Home » තොටළඟදී අල්ලන්න පොලිසිය ගහපු ‘ප්ලෑන’
ගලේවෙලදී මිනිස් ඝාතනයක් සිදුකර කොළඹට පැන්න සැකකරු

තොටළඟදී අල්ලන්න පොලිසිය ගහපු ‘ප්ලෑන’

by thanushika
February 17, 2024 12:30 am 0 comment

ගලේවෙල බෙලිගල ප්‍රදේශයේ රජයේ ගොවිපොළකට අයත් අලෙවිසලක මුරකරුවකු අත්පා ගැට ගසා ඝාතනය කරනු ලබන්නේ 2023 වසරේ ඔක්තෝබර් 26 වැනිදාය. එම තොරතුරු ලද සැණින් ගලේවෙල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹන්නේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ද අනුදැනුම ඇතිවය. සැකකරුවන් සෙවීම තරමක් අභියෝගාත්මක වන්නේ ඔවුන් කිසිම සාක්ෂියක් ඒ වන විටත් ඉතිරිකර ගොස් නැති හෙයිනි.

මෙලෙස ඝාතනය වන්නේ ගලේවෙල, කැප්පෙටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පනස් තුන්හැවිරිදි කරුපයියා සාමිනාදන් නමැත්තෙකි. මෙහි විමර්ශන එවකට මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනක වීරසිංහ විසින් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දෙන්නේ සැකකරුවන් ඉක්මනින් අත්අඩංගුවට ගැනීම සඳහාය.

මෙම අලෙවිසලේ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී ඔක්තෝබර් 25 වැනිදා රාත්‍රී 12ට පමණ පුද්ගලයන් දෙදෙනකු පැමිණෙන අයුරු පොලිස් නිලධාරීන්ට නිර්ක්ෂණය වන්නේය. එහිදී ඔවුන් මේ මුරකරුව අත්පා ගැටගසා එළියට ඇද දමන දර්ශන තිබුණ ද සැකකරුවන් හඳුනා ගැනීමට තරම් එම දර්ශනය පැහැදිලි නැත. මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාරගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් අවට සීසීටීවී කැමරා දර්ශන නිරීක්ෂණය කරන්නේ යම්කිසි තොරතුරක් සොයා ගැනීමටය. ඒ අනුව නිලධාරීන් යොදවා සැකකරුවන්ගේ හැඩරුව අනුව විමර්ශන අරඹා දින කිහිපයක් ඇතුළත දඹුල්ල නගරයෙන් යම් හෝඩුවාවක් සොයා ගැනීමට නිලධාරීහු සමත් වූහ. ඒ හෝඩුවාව ලැබෙන්නේ දඹුල්ල ප්‍රදේශයේ තේ කඩයකිනි.

වහා එම තේ කඩයට යන පොලිස් නිලධාරීන් අලෙවිසලේ සීසීටීවී කැමරා දර්ශන කඩ හිමියාට පෙන්වන අතර එහිදී ඔහු ටික වේලාවක් ඒවා බලා සිට සැකකරුවන් හඳුනා ගන්නා ලදී. ඒ සැකකරු ඔක්තෝබර් 25 වැනිදා සවස 7ට පමණ තේ බීමට තම කඩයට පැමිණ ඇති බවට තේ කඩ හිමියා හඳුනා ගන්නේ ඒ අනුවය. පොලිස් නිලධාරීන් සැකකරුවන් කවුරුන්ද යන්න සෙවීමට විමර්ශන අරඹන්නේ ඉන් අනතුරුවය. එහිදී එක් සැකකරුවකු දඹුල්ල ‘කපුවත්ත’ ප්‍රදේශයේ පදිංචි ‘මංජුල ලසන්ත කුමාර’ නමැත්තකු බවට තේ කඩේ හිමිකරු හඳුනා ගන්නා අතර ඔහු පදිංචි නිශ්චිත තැනක් ඔහු දැන සිටියේ නැත. ‘මංජුල’ නමැත්තා පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් කපුවත්ත ප්‍රදේශය පීරන්නේ ඉන්පසුවය. මෙහිදී මංජුල නමැත්තාගේ මහගෙදර පොලිස් නිලධාරීන් විසින් සොයා ගන්නා අතර ඒ වන විට එහි සිටියේ ඔහුගේ මව පමණි.

මවගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔක්තෝබර් 25 වැනිදා පාන්දර 5ට පමණ ඇගේ පුතු ‘මංජුල’ සහ කැප් එකක් දමාගත් පුද්ගලයකු සමඟ ගෙදරට පැමිණි බව හෙළි වන්නේය. මොවුන් දෙදෙනා කොළඹ සිට පැමිණි බව මව පොලිසිය හමුවේ ප්‍රකාශ කළාය. 25 වැනිදා දවසම මොවුන් දෙදෙනා නිවෙසේ සිටි බවත් සවස 4ට පමණ කොළඹ යන බව පවසා මවගෙන් රු.1800ක් ද ඉල්ලාගෙන ගිය බවත් මව වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

පොලිස් නිලධාරීන් සීසීටීවී කැමරා දර්ශන මවට පෙන්වන්නේ සැකකරුවන් තවදුරටත් තහවුරු කරගැනීමටය. පොලිස් නිලධාරීන්ගේ ප්‍රයත්නය සාර්ථකය. සීසීටීවී කැමරා දර්ශන දුටු සැණින් මව තම පුතා හඳුනා ගත්තාය. දැනට ඔහු සිටිනා තැනක් නොදන්නා බව ද මව පැවසුවාය. ඊළඟ අභියෝගය වූයේ සැකකරුවන් කොහේ සිටින්නේ ද යන්න සොයා ගැනීමය. සැකකරුවන් පිළිබඳ රටපුරා ඇති පොලිස් ස්ථානවලට ද දන්වන අතර මෝදර පොලිසියෙන් ඒ ගැන යම්කිසි තොරතුරක් ලැබෙන්නේ ඉන් පසුවය. ඒ මෝදර පොලිසියෙන් මංජුල නමැති සැකකරුගේ හැඩහුරුකම්වලට සමාන සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවටය. එහෙත් එම සැකකරු මංජුල නමැත්තකු නොවන බවත් වෙනත් නමක් ඇත්තකු බවත් අනාවරණය විය. මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් මෝදර පොලිසියට පැමිණෙන්නේ සැකකරු තහවුරු කර ගැනීමටය. සීසීටීවී කැමරා දර්ශන සහ මවගේ සාක්ෂි අනුව මේ මංජුල ලසන්ත කුමාර බවට මෝදර පොලිසිය මඟින් ගෙන තිබූ ඡායාරූපය දුටු සැණින් පොලිස් නිලධාරීන් හඳුනා ගන්නා ලදී.

මේ සැකකරු මෝදර පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ තොටළඟ ප්‍රදේශයේදීය. මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සැකකරුගේ ඡායාරූපයක් රැගෙන තොටළඟට ගොස් ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු සොයද්දී ඔහු මංජුල නමැත්තා බවට යළිත් තහවුරු විය. මංජුල මෝදර පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලබන්නේ ද ඇහැළියගොඩ ප්‍රදේශයේ ගෙයක් බිඳීමේ සිදුවීමකටය‍. ඒ වන විටත් සැකකරු මෝදර පොලිසියෙන් ඇහැළියගොඩ පොලිසියට රැගෙන ගොස් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් මංජුල හඳුනා ගැනීමේදී ඔහු පෙර සිදුවීමට බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරීමෙන් පසුව පිටත්ව ගොස් සිටියේය. ඉන්පසු පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගන්නේ තොටළඟ ඔහු දැනට පදිංචිව සිටි නිවෙසටම ගොසිනි.

මෙහිදී සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වන්නේ ඔහු තවත් පුද්ගලයකු ද සමඟ එක්ව මෙම ඝාතනය සිදු කළ බවත් රු.25,000ක පමණ භාණ්ඩ සොරකම් කර තොටළඟට පැමිණ ඒවා රු.3000කට පමණ විකුණා මත්ද්‍රව්‍ය මිලදී ගත් බවය. එහෙත් අනෙක් සැකකරු ගැන කිසිවක් මංජුල විසින් ප්‍රකාශ කර නැත. එම පුද්ගලයා ඔහු එදින ගමට යන අතරතුරදී මුණගැසුණු අයකු බව පොලිසියට පවසා තිබිණි. තවද තමන් මුරකරු ඝාතනය නොකළ බවත් ඔහුගේ මුහුණ සහ අතපය තදින් ගැටගසා දමා ආ බවත් මංජුල විසින් පොලිස් නිලධාරීන් හමුවේ පැවසුවේය.

මෙහිදී සැකකරුවන් විසින් අලෙවිසලෙන් හොරකම් කරගෙන ගෙනා පැණි බෝතලයක් ද තොටළඟ අවට නිවෙසක තිබී පොලිසිය සොයා ගන්නා ලදී. ඒ වන විට එම පැණි බෝතලයේ ස්වල්පයක් ඉතිරිව තිබු අතර මෙය බෙලිගල අලෙවිසලෙන් ගෙනා එකක් බවට ද පොලිසිය අනාවරණය කර ගන්නේය.

තොටළඟ පදිංචිව සිටිමින් රට පුරා ගොසින් හොරකම් කිරීම මොවුන්ගේ පුරුද්ද බවත් එලෙස සොරකම් කර ගෙනෙන බඩු අඩු මිලකට විකුණා දවසේ මත්කුඩු ප්‍රමාණය මිලදී ගැනීමත් මොවුන්ගේ එකම අවශ්‍යතාව බව හෙළි විය. මේ වනවිට මංජුල නමැත්තා බන්ධනාගාරගත කර තිබෙන අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු විමර්ශන සිදු කරති.

අත්අඩංගුවට ගත් සැකකරු විජයපුරගේ මංජුල ලසන්ත කුමාර, විජයපුර ආරච්චිලාගේ ලසන්ත කුමාර, විජයපුරගේ මහේෂ් කුමාර, විජයපුරගේ වසන්ත කුමාර යන ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් විවිධ ප්‍රදේශවල සොරකම්වල නිරතව ඇත. ඇතැම් අවස්ථාවලදී මොහු අත්අඩංගුවට ගත් විට මෙලෙස ව්‍යාජ නම් ලබා දී ඇත්තේ ද පොලිසිය නොමඟ යැවීමේ අරමුණෙනි.

එවකට මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනක වීරසිංහගේ උපදෙස් මත සැකකාර මංජුල අත්අඩංගුවට ගැනිණි.

මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේගේ උපදෙස් මත මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාරගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන බස්නායක, මංජුල, සැරයන්වරුන් වන ගුණවර්ධන (26743), ජයසේන (6762), ප්‍රේමසිරි (20749), සාලය (57191), ගුණතිලක (8552), පොලිස් කොස්තාපල් රියැදුරු නඳුන් (17665) යන නිලධාරීහු අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division