අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම වෙනුවෙන්ම ආරම්භ කෙරුණු “යුක්තිය“ මෙහෙයුම් හේතුවෙන් මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ බොහෝ දෙනෙකුට සිය ජාවාරම් නිරුපද්‍රිතව කරගෙන යාමට නොහැකි විය. ගම්දනව්වල සිටින තරුණයන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බොහෝ දෙනෙකුට සිය ජාවාරම් නොසිතූ පරිදි අතහැර දමන තැනට පත්වන්නට සිදු වූයේ බුරුතු පිටින් ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත්වීම නිසාය. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ බොහෝ දෙනෙකුට කොළඹ අතහැර දුර පළාත්වලට ගොස් සැඟවී සිටිමට තරම් යුක්තියේ මෙහෙයුම ද ප්‍රබල විය.
වසර හතකට වැඩි කාලයක් තිස්සේ කොළඹ නගරයේ සැඟවී සිටිමින් තිස්සමහාරාමය සහ අවට ප්‍රදේශවලට තොග වශයෙන් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ප්‍රධානියා වූයේ “පොඩි සර්“ නමැත්තාය. ඔහුගේ ස්ථිර පදිංචිය වූයේ තිස්සමහාරාම රබර් වත්ත ප්‍රදේශයයි. එහි ඔහුට අයත් දෙමහල් නිවසක් ද වීය. කොළඹ සැඟවී සිටිමින් තිස්සමහාරාමය හා අවට ප්‍රදේශවලට අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීම ඔහු කලක පටන් මහා පරිමාණයෙන්ම කරගෙන ගියේ ගෝලබාලයන් ද රොත්තක් සමඟින්ය.“යුක්තිය“මෙහෙයුම් පුළුල් වීමත් සමඟ “පොඩි සර්ට“ කොළඹ සැඟවී සිය ජාවාරම් දියත් කිරීමට නොහැකි විය. එනිසා ඔහු වසර හතක් තිස්සේ කොළඹ සිට කරගෙන ගිය ජාවාරම නවතා තිස්සමහාරාම රබර් වත්ත පිහිටි ඔහුගේ නිවසට පැමිණියේය. නිවසට පැමිණි ‘පොඩි සර්’ සිය නිවසට වී සිය ගෝලයන් මෙහෙයවමින් ආරක්ෂිතව යළි සිය ජාවාරම කරගෙන යන්නට විය. ආරක්ෂක අංශවල ඇස්වලට වැලි ගසා සිය ජාවාරම් දියත් කිරීමට “පොඩි සර්” සිය ගෝලබාලයන් ද හොඳහැටි පුහුණු කර තිබුණි.
දිනය ඉකුත් ජනවාරි 30 වැනිදාය. තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්නට පෞද්ගලික තොරතුරක් ලැබුණි. ඉන් කියවුණේ රබර් වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ කිසියම් ජාවාරමක් සිදුවන බවය. ඒ අනුව මේ සම්බන්ධව විමර්ශන කටයුතු කිරීම තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට පැවැරිණි. ඒ අනුව එහි ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජයවීර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැලසුමක් සකස් කරන ලදි. 30 වැනිදා අලුයම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තිස්සමහාරාමයට ගොස් පළමුව මේ සම්බන්ධයෙන් තොරතුර අනාවරණය කරගනු ලැබුවේ ඉතා සූක්ෂ්ම අයුරිනි.
වේලාව එදින පෙරවරු 09 ට පමණ විය. නිලධාරීන් කණ්ඩායමක් රබර් වත්ත ප්‍රදේශයේ රැඳී සිටි අතර තවත් නිලධාරීන් කිහිප දෙනෙකු තිස්සමහාරාම, දෙබරවැව රෝහල ආසන්නයේ සංචාරයේ නිරත වෙමින් නිරීක්ෂණ කටයුතුවල නිරත වූහ. එම අවස්ථාවේ දෙබරවැව රෝහල අසල රැඳී සිටි එක් පුද්ගලයෙකුගේ හැසිරීම් රටාවේ වෙනසක් දුටු විමර්ශන නිලධරයෝ ඔහු පරීක්ෂා කළෝය. එහිදී සැකකරු කලබල වී නිලධාරීන්ගෙන් මිදී පලා යාමට උත්සාහ කළේය. එහිදී ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඔහුව පරික්ෂා කරන ලදී. එහිදී ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1150ක් අත්අඩංගුවට ගැනීමට හැකි විය. අත්අඩංගුවට ගැනුණු සැකකරු තිස්සමහාරාමයේම පදිංචි පුද්ගලයෙකි. සැකකරු ජිප් රථයට නංවාගෙන වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු තමන්ගේ නායකයා වන “පොඩි සර්“ පිළිබඳ සියලු තොරතුරු හෙළි කෙළේය. ඒ අනුව ඔහුගේ මඟපෙන්වීම මත විමර්ශන නිලධාරීන් කණ්ඩායම තිස්සමහාරාම රබර් වත්ත ප්‍රදේශයට ගියේ “පොඩි සර්“ අත්අඩංගුවට ගැනීමටය. නිලධාරීන් කණ්ඩායම එහි යන විටත් ‘පොඩි සර්’ තවත් ගෝලයෙකුට අලෙවි කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය ලබා දෙමින් සිටියේය. පොලිස් නිලධාරීන් දුටු ‘පොඩි සර්’ ඉහළ මහලෙන් පැන පලා යාමට උත්සාහ කළ ද පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගත්තේ ක්ෂණිකවය.
එහිදී සිදුකළ පරික්ෂාවේදී “පොඩි සර්” සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රැම් 3220ක් හා ජාවාරම සිදුකරගෙන ගිය දුරකතනයක් සහ කුඩා ප්‍රමාණයේ තරාදියක් පොලිසිය සොයා ගත්තේය. එමෙන්ම වැටලීම සිදුකරන අවස්ථාවේ එම නිවසේ සිටි “පොඩි සර්”ගේ ගෝලයෙකු වූ 44 හැවිරිදි පුද්ගලයා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 630 ක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. ප්‍රධාන ජාවාරම්කරුගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන් වසර 07ක් තිස්සේ කොළඹ සැඟව සිටිමින් මෙම ජාවාරම සිදුකළ බවත් යුක්තිය මෙහෙයුම් නිසා කොළඹ අතහැර ගමට පැමිණි බවත්ය. එමෙන්ම ඔහු සමඟ කොළඹ සිට කතරගමට හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකළ සිය සගයා ද කොළඹ අතහැර ගමට පැමිණි බවත් මේ වන විට ඔහු කතරගම පූජා භූමිය ආසන්නයේ ස්ථානයක රැඳී සිටිමින් මෙම ජාවාරම කරගෙන යන බවත් අනාවරණය කෙරුණි.
ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායම “පොඩි සර්”ගෙන් ලද තොරතුර ඔස්සේ කතරගම පූජා භූමිය ආසන්නයේ ස්ථානයක රැඳී සිටි ‘පොඩි සර’ගේ 38 හැවිරිදි මිත්‍රයා ද හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 3110ක් සමඟ අත්අඩංගුවට ගැනුණි. එම අවස්ථාවේදීම ඔහු සමඟ සිටි ඔහුගේ 31 හා 36 හැවිරිදි ගෝලයන් දෙදෙනා ද හොරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 380ක් 430ක් සමඟ අත්අඩංගුවට ගැනිණි.
එම සැකකරුවන් තිදෙනා ඊසි කෑෂ් ක්‍රමයට පමණක් කතරගම අවට තරුණයන් වෙත හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බව අනාවරණය විය. අත්අඩංගුවට පත් “පොඩි සර්” ඇතුළු ගෝලයන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිස්සමහාරාමය පොලිසියට බාර දීමට කටයුතු කෙරුණු අතර “පොඩි සර්”ගේ මිත්‍රයා සහ ගෝලයන් දෙදෙනා කතරගම පොලිසියට බාර දීමට කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ. සැකකරුවන් තිස්සමහාරාමය පොලිසියට ඉදිරිපත් කෙරිණි.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්නගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජේ.ඒ.එච්.පී. ජයවීර, සැරයන්වරුන් වන (70223) රසික, (71453) ඉන්දික, (72939) සංජය, (75587) අමිල සහ පොලිස් කොස්තාපල්වරුන් වන (84229) සමන්, (91504) සඳරුවන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
නුවන් ජයසේකර - සූරියවැව විශේෂ