ඇත්තටම හොල්මන් අවතාර කියලා දෙයක් නැහැ වගේද? මම හිතන්නේ මේ විශ්වය තුළ එහාට මෙහාට කැරකෙන මායාවන් හෝ දිෂ්ටීන් කියලා. මේවා අවේලාවේ නුපුරුදු තැනක දැක්කාම බය නොවිත් බැහැ. මෙහෙම වුණ සමහර අය නහයෙන් කටින් ලේ දාගෙන වැටෙනවලු. සමහර අය සිහිය නැතුව වැටෙනවා.
යකුන් යක්ෂණියන් වැඩිපුර ගැවසෙන්නේ ගොරකා ගස්වල නැත්නම් ගොරකා විමානවල. යකුන් යක්ෂණියන් ‘ප්‍රේත ඇසුර’ මේ විශ්වයේ තිබෙන බව බුදු බණෙත් කියනවා. මේ ලෝකේ ඉස්සෙල්ලාම ඇති වුණේ ජලය, ඊළඟට ගහකොළ, කැලෑව, සතා සිව්පාවා ඇති වුණේ. මනුෂ්‍යයා ඇති වුණේ අන්තිමට. ඇත්තටම කියනවා නම් අන්තිමට ආපු මිනිසා සතුන්ට අයිති තැන තමයි අරගෙන තිබෙන්නේ. ඒ නිසයි අලි – මිනිස් ගැටුම අදත් පවතින්නේ.
අනුරාධපුර දිශාවේ කැකිරාව පාරේ අනුරාධපුරයට සැතපුම් කීපයක් මෙහායින් මරදන්කඩවල පිහිටියේ. මේ පාරේ හවසට මිනිසුන් යන්නේ නැහැ. මේ කියන්නේ අදට අවුරුදු පනහකට හැටකට කලින් කතාවක් ගැනයි. ඒ හේතුන් කීපයක් නිසායි. එකක් තමයි මිනිසුන් පැහැරගෙන මංකොල්ලකාලා මරල දානවා. සමහරුන් පණපිටින්ම වළලනවා. දෙවනුව අලියා මහපාරට එනවා. අනික තමයි අදෘශ්‍යමාන කරදර ඇති වෙනවා. ඒක නිසා විශේෂයෙන් ළාබාල ගැහැනු දරුවන් නම් ඉර බහින්න ඔන්න මෙන්න තිබියදී සහ ඊට පසුව මේ පාරේ යන්නෙම නැහැ. අනුරාධපුරය මරදන්කඩවල කිට්ටුව තමයි මූකලන්ගමුව තිබෙන්නෙ. මරදන්කඩවල සිට මූකලන්ගමුවට ‘යකා වංගුවට’ පයින් යන දුර වැඩිම වුණොත් සැතපුම් 6ක විතර දුර ගමේ භාෂාවෙන් කිව්වොත් ‘හු’ දෙකක දුර. අපේ මාමා කෙනෙක් හිටියා ඒ පැත්තෙ. ඒ අය ගම්වාසීන්. අම්මාගේ මල්ලි කෙනෙක්. මිනිහා චණ්ඩියා. අලි මන්ත්‍රත් එහෙම දන්නවා. අතට මතුරලා අලියා ඉන්න දිහාවට දික්කළාම අලියා කැලේටම දුවනවා. ඒක නිසාම මාමා සමඟ මේ ගම් පළාතේ සිටි අලි තරහක් තිබුණා. මොකද ඒ වගේම මිනිහා වෙඩික්කාරයා.
දවසක් උදේ හේනෙ ඉඳලා ගෙදර යනකොට විශාල දිවුල් ගහකට මුවාවී සිටි අලියෙකු මාමාට පහර දීලා. කකුලෙන් පාගලා. මාමාගේ මරණය ගැන පසුවදාම ‘හින්නි අයියා’ ඒ කියන්නේ මාමාගේ පුතා අපට දැන්නුවා. ගෙදර වෙනත් කෙනෙක් එහෙ යන්නෙ නැති නිසා මට යන්න සිදු වුණා. ඒ නිසා පහුවදාම සවස දෙකට විතර මම ලකලැහැස්ති වෙලා මඟට කන්න බත් එකකුත් බැඳගෙන කොළඹ කොටුව දුම්රිය පොළට ආවා. කවුන්ටරය වසා තිබූ නිසා මම ඇහැව්වා ‘කැකිරාවට කෝච්චිය කීයටද‘ කියලා. රාත්‍රී තැපැල් කෝච්චියට පෙර එකක් නැති බව දැනගත් නිසා මම පිටකොටුව ප්‍රධාන බස් නැවතුමට ගියා. බස් එක පිටත්වෙන්නේ සවස 3.10 නිසා මම බෝගහ පිටුපස තිබූ කඩයකින් තේ එකක් බීලා බසයේ සීට් එකක වාඩි වුණා. හරියට 3.15ට බස් එක පිටත් වුණා. කොළඹින් පටන්ගන්න කොට බස් එකේ හිටියේ හයදෙනයි. කැකිරාවෙන් බහිනකොට මා සමඟ බැස්සේ දහදෙනයි. මා සමඟ තව දෙදෙනෙක් හැරෙන්න අනිත් අය සුළු භෝග වෙළෙන්දෝ. එතැන තිබූ පුංචි කඩයකින් පොල් රොටියක් කාලා ප්ලේන්ටියක් බීලා නැවත බස් නැවතුමට ආවා. කොට කලිසම් ඇඳපු පොලිස් රාලහාමිලා දෙන්නෙක් රයිපල් දෙකක් කර තබාගෙන පොලිසිය දිසාවට ගියා. මීළඟට මොකද කරන්නෙ කියල හිත හිතා ඉන්නකොට තව දෙදෙනෙක් අනුරාධපුර පැත්තට යනවා තේරුණා. ඒ දෙන්නා මඟටයි යන්නේ කියලා කිව්වා. අපි කුලුපග වෙලා ටිකක් කතා කරනකොට මම දැනගත්තා ඉන් එක් අයෙක් අපේ මාමාගේ මරණය ගැන දන්නා බව. එයා කිව්වා ‘අර අලියා පාගාල මරපු ජේමිස් මාමා නේද‘ කියලා. නමුත් මේ වේලාවේ එහේ යන එකනම් එච්චර සුදුසු නැති බවත් ඔහු කිව්වා. මේ වෙලාවේ අලියා පාරට එන බවත් ඔහු මට කිව්වේ අනතුරු හඟවමින්.
මේ වෙලාවේ මළගෙදර යාම නුසුදුසු වුණත් වෙනත් සුදුසු ක්‍රමයක් නොමැති නිසාත් එහේ යන්නම තීරණය කළා. අපි තව තවත් කතා කරන කොට එයා කිව්වා, ඔය කියන ගමට කියන්නෙ මූකලන්ගමුව. ඊට හැතැම්මක් දුරින් ‘යකා වංගුව’ පසු කරලා ‘හූ’ දෙකක් දුරින් තමයි මළගේ තියෙන්නේ කියලා. නුපුරුදු කෙනෙක් තියා පුරුදු කෙනෙක්වත් මේ වෙලාවේ නොයන බව ඔහු වැඩිදුරටත් කිව්ව නිසා මම ටිකක් තිගැස්සුණා.
මගේ වුවමනාව දන්නේ මම විතරයිනේ. ඒ නිසාම මළගෙදර යන්ට ඕනෑ. මම හිතන්නේ මම එහෙම තීරණය කළේ ඒ ගමට මම කෝඩුකාරයෙක් නිසා වන්ට ඇති. අපි මෙහෙම ඉන්නකොට ගමේම ගොන් බැඳි කරත්තයක් ආවා ඒ පැත්තට යන. ඒ දෙදෙනා නැඟපු නිසා මමත් නැග්ගා. කැකිරාව සිට සැතපුම් කීපයක් දුරට ඇවිත් බොරලු පාරකට මේ කරත්තය හරවපු නිසා මම එතැනින් බැස්සා. කිසියම් මුදලක් දුන්නත් ගත්තේ නැතුව එයා කිව්වා පරිස්සමෙන් යන්න කියලා. මම හිතුවා අලියා පාරට එන නිසා මේ කිව්වේ කියලා. මම පයින්ම ආවා. එක එක කුරුල්ලන්ගේ ශබ්ද සහ රැහැයියන්ගේ ශබ්ද හිසරදයක් මිස අර කිව්ව වෙනත් කරදරයක් නැහැ. ඉඳහිට ඔය ලොකු මා වවුලෙක් කන ළඟින්ම පියාඹනවා. එතකොට ටිකක් බය හිතුණා. කොහොම හරි මූකලන්ගමුව පෙනෙන තෙක් මානයට ආවා. එතකොට මැදියම් රැය පහුවෙලා. අලියා පාරේ හිටියේ නැහැ. ඒ වුණාට තැන් දෙක තුනක කෙසෙල් ගස් නම් පතුරු ගහනවා වගේ ඇහුණා.
මෙච්චර වෙලා තිබුණු පාළුව, කනස්සල්ල නැති කරමින් හරියටම යකා වංගුවට ටිකකට කලින් මම තරම් උස සුදු ඇඳගත් මිනිහෙක් මගේ ගමනට එක් වුණා. වංහුං කතා කරමින් ඉදිරියට යනකොට තමයි මම දැන ගත්තේ මේ මිනිහට වේගයෙන් යන්ට බැරි කකුල කොර කෙනෙකු බව. අනික තව ටිකක් යනකොට යකා වංගුව හමු වුණා. ඊට පිටුපස මහ සොහොන. ඒ වුණාට මට බය නැහැ. තව කෙනෙකුත් ඉන්නවනේ. කොර ගහපු මේ මිනිසා යකා වංගුව ළඟදී මෙන්න වේගයෙන් ඇවිදිනවා. කකුල් දණ පොල්කටුව නොනමා. මට බය හිතුණා. මිනිහා මට යෝජනා කළා, ඒ සොහොන උඩින් කෙටි පාරක් තිබෙනවා. ඒ පාරෙන් යමු කියලා. මට ඒ කතාව අල්ලපු නැති නිසා මම ‘බැහැ‘ කිව්වා. එතකොට මිනිහා නිහඬ වෙලා වේගයෙන් ඉදිරියට ගියා. මෙන්න එකපාරටම ඒ මනුස්සයා උස යනවා අන්තිමේදී. ඒ මිනිහගේ උස අඩි 20ක් විතර වුණා. මගේ ඇඟ සීතල වෙනවා වගේ දැනුණා. මම මොහොතින් අහක බලලා නැවත මේ මනුස්සයා දිහා බැලුවා. මෙන්න ඒ පාර ඒ මිනිහා බෙල්ලෙන් උඩ කොටස නැතුව ඇවිදිනවා. මම ඉතිපිසෝ ගාථාව කිව්වට වචන කටට එන්නේ නැහැ. දිවකට වේළිලා. මට එක පාරට සිහිය නැති වුණා. මම බිම වැටුණා. එච්චරයි දන්නේ.
පාන්දර පහට විතර මම හිටියේ මාමගේ ගෙදර. එහේදී තෙල් සාත්තුවක් කළ බවත් දැනගත්තා. පසුව තමයි මම දැනගත්තේ උදෙන්ම හේනට යන මිනිහෙක් මාව ඔසවාගෙන ගෙදර ගෙන ආ බව. මාව බිම වැටුණ වේලේ සිහිය නැති වුණාට ටික ටික කතා කළ බවත් කිව්වා. පසුව කතාකරන කොට දැනගත්තා. ඒ ගමන නොදන්නා තියා දන්නා කෙනෙක්වත් නොයන ගමනක් බව.
ඒ මහසෝනාගේ අවතාරය බවත් මාව සොහොනට එක්කරගෙන යන්න ඉස්සෙල්ලම උත්සාහ කර ඇති බවත්, බැරි වුණාම බය ගන්වා ඇති බවත් දැනගත්තා. ඒ මහසොහොන් දිෂ්ටිය අදටත් ඒ සොහොන් පිටියෙ අවේලාවේ සැරිසරන බව දැනගත්තාම මගේ ඇඟේ හිරිගඩු පිපුණා.
පාරම්පරික ගුප්තවේදි, ජ්‍යොතිෂවේදී මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න