එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වූ අලංකාර පිතිහරඹයක් සහිත ක්‍රිකට් ක්‍රීඩකයකු සහ දෙස් විදෙස් කීර්තියට පත් ගුවන් නියමුවකු වේ නම් ඒ සුනිල් වෙත්තිමුණිය. සිය තරුණ වියේදීම භාවනාවට යොමු වී බුදු දහමේ ඉගැන්වීම් අනුව දැහැමි දිවිපෙවතක් ගතකරමින් සිටින මේ උදාර මිනිසාගේ කතා පුවත විස්මයජනකය. ක්‍රිකට් පිටියත්, ගුවන් තලයත් ජයගැනීමේ සතුටට වඩා භාවනාවට යොමුවීමෙන් අප්‍රමාණ වූ සතුටක් සහ සැහැල්ලුවක් භුක්ති විඳිමින් සිටින හෙතෙම සිය ජීවිත කාලය පුරා පස්වතාවක්ම මරණයේ දොරටුවට තට්ටු කර ආපසු ආවේය. මේ වන විට ජර්මනිය සිය වාසස්ථානය කරගත් සුනිල් වෙත්තිමුණි පසුගියදා කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ ‘සිළුමිණ‘ ඔහු සමඟ කතාබහට එක්වූයේ අතිශය වැදගත් කරුණු රැසක් හෙළිදරවු කර ගැනීමටය. මේ ලිපිය ඔහු ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ මාධ්‍ය සමඟ කතාබහ කරන අවසන් අවස්ථාව බව සඳහන් කරන ලෙස ඉල්ලා සිටි අතර, බොදු දහමේ ඉගැන්වීම්වලට අවධානය යොමු කරන ලෙස පාඨකයන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
1964 වසරේ සිට 1968 දක්වා කොළඹ ආනන්ද විදුහලේ පළමු පෙළ ක්‍රිකට් පිල නියෝජනය කළ සුනිල් වෙත්තිමුණි පසුව එස්එස්සී ක්‍රීඩා සමාජයේ නිත්‍ය ක්‍රීඩකයකු ලෙසත්, පසුකාලීනව එම කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කළ අතර, එවකට සිලෝන් පිල නියෝජනය කරමින් සිය පළමු ජාත්‍යන්තර තරගයට එක්වූයේ 1970 පෙබරවාරියේ එංගලන්තයේ එම්සීසී පිල ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුරදීය. අනතුරුව ඔහු 1974 දී අනුර තෙන්නකෝන්ගේ නායකත්වයෙන් පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම පිතිහරඹ තුරුම්පුව බවට පත්වූ අතර, 1975දී ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව සිය මංගල ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළේ ඇන්ඩි රොබට්ස්, බර්නාඩ් ජුලියන් සහ කීත් බෝයිස් වැනි වේගපන්දු යවන්නන් තුට්ටුවකවත් මායිම් නොකරමිනි. 1975 ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයේදි තුවාල ලබා පිටියෙන් ඉවත්වීමට පෙර සිය අර්ධ ශතකය සම්පූර්ණ කරමින් එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අර්ධ ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසත් වාර්තා පොතට එක්වූයේය.
සුනිල් වෙත්තිමුණි ගැන මෙරට තරුණ පරම්පරාව අසා ඇත්තේ කලක් ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි තරුව බවට පත්වී සිටි ආරම්භක පිතිකරු සිදත් වෙත්තිමුණිගේ වැඩිමල් සොහොයුරා හැටියටය. වැඩිහිටි පරපුර අතර ඔහු ප්‍රකට වූයේ 1975 වසරේ එංගලන්තයේ පැවැති මංගල එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයේදී එවකට ජාත්‍යන්තර පිතිකරුවන් භීතියට පත් කළ ඔස්ට්‍රේලියානු පිලේ ජෙෆ් තොම්සන්ගේ පන්දුවකින් තුවාල ලබා රෝහල්ගත වීමේ භීතිය දනවනසුලු සිදුවීම නිසාය. එහෙත් ඉන් ඔබ්බට ගිය තවත් තොරතුර රැසක් ඔහුගේ ජීවන අත්දැකීම් අතර වේ. ඔහු ඉතා නිහතමානීව ඒවා ‘සිළුමිණ‘ පාඨකයන් සමඟ බෙදා හදා ගැනීමට එක් වූයේ මෙලෙසිනි.
‘මේ හැම දෙයක්ම අපේ තාත්තා (රැම්සේ වෙත්තිමුණි) නිසයි. තාත්තාගේ බලපෑම අපේ පවුලේ සහෝදරයෝ හැමෝටම තිබුණා. ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙවෙයි මම දහමට, භාවනාවට නැඹුරු වෙන්නත් තාත්තා සාධකයක් බවට පත්වුණා. ඒ වගේම මට තිබුණා අත්දැකීම් රැසක්. කුඩා වියේ පාරේදි සයිකලයකට මාව යට වෙද්දී මට මුල් වතාවට දැනුණු මරණය ගැන බයත්, පසුකාලීනව මරණයේ අග්ගිස්සට ගිහින් අත්විඳීම් කිහිපයක්ම ලැබීමත් ජීවිතයේ අනිත්‍ය ගැන වඩ වඩාත් පසක් කරගන්න ඉවහල් වුණා කිව්වොත් හරි.‘ සුනිල් වෙත්තිමුණි කතාබහට එක්වූයේ එසේ කියමිනි.
‘සයිකලයට යට වුණා කියලා මට තුවාල වුණේ නෑ. ඒත් මරණ බය දැනුණා. මම මැරුණොත් කාටද කියන්නේ කියලා හිතුණා. මේ ප්‍රශ්නය මට දිගටම තිබුණා. ඒක තමයි මේ තාවකාලික ජීවිතය ගැන තවදුරටත් ගවේෂණය කරන්න මම පෙලඹුණේ. ඒ හා සමාන තව සිදුවිම් තියෙනවා. ඒ කාලයේ වතාවක් මම එස්එස්සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් එක්තරා තරගයකදී ශතකයක් රැස් කළා. අපි තරගය දිනුවා. සාමාන්‍යයෙන් තරගයක් ජය ගත්තට පස්සේ අනිත් හැම කණ්ඩායමක් වගේම අපි සතුටු වුණා. ප්‍රීතිය සැමරුවා. ඒත් ඊට පස්සේ මම ගෙදර ඇවිත් ඇඳේ වැතිරිලා විවේකය ගනිද්දී ඒ සතුට එක පාරටම නැති වෙලා ගියා. හරියට හුළං පිරුණු බැලූනයකින් එකපාරටම හුළං ගියා වගේ හැඟීමක් හිතට දැනුණා. මට පෙනුණේ මේක සදාකාලික සතුටක් නෙවෙයි කියලයි. ප්‍රමුඛත්වය දිය යුතු දේවල් නෙවෙයි කියලයි. සතුට, දුක එනවා යනවා කියලයි. ඒ වගේම වතාවක් මම කුරුණෑගල පිලට එරෙහිව ලකුණු 199කට දැවී ගිය මොහොතේ හිතට දැනුණෙත් ඒ වගේම හැඟීමක්. සාමාන්‍යයෙන් පිතිකරුවකුට මොනවද හිතෙන්නේ ඒ වගේ කඩඉමක් ආසන්නයේදී දැවී ගියාම. ලොකු දුකක්, කනගාටුවක් වගේම ඒ දුක, කනගාටුව සෑහෙන කාලයක් යනතුරු මතකයට වද දෙනවා නේද. ඒත් මට නම් ගොඩාක් සතුටු හිතුණා. ඇයි දන්නවද මම තේරුම් අරගෙනයි හිටියේ මේවා සදාකාලික දේවල් නෙවෙයි කියලා. මම එදා පිටියෙන් පිටතට ආවේ සිනහමුසුවයි. මම සතුටු වුණා ලකුණු 200ක් නොගහපු එකට. ඒක ඇත්තටම හරි අසාමාන්‍ය හැඟීමක්.‘ ඔහු එසේ කීවේ ද සිනහමුසුවය.
‘ඊළඟ අත්දැකීම තමයි මම ගුවන් නියමුවෙක් විදිහට පුහුණුව ලබද්දි ගුවනේ අතරමං වුණු සිදුවීම. ඒක සිද්ධ වුණේ 1968 විතර කාලයේදී. අපි පුහුණුව ලැබුවේ ‘ටයිගර් මොත්‘ කියන ඒ කාලේ ශ්‍රී ලංකාවේ ආධුනික ගුවන් නියමුවන් පුහුණු කිරීමේ කුඩා සැහැල්ලු ගුවන්යානය පදවාගෙන යද්දියි. තනි පුහුණුව ලබමින් මම එදා පියාසර කරමින් හිටියා. රත්නපුරයේ ඉහළ අහසේදී මම අතරමං වුණා. ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ කොහේද ඉන්නේ කියලාවත්. නිතරම ඉදිරියෙන් පෙනුණේ කඳු විතරයි. ඊළඟට ඝන වලාකුළු. මම දැනගෙන හිටියා ගුවන් යානය දැන් ගිහින් කන්දක හැප්පෙනවා කියලා. මට ඇඬුණා. මම දැන් කොහොමද තාත්තට කියන්නේ මට මොනවද වුණේ කියලා. ඉතින් මම කල්පනා කළා. මම බටහිර පැත්තට පියාසර කරනවා නම් කඳු දකින්න විදිහක් නෑ. සමතලා භූමියක් නේ දකින්න ඕනා. මම දැන් මැරෙන්නයි යන්නේ. මම ඇත්තටම ඇඬුවා. ඒ එක්කම මට හිතුණා මැරෙන්න කළින් තව එක වතාවක් හරි උත්සාහ කරලා බලන්න ඕනා කියලා. ඊළඟට මම වලාකුළු අතුරින් ගුවන් යානය පහළට ගෙන ගියා. කන්දක හැප්පෙනවා නම් හැප්පුණාවේ. නැත්තං නෑ. මට එහෙමයි හිතුණේ. අපිට පුහුණුවීම්වලදී යන්න තිබුණේ කොළඹ, රත්නපුර, ඊළඟට කොග්ගල එතැනින් ආපහු කොළඹට.
ඒක තමයි හැම ගුවන් නියමුවෙක්ම පුහුණුවීම්වලදී සිදු කළ යුතු ත්‍රිකෝණ ගමන් මාර්ගය. මම රත්නපුරය දක්වා පියාසර කරද්දී වලාකුළු පිරෙමිනුයි තිබුණේ. හරි නම් මම කළ යුතුව තිබුණේ වලාකුළු පිරුණු ගමන් ආපහු හැරිලා යන එකයි. මට වැරදුණේ එතැනයි. කොහොම හරි මම දිගටම ගියා. අන්තිමේදී මම හිටියේ කටුනායකට සැතපුම් 20ක් ඈතින්. මට දැනුණේ පුදුම සතුටක්. මම කෑගහපු හැටියට ඒක රටටම ඇහෙන්න ඇති කියලයි මට හිතුණේ. මම ඒ පැත්තෙන් ආපහු එද්දී මගේ අනිත් පුහුණු සගයන් විමතියට පත් වුණා. මම ඇයි ඒ පැත්තෙන් එන්නේ කියලා. මම එයාලට කතාව කිව්වා. ඒක තමයි මම පළමුවතාවට මරණයේ භීතියට පත්වුණු අවස්ථාව. තාත්තා නම් කිව්වේ ඒ අත්දැකීම මුදලටවත් ගන්න බෑ කියලයි. මෙන්න මේ වගේ දේවල් තමයි මාව භාවනාවට යොමු කෙරෙව්වේ. මැල්කම් මාෂල්ගේ පන්දුවක් වැදීම, ඊළඟට ජෙෆ් තොම්සන්ගේ පන්දුව, ඊටත් පස්සේ මගේ මෑත කාලයේ මාරාන්තික සැත්කම. වෛද්‍යවරු නම් කිව්වේ සුනිල් ඔබට මේ ගැන පොතක් වුණත් ලියන්න පුළුවන් කියලයි.‘ සුනිල් වෙත්තිමුණි මරණයේ පළමු අත්දැකීමේ තොරතුරු එසේ හෙළි කළේය.
එවකට ලෝක පූජිත පිතිකරුවන් පවා දණ ගැස්වූ බටහිර ඉන්දිය කොදෙව් පිලේ භයානකම වේග පන්දු යවන්නා ලෙස හඳුන්වනු ලැබූ මැල්කම් මාෂල්ගේ පන්දුවකින් ඔහු තුවාල ලැබුවේ ජෙෆ් තොම්සන්ගේ පන්දුවට තුවාල ලැබීමෙන් වසර 4කට පසුවය. 1979 පෙබරවාරියේ පී.සරවනමුත්තු පිටියේ පැවැති එම එක්දින තරගයේදී ඔහුගේ දකුණු කන අසල වැදුණු මාෂ්ල්ගේ බවුන්සර් පන්දුව ඔහු මොහොතකට පියවි ලෝකයෙන් ඉවතට ඇද දැමුවේය. තණතීරුවේ ඇද වැටුණු සුනිල් වෙත්තිමුණි පසුව කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කිරීමට ද පියවර ගෙන තිබිණි.
තරුණ වියේදිම දහමට සහ භාවනාවට යොමු වූ සුනිල් වෙත්තිමුණිට සැබැවින්ම මේ නිර්මල දර්ශනය පිළිබඳ වැඩිදුරටත් කතාබහ කිරීමට කණ්ඩායමේ කිසිවකු සිටියේ නැත. ඔහුට පන්නරය ලැබුණේ සිය පියාගේ අභාසය සහ නිවෙසේ පැතිර තිබූ බෞද්ධ පරිසරය මඟිනි.
‘බුදු දහමේ ඉගැන්වීම් තියුණුයි. ගාම්භීරයි. කවුද මේවා අධ්‍යයනය කරන්නේ. මම සූත්‍ර පිටකය සම්පූර්ණයෙන්ම කියවලා තියෙනවා. දැන් කියවන්නේ දෙවැනි වතාවටයි. මේ ඉගැන්වීම් ගැන අවබෝධ කරගන්නේ නැතුව මම මැරුණොත් මට මොකද වෙන්නේ? මට මේවා මඟ හැරුණොත් අවුරුදු දහස් ගණනාවකට ආයේ මනුස්ස ආත්මයක් ලබන්න බෑ කියලා මට අවබෝධයක් තියෙනවා. මහා පිනක් කරන්න ඕනා මනුස්ස ආත්මයක් ළඟා කරගන්න. ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙලා හිටපු කාලයේ මට කේන්ති නොගියාම නෙවෙයි. ඒක නැති වෙන්නේ මුල අරන් දැම්මොත් විතරයි. මම මුල අඩු කරලා විතරයි තියෙන්නේ. බෞද්ධ ප්‍රවණතා කාලෙන් කාලයට ඇති වෙනවා. ජනතාව අන්ධ වෙලා වඳිනවා. භෞතික දේවල් ගැන විතරයි හොයන්නේ. ධර්මයට මොකද වෙන්නේ අන්තිමට මිනිස්සුන්ගෙන් මඟ හැරෙනවා. වංචාව වැඩි වෙනවා. තණ්හාව වැඩි වෙනවා. භෞතික සම්පත් හොය හොයා දඟලනවා. වැඩි වැඩියෙන් හොයන්න හොයන්න වැඩි වැඩියෙන් අන්ධ වෙනවා. ඒක අවබෝධ කරගත්තු හාමුදුරුවරු පවා මම දන්න විදිහට දැන් නැහැ. ඉස්සර හිටියා මීතිරිගල ලොකු හාමුදුරුවෝ ඒ වගේ හාමුදුරු නමක්. ඒ වගේ හාමුදුරුවරු ආයේ බිහි වෙන්නේ නෑ. නිර්මල බොදු දර්ශනය දැන් දුර්ලභ වීගෙන යන දහමක් බවට පත් වෙලයි තියෙන්නේ. මගේ හිතේ නම් මේ වෙලාවේ තියෙන්නේ ඉතුරු පව් ටිකත් ගෙවලා දාලා ඉක්මනට යන්න‘ සුනිල් වෙත්තිමුණිට බෞද්ධ දර්ශනය පිළිබඳ ඇත්තේ පැහැදිලි අවබෝධයකි.
ක්‍රිකට් ක්‍රීඩකයකු සහ ගුවන් නියමුවකු ලෙස සියලු සැප සම්පත්, යස ඉසුරු සපිරි සුඛෝපභෝගී ජිවන රටාවක් ගෙවා දැමීමට හැම අතින්ම අවස්ථාව තිබුණ ද, සුනිල් වෙත්තිමුණි තෝරා ගත්තේ නිවනට මඟ ය.
‘මම ඇත්තටම ක්‍රිකට්වලින් අයින් වුණේ දහමට යොමු වුණු නිසාම නොවෙයි. මම තමයි ශ්‍රී ලංකාවේ පළමුවැනි ටෙස්ට් නායකයා වෙන්න හිටියේ. මොකද මම එතකොට අවුරුදු 25න් පහළ නායකයා වෙලා හිටියේ. බන්දුල වර්ණපුර මගේ උප නායකයා විදිහටයි හිටියේ. ඒත් අන්තිමට අපිට ටෙස්ට් තත්ත්වය ලැබෙන්න ඔන්න මෙන්න කියා තිබියදී මම විතරක් නෙවෙයි මයිකල් තිසේරා පවා ඉන්දැද්දී බන්දුල වර්ණපුර ජාතික කණ්ඩායමේ උපනායකත්වයට පත්වුණා. කාටහරි එහෙම කරන්න උවමනාවක් තියෙන්න ඇති. මයිකල් තිසේරා වතාවක් තේරීම් කමිටුවේ සභාපතිවරයා විදිහට කටයුතු කරද්දී මගෙන් ඇහුවා සුනිල් ඔයා දිගටම ක්‍රිකට් ගහනවද කියලා. ඒ වෙද්දී මම ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයේ ගුවන් නියමුවෙක් වෙන්න බලාපොරොත්තුවෙන් හිටියේ. මම ඒ ගැන තිසේරාට කිව්වා. මොකද එවකට ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාට මට කියලා තිබ්බා මට එයාර් ලංකා එකේ රස්සාව දෙන්න බෑ කියලා මම වැඩිපුර ක්‍රිකට් ගහනවා කියලා. ඒත් එයාම තමයි ඒ කාලයේ තරග නරඹන්න ආවම ශතකයක් ගහන්න පුළුවන්ද කියලා මගෙන් අහන්නේ. එදා තමයි මම තීරණය කළේ රට වෙනුවෙන් කවදාවත් අයේ ක්‍රිකට් පිත්ත අතට ගන්නේ නෑ කියලා. අන්තිමට මට ඒ මොහොතේ රැකියාව ලැබුණෙත් නෑ. ක්‍රිකට් ක්‍රීඩාවත් නැතිවුණා.‘ ඔහු එසේ කියන්නේ තරමක කළකිරීමකින් යුතුව මෙනි. එහෙත් ඔහු නම් කියන්නේ ක්‍රීඩාවෙන් ඉවත්වීම හෝ රට වෙනුවෙන් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට නොහැකි වීම පිළිබඳ කිසිදු කනගාටුවක් නැති බවය.
පසුකාලෙක තරුණ වියේදිම සුනිල් වෙත්තිමුණි භාවනාවට යොමු වීම ගැන ඔහුගෙන් විමසා සිටියේ ද ජේ.ආර්. මය. ඔහු සුනිල් සමඟ භාවනාව සහ බොදු දහම පිළිබඳ පැය 4ක් පුරා කතාබහක ද නිරත වී තිබිණි.
භාවනාවට සහ බොදු දහමට සමීප වූවද සුනිල් වෙත්තිමුණි කියන්නේ ඔහු අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් බෞද්ධාගම විෂය අසමත් වූ බවය.
‘මම ඕලෙවල්වලදී බෞද්ධාගම විෂය අසමත් වුණා. මට බය හිතුණා තාත්තාට රිපෝට් එක පෙන්වන්න. ඒත් තාත්තා සතුටු වුණා මම බෞද්ධාගම අසමත් වීම ගැන. තාත්තා කිව්වේ ඔයා දැන් දන්නවා ඔයා බෞද්ධාගම ගැන කිසිම දෙයක් දන්නේ නෑ කියලා. දැන් ඔයාට මුල ඉඳලා පටන් ගන්න පුළුවනි කියලා. එතැනින් තමයි මම ආරම්භය ගත්තේ. අපේ රටේ මිනිස්සු දහමට නැඹුරු නොවීමට ඒකත් එක හේතුවක්. මොකද එයාලා දන්නේ නෑ එයාලා බොදු දහම ගැන කිසිම දෙයක් දන්නේ නෑ කියලා.‘ ඔහු එසේ කීවේය.
ක්‍රීඩාවෙන් ඈත් වුවද, සුනිල් වෙත්තිමුණිගේ පැරැණි ක්‍රිකට් මතකය සහ ක්‍රීඩාවේ පරිනාමය ගැන ඇත්තේ ද ලොකු දැනුමකි. ටෙස්ට් ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව නොලැබුණ ද සුනිල් වෙත්තිමුණිගේ ක්‍රීඩා සමාජ වාර්තාවක් තවමත් නොනැසී පවතී. එවකට ඔහු එස්එස්සී පිලේ නායකත්වය දරමින් මෙරට ප්‍රධානතම තරගාවලි දෙකක් අඛණ්ඩව වසර තුනක්ම දිනා ගැනීමට සමත්වීම අදටත් වාර්තාවකි.
‘එස්එස්සී පිලේ මගේ නායකත්වයේ පළමු වසර තුනේදි මම සරා කුසලාන තුනක් දිනා දුන්නා. බ්‍රවුන්ස් කුසලාන තුනකුත් එක්ක ත්‍රිත්ව කුසලාන ද්විත්වයක් දිනා ගත්තා. ඇත්තටම හතරවැනි බ්‍රවුන්ස් කුසලානය අපිට අහිමිවුණේ මගේ අතින් තීරණාත්මක උඩ පන්දුවක් ගිලිහී ගිය නිසයි.‘
ඔහු කියන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම නායකයා ලෙස ඔහු දකින්නේ මයිකල් තිසේරා බවය. ඔහුගේ නායකත්වයේ ගුණාංග පිළිබඳ විස්තර කිරීමට ද සුනිල් වෙත්තිමුණි අමතක නොකළේය.
‘තිසේරාගෙන් පස්සේ බිහි වුණු හොඳම නායකයා අර්ජුන රණතුංගයි. නියම නායකයෙක්. ඒ ගුණාංග අර්ජුනට උපතින්ම පිහිටලා තිබුණා. ස්වභාවයෙන්ම සටන්කාමියි. පරිපූර්ණයි. එයා දැනගෙන හිටියා පිටියේදී ඊළඟට මොනවද කරන්න ඕන කියලා හරියටම. අපිට අර්ජුන වගේ නායකයෙක් මම හිතන්නේ නෑ ආපහු ලේසියෙන් හදාගන්න පුළුවන් වෙයි කියලා. වෙන නායකයෙක් මම දැකලා නෑ ඊට පස්සේ. මොකද අවංකව කියනවානම් මම දැන් ක්‍රිකට් බලන්නේ නෑ.‘ ඔහු පැවැසීය.
‘මම සිදත්ට කිව්වා මේ විස්සයි20 ක්‍රිකට් තමයි ක්‍රීඩාව විනාශ කළේ කියලා. දැන් ඒක ඔප්පු වෙලා තියෙනවා. බලන්න දැන් ටෙස්ට් තරගවලදී කොච්චර අඩු ලකුණු ගණනකට කණ්ඩායම් දැවී යනව ද කියලා. ඒ වගේම දැන් ක්‍රිකට්වල මහත්මාගුණයත් එහෙම පිටින්ම නැතිවෙලා ගිහින්. ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවක් විය යුතුමයි. ඒ ගැන මම ගොඩාක් කනගාටු වෙනවා. ඉස්සර මම ක්‍රීඩා කරන කාලයේ කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ගියාම පිටියෙන් ඉවත් නොවී විනිසුරුවරයා තීරණය දෙනකල් හිටියොත් එදාට මම ගෙදර ගිහින් ඉවරයි. තාත්තා අහනවා අවුට් කියලා දැන දැන ඇයි ඔබ විනිසුරුවරයා තීරණය දෙනකල් හිටියේ කියලා. මේ නිසාම ඒ කාලයේ මම ක්‍රීඩා කරද්දී විනිසුරුවරුන් ඒ වගේ කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබාදීමේ ආසන්නතම දැවී යාම්වලදී මම පිටියෙන් ඉවත් නොවුණොත් මම දැවී නොගිය ක්‍රීඩකයෙක් බවට සංඥා කරන්න පුරුදු වෙලා හිටියා. මොකද එයාලා දැනගෙනයි හිටියේ ඒක පිත්තේ ගැටුණු පන්දුවක් නම් මම නිසැකයෙන්ම විනිසුරු දෙස නොබලාම පිටියෙන් ඉවත් වෙනවාය කියලා. මේ තත්ත්වය, ගරුත්වය මට නිතැතින්ම තිබුණා. අනිත් කාරණාව තමයි ඒ කාලයේ ක්‍රීඩකයන්ගේ තිබුණු මහත්මා ගුණාංග. මට මතකයි එස්එස්සී පිලේ නායකයා විදිහට මම කටයුතු කරද්දී කණ්ඩායම තෝරා ගැනීමේ තේරීම් කමිටුව වුණෙත් අපිමයි. ඒ කියන්නේ නායකයා, උපනායකයා, ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වගේම ඩොනවන් ඇන්ඩ්‍රි තරගාවලියේ නායකයා හා ඩේලි නිවුස් තරගාවලියේ නායකයා කියන පස්දෙනා තමයි තේරීම් කමිටුවේ හිටියේ. සිදත් කණ්ඩායමට ආවම තේරීම්වලට ගෙන්වද්දී අර හතර දෙනාට ඔයාලගේ තීරණය සිදත්ට දැනුම් දෙන්න. තීරණය මොකක් වුණත් මම ඒක භාරගන්නවා කියලා මම එතැනින් නැඟිටලා ගියා. ඒත් තත්ත්පර 30කට විතර පස්සේ එයාලා මාව ආපහු ගෙන්වනවා සිදත්ව තෝරා ගත්තා කියලා. මම සිදත්ව තේරුවේ නෑ. ඒක එයාලාට භාර කළා. නැඟිටලා ගියා. බලපෑම් කළේ නෑ. අනිත් කාරණාව ඒ කාලේ එස්එස්සී එකේ නායකයා තේරීමේදී ‘වෝටිං‘ සිස්ටම් එකකට නොගිය එකම ක්‍රීඩා සමාජය තමයි එස්එස්සී ක්‍රීඩා සමාජය. හිටපු නායකයා එළියට යද්දී අලුත් නායකයාව තෝරන්නේ එයා තමයි. වතාවක් අනුර තෙන්නකෝන් අපේ ගෙදරට ආවා. එයා එතකොට එස්එස්සී නායකත්වයෙන් අයින් වෙන ගමන් හිටියේ. එයා මට කිව්වා සුනිල් ඊළඟ නායකයා විදිහට මම ඔයාව නම් කරනවා කියලා. මම කිව්වා මට භාර ගන්න බෑ. මොකද මෙවන් පීරිස් ඉන්නවා එයා මට වඩා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් කියලා. එතකොට අනුර කිව්වා නෑ මම මෙවන්ගෙන් ඇහුවා එයා කිව්වා සුනිල් තමයි සුදුසුම පුද්ගලයා කියලා. ඊට පස්සේ තමයි මම එස්එස්සී එකේ ලාබාලතම නායකයා විදිහට අවුරුදු 21න් නායකත්වයට පත්වුණේ. ඒ වගේ මහත්මා ගුණාංග සහිත ක්‍රීඩාවක තමයි අපි එදා නිරත වෙලා හිටියේ. ‘ සුනිල් වෙත්තිමුණි සඳහන් කරන්නේ එවකට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ක්‍රීඩකයන්ගේ උසස් ගුණාංග පිළිබඳවය.
‘ක්‍රීඩාවේ තාක්ෂණයෙන් පරිපූර්ණ පිතිකරු විදිහට මම අන්තිමට දැකපු පිතිකරු තමයි මහේල ජයවර්ධන. ඊට කළින් රෝයි ඩයස් හිටියා. ඒත් මම දන්නවා ඒ කාලේ හැමෝම කිව්වෙ මම තමයි වඩාත්ම අලංකාර පිතිහරඹයේ නිරත වන පිතිකරු කියලා. මම එස්එස්සී ගහන කාලයේ අවුට් වෙලා යද්දී ක්‍රීඩාලෝලීන් භාගයට භාගයක්ම පිටියෙන් නැඟිටලා යනවා. ඒ වගේම මයිකල් තිසේරා, රෝයි ඩයස් පවා එවැනි අලංකාර පිතිහරඹයේ නිරත වූ පිතිකරුවන් හැටියටයි මම දකින්නේ. අද ඒ තාක්ෂණය මම දකින්නේ නෑ. දැන් හැම පැත්තෙන්ම ක්‍රීඩාව උඩුයටිකුරු වෙලා. අලංකාර පිතිහරඹයක්, තාක්ෂණයක් මම දකින්නේ නෑ. ඒ විතරක් නෙවෙයි බලන්න දැන් තියෙන ක්‍රිකට් පිතිවල ඝනකම. ඔබ පවා එවැනි පිත්තක් අරන් පිටියට ගියොත් ඔබටත් පුළුවනි කැරකිලා යන්න පහර එල්ල කරන්න. ඒ නිසා තමයි දැන් කාලයේ ක්‍රිකට් වාර්තා එක්ක අපේ කාලයේ ක්‍රිකට් වාර්තා සම කරන්න බැරි. අපි සෙල්ලම් කළේ බරින් අඩු, ඝනකමින් අඩු ක්‍රිකට් පිතිවලින්. මේ වගේ ඝනකම තියෙන පිත්තක් ඒ කාලේ දුලිප් මෙන්ඩිස්ට තිබ්බා නම් එයා ගහපු ගැහිල්ලට පන්දුව තවම හොයන්න වෙනවා.‘ සුනිල් වෙත්තිමුණි අවසන් වශයෙන් එසේ කීවේය.
මේ වන විට 75 හැවිරිදි වියට පා තැබීමට ඔහුට ඉතිරිව ඇත්තේ තවත් 10ක, 12ක කාලයක් පමණි. ගුවන් නියමු වෘත්තියෙන් විශ්‍රාම ගෙන විවේක සුවයෙන් පසුවන සුනිල් වෙත්තිමුණිගේ දින චාර්යාව වැඩිපුර වෙන් කර ඇත්තේ භාවනාවට සහ සූත්‍ර පිටකය කියැවීමටය.
ඡායාරූප – සුලෝචන ගමගේ
ෆවුස් මොහොමඩ්