Home » රුපියල් කෝටි 3000ක ලෝක බැංකු ආධාර මත මහනුවර විසල් සංවර්ධනය ඇරැඹේ

රුපියල් කෝටි 3000ක ලෝක බැංකු ආධාර මත මහනුවර විසල් සංවර්ධනය ඇරැඹේ

මහනුවරට සීමා වූ බස් රථ සියයට 65ක ගමනාන්ත දීර්ඝ කෙරේ.

by gayan
February 3, 2024 12:30 am 0 comment
බහු­විධ ප්‍රවා­හන පර්ය­න්තය නිම­වී­මෙන් පසුව දිස්වන

තදබදය වලක්වන්න ගුවන් පාලමක්

මෙරට වාහන තදබදය අධිකම නගර පිළිබඳ සරසවි සිසුන් කණ්ඩායමක් 2008 වසරේ මාස ගණනාවක් තිස්සේ සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ ‘මහනුවර නගරය‘ අධිකතම වාහන තදබදය ඇති නගරය බවයි. නගරයට ඇතුළු වී ඉන් පිටවීමට සවස් කාලයේ ඇතැම් අවස්ථාවල පැයකට අධික කාලයක් ගත වන බව එහිදී හෙළිව තිබුණි.

එහෙත් එකල උතුරු නැඟෙනහිර පැවැති යුද ගැටුම් නිසා වැඩි අවධානයක් ඒ කෙරෙහි යොමු කරන්නට හැකියාවක් නොවන්නට ඇත. එහෙත් නැවතත් 2011 වසරේදී ඒ සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඒකාබද්ධව කරන ලද අධ්‍යනයක් මඟින් මහනුවර නගරය තුළ සාමාන්‍යයෙන් සතියේ වැඩ කරන දිනයකදී ආසන්න වශයෙන් 365,000ක් පමණ මඟීන් සංඛ්‍යාවක් (දුම්රිය හැර) විවිධ වූ ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ නගරයට ඇතුළු වී ඉන් පිටව යන අතර ඉන් 55%කට වැඩි සංඛ්‍යාවක් භාවිත කරනු ලබන්නේ පොදු ප්‍රවාහන සේවා බව හඳුනා ගෙන තිබුණි.

මීට අමතරව බස්රථ ගමන් වාර 5000කට වැඩි ප්‍රමාණයක් නගරය තුළට ඇතුළු වී ඒ හා සමාන බස්රථ සංඛ්‍යාවක් ඉන් පිටව යන බව ද හඳුනා ගන්නා ලදි.

එහිදී සිදු කළ පූර්ණ සමීක්ෂණය හරහා සිදු කළ අධ්‍යයනයන් මඟින් පැවසුවේ මහනුවර මාර්ග තදබදය අවම කිරීමට නම් ඒ වන විට ගුඩ්ෂෙඩ්, බෝගම්බර, ඔරලෝසු කණුව, පොදු වෙළෙඳ පොළ ඇතුළු ස්ථාන ගණනාවකින් ගමන් ආරම්භ කෙරෙන බස් ගමන් ආරම්භක ස්ථාන සියල්ල එකතු කර නව බස් පර්යන්තයක් ඉදි කළ යුතු බවයි. එය නවීන ලෝකයට ගැළපෙන පරිදි බහුවිධ ප්‍රවාහන පර්යන්තයක් විය යුතු බවට ද යෝජනා කෙරිණි.

එම ව්‍යාපෘතියේ මූලික සැලසුම්කරණ කටයුතු මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් වර්ෂ 2015 දී ආරම්භ වූ අතර පසුව 2016 වසරේදී යළිත් මේ පිළිබඳව සමීක්ෂණයක් සිදු කරන ලදී.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය (Kandy Multimodal Transport Terminal – KMTT) වෙනමම ව්‍යාපෘතියක් ලෙස ගෙන සැලසුම් කටයුතු කරගෙන යනු ලැබූ නමුත් අදාළ ඉලක්ක සපුරාලීමට නොහැකිවීමෙන් හා පසුව ඇති වූ කොවිඩ් වසංගතය හේතුවෙන් එම කටයුතු යම් අඩපණ වීමට ලක් විය. කෙසේ වුවත් එම කටයුතු වඩාත් කඩිනම් කර ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත 2022 වසරේදී එම කටයුතු භාර දෙන ලදි.

එය මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය (KMTTDP) නමින් හැඳින්විණි. මහනුවර සංවර්ධනයේ එක් පියවරක් ලෙස විසල් මහනුවර සංවර්ධන වැඩසටහන යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන අතර ඒ අනුව මේ සංවර්ධන ව්‍යාපෘතියට වූ ඇස්තමේන්තුවට අනුව එම සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි 3000ක ණය සහනාධාරයක් ලෝක බැංකුව මඟින් ලබා දීමට අනුමත කෙරිණි.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව එම ව්‍යාපෘතියේ කළමනාකරණ කටයුතු සියල්ල ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් පිහිටුවා ඇති ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මඟින් සිදු කෙරේ.

මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ව්‍යාපෘතියේ සියලු ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් කර සැලසුම් කර ඉදිකිරීම් කටයුතු සඳහා මාගා (MAGA) කොන්ත්‍රාත් සමාගමට රුපියල් මිලියන 25,000 ක කොන්ත්‍රාත්තුව මේ වන විට භාර දී ඇත. මෙහි උපදේශන සමාගම වනුයේ Roughton, MG Consultant සහ ECL යන ආයතන එකමුතුවකි.

ව්‍යාපෘතියේ ආරම්භය ලෙස 2024 ජනවාරි මස යෝජනා වූ අතර එහි අවසානය ලෙස දැක්වුණේ 2026 වසරේ දෙසැම්බර් මාසයයි.

ඒ අනුව එම කටයුතු පසුගිය ජනවාරි 27 වැනිදා සෙනසුරාදා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය පුහුණු කළමනාකාර ෆෙයි ඩෙංග් මහත්මිය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මේ බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමෙන් පසු දිනකට මහනුවර නගරයේ පැමිණෙන වාහන 5000කට අධික සංඛ්‍යාවෙන් හා 365, 000ක් පමණ දිනකට පැමිණෙන (පැමිණීම් හා පිටව යාම් 750,000කට ආසන්න පිරිසක්) සංඛ්‍යාවට විසඳුමක් ලැබේවිද?

ඒ සම්බන්ධයෙන් අප අදහස් විමසා සිටියේ මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්. එම්. එස්. ජේ. බී. රත්නායකගෙනි.

‘‘ මහනුවර නගරයේ අධික වාහන තදබදය කාලාන්තරයක් තිස්සේ පවතින්නක්. විශේෂයෙන්ම නගර මධ්‍යයේම දුම්රිය ස්ථානය, ප්‍රධාන බස් නැවතුම්පොළ ඇතුළු මහජනයා නිරතුරුවම පැමිණෙන පොදු ස්ථාන මෙන්ම ප්‍රධාන මහා මාර්ග රැසක්ම ඒකරාශී වීම නිසා මේ තත්ත්වය දිනෙන් දිනම උග්‍ර වෙනවා. පාසල් ආසන්නයට එන පාසල් වෑන් රථවලට උදේ 7.00ට විතර පාසල පෙනි පෙනී සිට දරුවන් පාසලට යොමු කරන්න වෙන්නෙ 7.30 පහුවෙලා.

එම නිසා දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති ගුඩ්ෂෙඩ් බස් පර්යන්තය මේ වන විට සම්පූර්ණයෙන්ම බස් රථ නැවතුමෙන් තාවකාලිකව ඉවත්කර එම භූමිය මේ ව්‍යාපෘතිය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම යොමු කර තියෙනවා.

ඒ වෙනුවට අපි ස්ථාන 9ක් බස් රථ ගමන් ආරම්භක ස්ථාන ලෙසින් හඳුන්වා දී තියෙනවා.

මහනුවර බහුවිධ බස් පර්යන්තය ලෙසින් ස්ථාපිත වන්නේ ගුඩ්ෂෙඩ් බස් පර්යන්තයයි. ඒ හරහා මහනුවරින් ගමන් ආරම්භ කරන සියලු බස් රථ එකම ස්ථානයෙන් පමණක් ගමනාරම්භය සිදු කෙරෙනවා. එපමණක් නෙමෙයි. දුම්රිය ස්ථානය, සෙසු ප්‍රවාහන මාධ්‍යයන් සපයා ගැනීම විශේෂයෙන්ම කැබ් රථ සේවා සපයා ගැනීම, ත්‍රිරෝද රථ සේවා හෝ වෙනත් ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම එහිදී කළ හැකියි. ‘‘බස් රථ එක් ස්ථානයකට ගෙන ඒමෙන් පමණක් මේ මාර්ග තදබදයට විසඳුමක් ලැබේවිද? ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන්නේ මේ ව්‍යාපෘතියේ ප්‍රවාහන විශේෂඥ සම්පත් චන්ද්‍රසේනයි.

‘‘නගරයේ අධික වාහන තදබදය ඇති වන්නේ වාහන වැඩි වශයෙන් සැරිසැරීම නිසා මෙන්ම රථ වාහන, විශේෂයෙන්ම බස් රථ අනවශ්‍ය ලෙසින් ගාල් කරගෙන සිටීම නිසයි. මේ තත්ත්වයට විසඳුමක් ලෙසින් එක් ස්ථානයකින් සියලු බස් රථ ගමන් ආරම්භය එක් විසඳුමක් වනවා. එමෙන්ම ඒ බස් රථ පර්යන්තයට පැමිණෙන ක්‍රමවේද කිහිපයකට තමයි පර්යන්තය පරිහරණය කරන්නේ.

ඒ අනුව බස් පර්යන්තයේ ගමන් ආරම්භක ස්ථානයේ (Bus Bay) ඕනෑම බස් රථයක් නවතාගෙන සිටිය හැක්කේ විනාඩි 10ක් පමණයි. දුර ගමන් සේවා කියා වෙනසක් නැහැ. විනාඩි 10ක් ඇතුළත ඕනෑම බස් රථයක් මඟී පර්යන්තයේ ගමන් ආරම්භක ස්ථානයෙන් පිටත් විය යුතු වනවා.

පර්යන්තයට පැමිණෙන බස් රථයක් පැයක් ඇතුළත ආපසු ගමන් අරඹනවා නම් පමණයි පර්යන්තයේ ගාල් කර තැබිය හැක්කේ. පැයකට වැඩි කාලයක් එම බස් රථයට ආපසු ගමන් කිරීමට ඇත්නම් එම බස් රථය පර්යන්තයෙන් ඉවතට ගෙන පිටාර බස් රථ ගාලක් වෙත යොමු කෙරෙනවා. බස් රථයේ ගමන් ආරම්භයට පැයකට ආසන්න වූ විට පමණයි එම බස් රථය යළිත් බස් රථ පර්යන්තය වෙත කැඳවන්නේ. මේ තදබදය අඩු කිරීමේ එක් ක්‍රමවේදයක්.

අනෙක් ක්‍රමවේදය තමයි Touch and Go නමින් අපි හඳුන්වන්නේ. ඒ අනුව මහනුවර දක්වා පැමිණි බස් රථ ගමනාන්ත රැසක් අපි මහනුවරින් බැහැර ගමනාන්ත 3ක් කරා යොමු කරනවා. ඒ අනුව ගැටඹේ, කටුගස්තොට හා දිගන දක්වා එම සේවාවන් දිගු වෙනවා. එවිට එම බස් රථවලින් පැමිණ මහනුවරින් ඔබ්බට ගමන් ගන්නා මඟීන්ටත් එකම බස් රථයෙන් ඉදිරියට ගමන් කිරීමේ පහසුව එක් අතකින් සැලසෙනවා. අනෙක් අතින් නගරයේ වාහන තදබදය අඩු වෙනවා. බස් සේවා ගමන් මාර්ග දෙකක් එකට සම්බන්ධ වීම මේ යටතේ සිදුවීමට පුළුවන්.

ඒ හරහා මහනුවර නගරයේ මෙතෙක් රැඳී තිබූ බස් රථවලින් 65%ක්ම නගරයෙන් ඉවතට යනවා. එයින් විශාල පිටිවහලක් මේ තදබදයේ විසඳුමට හිමි වෙනවා.

එමෙන්ම මහජනතාව තැනින් තැන මහා මාර්ගය හරහා මාරුවීම් වළක්වාලමින් හා ජනතාවට කඩිනමින් අවශ්‍ය ස්ථාන කරා යාමට හැකිවන පරිදි නව ගුවන් පාලමක් (SKY BRIDGE) සිරිමාවෝ බණ්ඩාරනායක මාවත සහ විලියම් ගොපල්ලව මාවත ඒකාබද්ධ කරමින් මීටර් 200ක් පමණ දිගකින් ඉදි කරනවා. ඒ ගුවන් පාලමෙන් මහනුවර මහ රෝහල සහ දුම්රිය ස්ථානය කරා යන මගීන්ට ඉතා කෙටි වේලාවක් තුළ පහසුවෙන් ගමන් කිරීමට හැකි වන පරිදි ප්‍රවේශ මාර්ග ඉදි කෙරෙනවා.

මීට අමතරව පර්යන්ත අභ්‍යන්තර ප්‍රවේශ මාර්ග පද්ධතියක් සහ ගුඩ්ෂෙඩ් බස් නැවතුම හරහා ගලා යන මැද ඇළකොටස ද මෙම සංවර්ධන ක්‍රියාවලිය ඔස්සේ ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත. නව පාලමේ ආබාධිත අයට පවා රෝද පුටු භාවිතයෙන් ද ගමන් කළ හැකි පරිදි ඉදි වෙනවා.‘‘

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එය ප්‍රධාන සාධක 05 ඔස්සේ ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.

ඒ යටතේ ප්‍රධාන වන්නේ මහල් තුනකින් යුත් KMTT ප්‍රධාන ගොඩනැඟිල්ලයි, බස් රථ නතර කිරීමේ ගොඩනැඟිල්ල, ඊට අමතරව ජනතාවට පහසුකම් සලසා ගත හැකි ARCADE ගොඩනැගිල්ලක් පූර්ණ ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් කළමණාකරණ ක්‍රමවේදයක් ද මෙහිදී ස්ථාපිතය.

එමෙන්ම බස්රථ 150කට වැඩි ප්‍රමාණයක් නතර කර තැබීමටත් බස් මගීන් හා බස්රථ කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සේවා පහසුකම්, නවාතැන් පහසුකම්, විවේක ගන්නා ස්ථාන කාන්තාවන් සඳහා විශේෂ ආරක්ෂිත කලාප, අනෙකුත් සමාගම් ප්‍රවාහන මාධ්‍යයක් සඳහා අවශ්‍ය පහසුකම් මෙමඟින් ලබා දේ.

එමෙන්ම නවීනතම මෙහිදී මගී ප්‍රවාහන බස්රථ සඳහා අවශ්‍ය තොරතුරු ජනතාවට ලබා ගත හැකිය. එසේම දුම්රිය සම්බන්ධ තොරතුරුද බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ සිට ලබා ගත හැකිවනු ඇත. තාක්ෂණික තොරතුරු මෙවලම් සහ පර්යන්තය සඳහා වෙන්වූ ක්‍රියාකාරී පාලක මධ්‍යස්ථානය‍ මගීන් මෙම පර්යන්තයට පාලනය වෙත පැමිණෙන බස් රථ සඳහාද නවීන තොරතුරු, තාක්ෂණ මෙවලම් සැපයීමට ද කටයුතු යෙදේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නිසා වැඩිම භූමි ප්‍රමාණයක් බලපෑමට ලක්වනුයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වන අතර දුම්රිය සේවකයින්ගේ වාසස්ථානද කඩා ඉවත් කිරිමට සිදුවේ. ඒ වෙනුවෙන් ඔවුනට තාවකාලික වාසස්ථාන ලබා දීමටත් තට්ටු 7කින් යුත් ගොඩනැඟිල්ලක් සකස් කර ඔවුන් ස්ථිර වශයෙන්ම නැවත පදිංචි කිරීමටද පියවර ගැනෙනු ඇත.

මෙම ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීමෙන් පසු පොදු ප්‍රවාහනය හරහා මහනුවරට පැමිණෙන මගී ජනතාවගේ ප්‍රතිශතය 60% දක්වා ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

දෛනිකව විදෙස් සංචාරකයන් අතිවිශාල ප්‍රමාණයක් මහනුවර නගරයට පැමිණෙනු දැකගත හැකිය. එමෙන්ම දළදා මැදුර ඉදිරිපිට මාර්ගය එක් පසෙකින් වැව හා අනෙක් පසින් ‘ක්වීන්ස්‘ හෝටලය නිසා කිසිදු ලෙසකින් පළල් කළ නොහැකිය. මේ සියලු කරුණු නව බහුවිධ ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීමේදී සැලකිල්ලට ගෙන ඇත.

මේ ව්‍යාපෘතියට අමතරව මහනුවර නගර මධ්‍යයේ උමං මාර්ගයක් ස්ථාපිත කිරීමේ සැලසුමක් ආරම්භයේදී තිබුණු නමුත් මේ වන විට එම උමං මාර්ගය වෙනුවට ගුවන් මාර්ගයක් ඉදිකිරීමේ අවශ්‍යතාවක් ඇත්දැයි සොයා බැලීමේ අධ්‍යයනයක් ද සිදු කෙරේ.

දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කළහොත් වැඩිවන දුම්රිය සංඛ්‍යාව අනුව බහුවිධ ප්‍රවාහන පර්යන්තයට පැමිණෙන බස් රථ සංඛ්‍යාව නගරයේ දුම්රිය හරස් මඟ ඉදිරිපිට බොහෝ වේලාවක් නවතා ගෙන සිටියහොත් ඵලදායිතාව අඩුවන බව වටහා ගෙන සිටීම නිසා මේ අධ්‍යයනය ද කඩිනමින් සිදු කෙරේ. එහෙත් එය මේ ව්‍යාපෘතියෙන් බාහිර නමුත් මේ ව්‍යාපෘතියට සමගාමීව සිදු කෙරේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division