මේ දිනවල ඉහළම මිලක් සහිත එළවළුව බවට වාර්තා තබා ඇත්තේ කැරට් ය.
නුවරඑළියේ මහා පරිමාණයෙන් වගා කළ ගොවීන් හතර පස් දෙනකු ළඟ පමණක් ඇතැයි කියැවෙන කැරට් ඒ ගොවි බිම්වලින්ම ගලවන්නේ අයිතිකරුවා නියම කරන මිල ගණන්වලට යැයි, මැනිං වෙළෙඳපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක නියෝජිතයන් පවසයි. ඒවා බොහොමයක් ගොවිබිම්වලටම ගොස් ගොවීන්ගේ මිලට ලබා ගන්නේ හෝටල්වල සඳහා කලින් ඇණවුම් ලබා ගත් සැපයුම්කරුවන්ය. ඇතැමුන් අතරමැදියන් ය. සැපයුම් දාමයේ සබඳතා කඩා ගන්නට නොහැකි නිසා ඔවුන් ගොවියාගේ මිලට රැගෙන, පාඩු පිට වුව ද පෙර පොරොන්දු වූ මුදලට සැපයීම සිදු කරන නමුත්, එය එතරම් හොඳ වැඩක් නොවන බව වෙළෙඳ හා ආර්ථික මධ්‍යස්ථාන නියෝජිතයන් පවසයි.
කෙසේ වෙතත්, සිකුරාදා උදෑසන වන විට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කිලෝව රුපියල් 1,800 දක්වා ගිය කැරට් මිලදී ගැනීම තොග වෙළෙඳුන් බහුතරය ප්‍රතික්ෂේප කළ බව ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබිණි.
සිකුරාදා උදෑසන වන විට, නුවරඑළිය ඇතුළු බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල එළවළුවල තොග මිලේ යම් වෙනසක් දක්නට ලැබිණි.
ඒ අනුව නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ආ කැරට් මිල රුපියල් 1050/- සිට 1200/- දක්වාත්, ගෝවා රුපියල් 560/-ක්, ලීක්ස් රුපියල් 400ක් සහ අර්තාපල් රුපියල් 320/- දක්වාත් තොග මිල සේ සටහන් වී තිබිණි.
ඊට සමගාමීව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ සිකුරාදා දිනය වන විට කැරට් කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 1,000- 1,700ත් අතරය. බෝංචි රුපියල් 700, ගෝවා රුපියල් 600, ලීක්ස් 400- 450, මෑ කරල් රුපියල් 400, බීට්රූට් රුපියල් 800, තක්කාලි රුපියල් 300, මාළු මිරිස් රුපියල් 900ක් සහ අමු මිරිස් රුපියල් 800ක් ලෙස තොග මිල සටහන් වී තිබිණි.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සිකුරාදා රුපියල් 900ට අලෙවි වූයේ මාරස්සන සිට පැමිණි කුඩා කැරට් ය. නුවරඑළියේ සිට පැමිණි කැරට් රුපියල් 1,800 ක් මිල විය. බෝංචි කිලෝවක තොග මිල රුපියල් 500-800 දක්වාත්, ගෝවා රුපියල් 600-700 දක්වාත් මිල විය.
ඛේදවාචකය නම්, අවසන් පාරිභෝගිකයා මිලදී ගන්නා සිල්ලර වෙළෙඳපොළට මේවා පැමිණෙන්නේ, දෙගුණයකටත් වඩා ඉහළ මිලකට වීමය. එහෙයින් එළවළු ග්‍රෑම් 250ක් ගෙදර ගෙනියනවා යන්න තවමත් බොහෝ පවුල්වලට සිහිනයක්ව ඇත්තේ ය.
පහුගිය මාස කිහිපයේ රට පුරා ඇද හැලුණු අධික වර්ෂාපතනයෙන් වගා බිම් සියල්ලම පාහේ විනාශ වී යාම, එළවළු මිල ගණන් ඉහළ යාමට බලපෑ ප්‍රබල හේතුව විය.
කොළඹ මැනිං පොදු වෙළඳපොළ සංගමයේ සභාපති එච්. එම්. උපසේන මහතා පැවසූයේ ලබන අප්‍රේල් 20 වැනිදා පමණ වන තෙක් මේ තත්ත්වය පවතිනු ඇති බවයි.
” විශේෂයෙන් ඇතැම් ගොවීන් මේ වන විට පස් හය වතාවක් පමණ එළවළු බීජ වගා කළත් ඒ සියල්ලම වැස්සට හසු වී කුණු වී ගියා.
දැනට වෙළෙඳපොළට ලැබෙන එළවළු ප්‍රමාණය රටේ සමස්ත එළවළු අවශ්‍යතාවට කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ මිල ඉහළ යාමට අතරමැදියන් විසින් සිදු කරන බලපෑම් ද හේතු වී තිබෙනවා. මෙවැනි මිල ඉහළ යාමක් සිද්ධ වුණේ මැනිං මාකට් ඉතිහාසයේත් පළමු වතාවටයි.
අධික වර්ෂාව පැවති ප්‍රදේශවල තවමත් ඒ සමහර වගා බිම්වල උල් දිය මතු වෙලා. වගාවක් කරන්න සුදුසු පොළොවක් තවමත් ඒ පළාත්වල නැහැ. වතුර බැස ගිය සමහර පළාත්වල නම්, ගොවි මහත්වරු මහපොළොව සූදානම් කරනවා.
කොහොම කළත් බීජයක් පොළොවට වැටී පැළ වෙන්න යම්කිසි කාලයක් ගත වනවා. බෝංචි සහ මෑ කරල් නම්, දින 50-60ක්, කැරට් දින 100-110ක්, ගෝවා දින 90ක්, නෝකෝල් දින 80ක් ආදී වශයෙන් යම් කාලයක් ගත වනවා. ස්වාභාවික විපතක් එක්ක හැප්පෙමින් වුවත් අපේ ගොවීන් උත්සාහය අත්හැර නැහැ.
නමුත් මේ වෙලාවේ අසාධාරණ ලෙස ගොවිපළෙන්ම රුපියල් 2000ට කැරට් අලෙවි කරන එක ස්වභාවික වෙළෙඳාමක් නෙමෙයි. අපි මේ තත්ත්වය අනුමත කරන්නේ නැහැ. මේ වෙලාවේ ගොවියා මිල තීරණය කරන තැනට ඇවිත්. දැන් නුවරඑළිය පැත්තෙත් කැරට් ගොවිපලෙන් කෙලින්ම හෝටල්වලට යන නිසා ගෝනි 25ක් වත් මැනිං වෙළෙඳපොළට එන්නේ නැහැ. අනෙක් එළවළු වුණත් තවම සුළු ප්‍රමාණ වශයෙන් තමයි මැනිං වෙළෙඳපොළට එන්නේ.
ආයේ වැස්සක් ආවොත් රටක් හැටියට අපි මොකද කරන්නේ. මේ වෙනකොට කෘෂිකර්ම අමාත්‍යවරයා ප්රමුඛ රාජ්‍ය නිලධාරීන් අදාළ ගොවි සංවිධාන සහ කණ්ඩායම් එක සාකච්ඡා කර මේ සඳහා නව තාක්ෂණය භාවිතයෙන්ම යම් වැඩපිළිවෙළක් සකස් කරගත යුතුයි. දැන් පොඩි වැස්සත් අල්ලා හිටිනවා ගොවිබිම් යට වෙනවා. තව දුරටත් සාම්ප්‍රදායික ක්රමවලම එල්බ ගෙන කෘෂි කර්මාන්තය පවත්වාගෙන යන්නට බැහැ. මේ පිළිබඳ දැනුම ඇති රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් රට තුළ සිටිනවා. ඔවුන් දැන්වත් නිදා නොසිට ක්‍රියාත්මක විය යුතුයි.
මේ සඳහා මේ මොහොතේ කළ යුතු හොඳම දේ තමයි, රජය මැදිහත් වී බී ලූනු ටික හරි සාධාරණ මිලකට ජනතාවට දෙන්න ක්‍රමයක් හදන එක. ලුණු මිරිසක් තලාගෙනවත් බත් ටිකක් කන්න, කිසිම ආකාරයකින් ජනතාවට පුළුවන්කමක් නැහැ…”
නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරිත්වය මේ පිළිබඳව පවසා සිටියේ මෙවැනි අදහසකි.
” මේ පළාතේ තවමත් කැරට් වගාව ඉතිරිව තිබෙන්නේ මහා පරිමාණයෙන් වගා කළ හතර පස් දෙනකු ළඟ පමණයි. මේ වෙලාවේ ඒවායේ මිල තීරණය කරන්නේ ඔවුන්. කුඩා පරිමාණ කැරට් ගොවීන් කිසිවකු ළඟ දැන් කැරට් නැහැ. වර්ෂාවට මුහුණ දෙමින්, නිතර බෙහෙත් ගහමින්, විශාල කැපවීමක් දරා ඔවුන්ට එය රැක ගන්නට බැරිවුණා. ඔවුන්ගේ අස්වනු වතුරට යට වී විනාශ වී ගියා. තව සමහරු ගෙඩිය ලොකු වෙන්නත් කලින් මේ වෙලාවේ මිල හොඳ නිසා, කැරට් කුඩා වුවත් ගලවනවා.
ගෝවාවලටත් සිද්ධ වුණේ මේ දේමයි. ගෝවාත් වැස්සට හසු වුණාම කොළ කුණු වෙනවා. ගෙඩි හැදෙන්නේ නැහැ. ලෙඩ අල්ලනවා. ලීක්ස් විතරයි ටිකක් හරි වැස්සට ඔරොත්තු දෙන්නේ.
කොහොම වුණත් ආර්ථික මධ්‍යස්ථානයෙන් අරගෙන කොළඹට යන කල් එළවළු සැපයුම් ජාලය තුළ ප්‍රවාහන වියදම්, අතරමැදියන්ගේ ගාස්තු ඇතුළු ලොකු වියදමක් තිබෙනවා. ඒ කියන්නේ, Handling Cost එක වැඩියි. ඒ නිසා මිල ඉහළ යෑම වළක්වන්නත් බැහැ. ආර්ථික මධ්‍යස්ථානයට එන්නේ නැතිව, ගොවි බිමෙන් සෘජුවම ලොරි හරහා කොළඹ යවන අතරමැදියන්ගේ ක්‍රියාවලියේදී ත් එහෙමයි.
ඒ වගේමයි කම්කරු කුලියත්. රුපියල් 1,500ට තිබූ කම්කරු කුලිය මේ මොහොතේ රුපියල් 3,000 වෙලා. ඊළඟට කැරට් වැනි එළවළු අසුරන දැල් බෑග් එක, ගෝනිය, ලොරි කුලිය මේ හැමදේම මිල ඉහළ ගිහින්. කවුරු කොහොම කිව්වත් ගොවි බිමේ සිට පාරිභෝගිකයාගේ අතට එළවළු ටික පත් කරන තුරු ක්‍රියාවලියේ විශාල වියදමක් ගොඩ නැඟී තිබෙනවා. ඒ සියල්ලේ බර අවසානයේ යන්නේ පාරිභෝගිකයාට…”
මේ පිළිබඳ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වැඩ බලන අතිරේක අධ්යක්ෂ, ආචාර්ය සමන්ත පල්ලියගුරු පවසා සිටියේ මෙවැනි අදහසකි.
” සාමාන්‍යයෙන් නුවරඑළියේ විතරයි හැඩරුවෙන් ලස්සන කැරට් හැදෙන්නේ. ඊළඟට යාපනේ තමයි ටිකක් හරි හැදෙන්නේ. බීට්රූට් වුණත් කොළ ටික ලස්සනට ගෙඩිය හොඳ රතු පාටට හැදෙන්නේ නුවරඑළියේ. කොහොමටත් වැඩි මිලක් ලැබෙන්නේ නුවරඑළියෙන් එන එවැනි එළවළුවලට. කුරුණෑගල මැල්සිරිපුර සහ පුත්තලමෙන් එන බීට්රූට් කැපුවම සුදු පැහැයක් මිශ්‍ර වී තිබෙනවා. මේ වෙලාවේ කොයි පළාතෙන් එන එළවළුවේත් අස්වනු නැති තරම්.
Greenhouse හෝ Poly Tunnel නව තාක්ෂණය, වැස්සෙන් විනාශ වන සමහර වගාවන් සඳහා හොඳ විසඳුමක් වුවත්, එවැනි ක්‍රමවේදයන්ට යෑම සඳහා විශාල මූලික වියදමක් දරන්නට ලංකාවේ ගොවීන් බහුතරයකට හැකියාවක් නැහැ. පුළුවන් අය වුවත්, එම තාක්ෂණය යොදා වගා කරන්නේ බෙල් පෙපර්, ගර්කින් වැනි වැඩි මිලක් උපයා ගත හැකි භෝග වර්ග අතළොස්සක් පමණයි.
කොහොම වුණත් දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙමින් නිතර වගා විනාශයන්ට ලක්වන රටක් විදියට කෘෂිකර්මාන්තයෙන් ඉදිරියට යෑම අසීරුයි. එම නිසා Protected Agriculture ක්‍රමවේදයන් පිළිබඳව දැන් රටක් ලෙස සිතා ක්‍රියාත්මක විය යුතුයි.
ආරක්ෂිත තොග පවත්වාගෙන යන්නට නම් කූල් රූම් පහසුකම් තිබිය යුතුයි. දඹුල්ලේ එවැනි ක්‍රමවේදයක් ආරම්භ කළත් ඒවා එතරම් සක්‍රීය වූයේ නැහැ. මොකද නැවත වෙළෙඳපොළට යැවීමේදී cool truck භාවිත කර ඒ නිශ්චිත උෂ්ණත්වයන් තුළ රඳවමින් ප්‍රවාහන කටයුතු සිදු කළ යුතුයි. මෙවැනි ප්‍රායෝගික ප්‍රශ්නවලට සාර්ථක පිළිතුරු නැතිකම නිසා එවැනි ව්‍යාපෘති අතරමග නතර වනවා.
ඒ වගේම එළවළු අස්වනු වැඩි කාලෙට විජලනය හොඳ ක්‍රමවේදයක් වුවත්, එයට අත ගැසූ බොහෝ අයත් දැන් ඒවා අත්හැර දමා තිබෙනවා. මොකද, විශාල විදුලි බිලකට මුහුණ පාන්නට සිදුව ඇති නිසා. මේ පිළිබඳ නිතර පර්යේෂණ කරන අය හැටියට අපිට කියන්නට තිබෙන්නේ, නව තාක්ෂණයට යෑම සඳහා බලය සහිත නිලධාරීන් දැන් ක්‍රියාත්මක විය යුතුයි කියන එකයි. නැත්නම් හැම වැස්සකදීම රටක් හැටියට අපිට මේ උග්‍ර එළවළු හිඟයකට මුහුණ දෙන්නට සිදු වනවා. එය රටටම බලපාන පෝෂණය පිළිබඳ ප්‍රශ්නයක්…”
මේ පිළිබඳ අදහස් දක්වමින් අලෙවි සහ කළමනාකරණ ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨයකු වන ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ද ප්‍රකාශ කර සිටියේ, වැස්සෙන් වන පීඩාවෙන් එළවළු අස්වනු රැක ගැනීමට නම් Greenhouse හෝ Poly Tunnel තාක්ෂණයට යෑම සඳහා රට තුළ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් විය යුතු බවයි.
ඉනෝකා පෙරේරා බණ්ඩාර