Home » තරු විවාහ යෝජනාව කළාම මම ඔහුව ගෙදරට හඳුන්වා දුන්නා

තරු විවාහ යෝජනාව කළාම මම ඔහුව ගෙදරට හඳුන්වා දුන්නා

by thanushika
January 27, 2024 12:30 am 0 comment

කලාත්මක කෘති බොහෝමයකට තම රංගන දායකත්වය ලබා දෙමින් සම්මාන ලැබු රංගන ශිල්පිනියක් වූ ඈ ගයනි ගිසන්තිකා. අරුන්දතී වේදිකා නාට්‍යයෙන් රංගනයට පන්නරය ගත් ඈ තනි තටුවෙන් පියාඹන්න. අම්මාවරුනේ වගේ නිර්මාණ ඔස්සේ තම හැකියාව පෙන්නුවත් ඈ දැන් විදෙස්ගත වෙලා කාලයක් වෙනවා. ලංකාවේ දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වූ සිනමා කෘති කිහිපයක හොඳම සංගීත අධ්‍යක්ෂකවරයාට හිමි සම්මාන ලබා ගත් ආචාර්ය තරුපති මුණසිංහගේ ආදරණීය බිරිඳ ඇයයි. ඈ පවුලේ තොරතුරු ගැනත් ඈ ගැනත් මේ විදිහට රසඳුන එක්ක කතාබහට එක් වුණා.

අලුත් අවුරුද්දේ අලුත් වැඩ එක්ක කාලේ ගත කරනවා ඇති නේද? කොහොමද ගයනි..?

අලුත් අවුරුද්දේ අලුත් වැඩකට කරන්න හිතාගෙන ඉන්නේ කවි පොතක් එළිදක්වන්න. මම ලියපු කවි ටිකක් තියෙනවා. ඒ වගේම තව කවි ලියමින් සිටිනවා. මගේ කවි පොත ඔස්ට්‍රේලියාවේ දී තමයි එළිදක්වන්න ඉන්නේ. දැන් මෙහේ හිතවතුන් ගොඩක් ඉන්නවා. කලින් ලියූ කවි පොත කලාකරුවන්, හිතවතුන් එක්ක ලංකාවේ එළිදැක්වුවා. පසුගිය අවුරුද්දේ පාසල් සහායක සම්බන්ධව කෝස් එකක් කළා. ඒ පැත්තෙන් පාසලක සේවය කරන්න පුළුවන්. ඒත් තවම මම ඊට සම්බන්ධ වුණේ නැහැ. ඒ වගේම අපි ජීවිතෙත් හොඳින් ගත කරනවා.

ඔස්ට්‍රේලියාවේ ගියාට තවම හිත තියෙන්නේ ලංකාවේ වගේ..?

කොහේ ගියත් කොහොම ජීවත් වුණත් අපේකම දැනෙන්නේ අපේ රටේදී තමයි . මම ආස ඇත්තටම ලංකාවේ ජීවත් වෙන්න. මම දන්න හා ආස කරන දේවල් කරන්න පුළුවන් ලංකාවේ නිසා. මෙහේ නිර්මාණය වෙන නාට්‍යක් සඳහාත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ගැන සාකච්ඡා කරමින් යනවා. ඒවට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා.

ඔබ තවම ලංකාවේ කියලා හිතන අයත් ඉන්නවා නේද ..?

ඇත්තටම මම ජීවත් වෙන්න ආස ලංකාවේ. 2007 අවුරුද්දේ තමයි මුලින්ම ඔස්ට්‍රේලියා එන්නේ. මෙහේ 2013 වෙනකල් ඉඳලා ආයෙමත් ලංකාවට යනවා. ඊට පස්සේ කොවිඩ් ප්‍රශ්න එක්ක 2021 නැවත ලංකාවේන් මෙහෙට එනවා. පුතාලා දෙන්නත් ලන්ඩන් විභාග සඳහා ලෑස්ති වුණේ. රෝයල් ඉන්ස්ට්‍රටියුට් එකට තමයි ඒ අවුරුද්ද ඔවුන් පාසල් ගියේ. එයාලගේ අධ්‍යාපනයට මූලිකත්වය දෙන්න ඕන. ඒ වගේම තරුපති ඒ දවස්වල වැඩ කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු විදිහට. එතැනත් ප්‍රශ්න ටිකක් මතු වුණා. ඒත් එක්කම මෙල්බන් විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්යවරයකු විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒකත් හොඳ අවස්ථාවක් කියලා හිතලා නැවත ආවා. ඒත් හිත තවම එහේ.

ලංකාවේ ජීවත් වෙන්න වැඩිපුර කැමැත්තක් ඇත්තේ රංගනයට සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබෙන නිසා කිව්වොත්..?

විවාහ නොවි හිටියා නම් මම තවම ලංකාවේ ජීවත් වෙන්නේ. ඒ වගේම මම රංගන ශිල්පිනියක් හැටියට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ මම කැමති පැත්තක් හා මගේ හැකියාව ඒ පැත්තෙන් තියෙන නිසා. නමුත් විවාහ ජීවිතේ එක්ක සමහර තීරණ ගන්න වෙනවා. ඉතිං මම ගත්ත තීරණය තමයි මගේ පවුල දරුවෝ සැමියා වෙනුවෙන් කාලය ගත කිරීම. මොකද පවුල කියන්නේ වගකීමක්. ලංකාවේ අම්මලා පවුල් ජීවිතේට මුල්තැන දෙන්නෙ. ඒක ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕන. අපි අවබෝධයෙන් ජීවත් වෙන්න ඕන. එතකොට පවුල් ජීවිතේ ලස්සනයි. මෙහේ හිටියත් මම කලාවට සම්බන්ධ දේවල් කරනවා. ඒකට මට තරු ගොඩක් උදව් කරනවා.

ගයනී කියන්නේ සම්මානනීය රංගන ශිල්පිනියක්. ලංකාවේ මෙගා නාට්‍ය රැල්ල ගයනිට ගැළපෙන්නේ නැහැ කියලා හිතුණේ නැද්ද ..?

හිතිලත් තියෙනවා. බොහෝ දෙනෙක් කියලත් තියෙනවා .

මම අන්තිමට රඟපෑවේ සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ. මම නැවත විදෙස් ගත වුණු නිසා ඉන් ඉවත් වුණා. හොඳ පිටපත්, දක්ෂ අධ්‍යක්ෂවරු යටතේ මම වැඩ කරපු කෙනෙක්. බොහෝ දෙනෙක් කිව්වා වගේම මටත් හිතිලා තියෙනවා වැඩක් කරන්න පුළුවන් නිර්මාණයකට දායක වීම වටිනවා කියලා. අද සම්පූර්ණ පිටපතක් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා මුල මැද අග හොයන්න බැහැ. වෙන්නෙ මොනවද කියලා දන්නෙ නැහැ. අන්න ඒවගේ නිර්මාණ එක්ක වැඩ කරන්න අපහසුයි. නිර්මාණයට සම්බන්ධ වෙද්දී විවිධ ප්‍රශ්නත් මතු වුණා. ඒ එක්ක මටත් කලකිරීම් ආවා. එහෙම නැත්තම් මෙගා වුණත් ප්‍රමිතියක වැඩක් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ .

මොන රටේ හිටියත් රංගන ශිල්පිනියක් හැටියට ලැබෙන ප්‍රතිචාර කොහොමද ..?

මම එහෙම ලොකුවට ජනප්‍රිය තරුවක් නෙමෙයි මට මං ගැන හිතෙන්නේ එහෙමයි. ඒක තමයි ඇත්ත. මම ටෙලිනාට්‍ය 40ට විතර සම්බන්ධ වෙලා තියෙනවා. ෆිල්ම්ස් 10ක් විතර කරලා ඇති. ඒත් ෆේස්බුක් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ මට ලොකුවට ප්‍රතිචාර ලැබෙන්නෙ නැහැ. කතාබහ කරන අය ඉන්නවා. නැතුව නෙමෙයි. තනි තටුවෙන් පියාඹන්න, මද්දහන, මහපොළව හා අම්මාවරුනේ, සරිගම වගේ නිර්මාණවලට තවම මට ප්‍රතිචාර ලැබෙන අවස්ථා තියෙනවා

ව්‍යාපාරිකාවක් කියලා ආරංචියි ..?

මම ඔන්ලයින් බිස්නස් එකක් කරනවා. බතික් ඇඳුම් ව්‍යාපාරයක්. අවශ්‍ය ඩිසයින් එක මම දෙනවා, මට අවශ්‍ය විදිහට ඒවා හදලා ලංකාවෙන් මට මෙහෙට එවනවා. ඉතිං මම අවුරුද්දක විතර ඉඳලා ඒ කටයුතු කරගෙන යනවා. දැන් එය ව්‍යාප්ත කරන්න ප්ලෑන් කරගෙන යනවා.

තරුපති මුණසිංහ කියන්නේ දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ කාර්යබහුලකම එක්ක කුටුම්බය රැක ගන්න ඔහුගෙන් ලැබෙන සහාය කොහොමද ..?

කථිකාචාර්යවරයකු විදිහට වගේම සංගීත නිර්මාණ එක්ක කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ඔහු මෙහේ හිටියත් ලංකාවේ සංගීත නිර්මාණ සඳහා සම්බන්ධ වෙනවා. මෙහේ ජීවත් වෙද්දී අපිට අපි විතරයි. ඒ නිසා අපි අපිට උදව් කරගෙන ජීවත් වෙන්න වෙනවා. තරු එයාට පුළුවන් උපරිම විදිහට උදව් කරනවා.

සාමාන්‍ය ජනතාවට රූප පෙට්ටියෙන් දකින්න ලැබෙන අහිංසක තරුපති ද නිවසේ ඉන්නෙත්..?

අනේ ඔව්. එයා හරි නිහඬ නිශ්ශබ්ද කෙනෙක්. ඒ වගේම කරන හැම දෙයක්ම නීට් එකට කරන්න ඕන. තමන්ගේ දේවල් වගේම අනිත් කෙනාගේ වැඩක් එයාට කරන්න ලැබුණොත් එයා තමන්ට කැපවෙලා වැඩ කරනවා වගේ කරන්නේ. එයා හරි හොඳ චරිතයක්. තව කෙනෙක්ගේ දක්ෂතා අගය කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ වගේම ඉවසීම මට සීයට පහක් නම් එයාගේ ඉවසීම සීයට 25ක් විතර. ඒ තරම් හොඳ ඉවසීමක් තියෙන කෙනෙක්

වේදිකාවෙන් රංගනයට පන්නරය ලැබු ගයනිට වේදිකාව නිසාමයි තරුපතිව මුණුගැහෙන්නෙත්..?

මගේ මුල්ම නාට්‍ය තමයි අරුන්දති. ඒ වේදිකා නාට්‍ය නිසා අපි නිතරම මුණගැසුණා. හිතවත්කමක් ඇති වුණා. ඒත් මම දැනගෙන හිටියේ නැහැ තරුපති ඔස්ටින් මුණසිංහ කියන දක්ෂ ප්‍රවිණ සංගීතඥයාගේ පුතා කියලා. තරු විවාහ යෝජනාව කළාම මම ඔහුව ගෙදරට හඳුන්වා දුන්නා. ඒත් එක්ක තමයි පවුල් අතර සම්බන්ධතා ගොඩනැ‍ෙඟද්දි කිව්වේ තාත්තා ඔස්ටින් මුණසිංහ කියලා කිව්වේ. ඊට පස්සේ අපි 2002 විවාහ ගිවිස ගත්තා. විවාහයෙන් පස්සේ අපි සතුටින් ජීවත් වෙනවා

අම්මගෙයි තාත්තාගෙයි දක්ෂතා දරුවන්ට පිහිටලා නැහැ කිව්වොත් ඒක බොරුවක්..?

දෙන්නම සංගීතයට වගේම රංගනයට දක්ෂතා දක්වනවා කියලා පේනවා. ලොකු පුතා මයෝන් මුණසිංහ එයාගේ වයස 14ක්. පොඩි පුතා මිතුන් මුණසිංහ, එයාගේ වයස 12ක්. මුල් කාලේ ලංකාවේ ඉගෙන ගත්ත නිසා කලාව ගැන අවබෝධයක් තියෙනවා. අපි කලාකරුවෝ කියලා දන්නවා. දෙන්නා මියුසික්වලට කැමතියි. පියානෝ ක්ලාස් යනවා. පොඩි පුතා ඔස්ට්‍රේලියාවේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. රඟපෑමට වඩා සංගීතයට ආසයි. කලාව එහෙම ලෙහෙසියෙන් කරන්න බැහැ කැප වෙන්න ඕන. මේ ගමන අපි ආවේ කැපවීම් කරලා, ඒක එයාල දන්නවා.

හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division