොටුවුණ
මහද
රිදුම් පිරි
කටු අකුලක දැවටුණ
සිනිඳු සළුවක් මෙනි…
නුඹ විඳින
රළු වදන්
සැඬ පවන් වැද
කටු තුඩු මතම තෙරපෙන…
විලිස්සන විට මධු විතක උමතුව
කොනිත්තන විට වැහි කෝඩ හීගතුව
වෙළි වෙළී …
රැයක – පහසක
බොරපාට දෑසින් පිරිමැද
මුදු ළමැදෙ මුළු සිරුරෙ
සිලි – සිලියෙ තවරන
රස වදන් වැල්වල මල් සුවඳ
එසැණම වියැකෙන
පුංචි වැහි බිඳු මෙනි
ඝනදුරක නිවි – නිවී දැල් වෙන
කදෝකිමි වැනි එළි මෙනි
ලාල් කළුතරගේ
මේ ඇරඹුමයි
තබා සිත අට ලෝ දමින් හිමි කෙරුණු දෙය
මතකයන් ඉගිල්ලෙයි ගෙවී යන කාලයේ
නොනගතය අහවරව සුබ නැකත් වඩින තුරු
බලා ඉන්නට වේවි! ආයෙමත් මුල සිටම
කුංච නාදය නඟන්නට අමතකව ගියද
සුදු නෙළුම් මලකුත් පිපුණා ද සොඬ අඟින්
එවන් සිහිනයක් නුදුටුව ද අලුයම ගෙනෙන
සිත තුළ නිදයි රජ කුමරු කවි පද කිරුළ තනන
නෙතුවල ගැටෙන සඳ එවන් හමුවක අසිරි
දලු කොළ මල් පිපෙයි අංකුරය මෝදු වී
විස්සයි විසි හතරටත් ආ වඩන්නට
පන්හිඳ කළඑළි බසියි ලොව දකින්නට
දයා ඩී. වන්නිනායක
පියාණෙනි
කටු අකුල් ගිරි දුර්ග ගහන වු මාවතේ
ඉදිරියට ඇදෙන හැටි කියා දී මා වෙතේ
දිව බොජුන් නැති වුණත් කිසිදාක හාමතේ
තැබුවෙ නැහැ අපටමයි කැප කළේ ජීවිතේ
ළය පුරා දරාගෙන අපිරිමිත දරු සෙනේ
මා රැගෙන මුල් වරට පාසලට ගිය දිනේ
සිහිනයක් මෙන් අදත් ඒ දිනය මට පෙනේ
එවන් හැම මොහොතෙ ඔබෙ සුවඳ මට දැනේ
කුඩා කල මා ඇඳපු සිතුවමක් තෙළි තුඩින්
දුටුව විට අඩු පාඩු කියාදී සෙනෙහසින්
පෑ දයා ගුණය අද ගිලිහිලා මා ළඟින්
ඔබ සිහිව ගලනවා උණු කඳුළු නෙත් අගින්
පාලිත ගුණසිංහ
සිතුවම
අතට ගෙන පොඩි පින්සලක්
නිවා ගන්න ලොකු ගිනි කඳක්
යළි නොඑන බව දැන දැනත්
ඇන්දා එහි ඔබෙ සිතුවමක්
සිටියෙ ඔබ අතැතිව මලක්
සමඟ මුවගෙනි හසරැල්ලක්
ඉබේ ඇඳි ඒ සිතුවමක්
කළා මගෙ හද අළු ගොඩක්
එම්.එල්.පී. ඉඳුමිණි හේරත්
ඒඩ්ස්
ආලය ආදරය සෙනෙහස පිරුණු සිත
මානව දිවිය සතුටට පත් කරනු ඇත
කාමය රතිය හා රාගය ඇලුණු සිත
රෝගය ඒඩ්ස් වැලඳී දුක් විඳිනු ඇත
ලයනල් ගමගේ
රළ පෙරළිය සුනාමිය
සුනාමිය ඇවිත් මේ මස විසි හයට
දහනව වසරක්ම ගතවී ඇති කලට
මියැදුණ අතුරුදන් පිරිසගෙ නාමයට
සොව පළකරමු සිත තුළ ඇතිවන දුකට
කැලඹිලි ගතිය ඇතිවීමෙන් මුහුද යට
රළ ඉහළට ගොසින් ඇවිදින් ගොඩබිමට
වතුපිටි ගෙවල් දොරවල් සුනුවිසුනු කොට
ජීවිත පවා නැති විය අයියෝ අපට
කෙතරම් බලවත්ද කිවහොත් සුනාමිය
දුම්රිය පෙරළුවා මාතර බලා ගිය
සිහිපත් වෙලා මගියන්ගේ විලාපය
කම්පා වෙනව අදටත් ගම පැරෑලිය
නන්දවීර ගාල්ලගේ
නියඟලා
නෙළා ගන්නට නොහැකි තැන්වලම හුදෙකලා
බලා ඉන්නට පමණි මල් පිපුණෙ හිනැහිලා
කළා වුව රැඟුම් යන ගමනෙදී නැළවිලා
ගලා යන ගඟක් සිටියාද මඟ නැවතිලා
හලා හල විස අලය පොළොව යට සඟවලා
මළා මුත් බලා රස මුලා වී පෙරළලා
වෙළා ගත් නෙත ගැඹුරු දැක්ම නැති හුදකලා
කලා රස අඩුවෙලා ඇත්ද මල නියඟලා
මල්කා රත්නතුංග
අමර මතක
කවියට හිතේ හැමදා තිබූ කැමැත්තට
පද බැඳි හතර පද යැව්වා දිනමිණට
අමරේ පෙළ ගහන කවි පිටුවේ අගට
මගෙ කවි පෙළක් තිබුණා සමහර දිනට
අසූ ගණන්වල ‘දිනමිණ’ පුවත් පත
කවියට දීපු තැන හරි ඉහළින්ම ඇත
කවි රස බෙදාගෙන පාඨක දනන් වෙත
සතියට දින දෙකක් කවි වැරදුනේ නැත
අමරේ එදා ඔබ අප හට අත දුන්න
සමරමි සදා පුදනෙමි මේ මල් ගොන්න
රසවන්තයෙකි ඔබ හිත හරි සුපසන්න
තව එක වරක් අප අතරේ ඉපදෙන්න
ගාමිණී චන්ද්‍රසේන
දෙකම එකට
හමුවීම
වෙන්වීම
දෙකම
හමුවීම
තුළම
කේ. ඩබ්ලිව්. සිරිසේන
කඳුළු
කළු පැහැයෙන්
උපැස් යුවළකට
යටවුණු,
හඬන ගින්දරේ,
කරකැවෙන
රතු පැහැයේ,
අත, කර, කන
කඳුළු කැට…
කීර්ති කපුවත්ත
සබඳ
මේ විසල්
ලොවෙහි මට
ඔබ උතුම් මිනිසෙකිය
සියලු දෑ
වෙනස් විය
ඔබ තවම නොවෙනස්ය
පෙර ලෙසම ළෙන්ගතුය
සබඳ ඔබෙ
මිතුරු හද
ළබැඳි ඔබෙ
මිතුරුදම
මට මහඟු සවියක්ය
ශ්‍රීමතී කුමාරි ජයකොඩි
ඇබෑර්තු නැත
අඩසිය වසක්
වින්දා දුක්
ගොඩක්
දන්නා අය ඉන්නවා
හුඟක්
ඒ අය දුන්නෙ නෑ
ඉඩක්
සමන් සුරවීර ආරච්චි
හුදෙකලා වී මගේ ලොවේ
මල් කිනිති දුරුත්තට පිනි අගින් තෙමෙද්දී
තැබු සිහින මන්දිර හදවතේ බිඳෙද්දී
ඇති නැති පරතරය මහ ඉහළින් දැනෙත්දී
අවසරයි නික්මෙන්න නුඹේ සිත් පුරවරෙන්
අපේ කතා බහ ඉර හඳ තරු යට දැනෙන්දී
බැඳි සෙනෙහස හදවතේ ගැඹුරුම තැන රැඳෙද්දී
මා යා යුතුයි දැනුම දෙන්නට දැයේ දුවා දරුවන්ට
ජීවිතය සිනාසෙයි මතුදාක වසන්තය උදාවී
නුඹ හුදෙකලා වී ලෝකයේ මා සොයද්දී
නැඟෙයි අපගේ මතක සටහන් හදවතේ ශේෂ වී
සොයා එන්න අනාගතය වෙත වර්තමානය දිගේ
හිඳින් නම් නුඹ එනතුරා හුදෙකලා වී මගෙ ලොවේ
අසංක දේවේන්ද්‍ර
සොහොන්පල්ලාගේ සිත
රාත්‍රිය බියකරුය මා හට
තිගැස්මක් කැලඹේය සිත තුළ
ඇඟිලි ගනිමින් එළිවෙනා තුරු
නොනින්දේ පසු වේය මා සිත
කැලඹි සිතකින් කරන මුරයද
විටෙක සිතුනත් අත් හැරීමට
කරන රැකියා පසුව මා හට
සිතා ගන්නට නොහැකි වී ඇත
සවස මෙහි ආ මඟුල් පෙරහැර
නිරන්තර සිහි වේය මා හට
සසරෙ බියකරු බවද දැන් මට
ටිකෙන් ටික වැටහේය කදිමට
බී.එම්.ඒ. සඳුනි කල්පනි
ළඳුනි නුඹ කවුද?
තම්බපණ්ණියට ආ රුවකට තුටුව
පරවේණිය රටේ නොරටුන් වෙත පිදුව
කිරුළක් අහිමි දරුවන් දෙදෙනෙකු වැදුව
කුවේණිය නුඹද ළඳුනේ ලක වික්‍රම
රැ මැදියමේ රහසින් පෙම් දිව ඔසුව
දිව ගෑ කතාවක් ඇත – රූපෙට හසුව
දරුවන් ලැබු තව තව පණ්ඩුට පසුව
චිත්‍රා නුඹද එක්ටැඹ තුළ සිර කෙරුව
තහනම් පෙමක් අබියසදී හිස පිදුව
දස්කොන් කතාවක ඇත ඉතිහස දිගුව
දරුවන් සිටි – නොසිටි කිසිවක වග නැතිව
නුඹමද ළඳුනි ප්රමිලාවෝ මෙහි විසුව
රජ කුල මැදුරු සිරි යහනුන් පිටු දුටුව
සිය හිමියන්ගේ ගුටි බැට කෑ අඩු නැතුව
මරණය ළඟදි වුව ළය පා රැකි පුතුව
අම්මාවරු නුඹය – වැළලුණු ලොව දිගුව
ගාමිණි මද්දුමගේ