Home » කෝටි හතක ‘අම්බර’ අල්ලන්න කළ යුක්තිය මෙහෙයුම

කෝටි හතක ‘අම්බර’ අල්ලන්න කළ යුක්තිය මෙහෙයුම

by thanushika
February 17, 2024 12:30 am 0 comment

අපරාධ මෙහෙයුම් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ පුහුණු නිලධාරීන්ගෙන් සමන්විතව දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මාතර අපරාධ විමර්ශන කොට්ඨාසය ආරම්භ කෙරුණේ වර්ධනය වෙමින් තිබූ අපරාධ මර්දනය කිරීමේ අරමුණෙනි.

සහකාර පොලිස් අධිකාරී මහින්ද කල්දේරාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක මෙම කොට්ඨාසය මඟින් අපරාධ මර්දනය කිරීමේ මෙහෙයුම් දියත් කරමින් තිබියදී වැඩබලන පොලිස්පතිවරයාගේ අදහසකට අනුව අලුතින් ආරම්භ කරන ලද ‘යුක්තිය’ මෙහෙයුමේදී සුවිශේෂී වැඩ කොටසක් මාතර අපරාධ කොට්ඨාසයට ද පැවරුණේ එහි මෙහෙයුම් ක්‍රියාත්මක කරනා පුහුණුවලත් විශේෂ පොලිස් කණ්ඩායමේ දක්ෂතාව නිසාමය.

මාතර අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී මහින්ද කල්දේරාට පසුගිය දිනෙක යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකින් කියවුණේ විදේශ රටවල අධික මිල ගණන්වලට අලෙවි වන සුවඳ විලවුන් ඇතුළු රූපලාවණ්‍ය කටයුතුවලට භාවිත කරන නිෂ්පාදන සඳහා යොදා ගන්නා ‘අම්බර’ තොගයක් අලෙවිය සඳහා ඉතා සූක්ෂම ලෙස අම්බලන්තොට සිට මාතරට රැගෙන ඒමට සූදානමක් තිබෙන බවයි.

බුද්ධි තොරතුරට අදාළ සියලු තොරතුරු අසා දැනගත් කල්දේරා මහතා ඊළඟට සිදු කළේ වහා තම ප්‍රධානියා වූ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදිවත්තට මේ තොරතුර පිළිබඳ දැනුම්දී කඩිනම් මෙහෙයුමක් සඳහා උපදෙස් ලබා ගැනීමයි.

“කල්දේරා ඔයා ආමි ඉන්ට් ටීම් එකත් එක්ක අපේ නිලධාරීන් දාලා හරියටම වැඩේ තහවුරු කරගෙන එක්කෙනෙකුටවත් පැනල යන්න ඉඩ නොදී අල්ලාගන්න බලන්න. හැබැයි හානිය උපරිමයෙන් අවම කරගන්න. කණ්ඩායමේ ආරක්ෂාව ගැන හොඳටම බලන්න” යැයි කීවේය.

තම උසස් නිලධාරියාගේ උපදෙස් මත මෙහෙයුම් කණ්ඩායමක් සූදානම් කළ සහකාර පොලිස් අධිකාරීවරයා ඔවුනට අවශ්‍ය උපදෙස් ලබා දී ආවේක්ෂණ කටයුතුවල යෙද වූයේ ජාවාරම්කරුවන් සියලු දෙනා නීතියේ රැහැනට හසුකර ගැනීමේ අරමුණෙනි. පොලිස් කණ්ඩායමේ නායකත්වය පැවරුණේ උප පොලිස් පරීක්ෂක ධම්මික ඔසන්ත ගමගේටය. ඔහුගේ සහායට සැරයන් (53662) ගමගේ, කොස්තාපල්වරුන් වන (68274) සිරිබද්දන, (89484) සමරසේකර, (24208) රංජය සහ කොස්තාපල් රියදුරු (80460) මධුරංග යන නිලධාරී සම්බන්ධ කැරෙන්නේ අවශ්‍ය උපදෙස් ද සමඟය.

ඒ අනුව දින හතරක් පුරා හමුදා බුද්ධි නිලධාරීන් සමඟ අවේක්ෂණ කටයුතු කළ පොලිස් කණ්ඩායම පසුගිය 06 වැනි දින සවස අම්බර තොගය රැගත් කණ්ඩායම සුඛෝපභෝගී ජීප් රථයකින් මාතරට පැමිණෙන බවත් සැකකරුවන් තිදෙනෙකු ඒ සමඟ පැමිණෙන බවත් තහවුරු කර ගන්නා ලදී.

සියලු තොරතුරු එලෙස තහවුරු කරගැනීමෙන් පසු පස්වරු පහට පමණ පොලිස් කණ්ඩායම අධිවේගී මාර්ගයේ මාතර නිල්වලා පිටවීම් දොරටුව කේන්ද්‍ර කර මෙහෙයුම ආරම්භ කළ අතර සැකකරුවන් අම්බලන්තොට පිවිසුමෙන් ඇතුළුවී මාතර දෙසට පැමිණෙන බව උප පොලිස් පරීක්ෂක ධම්මික ඔසන්ත තහවුරු කරගත්තේ ඔය අතරය.

පස්වරු හයයි දහයට නිල්වලා පිවිසුමට ළඟා වූ සැකකරුවන් රැගත් මොන්ටේරෝ රථය ඉන් පිටව මාතර අකුරැස්ස මාතර මාර්ගයේ මීටර් සියයක් පමණ මාතර දෙසට පැමිණෙනවාත් සමඟ ස්ථානගතව සිටි පොලිස් කණ්ඩායම ආයුධ සන්නද්ධව මාර්ගය අවහිර කර ජීප් රථය නවතා පරීක්ෂා කිරීමේදී ජීප් රථයේ රියදුරු අසුනේ යට තිබී අම්බර පාර්සලයක් සොයා ගන්නා ලදී. පසුපස අසුන්වල සිටි දෙදෙනා සතුව තිබී තවත් පාර්සල් දෙකක් සොයා ගැනිණි. මෙලෙස සොයාගත් අම්බර ප්‍රමාණය කිලෝ හතරහමාරකි.

පොලිස් විමර්ශන අනුව අනාවරණය වූයේ එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ හත්සියයකට ආසන්න බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 සහ 31 වයස්වල පසුවන්නන් බවත් ජීප් රථය එය පදවාගෙන ආ පුද්ගලයාගේ මවට අයත් එකක් බවත් පසුව අනාවරණය කර ගැනිණි. පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අම්බර ග්‍රෑම් එකක් ඇතැම් අවස්ථාවල රුපියල් විසිහතර දහසක් වැනි මුදලකට අලෙවි කරන බවට හඳුනාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේය.

අම්බර යනු මසුන් ආහාර පිණිස ගන්නා තල්මසුන් වර්ගයක් වන කොමඩුවා හෙවත් කොමඩා නමින් හඳුන්වන තල්මසාගේ බහිස්‍රාවීය ද්‍රව්‍යයකි. කොමඩා යනු මුහුදු දැවැන්තයා නිල් තල්මසාට පමණක් දෙවැනි වන විශාලතම තල්මසාය. මාංස භක්ෂකයකු වන එම තල්මසා විසින් දැල්ලන් සහ ඉස්සන් වැනි මසුන් වර්ග ආහාරයට ගන්නා අවස්ථාවන්හිදී තල්මසාගේ උදරයේ රැඳෙන එම සත්ත්ව පොතු උදරයේ ශ්ලේෂ්මල සමඟ රැඳී කලක් තිබී මළ සමඟ පිටවන අතර එම වසුරු මුහුදු ජලය මත පාවෙමින් තිබී වෙරළට පාවී එයි. එමෙන්ම දැල්ලන්ගේ පොතු තල්මසාගේ තල්ලේ ඇලෙන අතර තල්ලේ ශ්ලේෂ්මල සමඟ රැඳී තිබී එය අපහසුවක් වන අවස්ථාවේදී තල්මසා වමාර ඉවත දමයි. එය මුහුදු ජලය මතුපිට රැඳී පසුව ගොඩබිමට ගසාගෙන එන අතර අම්බර නමින් හඳුන්වනු ලබන්නේ මෙම බහිස්‍රාවීය ද්‍රව්‍යයයි.

මෙහිදී මෙම ද්‍රව්‍ය පෙණ ගොඩක් සේ වෙරළ මත පවතින අතර එය හඳුනන පිරිස් විසින් එකතු කර අලෙවි කරයි. එයට විශාල වටිනාකමක් ඇත්තේ මේවා නිතර හමු නොවන නිසා මෙන්ම විලවුන් නිෂ්පාදනයේදී අදාළ විලවුන් වර්ගය වැඩි කාලයක් ශරීරයේ රැඳී පැවැතීමේ ගුණය අම්බර යෙදීමෙන් ලබාගන්නා නිසා සුවඳ විලවුන් මෙන්ම ඖෂධ හා වාජීකරණ ඔසු නිපදවීමටද අම්බර යොදා ගැනේ.

වනජීවී ආඥා පනත යටතේ අත්අඩංගුවට ගත් මෙම අම්බර සහ සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදාහැර ඇත.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, තංගල්ල සහ මාතර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාරගේ උපදෙස් සහ මාතර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී මහින්ද කල්දේරාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක ධම්මික ඔසන්ත ගමගේ ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

ගන්දර - ජයසිරි පේදුරුආරච්චි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division