නෝබල් ත්‍යාගයේ පිවිසුම අබියසට ගොස් හැරී එන්නට සිදු වූ කෙන්යානු නිර්මාණකරු සිය නිර්මාණ අත්දැකීම් ගැන කරන හෙළිදරව්ව
කෙන්යානු ලේඛක න්ගුගි වා තිඔංගෝ පරිවර්තන කෘති කියවන සිංහල පාඨකයාට අමුත්තෙක් නොවේ. මන්දයත් සිංහලට පරිවර්තනය වී නැත්තේ ඔහුගේ නවකතා අට අතරින් දෙකක් පමණක් වන හෙයිනි. පිළිවෙළින් නාඬන් දරුව, කුරුසයේ ලූූ යක්ෂයා (පරි: පී. බී. ජයසේකර) සහ මතිගාරි (පරි: නාරාවිල පැට්රික්) ලෙස සිංහලට පෙරැළී ඇති
Weep not Chid” Devil on the Cross සහ Matigari ඒවා අතරින් වඩා ප්‍රකට ය.
ඒ නවකතා අටට අමතර ව කෙටිකතා එකතු, ළමයින් සඳහා කෘති සහ වේදිකා නාට්‍ය පහ බැගින් නිර්මාණය කර ඇති ඔහු විසින් විවිධ මාතෘකා ඔස්සේ ලියා ඇති පොත් ගණන දහ නවයක් වන අතර එකතුව 42 කි.
ජේම්ස් න්ගුගි ලෙස 1938 ජනවාරි 05දා කෙන්යාවේ උපත ලැබූ ඔහු පසුව සිය නම ස්වදේශීය ඌරුවට වෙනස් කර ගත්තේ ය. අෆ්රිකානු විශ්වවිද්‍යාල කිහිපයක සහ අර්වින් හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයයේ ඉංගිරිසි පිළිබඳ මහාචාර්ය ධුර දැරුව ද න්ගුගි පසු කලෙක සිය මව් බස වන ගිකුයු බසින් පමණක් නිර්මාණකරණයේ යෙදුණේ ය. දෙස් විදෙස් සම්මාන හතළිහකින් පමණ පිදුම් ලබා ඇති න්ගුගිගේ නම දෙවරක් ම නෝබල් සාහිත්‍ය ත්‍යාගය සඳහා නිර්දේශ වුණු බැව් සඳහන් ය. එසේම ඔහුට දෙස් විදෙස් විශ්වවිද්‍යාල තිහකට අධික සංඛ්‍යාවක් විසින් සම්මාන උපාධි පිරිනමනු ලැබ ඇත.
ඔහු සමඟ නිර්මාණකාරියක මෙන්ම මාධ්‍යවේදිනියක ද වන නන්දා දයිසඋ 2017 අප්‍රෙල් මස දිනෙක පැවැත්වූ පිළිසඳරක සංක්ෂිප්තයයි මේ.
නන්දා : ඔබ ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් කතුවරයකු වනු ඇති බවත් කෙන්යාව පිළිබඳ ඔබේ කතා විවිධ භාෂා 60කට පමණ පරිවර්තනය වනු ඇති බවත් බාල වියේ ඔබ කවදා හෝ සිතුවාද?
න්ගුගි : නැහැ, කවදාවත් නෑ. මා කවදාවත් ලේඛකයෙක් වන්නටවත් සිතුවේ නෑ. මන්ද අධ්‍යාපනය සඳහා අවස්ථාවක් ලබා ගැනීමේ අරගලය දුෂ්කර එකක් වූ නිසා. පවතින පාසැල් සහ විද්‍යාලවල අවස්ථා ඇත්තේ ටිකයි. එයින් එකක් ලබා ගැනීම අසීරු වැඩක්. දැඩි තරගයකුයි පැවතුණේ. ප්‍රාථමික පාසල්වල සිට විද්‍යාල දක්වා වසර දෙකකට වරක් අවසාන විභාග පැවැත්වුණා. අසමත් වුණොත් එළියට. දෙවැනි අවස්ථා තිබුණේ නැති තරම්. දුම්රියෙන් බැස ගියා නම් කුමන හේතුවක් නිසා හෝ නැවත ඒ දුම්රියට ගොඩ වන්නට ලැබෙන්නේ නෑ. ඒ වාගේ. මට නිතරම කියවන්නට අවශ්‍ය වුණා. In the House of the Interpreter නම් මගේ මතක සටහන් පොතේ විස්තර කර ඇති පරිදි, මගේ ජීවිතයේ පළමු වතාවට පුස්තකාලයකට ඇතුළු වූ දා මගේ පැතුම වූයේ කවදා හෝ ලෝකයේ ඇති සියලුම පොත් කියවන්නට හැකි වේවා යන්නයි. එහෙත් යථාව ඉක්මනින්ම එම අභිලාෂයේ පියාපත් කපා දැම්මා. ඒත් කියැවීමේ ආශාව තවමත් එහෙමමයි.
නන්දා: ලේඛක සමාජය තුළ, ඔබේ වෘත්තිය ජිවිතයේ ඔබේ භූමිකාව මොනවාගේ එකක් ලෙස ද ඔබ දකින්නේ?
න්ගුගි : මම භාෂා සටන්කාමියෙක් වෙලා. නොවැදගත් සේ සැලකෙන භාෂා වෙනුවෙන් සටන් කරන ලෝකයේ අනෙක් සියලු දෙනා සමඟ එකතු වන්නට මට අවශ්‍යයි. කිසිම භාෂාවක් එය නිර්මාණය කළ භාවිත කරන ප්‍රජාවට කිසිදා නොවැදගත් වන්නේ නෑ. භාෂා සංගීත භාණ්ඩ වැනියි. විශ්වයට ම සංගීත භාණ්ඩ කිහිපයක් තිබෙන්නට ඉඩ දෙන්න කියා, නැත්නම්, තිබිය යුත්තේ සියලුම ගායකයන්ට ගායනා කළ හැකි එකම ආකාරයේ හඬ වර්ගයක් පමණක් ය කියා ඔබට කියන්නට බෑ.
නන්දා : ජීවිතයේ මුල් අවදියේදීම ඔබේ ප්‍රකාශන සාර්ථක වුණා. ඔබේ පළමු නාට්‍යය, The Black Hermit 1962 දී නිෂ්පාදනය කර 1963 දී ප්‍රකාශයට පත් වුණා. ඒ වනවිට ඔබ අවුරුදු විසි පහක තරුණයෙක්. ඔබ ඔබේ පළමු නවකතා දෙක – The River Between (1965) සහ Weep NotChild(1964) – විද්‍යාලයේ දෙවන වසරේ සිසුවකු ලෙස විචාරක පැසසුමට ලක් වුණා. එවිට ඔබ විද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙක්. ඔබේ අවුරුදු විසි ගණන්වල ජයග්‍රහණ නැවත ලබා ගන්නට නොහැකි වීම ගැන ඔබ කනස්සල්ලට පත්ව සිටියාද?
න්ගුගි: ඇත්තටම. බොහෝ කාලයක් පුරා මා මගේ මුල් නවකතා මගේ ආධුනික කෘති ලෙස සිතුවා. ඒ නිසා ඔබ සඳහන් කරන නවකතා සහ නාට්‍යය, කෙටිකතා අටක් හෝ කිහිපයක් සහ පුවත්පත් ලිපි හැටකට වැඩි ප්‍රමාණයක් තිබියදීත්, මා ලේඛකයකු ලෙස හඳුන්වා ගැනීම මට අපහසු වුණා. මා සිතුවා මට ලියන්න ඕන නවකතාව තවම ලියැවිලා නැහැ කියලා ලේඛකයෙක් ලෙස හඳුන්වන්න අයිතිය ලබා ගන්න. A Grain of Wheat (1967) සහ Petals of Blood (1975) ඒ හොඳම නවකතාව ලියන්නට ගත් උත්සාහ. ඒත් මෙම කෘති දෙක සම්පූර්ණ කරන විට, මම මගේ නිර්මාණකරණයේ මූලික භාෂාව ලෙස ඉංග්‍රීසි පිළිබඳ මගේ ස්ථාවරය වෙනස් කර ‘ගිකුයු’ බස වැලඳ ගත්තා. එහෙත් ඒ සමඟ පවා, මා ලියන්නට උත්සාහ කළ නමුත් තවමත් ලියා නැති නවකතාව ලිවීමට උත්සාහ කරනවා. Caitaani Mtharabain (1980) Devil on the Cross ලෙස පරිවර්තනය කර ඇත) සහ Mrogi wa Kagogo (2006; පරිවර්තනය කර ඇත්තේ Wizard of the Crow) මගේ කැපවීමේ ප්රතිඵලයි. ලිවීම සඳහා, ළඟාවීමේ මොහොතක් නැති බව ( no moment of arrival) තවදුරටත් කියනවා නම් ඒ මොහොත ගමනේ නව අවදියක ආරම්භය බව දැන් මට වැටහී තිබෙනවා. එය අඛණ්ඩ අභියෝගයක්.
නන්දා : බ්‍රිතාන්‍ය නිලධාරියකු මාඋ මාඋ (Mau Mau) සටන්කාමියකුගේ බිරියක් දූෂණය කළ බව සඳහන් වන නිසා ඔබේ මුල් නාට්‍යය The Wound in the Heart නිෂ්පාදනයට බාධා පැමිණුනා. ඔබේ මතක සටහන් වන Birth of a Dream Weaver- A Writerzs Awakening (2016) හි සඳහන් වනවා මෙම දේශපාලන වාරණයේ ක්‍රියාවට අනුගත වන්නට ඔබ අරගල කළ බව?
න්ගුගි : බ්‍රිතාන්‍ය යටත් විජිත රාජ්‍යය කෙන්යානුවන්ට කරන ලද සාහසික ක්‍රියා ගැන මඳක් නැවතී සිතන්නට සැලැස්වූයේ එය කම්පාලා ජාතික රඟහලෙන් තහනම් කිරීමට හේතුව ලෙස දුන් මහා බොරුවයි. සෑම යටත් විජිත ජාතියකම බොරුවක් වූයේ ඔවුන්ගේ පාලනය අනෙකුත් තරගකාරී යටත්විජිත බලවතුන්ට වඩා මෘදු හා කාරුණික බවයි. තර්කය මෙහෙමයි: ඔවුන්ගේ එක අපට වඩා නරක ය, එබැවින් අපේ එක හොඳයි; අපේ උපාධිය වඩා හොඳයි. වඩා උසස් උපාධියක්. ආන්න ඒ වාගේ. මේ කාරණය මගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක් වුණේ, අමුතු ආකාරයකින්. එය මා පෙලඹවූවා ලියන්නට. ඒ නිසා තමයි ඒ සිද්ධියත් එක්ක මතක පොත දිග හැරෙන්නේ. නමුත් ආපසු හැරී බැලීමේ දී, එය වසර ගණනාවකට පසු මට කුමක් සිදුවේද යන්නේ පූර්ව-නිරූපණයක් වුණා. සියල්ල වේදිකාව, රඟහල නිසා, 1977-‘78 කෙන්යාවේ උපරිම ආරක්ෂිත බන්ධනාගාරයක මා රඳවා තබා ගත්තා.
නන්දා: ඔබ දශක තුනකට වැඩි කාලයක් ඔබේ උපන් බිමෙන් පිටුවහල්ව සිටි නිසා, ඔබේ සාර්ථකත්වයෙන් බොහෝමයක් අත් කරගෙන ඇත්තේ විදේශවලදී. එම යථාර්ථයෙන් පැන නඟින විරසක හැඟීම ( sense of alienation) කවදා හෝ පහව යයි ද?
න්ගුගි : නැහැ, සම්පූර්ණයෙන් ම නොවෙයි, ඒත් පිටුවහල් වීමේ දැනුම ඉතිහාසයට අමුතු හා ආකර්ෂණීය ආකාරයකින් බලපා ඇති බව මා වටහා ගත්තා. මා එයට ප්‍රතිරෝධය දැක්වීමට උත්සාහ කළා. මෝසෙස් සහ යේසුස් ඊජිප්තුවේ, මුහම්මද් සහ ඔහුගේ අනුගාමිකයන් ක්‍රිස්තියානි ඉතියෝපියාවේ, මාක්ස් ප්‍රංශයේ සහ ලන්ඩනයේ සරණාගත වීම ගැන සිතන්න. පිටුවහල් කිරීමේ අත්දැකීම පසුව සියරට සමඟ බලපෑවා. අෆ්රිකා-කැරිබියානු (^Afro- Caribbean)ලේඛක ජෝර්ජ් ලැමිං 1960 දී පළ කළ ඔහුගේ සුප්‍රසිද්ධ මාතෘකාව වන විතැන්වීමේ ප්‍රමෝදය (The Pleasures of Exile) යන්නෙන් අදහස් කළේ මෙය යැයි මා සිතනවා. එසේම, මා මගේ Globalectics :Theory and the Politics of Knowing (2012) පොතේ “ගෝලීය පරිකල්පනය” ලෙස හඳුන්වන දෘෂ්ටියක් වර්ධනය කර තිබෙනවා. එය සැබවින් ම වැලි කැටයකින් ලොව මෙන් ම පැයකින් සදාකාලිකත්වය ද දැකීමේ විලියම් බ්ලේක් දැක්මේ ව්‍යාප්තියක්.
(බ්ලේක් යනු ඉංගිරිසි කිවියර විලියම් බ්ලේක් (1757 – 1827) ය)
නන්දා : කෙන්යාවෙන් භෞතිකව ඈත්වීම ඔබට ප්‍රශ්නයක් වී තිබේද, නැතහොත් ඔබට ලිවීමට අවශ්‍ය සියල්ල ඔබේ මතකයන් තුළ සජීවී ව පවතිනවාද? දුර සිට ලිවීමේ දී ඔබ අත්විඳින ලද විශේෂ දුෂ්කරතා මොනවාද?
න්ගුගි : කෙන්යාව හැමදාම මගේ හිතේ ඉන්නවා. ඒත් කෙන්යානු එදිනෙදා ජන ජීවිතය මට මඟ හැරෙනවා. Gky කෙන්යාවේ වැඩිපුරම කතා කරන බසයි. එය අප්‍රිකානු භාෂා අතරින් එකක්. ඒ කියන්නේ භාෂා මොසෙයික් (mosaic) එකක්. නමුත් මම දැන් මූලික වශයෙන් ගිකුයු බසින් ලියන නිසා, එහි වෙනස්කම්වල භාෂාමය භූ දර්ශනයේ කොටසක් වන්නට මා කැමැතියි.
නන්දා : ඔබ ලියන්නේ කවර ජාතියක් කේන්ද්‍ර කර ගෙන ද, ඒ ජාතිය ගැන සහ ඔබගේ නිර්මාණවල කාල වකවානු ගැන බොහෝ දෙනාට අසන්නට ලැබී නැති, බොහෝ දෙනා කියවා නැති සහ නොදන්නා නිසා ඔබට ප්‍රමාණවත් තරම් පාඨක සංඛ්‍යාවක් නොමැති වීම ගැන ඔබ ඔබ සිත්තැවුලින් පසු වන්නේ නොවේ ද කියා මා විස්මයට පත්ව සිටිනවා. විශ්වීයත්වය ඔබේ අවධානයට ලක්ව තිබේද?
න්ගුගි : විශ්වීයත්වය යනු විශේෂත්වයේ දරුවා බව මා විශ්වාස කරනවා. මතකනේ අර ඒ වැලි කැටයක් ගැන කීවා? ඒකේ ලොවම අඩංගුයි. විශ්වය පරිකල්පනය කිරීමට නම් ලේඛකයෙකු එම අංශුවට විශ්වාසවන්ත විය යුතුයි.
නන්දා : බටහිර ප්‍රේක්ෂකයන්ට ඔබේ පොත් සම්පූර්ණයෙන්ම තේරුම් ගත හැකි ය කියා ඔබට හැඟෙනවාද? ඔබේ ලිවීම් සමහර ප්‍රේක්ෂකයන්ට – විශේෂයෙන් කෙන්යානුවන්ට පමණක් වටහා ගත හැකි යැයි හැඟෙන කොටස් තිබේද?
න්ගුගි : මා හිතන්නේ නැහැ යම් ප්රජාවකට පමණක් වටහා ගන්න පුළුවන් කෘතියක් තියෙනවා කියලා. එහෙම තියෙනවා නම් ඒක නරක කලා කෘතියක්. නමුත් සෑම පාඨකයෙක්ම කලා කෘතියක් ඇතුළට එන්නේ ඉතිහාසය සහ හැඩගැසුණු ලෝක දැක්මක් පිළිබඳ තම අත්දැකීම් අනුව. නිදසුනක් වශයෙන්, යටත් විජිත අත්දැකීමක් ඇති විවේචකයන්ට අධිරාජ්‍ය මධ්‍යස්ථානවල කෘතිවල හිඩැස් පමණක් නොව නිහඬතා පවා දැකිය හැකියි.
පරිවර්තනය එස්. නන්දලාල්