Home » සැප සතුට සම්පත ගෙනෙන ඔබේ ඉටු දෙවියා හඳුනාගන්න

සැප සතුට සම්පත ගෙනෙන ඔබේ ඉටු දෙවියා හඳුනාගන්න

by Mahesh Lakehouse
February 3, 2024 12:33 am 0 comment

– ඉෂ්ට දේවතා වන්දනාවෙන් ලැබෙන ඇදහිය නොහැකි ප්‍රතිඵල
– ජීවිතයේ අති දුෂ්කර කාලවලදී ඉෂ්ට දේවතා වන්දනාවෙන් ලැබෙන සහන
– ඔබේ ඉටු දෙවියා සොයාගන්නා පහසුම මාර්ගය

බලය, කීර්තිය, ප්‍රශංසාව, ප්‍රතාපවත් බව යන සෑම අංශයකින්ම පූජිත අයෙකු නිරතුරුවම තම ඉෂ්ට දේවතා වන්දනාව තුළ රැඳේ නම් ඒ සෑම අවස්ථාවක්ම ඉතා වැඩි දියුණු වී සතුට, සැනසීම, සෞභාග්‍යය ඇතිව ප්‍රබලයකු බිහි වේ.

“දශා මන් දේ දිවා කරෝ
සප්ත මන්දේ මගී පුත්‍රෝ
ඒවං ප්‍රාණ විනාශනං”

පුරාණයේ ඍෂිවරුන් අපට කියා ඇති එක් අකුරක් ගාණේ ජ්‍යොතිෂ නම් මහා රඟමඩල තුළ තමාගේ ජීවිත දුෂ්කරතා, කම්කටොලුවලින් මිදෙන ක්‍රමය ද ජයග්‍රහණ කරා යා යුතු ක්‍රම ද ඇති බව මෙයින් මොනවට පැහැදිලි කෙරේ.

මාරක රාශීන් වන 02 සහ 07 අධිපති ග්‍රහයාගේ දශා, අනු දශා එකවර ලබා තිබියදී ලග්නාධිපතිද පීඩාවී ඇත්නම් ඒ වන විට මාතෘ කාරක සඳු හෝ පීතෘ කාරක රවි සිටි රාශිය හරහා සෙනසුරු වැනි පාප ග්‍රහයෙක් ගෝචර වෙයි නම් ජන්මියාගේ මරණය ද ඉඳුරාම සිදු වීමට ඉඩ ඇති බවය. මෙවන් යෙදුම් හඳුනා ගන්නා ජ්‍යොතිර්වේදියා ඉන් බේරීමට උපක්‍රම ද පහදා දේ.

ඒ තුළින් ජීවිතයට ප්‍රමුඛත්වය දෙන අපේ ඉෂ්ට දේවතා සංකල්පය තුළ ඉතා භක්තිමත් ලෙසත් ගෞරවයෙන් යුතුව කරන පිළිවෙත් තුළිනුත් අපට විසල් ජයග්‍රහණ අත්කර ගත හැකිය. මා මෙය පවසනුයේ මගේ ජීවිත අත්දැකීමෙනි. සෑම උදෑසනකම තමාගේ ඉටු දෙවියන් සිහිකර නැගෙනහිර බලා නැඟිටින්න. ජීවිතයේ අති දුෂ්කර කාලවලදීද සියලු බාධක දුරුවී ජයග්‍රාහී දිවි පෙවෙතකට උරුමකම් කිව හැකි ඉෂ්ට දේවතා වන්දනාව උතුම්ය. ‘මගේ ප්‍රශ්නයට පිළිතුරු මගේ ඉෂ්ට දේවතාවුන් සොයා දෙනවා‘ යන දේව වාක්‍යය විශ්වාස කරන්නන්ට දෙවියන් සියල්ල දෙනවාමය. අපේ සිතේ අභ්‍යන්තරය පිරිසිදු වී ධාර්මික බව වැඩී ටිකෙන් ටික ඉසුරුමත් බව, කීර්ති, ප්‍රශංසා ලැබෙනවාමය. සසරේ පුරුදු ලෙස නුවණ, බුද්ධිය ඇති අයෙකු බිහි වනුයේද ප්‍රබල පින් දහම් තුළිනි.

විශ්වයේ මේ ග්‍රහ තාරකා කේන්ද්‍රය තුළ පතිතව ඇති ආකාරයෙන් අපට අපේ ඉෂ්ට දේවතාවා හඳුනාගත හැකිය. මෙම ග්‍රහයන්ට අවේණික වූ දේව කොට්ඨාස වෙන වෙනම ඇත.

1. රවි – ඉශ්වර දෙවියන්, 2. සඳු – සත්පත්තිනි දෙවඟන, 3. කුජ – කතරගම දෙවිඳු, 4. බුධ – විෂ්ණු දෙවිඳු, 5. ගුරු – විෂ්ණු, සරස්වතී දෙවිවරු, 6. සිකුරු – ලක්ෂ්මි, 7. ශනි – විෂ්ණු දෙවිඳු, හනුමාන් දෙවිඳු, 8. රාහු – සරස්වතී සහ දුර්ගා දෙවඟන, 9. කේතු – විෂ්ණු දෙවි සහ ගණදෙවි

කේන්දරයේ ගැඹුරුම සංසිද්ධීන් තුළට කා වදින දක්ෂ ජ්‍යොතිර්වේදියා අපේ සියලු කම්කටොලුවලට පැහැදිලි මාර්ගෝපායන උපදෙස් මෙන්ම අපේ උතුම් ඉෂ්ට දෙවියාද තෝරා බේරා දෙයි. මේ ගැඹුරු අධ්‍යාපනය තුළ ඇති කාර්යභාරයේ යෙදෙන ජ්‍යොතිර්වේදියාට ද අප කෘතගුණ සැලකිය යුතුව ඇත. ඒ ඔහු අප යා යුතු නියම මාර්ගය අපට පැහැදිලි අරමුණකින් පෙන්වා දෙන බැවිනි. මුළු ජීවිත කාලය තුළම ඉෂ්ට දේවතා රැකවරණය අපට ආශීර්වාදයකි. කුමන හෝ කරදරයක් අපට සිදු වෙනවා නම් ඉටු දෙවියා මොන යම් දෙයකින් හෝ අපව බේරා ගන්නවා නිසැකය. යාන වාහන, ඉඩකඩම් අපට ලබා දෙන්නේ මේ ඉටු දෙවියන් විසිනි. එබැවින් උන්වහන්සේට උදය සවස පින් දෙන්න.

අපේ කේන්දරය තුළ ඇති රාශීන්ගෙන් වැඩිම දුරක් ආ ග්‍රහයා අපේ ආත්ම කාරක ග්‍රහයා වනුයේය. මෙම ග්‍රහයා අනුව අපේ ජීවිතයේ සෑම දේම අයිති මෙම ග්‍රහයාටය.

මෙම ආත්ම කාරක ග්‍රහයා සොයා ගත් පසු ඔබේ නවාංශක කේන්දරයේ දොළොස්වැන්න තෙක් එම ග්‍රහයා ඉන්නා ස්ථානයේ සිට ගැනිය යුතුය. නවාංශක කේන්දරයේ ආත්ම කාරක ග්‍රහයා සිට ගැන්න විට දොළොස් වැන්නට එන ග්‍රහයෝ හෝ එම ස්ථානය තුළ ග්‍රහයන් නොමැති නම් එම රාශිය අදාළ අයිති ග්‍රහයා අපේ ඉෂ්ට දේවතාවුන් වන්නේය. ඔබගේ කේන්ද්‍රයේ මේ ලෙස දේවතා මණ්ඩල බෙදනු ලබයි.

1) පාලන දේවතා (ආත්ම කාරක ලෙස ජන්ම පත්‍රයේ වැඩිම අංශක ප්‍රමාණයක් ගමන් කළ ග්‍රහයා)

2) අමාත්‍ය කාරක (මීළඟට වැඩිම අංශක ප්‍රමාණයක් ගමන් කළ ග්‍රහයා)

3) භරත කාරක ( මීළඟට වැඩිම අංශක ගාණක සිටින ග්‍රහයා)

4) මාතෘ කාරක ( ඔබේ ජන්ම පතේ මීළඟට වැඩිම අංශක ප්‍රමාණයක් සිටින ග්‍රහයා)

5) පීතෘ කාරක ( මීළඟට වැඩිම අංශක ගණනක් ගමන් කළ ග්‍රහයා)

6) පුත්‍ර කාරක

7) ඥාති කාරක ,

8) දාර කාරක ලෙසින් අංක අනුව පිළිවෙළින් අංශක ප්‍රමාණය අනුව ගමන් කළ ග්‍රහයන් වේ.

ජන්ම පතෙහි සියලු චර කාරකත්වයන් 08 කි. ජන්ම චර තරුව 7 වේ. සුවිශේෂි ජ්‍යොතිර්වේදියා වැඩිම අංශක ගණනක් ගොස් තෙවන ස්ථානය හිමි කර ගන්නා ග්‍රහයා අපේ ගුරු දේවාතාවුන් නියෝජනය කරයි.

මේ උතුම් ගුරු දේවතාවා හඳුනාගත් පසු “ඕම්” යන ගුරු බීජාක්ෂරයට භාවනා කළ හැකිය. භාවනා තුළින්ද අපේ ජීවිතවලට මහඟු පින් රැස්වේ.

සිත නමැති මහා ශක්ති කදම්භය තරණය කරමින් ධ්‍යාන වැඩීමේදී අපට අපේ ගුරු දේවතාවුන් හමු වනු නොඅනුමානය. වඩාත් විශ්වාසදායක ලෙස මනස රැගෙන යද්දී පින් රැස් කරගත් අපට මෙලොව මෙන්ම පරලොව ද ජයග්‍රහණය කර හමාරය.

ඔබේ පින් පොත තුළ සෑම දිනකම අවසන් වැකිය ලෙස ‘ඉෂ්ට දේවතාවුන්ට පින් දුන් බව‘ සටහන් කරන්න. ඔබ දියුණුවේ හිණිපෙත්තටම ගෙන යන බව ස්ථිරවම හුදෙක් ඉතා විශ්වාසයෙන් සටහන් කරමි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division