එඩිසන්ගේ විදුලි බුබුළ සහ සිමන්ස් සමාගමේ ඩයිනමෝව, එක්සත් ජනපදයේ සහ බටහිර හරහා ව්‍යාප්ත වන අාකාරය ලෙනින් දුටුවේය. මානවයාගේ එදිනෙදා ජීවිතය තුළ විප්ලවයක් එමඟින් වන සඳ, විප්ලවයේදී විදුලියට හිමි විය යුතු ස්ථානය පිළිබඳව ලෙනින් තේරුම් ගත්තේය. 1908 වර්ෂය වන විට ජර්මනිය සිසාරා විද්‍යුත් තාක්‍ෂණය ගමන් කරනු දුටු හෙතෙම ධනවාදයේ ප්‍රබලතම මෙවලම බවට මෙම පරිණාමය වනු ඇතැයි සඳහන් කළේය.
1920 නොවැම්බරයේදී ව්ලැඩිමීර් ඉල්යීච් ලෙනින් රුසියානු කොමියුනිස්ට්වාදයේ මාවතේ ඉතිරිව ඇති එකම පියවර ලෙස විදුලිය හඳුනා ගනිමින් සටන් පාඨයක් හඬ නැඟුවේය. “කොමියුනිස්ට්වාදය සමාන වන්නේ සෝවියට් දේශයේ ශක්තියට සහ සමස්ත දේශයම විදුලියෙන් බල ගැන්වීමටයි” එතැන් සිට රැහැන් ඇදී සෝවියට් දේශයේ ගම් දනව් පුරා විදුලිය ඇදී ගියේය. එය දකිනා ලෙනින් ‘මේ වයර් දිගේ සම්ප්‍රේෂණය වන්නේ සංවර්ධනයයි” යැයි යළිත් හඬ නැඟුවේය.
අප විදුලිය ප්‍රශ්නයෙන් බැට කන්නේ වසර තුන හතරක් පුරාය. ඊට පෙර අර්බුද නොතිබුණා නොවේ. ඒත් ලෙඩා දැඩි හදිසි සත්කාර ඒකකයට යවන තත්ත්වයක් උද්ගත වූයේ මේ කාලයේය. වසර නවයක කාලයක් පුරා ලයිට් බිල වැඩි නොකර සිටියේ නිෂ්පාදනය සඳහා යන වියදම අතින් පාඩු කරගෙනය. එහෙම බරක් ආණ්ඩුවකට හැමදාම අදින්නට බැරිය. වැඩේ හිර වෙන්නේ කොවිඩ් වසංගතය සමඟ ආර්ථික අර්බුදය පැන නැඟුණු කල්හිය. පැය භාගයෙන් පටන් ගත් වන, පැය හතර පහ දක්වා විදුලි විසන්ධිය දුර දිග ගියේය. ගෙදර පැත්ත පළාතේ ලයිට් නැති හෙයින් සේවය නිමවා නිවෙසට යන්නා කළුවරේම යමක් බඩට දාගෙන නිදා ගන්නේය. ඇඳුමක් මැද ගැනීම පවා කාල සටහනකට කළ යුතු තත්ත්වයක් උද්ගත විය. ළඟ ළඟ දෙපාරක් විදුලි බිල වැඩි විය. මසකට කිලෝවොට් පැය 100ක් පරිභෝජනය කරන ලංකාවේ ‘සාමාන්‍ය පාරිභෝගිකයාගේ’ විදුලි බිල මේ නිසා, 100%කින් ඉහළ ගියේය. තිබූ බිල ද අමරුවෙන් ගෙවමින් සිටි මිනිසාට, එහෙම විද්‍යුත් කම්පනයක් දරා ගැනීමට නොහැකි විය.
2022 වසර පුරාම විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් විසන්ධි කරන ලද විදුලි සබඳතා සංඛ්‍යාව 247,250කි. 2023 වසරේ ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 31 දක්වා කාලය තුළ බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවකගේ විදුලි සම්බන්ධතා විසන්ධි විය. එහෙම බරක් ජනතාවට දැනෙන අතරේ, ඩොලරයේ මිල ඉහළ යෑම, ලෝක ආර්ථිකයේ අවපතනය වැනි සාධක කරන කොටගෙන, ඒ මත්තට ලයිට් බිල ද ගොඩවූ කල්හි කර්මාන්තකරුවා ‘හොම්බෙන්’ යන තරමට තත්ත්වය දරුණු විය. ආයතන සඳහා වන විදුලි බිල උඩට එන්න එන්න, එහි වියදම සැර විය. විදුලිය වැනි සීමා කළ නොහැකි සාධක එසේ තිබියදී, පාඩුව පියවා ගැනීමට සේවක පඩි නඩි, බෝනස් සහ අනෙකුත් පහසුකම් කපා හැරීමට සිදුව තිබුණි. ලෙනින් කියූ ලෙස විදුලිය ඔස්සේ ගලා ගියේ සංවර්ධනයය. එය දැරිය නොහැකි බරක් ලෙස බිලට එකතු වන්නේ නම්, එතැනින්මැ සංවර්ධනයේ කතාව අහවරය.
මේ සා විදුලි බිලක් වැඩි කරන ලද්දේ ‘පරණ පව්’ කර ගැසීමේ අවුලක් නිසාය. ශ්‍රී ලංකාව හැමදාම සිටියේ සහනාධාරය සඳහා තදින් ආදරය කරන රටක් ලෙසය. එයින් මංමුළා වූ ආර්ථිකයට පාර අසන්නට වූයේ මූල්‍ය අරමුදලෙනි. ඒවා පාර කියන්නේ රටේ අනුකම්පාව ලබා ගැනීම පිණිස නොවේ. ආර්ථික විනයක් ඇති කර, සවිමත් රටක් සඳහා වන පදනම නිර්මාණය කිරීමටය. විදුලිබල මණ්ඩලය ඒ වන විට ‘මළ බණ්ඩලයක්’ වී හමාරය.
2015 වර්ෂයේ සිට 2019 දක්වා ලංකා විදුලිබල මණ්ඩලය, රුපියල් බිලියන 181.5 පාඩුවක් ලබා තිබුණි. 2019දී පමණක් ලංවිම පාඩුව, රුපියල් බිලියන 85.4ක් විය. විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 21,000ක පමණ ණය පොල්ලක් හතර වටේට තබා තිබුණි. මෙම ණය පොලු පහර කෑ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා බැංකුව, මහජන බැංකුව යන ආයතන තුනම තුන් මුණින් වැටී තාම හාන්සි වී ඇත්තේය.
මණ්ඩලයේ දිනක පාඩුව රුපියල් මිලියන 500ක් පමණ වන හෙයින්, බංකොළොත් රටක් ගොඩ යෑම සඳහා නම් එවන් පළුදු පළමු කොටම පියවා ගත යුතුය. මුල්‍ය අරමුදල ලබා දුන් උපදෙස් පරිදි බිල වැඩි කරන ලද්දේය. ජනයා බරෙන් මිරිකී සිට හෝ ඇත්තට මුහුණ දුන්නේය. එහෙම බිල් ගෙවනවා කියන්නේ අපා දුකකි. විදුලිය වැඩි වූ සැණින් ආහාර උද්ධමනය ඉහළ යන්නේය. ශ්‍රී ලංකාවේ අපි වැඩිම බරක් දරන්නේ කෑම බිම සඳහාය.
එය අපේ මාසික වියදමෙන් 50.7%කි. එක්සත් ජනපදය වැනි රටක, ආහාර සඳහා විය පැහැදම් වන්නේ මුළු වියදමෙන් 8.3%කි.
මේ අමාරුකම විඳගෙන ආ ගමන සඳහා ආණ්ඩුව දැන් සුබදායි ප්‍රතිචාරයක් දක්වා තිබේ. සිහින සැබෑ වන්නේ කැපවීමෙනි. මණ්ඩලයේ පාඩුව පියවා ගත් වන, හතර අතේ තිබූ රටේ ආර්ථිකය ප්‍රධාන කුලුනු කිහිපයක් ද එයින් කෙළින් විය. අමාරු කාලයේදී අප බඩ සායෙන් දැවී දැවී හෝ කළ කැපවීම හේතුවන් ආර්ථිකය දැන් පණ ගසා නැඟිටිමින් සිටියි. ඒ සහනය ද පෙරළා අපටය. දැනෙන ගාණට ලයිට් බිල අඩු කර ඇත්තේ, පායනා කාලයේදීය. වෙන පායන කාලයක නම් ලයිට් බිල වැඩි කිරීම සඳහා ආණ්ඩුව ඔට්ටු අල්ලන්නේය.
මේ අතර ලයිට් බිල වැඩි කළ කාලයේ සියලු වෙළෙන්දන් මෙන්ම ලොකු කුඩා වෙළෙඳ ආයතන ද සිය පාරිභෝගික භාණ්ඩ මෙන්ම සේවා ගාස්තු ද වැඩි කළහ. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් මෙන් එය පැටවුණේ ද අසරණ පාරිභෝගික ජනතාවගේ උර මතය.
දැන් ඔවුන්ගේ වාරය යළිත් එළැඹී ඇත. ඒ අනුව තමන්ගේ පාරිභෝගික භාණ්ඩ හා සේවාවන් පසුගිය ඔක්තෝබරයට කලින් පැවැති මිල දක්වාම පහත හෙළන්නට ඔවුනට හැකි විය යුතුය. එය ඔවුන් ඉටු කළ යුතු අනිවාර්ය වගකීමකි.
එසේ නොමැතිව වෙනදා මෙන් ඔවුන් ඉහගෙනම කන්නට ගියහොත් විදුලි බිල අඩු වීමේ පූර්ණ වාසිය මෙරටේ ජනතාවට ලැබෙන්නේ නැත.
අප එසේ කියන්නේ වෙනදා විදුලි බිල, තෙල් මිල, ගෑස් මිල හා වතුර බිල වැඩි වූ වාරයක් පාසා වැඩි කළ බඩු මිල එක් තඹ දොයිතුවකින්වත් පහළ බැස නැති නිසාය. ප්ලේන්ටියේ, ආප්පයේ මිලේ පටන් ඉහළම සුඛෝපභෝගී භාණ්ඩය දක්වාම මේ රටේ සිදු වුණේ ඒකය.
එබැවින් තමන්ට ද මේ මොහොතේ ජාතික වගකීමක් මෙන්ම අනිවාර්ය වගවීමක් ද පැවරී ඇති බව මේ වෙළෙඳ ප්‍රජාව මනාව සිහි කටයුතුය.
මෙතනින් එහාට ආර්ථිකය අළු ගසා දමා නැඟිටින ආකාරය, මේ ලයිට් බිලේ අඩුවෙන්ම කිව හැකිය. පැමිණෙන සංචාරකයා සඳහා අඩු ලාභ තීරුවක් යටතේ සේවා සැපයූ හෝටල් හිමියාගේ සිට වැල්ඩින් වැඩපොළ ආදී සුළු කාර්මිකයා, ගෘහස්ථ පාරිභෝගිකයා ආදී සියල්ලෝම මෙතැන් සිට අලුත් හුස්මක් ගන්නාහ. ඒ වනාහි නැඟිටින රටක ආර්ථික ධාවනය සඳහා වූ පළමු අඬහැරයය.