මෙරට නීතිවිරෝධී අයුරින් මත්ද්‍රව්‍ය ‘වපුරන’ ව්‍යාපාරිකයන්ගෙන් බොහෝ දෙනකු සිටින්නේ විදේශගතවය. ඔවුන් ලෝකයේ කොහේ සිටියද මෙරට මත්ද්‍රව්‍ය ‘වගාව’ මෙන්ම ‘අස්වනු නෙළා ගැනීමත්’ සිදු කරන්නේ අපහසුවකින් තොරවය. ඒ මෙරට ඇතුළත සැදී පැහැදී බලා සිටින ඔවුන්ගේ නියෝජිතයන් හරහාය. එහෙත් මේ වන විට එම පිරිසටද නිදහසේ එම කටයුතු සිදු කර ගැනීමට අසීරු තත්ත්වයක් උදා වී තිබෙන්නේ ඔවුන් කොටු කර ගැනීමේ විශාල මෙහෙයුමක් පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති බැවිනි. එය ‘යුක්තියේ’ මෙහෙයුමයි.
මෙරට ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඔහු නමින් ප්‍රේමසිරිය. එහෙත් මත් ජාලයේ සාමාජිකයන් කවුරුත් පාහේ ඔහු හඳුන්වන්නේ ‘ෂෝටා’ යනුවෙනි. දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුගේම මත්ද්‍රව්‍ය රත්මලාන, අඟුලාන මෙන්ම කොළඹ හා අවට ප්‍රදේශ තුළ බෙදාහරින මෙරට ප්‍රධාන ජාවාරම්කරුවා වශයෙන් කටයුතු කළේ මොහුය. රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ෂෝටා ‘යුක්තියේ දැලෙන්’ බේරී මේ ව්‍යාපාරය කෙසේ හෝ කරගෙන යාමට උපායක් කල්පනා කළේ සීරුවටය. ඔහුගේ ටිකිරි මොළයට එන්නේ අපූරු අදහසකි. ඒ දේවාලයකට රිංගාගෙන කපුවකු ලෙස කටයුතු කළහොත් බේරී සිටීම පහසු වේ යැයි කියාය. ඔහුගේ මිතුරු කපුවෙකු සිටින දේවාලයක් හොරණ ප්‍රදේශයේ තිබීම දෙවියන් ඔහුගේ මුහුණ බැලුවා වැනිය.
“නරකද අයියා මේ දේවාලේ තව ටිකක් වැඩිදියුණු කළොත්…?“ ෂෝටා දෙවොලේ කපු මහතා එසේ දැනුම්වත් කළේ ඇඟටපතට නොදැනීමය.
“මේ දවස්වල හැමදේම ගිනි ගණන්නෙ මල්ලි. ඕව කරන්න තියා හිතන්නවත් බෑ. කොයින්ද සල්ලි…?“
“බය වෙන්න එපා අයියා මම වියදම් කරන්නං…“
එලෙස කපු මහතා ‘අන්දා’ ඔහුගේ හිත දිනා ගත් ‘ෂෝටා’ දේවාලයේ නතර වී ආවතේව කටයුතු කරමින් සිටියේ කපු මහතාගේ වැඩ කටයුතුවලට විශාල ශක්තියක් ද ලබා දෙමිනි. ඒ අතරම කිසිවකුටත් සැකයක් නොසිතෙන අයුරින් මත්ද්‍රව්‍ය අලෙවියද කරගෙන ගියේ ඉතා සූක්ෂම ලෙසටය.
යන්ත්රමන්ත්ර ගුරුකම් මෙන්ම සාස්තර අසා ගැනීමටද මෙම දේවාලයට දුරබැහැර ප්‍රදේශවලින් ජනතාව පැමිණියේ එහි ඇති හාස්කම් පිළිබඳ වන ප්‍රසිද්ධිය සහ විශ්වාසය නිසාය. දේවාලයේ වැඩ කටයුතු කෙරෙන්නේ රාත්‍රී කාලයේ වන අතර සාස්තර කියන්නේ, පේන බලන්නේ උදෑසන කාලයේය. නන්නාඳුනනා මිනිසුන් යන එන මේ දෙවොලේ ආවතේවකරු ලෙස වෙස්වළාගත් ‘ෂෝටා’ තම ඉලක්කය සපුරා ගනිමින් සිටියේ ‘කපු අයියාවත්’ රවටාගෙනය.
“සර් ෂෝටා දැන් ඉන්නෙ හොරණ පැත්තෙ දේවාලෙකට පැනල…”
දිනක් පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ඔත්තුකරුවකුගෙන් රහසිගතව එලෙස ලැබෙන්නේ අපූරු පුවතකි. ඒ ෂෝටා කොටුකර ගැනීමට අවශ්‍ය තොරතුරු ඔත්තුකරුවන් හරහා එක්රැස් කරමින් සිටින අතරතුරය. ලද ආරංචියෙන් උද්දාමයට පත් ස්ථානාධිපතිවරයා එම බළකායේ එවකට අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චාමික වික්‍රමසිංහ දැනුම්වත් කර ඔහුගේ උපදෙස් අනුව ඊළඟ පියවගත්තේය.
සාමාන්‍ය ඇඳුමින් සැරසුණ පොලිස් සැරයන්වරයකු හිමිදිරි උදෑසනම හොරණ, පොකුණුවිට, කඳන්හේනේ, සුනාමි වත්තට යන්නේ දේවාරූඪයෙන් සාස්තර කියන මහා බලගතු මේ දේවාලය වෙතය. ඒ සාස්තරයක් අසා දැනගැනීම සඳහා උපාය දූතයෙකු ලෙසය. තාප්පවලින් වටවී ඇති ඉඩමේ නිෙවස අසලම ඉදිකර ඇති දේවාලයේ සාස්තර කීම ආරම්භ කර ඇත්තේ අද ඊයේ නොවේ.
“මහත්තයා, මම ලොකු කරදරේකට වැටිලා ඉන්නේ… මට සාස්තරයක් අහන්න පුළුවන්ද දැන්? සාත්තරයක් අහන්න කීයක් ගන්නවද?“ පොලිස් උපාය දූතයා එලෙස විමසීය.
“එක්දාස් පන්සීයයි. ආපු පිළිවෙළට පෝලිමේ ඉන්න. කපු මහත්තය පූජාව තියල තමයි එන්නේ…“ ආවතේවකරු ෂෝටා පොලිස් උපාය දූතයාට පිළිතුරු දුන්නේය.
මේ ඉන්නේ ෂෝටාම බව නිවැරදිව හඳුනා ගැනීමට උපාය දූතයාට අපහසු වූයේ නැත. ඒ ඔහුගේ රුව ඔහු හොඳින් අධ්‍යයනය කර තිබීම නිසාය. තම වාරය පැමිණෙන තෙක් අසල බංකුවකට බරදී සිටි පොලිස් උපාය දූතයාගේ ඇඟිලි තුඩුවලින් දුරකතනය ඔස්සේ සංඥා නිකුත් වූයේ අවට රැකවල්ලා සිටි පොලිස් නිලධරයන් වෙතය.
නිල ඇඳුම් ඇඟලා ගත් පිරිස එක්වරම දේවාලය වෙත කඩා පනිද්දී වැඩේ වැරදුණු බව වටහාගත් ‘හොර කපුවා’ මිදුලට පැන දුවන්නට සූදානම් වූයේ කෙසේ හෝ බේරී පලා යාමටය. එහෙත් ඔහුට සිදු වූයේ සැණෙකින් පරාජය බාර ගැනීමටය. සුදු පිරුවටයෙන් සැරසී ප්‍රධාන කපුවාට පුද පූජා පැවැත්වීමට පුජා භාණ්ඩ සකස් කරමින් සිටි ‘ෂෝටා’ හොර කපුවා දේවාලයේ ස්ථානයක සඟවාගෙන සිටි රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා මත්කුඩු ග්‍රෑම් 10ක පමණ ප්‍රමාණයක්ද මිට මොළවාගෙන ලොකු පිම්මක් පැනීමට සැරසුණත් එය ව්‍යර්ථ වූයේ අතිදක්ෂයන් වන පොලිස් නිලදරුවන්ගෙන් ගැලවීම ලේසි පහසු නොවන බැවිනි.
“යුක්තිය නිසා බෑනෙ සර්. ඒ පැත්තෙ බිස්නස් කරන්න. ඒකයි සති දෙකක විතර ඉඳල මෙහාට වෙලා කරන්න බැලුවේ…“
වසර දහයක් පමණ පැරණි මෙම දේවාලය පිහිටා තිබුණේ ජනශූන්‍ය ප්‍රදේශයක බැවින් තම ව්‍යාපාරික කටයුතු රිසි සේ කරගෙන යාමට දේවාශීර්වාදයෙන්වත් හැකි වේ යැයි සිතුවද අසාධාරණයට අවනීතියට දෙවියන් පවා අහක බලන බව ‘ෂෝටා’ වටහා ගන්නට ඇත්තේ දෑතට විලංගු දමා කුදලාගෙන යන විටදී විය හැකිය.
පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීම මත ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, ප්‍රධාන පොලිස් පරීක්ෂක සිරිවර්ධන, උප පොලිස් පරීක්ෂකවරුන් වන සඳරුවන්, ජයලත්, පොලිස් සැරයන් 428 ජයලාල්, කොස්තාපල්වරුන් වන 39850 අශාන්, 90452 ලෝගනාදන්, 91287 සංජීව, 93681 ජයසේකර, 93728 ජයසිංහ, 104914 වෙන්මදිරාජා, කාන්තා පොලිස් කොස්තාපල් 12617 ශාලිකා, කොස්තාපල් රියැදුරු 16227 උදාර, 105529 සිල්වා යන නිලධාරීහු කණ්ඩායම විසින් මෙම වැටලීම සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ