Home » ඒ දෙන්නා තමයි නිතර ගුණ දොස් කියලා මගේ නිර්මාණ හැඩ කරන්නේ 

ඒ දෙන්නා තමයි නිතර ගුණ දොස් කියලා මගේ නිර්මාණ හැඩ කරන්නේ 

by thanushika
February 24, 2024 12:30 am 0 comment

 

රඟපාන්න ඇති වූ ආශාව නිසාම කලා ක්ෂේත්‍රයට පිවිසි ඔහු අද වන විට සාර්ථක ගමනක් යමින් සිටී. ඒ රඟපෑමෙන් පමණක්ම නොව ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස ද නමක් දිනා සිටින ඔහු චාගී වගීෂ යි.

කවුද මේ චාගී කියන්නේ?

කලාව ගැන හිතන ඒ තුළින් ප්‍රේක්ෂකයන්ට වැදගත් දෙයක් රසවින්දනය කරන්න ඉඩ දෙන බොහෝම සාමාන්‍ය සරල මනුස්සයෙක් තමයි චාගී කියන්නේ

කොහොමද මේ කලා ගමන අරඹන්නේ?

මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න හිතපු කෙනෙක් නෙමෙයි. නමුත් මගේ පවුල් පසුබිමෙන් මේ කලා ක්ෂේත්‍රයට බොහෝම ළඟ සම්බන්ධ කමක් තිබුණා. මගේ තාත්තා සහ අක්කලා ගුවන් විදුලි සංස්ථාවේ වැඩ කළේ. රවින්ද්‍ර ගුරුගේ මගේ ළඟම ඥාතියෙක්. පාසැල් අධ්‍යාපනයෙන් පස්සේ මම කොළඹ ආවා. ඒ කාලේ මාත් එක්ක හිටියා තාරක අධිකාරි කියලා මගේ ඥාති අයියා කෙනෙක්. එයා වේෂ නිරූපණ ශිල්පියෙක්. එයා එක්ක මම වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍යවල වැඩට ගියා. එතකොට තමයි මට හිතුණේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න තිබුණ නම් හොඳයි කියලා. ඒ වගේම රඟපාන්නත් මට ආසාවක් ඇතිවුණා. ඒ නිසාම මම නාට්‍ය වැඩමුළුවටත් සම්බන්ධ වුණා.

ඔබ පාසැල් සමයේ සිටම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ගැන උනන්දු වුණාද?

ඔව්. මම තාත්තා එක්ක ඒ දවස්වල ගුවන්විදුලි සංස්ථාවට එහෙම යනවා. මට තිබුණේ ගණිත අංශයෙන් ඉගෙන ගෙන ඉංජිනේරුවෙක් විදිහට ඉදිරියට යන්න. පාසල් කාලයේ ගුවන්විදුලි වැඩසටහන්වලට සහභාගී වුණාට අධ්‍යක්ෂණය පැත්තෙන් ඉස්සරහට යන්න ලොකු අදහසක් තිබුණේ නෑ.

මේ වෙනකොට කොපමණ ටෙලි නාට්‍ය ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කර තිබෙනවාද?

ටෙලි චිත්‍රපට 100කට අධික ප්‍රමාණයක් මම මේ වෙනකොට අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම ඒකාංගික පොහොය ටෙලි නාට්‍ය 40ක ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරලා තියනවා. මගේ පළමු ටෙලි චිත්‍රපටය තමයි “විජයග්‍රහණය” . ඒය විකාශනය වුණේ මගේ දුවගේ උපන්දිනය දවසේ.

ඔබ සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථා මොනවාද?

මම මුලින්ම අධ්‍යක්ෂණය කළ විජයග්‍රහණය නාට්‍ය රයිගම් සම්මාන උලෙළේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය 3 අතරට තේරුණා. ඒ 2020 වසරේදී. ඊට පස්සේ 2021 වසරේදී විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍ය ලෙස පරෝපකාරය නාට්‍ය සම්මාන ලැබුණා. 2022 වසරේදී සුමති ටෙලි සම්මාන උලෙළේදී පොහොය නාට්‍යයක් වූ සිත් කඩතොලු විශිෂ්ටතම ටෙලි නාට්‍ය විදිහට සම්මාන ලැබුණා. මම නාට්‍ය අධ්‍යක්ෂණය කරන්න පටන් ගත්තේ 2020 අවුරුද්දේ. ඒ වසරේ ඉඳන් මේ දක්වා මගේ නාට්‍ය සෑම වසරකම විශිෂ්ටතම ටෙලි නාට්‍ය 3 අතරට යෝජනා වුණා.

කාලා ක්ෂේත්‍රයට එන්නෙම අධ්‍යක්ෂකවරයෙක් විදිහටද?

මම පටන් ගන්නේ වේශ නිරූපණ, අංග රචන ශිල්පියෙක් විදිහයට. ඒ දවස්වල මම වැඩ කළේ සිරස නාළිකාවේ. මට හිතුණා මීට වඩා වැඩි දෙයක් මට කරන්න පුළුවන් කියලා. ඉන් පස්සේ මම සංස්කරණය, කැමරාකරණය වගේ සියලුම දේවල් හදාරනවා. ඒ අතර මම වෙළෙඳ දැන්වීම් සහ වාර්තාමය චිත්‍රපට වගේ දේවල් අධ්‍යක්ෂණය කරනවා. ඒ අතරේ තමයි මම හිරු නාළිකාවට සම්බන්ධ වෙන්නේ. ඒ සහය නිෂ්පාදකවරයෙක් විදිහට. මේ ක්ෂේත්‍රයේ මට තියන දැනුම නිසා හිරු එකෙන් මට අවස්ථාව දෙනවා නිෂ්පාදන කටයුතු කරන්න. ඒ අතර මම බාහිරව මියුසික් වීඩියෝ, කෙටි චිත්‍රපට වගේ දේවල් අධ්‍යක්ෂණය කළා. 2018 දී හිරු එකෙන් අයින් වෙලා මගේම ආයතනයක් පටන් අරන් ඒ කටයුතු කරගෙන ගියා. ඒ අතරේ තමයි මට නැවත හිරු නාළිකාවෙන් කතා කරන්නේ. දෙවැනි වර මම හිරු එකට සම්බන්ධ වෙන්නේ කෙටි ටෙලි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදිහට.

ඉදිරියේදී අපට දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?

මම හුඟාක්ම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ දෙමව්පියන්ට සහ දරුවන්ට ආදර්ශයක් ගෙනෙන ආකාරයේ ටෙලි නාට්‍ය. ඒක තේමාව තවත් පුළුල් කරලා ආදරය බැඳීම් වගේ තේමාවන් කරන්න තමයි බලාපොරොත්තුව.

අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඔබට. තියෙන අභියෝග මොනවාද?

නිෂ්පාදකවරයෙක් සම්බන්ධ කර ගැනීම තමයි විශාලම අභියෝග. අනිත් දේ තමයි මේ ක්ෂේත්‍රයේ ඉන්න වෘත්තීමය පළපුරුද්දක් තියන පුද්ගලයන් සොයා ගැනීම. මොකද මම මේ හැම දෙයක්ම ඉගෙන තියෙන නිසා මම දන්නවා ඒක උපරිමයෙන් කරන්න පුළුවන් විදිහ. ඉස්සර වගේ නෙමෙයි දැන් හරි අඩුයි ඒ වගේ. කැපවීමෙන් උසස් සේවාවක් ලබා දෙන අය. ඒ නිසා අපේ ලොකු වගකීමක් තමයි සුදුසු පුද්ගලයන් සොයා ගැනීම.

අනාගත බලාපොරොත්තු මොනවාද?

රටින් බැහැරව ගිහින් සිනමා ක්ෂේත්‍රය ගැන තවත් හැදෑරීම් කරන්න මට ලොකු ආසාවක් තියනවා. ඒ වගේම චිත්‍රපටයක් කිරීමේ අදහසකුත් තියනවා. ඒ ගැන මේ දවස්වල කටයුතු සැලසුම් කරගෙන යනවා.

මේ ආව ගමනේ ඔබ ස්තුතිවන්ත වෙන්නේ කාටද?

ඔව්. මම මේ ගමන ආවේ විශාල පිරිසක් එක්ක. ඒ වගේම කලා ක්ෂේත්‍රය පිළිබඳව ඉගෙනුමකින් හා අවබෝධයෙන්. ක්ෂේත්‍රයට එන්න කැමති අලුත් අයට උදව් කරන්න මම කැමතියි.

එක්කම මතක් කළ යුතුයි මගේ ආදරණීය මවුපියන් නන්දා හත්තොටුව පියනන්ද විතාන. මගේ සහෝදරියන් දෙදෙනා ප්‍රියංගනී සහ සමන්ති. ඊළඟට මගේ නිර්මාණවල ප්‍රධාන විචාරකයන් දෙදෙනා වන මගේ බිරිඳ සොනාලි ලක්ෂිකා සහ දුව රිෂෝනි අකෙන්‍යා. ඒ දෙන්නා තමයි මට නිතර ගුණ දොස් කියලා මගේ නිර්මාණ හැඩ කරන්නේ. අවසාන වශයෙන් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතා. ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වින්සන් සිල්වා මහතා, වැඩසටහන් අධ්‍යක්ෂ විරාජ් වැලිවත්ත මහතා, චාමර ජයවීර, නිවන්ත ප්‍රසාර, ජීවන්ත දේශප්‍රිය, දමිත් ප්‍රනාන්දු, චන්දන අමරසිංහ, තරංග වික්‍රමාදර, සාරංග පතිරණ යන මහත්වරුන්, මා කෙරෙහි විශ්වාසය තියලා මට අවස්ථාව ලබා දුන් එක ගැන මගේ ගෞරවනීය ස්තුතිය ඔවුන්ට පුදකරනවා. ඒ වගේම හිරු ටෙලි සිනමා සිත්තම් සාර්ථක කරගැනීමට සහය දුන් කැමරා අංශයේ සියලුම දෙනාත්, කලා අධ්‍යක්ෂ අංශයේ සියලුම දෙනාත්, සංස්කරණ සහ නිෂ්පාදන අංශයන්හී සියලුම දෙනාටත් මම ස්තුතිය පුදකරනවා.

මොහාන් සුරවීර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division