දෙමළ සිනමාවේ පුරාවෘත්තයක් ලෙස සැලකෙන කමල් හසන් ගේ රඟපෑම් ගැන, ඔහුගේ චිත්‍රපට ගැන සිනමාලෝලීන් ඉතා හොඳින් දන්නවා. නමුත් ඔහුගේ ආදරවන්තියන් පස් දෙනා ගැන නම් මේ වැඩි දෙනෙකු නොදැන සිටින්නට පිළිවන්. මේ සටහන කමල්ගේ ඒ ‘ආදර ජීවිතය’ පිළිබඳව යි.
ඊට කලින් ඔහු ගේ සිනමා ජීවිතයට අදාළ අලුත් තොරතුරක් ගැනත් සඳහන් කිරීම වැදගත් යයි සිතනවා. එනම් කමල් හසන් සහ සුප්‍රකට අධ්යක්ෂ මනි රත්නම් වසර 37කට පසු එකට වැඩ කරන Thug Life චිත්‍රපටයේ රූපගත කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බවයි. කමල් සහ මනි රත්නම් මෙයට පෙර මේ ආකාරයෙන් එකට වැඩ කළේ 1987 වසරේ තිරගත වූ ‘නායගන්’ සිනමාපටයේ යි.
Thug Life චිත්‍රපටයේ පළමු රූපගත කිරීම් වාරය පසුගිය ජනවාරි මාසයේ සිදු කර තිබුණා. එයින් පසු ඔවුන් කෙටි විරාමයක් ගෙන ඇති අතර මාර්තු මාසයේ නැවතත් රූගත කිරීම් ආරම්භ වීමට නියමිත යි. Thug Life චිත්‍රපටයත් ‘නායගන්’ මෙන්ම සුපිරි සිනමාපටයක් වනු ඇති බවට බොහෝ සිනමා ලේඛකයන් අපේක්ෂා පළ කරනවා.
දැන් එහෙම නම් කමල්ගේ ආදරවන්තියන් පිළිබඳ කතාවට හැරෙමු.
මේ වන විට තනිකඩ දිවියක් ගත කළත් කමල් ඔහුගේ ජීවිතය තුළ විවාහයන් දෙකක් කරගෙන සිටියා. ඊට අමතරව තවත් කාන්තාවන් තිදෙනෙකු සමඟ එකට ජීවත් වූ බවත් පැවසෙනවා.
ඔහු මුලින්ම ආදරයෙන් බැඳී සිටියේ දකුණු ඉන්දියානු නිළියක වූ ශ්‍රීවිද්‍යා සමඟයි. ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධය ආරම්භ වූයේ 1975 වසරේ තිරගත වූ ‘අපූර්ව රාගන්ගල්’නැමැති චිත්‍රපටයේ රඟපාමින් සිටි කාලයේයි. මෙය රජිනිකාන්ත්ගේ පළමු සිනමාපටය වූ බවත් පැවසෙනවා. නමුත් මෙහි ප්‍රධාන නළුවා වූයේ කමල් හසන්.
කමල් සහ ශ්‍රීවිද්‍යා අතර ආදර සම්බන්ධය වැඩි කල් පැවතුණේ නැහැ. එය අවසන්ව තිබුණේ කමල් වෙනත් කාන්තාවක ඇසුරු කරන බව ශ්‍රීවිද්‍යා දැන ගැනීමෙන් පසුවයි. කමල් ඒ වන විට ඇසුරු කළ කාන්තාව වූයේ වානි ගණපතියි. ඇය ඉතා දක්ෂ නර්තන ශිල්පිනියක්. පසුව කමල් සහ වානි යුග දිවියට එළැඹුණා. ඒ, 1978 වසරේයි.
ශ්‍රීවිද්‍යා පසුව වෙනත් විවාහයක් කරගත් නමුත් එය ද සාර්ථක වුණේ නැහැ. බොහෝ දුක් ගැහැටවලින් පිරි ජීවිතයකින් පසු ශ්‍රීවිද්‍යා අකාලයේ ජීවිතයෙන් සමුගත්තේ පිළිකා රෝගයට ගොදුරු වීමෙන්. ඇය දැඩි ලෙස අසාධ්‍යව, මරණාසන්නව සිටිය දී කමල් ඇය බැලීමට රෝහලට ගොස් තිබුණා.
කමල් සහ වානි අතර ආදර සම්බන්ධය ආරම්භ වී තිබුණේත් සිනමාපටයක රූ ගත කිරීම් අතරයි. ඔවුන් විවාහ වෙද්දී කමල්ගේ වයස අවුරුදු 24ක් පමණක් වූ බව පැවසෙනවා. වානි කමල්ට වඩා වසර 4කින් වැඩිමල්. කමල් ඇය සමඟ විවාහ වූයේ ඇය එකට ජීවත් වීමේ ක්‍රමයට කැමැති නොවූ නිසා බවටත් කතාවක් තිබෙනවා. කෙසේ හෝ වේවා, ඔවුන්ගේ විවාහය පැවතුණේ 1988 වනතුරු පමණයි. කමල් වානි සමඟ යුග දිවිය ගත කරමින් සිටියදීම සාරිකා තකූර් නැමැති නිළිය සමඟ ආදර සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. එකල ඔවුන් එකට ජීවත් වූ බවත් සඳහන් වෙනවා.
මෙම තත්ත්වය නිසා ඇති වූ අර්බුදත් සමඟ අවසානයේ වානි කමල්ගෙන් දික්කසාද වුණා.
කමල් පසුව සාරිකා සමඟ විවාහ වුණා. ඒ, 1988 වසරේ යි. කෙසේ වෙතත්, ඒ විවාහය සිදුවීමටත් පෙරම ඔවුන් දෙදෙනා මවුපියන් බවට පත්ව තිබුණා. ශ්රැති සහ අක්ෂරා යන දියණියන් ලැබුණේ කමල් සහ සාරිකා එකට ජීවත් වෙමින් සිටි කාලයේයි.
කමල් – සාරිකා විවාහය වසර 16ක කාලයක් පැවතුණා. ඔය කාලයේ කමල් තවත් නිළියක සමඟ සම්බන්ධයක් ඇති කරගත් බව සඳහන් වෙනවා. ඇයගේ නම සිම්රාන් බග්ගා. ඇය කමල්ට වඩා අවුරුදු 22කින් බාල කෙනෙකු බවත් පැවසුණා. කමල් සහ සිම්රාන් අතර සම්බන්ධය නිසා සාරිකා දැඩි මානසික පීඩාවකට ලක් වූ බව පැවසෙන අතර වරක් ඇය විශාදය (depression) නැමැති මානසික ආබාධයට ගොදුරු වූ බවටත්, සිය දිවි හානි කරගැනීමට පවා සූදානම් වූ බවටත් කතාවක් තිබෙනවා. කෙසේ හෝ වේවා, 2004 වසරේ ඇය කමල්ගෙන් දික්කසාද වුණා.
සිම්රාන් ද සිනමා නිළියක්. ඇයත්, කමලුත් චිත්‍රපට කිහිපයකම රඟපා තිබුණා. ඔවුන් අතර ආදර සම්බන්ධය ඇති වී තිබුණේ 2001 වසරේ බවයි සඳහන් වන්නේ.
වසර කිහිපයක ඇසුරකින් පසු ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයත් අවසන් වුණා. කමල්ගේ ඊළඟ පෙම්වතිය වූයේ ගෞතමී නැමැති නිළියක්. ඔහු වසර 10ක පමණ කාලයක් ගෞතමී සමඟ එකට ජීවත් වුණා. ගෞතමී ඊට පෙර ද විවාහ වී සිටි කෙනෙක්. එම විවාහයෙන් ඇයට දියණියක සිටි බවත් සඳහන්. 2016 වසරේ කමල් සහ ගෞතමී අතර සම්බන්ධයත් අවසන් වුණා.
දැන් කමල්ගේ වයස අවුරුදු 69ක්. දැනගන්නට ඇති ආකාරයට නම් මේ වන විට ඔහුට පෙම්වතියක් නැහැ.
කසුන් අරවින්ද