ලොව නිෂ්පාදනය කෙරෙන මෝටර් රථ උපාංගවල අතිනවීන තාක්ෂණය, විද්‍යුත් වාහන බැටරි සහ ආරෝපණ තාක්ෂණය, විකල්ප බලවේග, නාගරික සංචලතා (Mobility) විසඳුම් ඇතුළු අනාගත මෝටර් රථ ක්ෂේත්රයේ පෙරළිකාර වෙනස්කම් පිළිබඳ කදිම අවබෝධයක් සහ දැනුමක් ලබාගැනීමට කදිම වේදිකාවක් බවට පත් වූ ඉන්දියාවේ පළමු සංචලතා ගෝලීය ප්‍රදර්ශනය පසුගියදා නවදිල්ලි නුවරදී පැවැත්විණි. එම විශාලතම ගෝලීය සංචලතා ප්‍රදර්ශනය ආරම්භ වූයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙනි.
යතුරුපැදියේ සිට බර වාහන දක්වා සියලු ආකාරයේ රථවාහන සඳහා ලොව විශාලතම සිව්වැනි වෙළෙඳපොළ ලෙස ශ්‍රේණිගත කර ඇති ඉන්දියාවේ මෙවැනි විශාලතම ප්‍රදර්ශනයක් පැවැත්වීමෙන් මෝටර් රථ උපංග අලෙවිකරුවන්ට සහ ගැනුම්කරුවන්ට සබඳතා පුළුල් කරගැනීමට අවස්ථාව උදා වූ අතර, එය ඉදිරි පරපුරට රථවාහන ක්ෂේත්රය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ද ඉවහල් වී තිබිණි.
එම ප්‍රදර්ශනයේදී සිය රථ වාහන ප්‍රදර්ශනය කළ නිෂ්පාදකයන් ඇගැයීමට ලක් කරමින් අගමැති මෝදි සිය පළමු ධුරකාලය අතරතුර බැටරි හා විද්‍යුත් වාහන කෙරෙහි අවධානය යොමු කළ බව සඳහන් කළ අතර, දෙවැනි ධුර කාලයේදී සැලකිය යුතු ප්‍රගතියක් දැකීමට ලැබීම පිළිබඳ සිය සතුට පළ කළේය.
‘ඉන්දියාව දැන් ඉදිරියට යනවා. වේගයෙන් ඉදිරියට යනවා. මේ යුගය සංචලතා ක්ෂේත්රයේ ස්වර්ණමය යුගයයි‘ සඳහන් කරමින් අගමැතිවරයා සිය කතාව ආරම්භ කළේය. වත්මන් රජයේ තුන්වැනි ධුර කාලය තුළ ඉන්දියාව ලොව තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වීමට නියමිත බව අවධාරණය කරමින් අගමැති මෝදි කියා සිටියේ පසුගිය වසර 10දී රජය ගත් සියලු උත්සාහයයන් සාර්ථක වූ බවය.
‘රටේ මධ්‍යම පන්තියේ ආදායම වර්ධනය වීම ඉන්දියාවේ සංචලතා ක්ෂේත්රයට ශක්තියක්. වර්ධනය වන ආර්ථිකය සහ වර්ධනය වන ආදායම සංචලතා ක්ෂේත්රය තුළ අලුත් විශ්වාසයක් ඇති කරන්න සමත් වී තිබෙනවා.‘ අගමැතිවරයා එසේ සඳහන් කරනු ලැබුවේ වසර 10කට පෙර ඉන්දියාවේ අලෙවි වූ කෝටි 12ක මෝටර් රථ ප්‍රමාණය 2014න් පසු මේ දක්වා කෝටි 21 දක්වා වැඩි වී ඇති බව පෙන්වා දෙමිනි. එමෙන්ම වසර 10කට පෙර එරට විද්‍යුත් මෝටර් රථ අලෙවිය වසරකට දෙදහසක් පමණක් වූ බවත්, අද වන විට එය වසරකට ලක්ෂ 12 දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන් කළේය.
ඊට සාපේක්ෂව ඉන්දියාවේ පසුගිය වසර 10 ඇතුළත මගී ප්‍රවාහන රථවාහන සංඛ්‍යාව 60%කින් ඉහළ ගොස් ඇතැයි ද, යතුරුපැදි සංඛ්‍යාව 70% කින් ඉහළ ගොස් ඇතැයි ද අගමැති මෝදි ප්‍රකාශ කළේය. දත්ත වාර්තා අනුව පසුගිය ජනවාරියේදි ඉන්දියාවේ මෝටර් රථ අලෙවිය සියලු පෙර වාර්තා බිඳ දමා ඇතැයි ද ඔහු සඳහන් කළේය.
‘සංචලතා ක්ෂේත්රය රට තුළ පෙර නොවු විරූ වාතාවරණයක් ඇති කර තිබෙනවා. ඉන් ජනතාව ඵල නෙළා ගත යුතුයි‘ ඔහු එසේ ද කීවේය.
‘අද ඉන්දියාව නව ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ අනාගත අවශ්‍යතා ගැන අවධානය යොමු කරමිනුයි. 2014 වසරේ ඉන්දියාවේ ප්‍රාග්ධන වියදම කෝටි 2කට වඩා අඩු වුණා. අද වන විට එය කෝටි 11කට වඩා වැඩියි. එය ඉන්දියාවේ සංචලතා ක්ෂේත්රයට අවස්ථා රැසක් උදා කර තිබෙනවා. ගත වුණු අවුරුදු 10 ඇතුළත ඉන්දියාවේ අලුත් ගුවන්තොටුපොළවල් 75ක් ඉදි වුණා. කිලෝමීටර් ලක්ෂ 4ක මාර්ග ග්‍රාමීය පළාත්වල ඉදි වුණා. කිලෝමීටර් අනූදහසක අධිවේගී මාර්ග ඉදි වුණා. මෙට්‍රෝ සහ දුම්රිය මාර්ග විසිපන්දහසක් ඉදි කිරිමට රජයට හැකියාව ලැබුණා.‘ අගමැතිවරයා එසේ සඳහන් කළේය.
‘ඉන්දීය රජයේ වේගවත් වැඩපිළිවෙළ හා එහි පරිමාණය රටේ සංචලතා පිළිබඳ නිර්වචනයම වෙනස් කර තිබෙනවා. ෆාස්ට් ටැග් තාක්ෂණය මඟින් රටේ ආර්ථිකයට වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 40,000ක ප්‍රතිලාභයක් අත්කරදෙන බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය. ඉන්දියාව මේ වන විට ගෝලීය ආර්ථික බලවතකු වීමේ එළිපත්තට පැමිණ සිටින බවත්, මෝටර් රථ සහ මෝටර් රථ ක්ෂේත්රය එහි සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බවත් අගමැති මෝදි සඳහන් කළේය.
‘අද ඉන්දියාව මගී වාහන සඳහා ලොව තුන්වැනි විශාලතම වෙළෙඳපොළයි. ගෝලීය වශයෙන් වෙළෙඳ වාහන නිෂ්පාදනය කරන ඉහළම රටවල් තුන අතරත් සිටිනවා. කර්මාන්ත සඳහා රජය රුපියල් කෝටි 25,000කට වැඩි නිෂ්පාදන සම්බන්ධ දිරිගැන්වීමේ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. ජාතික විදුලි සංචලතා මෙහෙයුම විද්‍යුත් වාහන නිෂ්පාදනය දක්වා තල්ලු වෙමින් පවතිනවා. විදුලි වාහන සඳහා ඉල්ලුමක් ඇති කිරීමට රජය රුපියල් මිලියන දසදහසක් අයෝජනය කර තිබෙනවා. විදුලි වාහන නිෂ්පාදනය වේගවත් කිරීමේ යෝජනා ක්‍රමය නවදිල්ලි නුවර මෙන්ම තවත් බොහෝ නගරවල විදුලි බස්රථ වර්ධනයට හේතුවී තිබෙනවා.‘ අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඉදිරි වසර 25 ඇතුළත සංචලතා ක්ෂේත්රය විශාල වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි ද, මහමාර්ගයෙන් පැරැණි වාහන ඉවත් කර ඒ වෙනුවට නව වාහන ඇතුළත් කිරීමේදී මාර්ග බද්දෙන් නිදහස් කිරීමේ රජයේ ප්‍රතිපත්තිය ද ඔහු සිහිපත් කර දුන්නේය.
ෆවුස් මොහොමඩ්