නිදහස් තොරණ
ස-සැත්තෑ වසක් පෙර දිනෙක අද වන් පොරණ
සුරත් පෑ පෙරඹරෙක නැඟිණි සිහ දද එරණ
අදත් සැමදෙන එක් ව සුපසන් ව ලක් දෙරණ
යළිත් දැය ගොඩනඟමු එයයි නිදහස් තොරණ
ජයත් පියදසුන්
කිණිහිර
ගිනියම් යකඩ කිණිහිර මත තබන ලද
කුළුගෙඩි පහර දී එකපිට විඳින වද
දහඩිය මුගුරු ඔබ සිරුරෙන් ගලන ලද
දුටුවෙමි පියාණෙනි ඔබ පුතු පසෙක ඉඳ
කන්නේ අඳින්නේ ඉගෙනුම ලබන්නේ
ලෙඩකදි දුකකදි වියදම දරන්නේ
මතු දිනකදී ලොව දිනුමට පතන්නේ
ඔබෙ දහඩියයි අප සිරුරේ දුවන්නේ
ඔබගේ පැතුම හදවත තුළ දරාගෙන
පාඩම් කළත් පොතපත නිදි මරාගෙන
දස අත ගියත් රැකියාවක් සොයාගෙන
විසඳුම් නොමැත ආවෙමි සිත හදාගෙන
මා පසුවුණා ඔබ ඉක්මන් වෙලා වගේ
කීමට කෙනෙකු නැති නින්දේ පියා මගේ
ඇරඹීමට ගමන ඔබ ගිය ගමන් මඟේ
කිණිහිර කුළු ගෙඩියෙ විසඳුම කරමි අගේ
දීප්ත කරුණාරත්න
සංසාර ගමන
බුදු හාමුදුරුවන්
හමු වුණා නම්
එද මිගදායේ
මෙවන් දිගු ගමනක්
එන්නෙ නැහැ
අපිත් සංසාරේ….
කිසාගෝතමි පටාචාරා
රජ්ජුමාලාවන්
වගේ පින් බලා
නොඋන් හින්දයි
අදත් සංසාරේ
නොමළ ගෙයකින්
අබ හොයන්නට
“කිසා” ගිය පාරේ
මාත් පියවර එසෙව්වානම්
අද නිවන් පුරේ
චින්තා කරුණාරත්න
අග්බෝ
මහ වනයට උඹ
රජෙක් බව ඇත්ත
ඒත් උඹෙ දැඟලිල්ල
මිනිසුන්ට මහවදයක්…
දළ දෙකක්
කටු ඔටුන්නක් උඹට…
වහන් වී හිටපන් ටිකක්
ඈත වනයට වෙලා
අකාරුණික නොමිනිසුන්ගේ
උණ්ඩයට නෑ බං
හිතක් පපුවක් …
අනුනවයෙන් බේරුණු
උඹේ ඔය පණ කෙන්ද
රකින්නට කෙනෙක් නැති
මේ වියරු ලෝකයේ
උකුසු ඇස්වලින්
වහන් වෙයන්
අකාලයේ දැවී යන
පන්දුවක් නොවී…
රත්නසිරි පතිරණ
මාතු පාදං
දසකඩ මසක් කුස තුළ මා හොවාගෙන
අපමණ දුකක් මා වෙනුවෙන් දරාගෙන
සිත තුළ බියක් නොතබා පසු නොබාමින
සුන්දර ලොවක් ඇත දැන් ඔබ දිනාගෙන
නියඟ පිට නියඟ ආවත් මිහි මතට
නොදැනෙන ලෙසින් මහ සයුරට
විඳගෙන දුක වුවත් සතුටක් ලෙසට
සෙනෙහස පිදුවෙ ඔබ මහමෙර ලෙසට
පැමිණිදා පටන් මා ඔබේ කුස තුළට
ඉවතදා සිතින් අන් සැප මුල්ලකට
බිහිවූදා කුසින් ඔබෙ පුතු මේ ලොවට
සතුටින් සිනා පෑවේ මා තුරුලු කොට
ඒ.එම්. අබේසිංහ බණ්ඩා
සඳට ලියු කවි
සඳ ඔබ නොදනිතත්
ඔබ දකින සැම දිනක
මම ඔබට
කවියක් ලියමි…
ළං වෙන්න බැරි තරම්
ඔබ බොහෝ දුර වුවත්
මම ඔබට
අදත් කවියක් ලියමි…
මාලතී රූපිකා පුංචිහේවා
හිත මිතුරා
පාළුව දැනෙන විට තනිකම ඇති සිතට
ළෙන්ගතුකමින් නුඹ අරගෙන මගෙ අතට
ලියනෙමි යමක් ගළපා පද අකුරු කොට
මම ආදරෙයි පණ මෙන් මගෙ පන්හිඳට
ටයිප් මැෂිම පරිගණකය දියුණු ලොවේ
ඇත ඉදිරියට ඇවිදින් බඩු නවතාවේ
එනමුදු පන්හිඳය මට සෙනෙහස පෑවේ
දුප්පත් අපේ සුරතේ නුඹ දැවටුණාවේ
අජිත් ජෝතිය සතරසිංහ
මුදලේ බලය
පින් කාරයා
පවුකාරයා කරයි
පවුකාරයා
පින් කාරයා කරයි
සත්‍යය
අසත්‍ය කරයි
අසත්‍යය
සත්‍ය බවට පත්කරයි
ප්‍රශස්ති ගැයිය යුත්තන්ට
අගෞරව කරයි
අගෞරය කළ යුත්තන්ට
ප්‍රශස්ති ගයයි
ජගත් ජයවික්‍රම
සොඳුරු හුදෙකලාව
සඳකැන් ගලමින්
කිරි වතුරේ නැහැවෙන
අහස පොළොව
පිරිමදියි නෙත
නිශාන්තයට පිටුපා
හමන සුළං රොද
ගයයි ගීතයක්
පුරවාලමින සවනත
කණාමැදිරි එළි රැහැයි හඬ
තාරකා මල් යාය
සතපවයි හදවත
මේ පාළු දනව්වේ
චාන්දනී දේවිකා
මට සුවඳයි අම්මේ
කඩුල්ල පැන ළඟ එන විට
මට සුවඳයි අම්මේ
ඔබේ මුවින් වීසි කරන
බුලත් හපෙත් මට සුවඳයි අම්මේ
ඔබ ඇඟලු කිලිටි රෙද්ද
හබුන් කටයි බත් දෙකටයි
මට සුවඳයි අම්මේ
ඔබ උකුලේ සිටින විටත්
පුනරාගමනය නොකර
හිත නොරිදා කවියක් වී
සුරලොව දෙවඟනක වගේ
බව සසරින් එගොඩ වන්න
කේ. ජී. සංඝදාස
ස්වාමිනී
ස්වාමීනී මියැදේවි මේ මාගෙ ළය පැලී
සල්ලි වෙනුවට අම්ම ඉල්ලන්නෙ දූ කෙළී
හැමදාම උන්න වාගෙම පෙමින් ඇලි ඇලී
නියෝගය දෙනු මැනවි ඈට එන්නට යළී
චාරුණී ජයවීර
පැතුම
සිරිලක නමින් දුල
තඹර පුරා අද කොලහල
මදෑ කළ අරගල
අලුත් කරමුද හද බල!
කීර්ති එස්. කුමාර
යෞවන ප්‍රේමය
යෞවන පොද වැස්සට දලු ලා ගෙන
මනසේ ආශා පඳුර වැඩි ගෙන
දහසක් සීමා තහංචි අතරේ
රාගී සිතිවිලි ගැබ් ගෙන කකියයි
දින සති ගෙවිලා මාස ගණන් ගොස්
කල් යල් සැපැමිණි නොසිතු නිමේෂෙක
නෙතගින් ලද ඒ ඇරයුම මත්තේ
යෞවන ප්‍රේමය පිදුවෙමි ඇය වෙත
හිතුවක්කාරී මනස කර්කෂයි
යෞවන ප්‍රේමය බොලඳ ද මෙතරම්
සැකහැර බැලුවෙමි පියවි ඇසින් මම්
විළි බිය පහවුණ දෙතොලකි එය නම්
බිමල් හේරත් මුදලිනායක
සෙනෙහස
අප අතරෙ නොබිඳෙනා තියෙන දැඩි බැඳීමක්
නොදුන්නේය කිසි විටෙක දුකක් සිත් රිදීමක්
ඔබ තුරුලෙ විඳි සුවය සිත නිවන විඳීමක්
හැම දිනම ලැබේවා ඔබ වැනිම හිමියෙක්
ඔබට මා මා ඔබට ළෙන්ගතුව හිඳි අයුරු
අප දෙදෙන දනී නොදනිතත් කොයි කවුරු
ආදරය දුන් තරම පරදවයි මහ සයුරු
හැමදාම ලැබේවා ඔබෙ ආදර පඬුරු
අද නිමාවක අරුත හෙට දිනට ඉපදීම
උරුමයකි ලෝදම් නියමයට නතුවීම
හිසට සෙවණක් වී දුන් සිතට සැනසීම
පතනෙමි ඔබව ඉතසිතින් මම හැමදාම
මංගලි ගුණසේකර
පුතුනි
හිනැගෙන නටන දඟලන හැඩ කොට නිවස
හිත යොමු කරන නිරතුරු ඉගෙනුම පිණිස
රජකම කිරුළ සේ දිදුලන මා සිරස
මතකයි පුතුනි මට ඔබ ඉපදුණු දවස
වයසින් වසර දොළහක් ඔබ නැණවත්ය
බුදුබණ සමඟ ඔබ කවදත් හිතවත්ය
පොඩ්ඩක් දඟය එනමුදු ඔබ හුරතල්ය
ඔබ ගැන සිතන එක මට හරි සතුටක්ය
දවසින් දවස පෙර ගමනක යෙදෙන පුතේ
කරුණක් කියමි රැඳවිය යුතු නිතර හිතේ
ගුණ නැණ සුවඳ රඳවා ලොව සතර අතේ
ඉපදුණ බිමට පහනක් විය යුතුය පුතේ
ගාමිණී චන්ද්‍රසේන
පියඹ
උදයේ බත් එකක් බැඳගෙන පිටවෙනවා
කන්තෝරුවට අට වෙනකොට රිංගනවා
යන එන ලිපි අතර පැය ගත වෙනවා
හතරයි කියා දවසට තල්ලුව දෙනවා
මිතුරන් අතර මහමඟ කනිසමක් හිඳ
ආ ගිය කතා මැද මීවිත ටිකක් විඳ
අඳුරද සමඟ මා නිවෙසට යනෙන සඳ
පෙර මඟ බලා ඇත මගෙ පිය බිරිඳ
වුවනත බැලිමි එය වෙහෙසින් බරව ඇත
කිසිවක් පිළිබඳ මැසිවිලි නැඟුවෙ නැත
පවුලක බර දරන් දවසම දරන තැන
දකිනා විටදි තෙත් වෙනවා මගෙ දෙනෙත
සෙනෙහස දයා ආදර කරුණා ගුණය
ඇය සතු නිසා හැමටම ඇය හිතවතිය
දරුවන් ළඟදි ඇගෙ හිත වැඩියෙන් මුදුය
මගෙ නිවහනට හැමදා ඇය සිරිකතය
මොරගොල්ලේ සෙනෙවිරත්න